
එක දවසක් ශ්‍රී නිශ්ශංක මන්ත්‍රණ සභාවට පැමිණියේ අමුතු ඇඳුමක් ඇඳගෙනය. කලිසම සමඟ ඇඳ සිටි කමිසය කරවැසිය හැකි නොවිය. කථානායකවරයා ලෙස එදා සිටියේ ප්‍රැන්සිස් මොලමුරේ ය. කථානායකවරයා ශ්‍රී නිශ්ශංකයන් කැඳවා මේ ඇඳුම ඇඳගෙන මන්ත්‍රණ සභාවට පැමිණිය නොහැකි යැයි දැන්වීය. මුළු මන්ත්‍රණ සභාවම සිනාසෙන්නට පටන්ගත් නිසා ශ්‍රී නිශ්ශංක පත්වූයේ දැඩි අසීරුතාවයකටය. ඔහු වහාම එළියට ගියේ ය. පැය භාගයක් යන්නට මත්තෙන් නිශ්ශංකයන් පැමිණියේ ටයි කෝට් ඇඳගෙන නොව බුරුම කබායකින් සැරසීය. බුරුම කබායේ කර වැසිය නොහැකි නිසා කථානායකට කිසිවක් කිව නොහැකිවිය. වට පිට බැලූ කථානායකවරයා දුටුයේ සභාවේ සියලු දෙනාම තමා දෙස බලා සිනාසෙන ආකාරයයි.
වැලිමඩ ආසනයෙන් තේරී පත්ව ආ බඹරපනේ මන්ත්‍රීවරයා රෙදි කෝට් ඇඳ මන්ත්‍රණ සභාවට පැමිණි කෙනෙකි. වෙනත් මන්ත්‍රීවරුන් ජාතික හෝ යුරෝපීය ඇඳුමින් සැරසී පිළිවෙළකට ආවත් අර මන්ත්‍රීවරයා සභාවට පැමිණි දිනයේ රෙද්ද හැඳ, එයට උඩින් විශාල රතු පාට කැන්වස් පටියක් බැඳගෙන ආවේය. විශාල ගාන්චු දෙකක් බඳ පටිය ඉදිරිපිට විය.
මෙබඳු දේවල් පාර්ලිමේන්තුවේ තිබියදී, පැවති රැස්වීමකදී ආචාර්ය එන්.එම්. පෙරේරා කතාවක් පවත්වමින් “පාර්ලිමේන්තුවේ ඉන්නෙ පුදුම සත්තු” යැයි ප්‍රකාශ කළේ ය. මේ ප්‍රකාශය කොතෙක් දුර දිග ගිය එකක් ද යත්, පාර්ලිමේන්තුව අපහාස කිරීමේ චෝදනාවට උසාවියට යෑමට තරම් බලවත් වූ ප්‍රකාශයක් විය.
එදා බද්දේගම මන්ත්‍රීවරයා වූ සයිමන් අබේවික්‍රම මන්ත්‍රණ සභාවට පැමිණියේ යුද්ධ කාලයේ රට පුරා සහල් හිඟයක් වූ නිසා ලොකු බෝතලයකට හාල් එකක් පුරවා ගෙනය. කොතනක ගියත් ඔහුගේ මෝටර් රථයේ හාල් බෝතලයක් තිබිණ. මන්ත්‍රණ සභාවේදී දහවල් ආහාරයට බත් කෑ මන්ත්‍රීන් අතර සයිමන් අබේවික්‍රම ගැන ද සඳහන් කළ යුතු ය. අනෙක් බොහෝ අය ඉංග්‍රීසි තාලයට කෝසස් සාදවා ගෙන කති. සයිමන් අබේවික්‍රම එවක සිටි මන්ත්‍රීවරු අතර හදිසි කාරයෙකි. කාර් එකේ ඉඳගෙන ම තෝමස් අප්පු... චාර්ලිස් අප්පු... කියමින් කෑ ගසයි. කාර්යාල කාර්ය සහායකයකු “හාමුදුරුවනේ.... එනවා” යැයි කියාගෙන කාර් එක ළඟට දුව යයි.
මේ දිනවල සයිමන් අබේවික්‍රම පදිංචිව සිටියේ ගල්කිස්සේ ඔවුන්ගේ නිවසේය. දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරයා හැටියට ද සිටි සයිමන් අබේවික්‍රමට ඡන්ද කාලයේදී උදව් කළ මාටින් නමැති පුද්ගලයකු සිටියේය. ඔහු ඒ වනවිට මැණික් කාරයන්ට ගයිඩ් වැඩ කළ පුද්ගලයෙකි. බොහෝ දෙනා ඔහුට කීවේ හුලං මාටින්, ගංජා මාටින් ආදී නම් ය. එහෙත් ඔහු සයිමන් අබේවික්රමගේ හිත දිනාගත් පුද්ගලයෙකි. මේ වනවිට එම ප්‍රදේශයේ ගම්මුලාදෑනි තනතුරකට ඇබෑර්තුවක් තිබිණ. දිනක් මේ හුළං මාටින් ද සයිමන් අබේවික්‍රම හමුවීමට පැමිණියේය.
“සර් උදව්වක් ඉල්ලන්නයි ආවේ”
“මොනවගේ උදව්වක්ද?”
“ගම්මුලාදෑනි කමකට ඇබෑර්තුවක් තියෙනව. ඒක මට අරගෙන දෙන්න”
අබේවික්‍රමට සිනා පහළ විය.
“උඹට මොන ගම්මුලාදෑනිකම්ද මිනිහො. උඹට වඩා ඒ රස්සාවට සුදුසු අය මේ රටේ නැද්ද?”
මාටින්ගේ මූණ ඇඹුල් විය. ඔහු විපිළිසර වී ගිය අයුරු දුටු අබේවික්‍රම, “මේ මිනිහ මට ගොඩක් උදවු කරපු කෙනෙක්. සුදුසුකම් නැතත් මම මේ මිනිහට මේ රස්සාව අරගෙන දෙනවා” යයි තීරණය කළේය.
“හරි මම ඒක කරල දෙන්නම්. උඹ අපිට ගොඩක් උදවු කරපු මිනිහෙක් නේ” යයි කීවේය.
පසුවදා සයිමන් අබේවික්‍රම හමුවීමට පළාතේ වැදගතකු හා ඉගෙන ගත් පුද්ගලයෙකු ලෙස නම ගිය කාර් හිමියෙක් ද පැමිණියේය. එදා කාර් එකක් අයිති පුද්ගලයා විශේෂ පුද්ගලයෙකි. ඔහු පැමිණියේද ගම්මුලාදෑනිකම අරගෙන දෙන ලෙස ඉල්ලා සිටීමට ය.
“මම පොරොන්දු වුණානේ මාටින්ට මුලාදෑනි රස්සාව අරගෙන දෙනව කියල. දැන් පරක්කු වැඩියි.”
“මොනව, මාටින්ට ගම්මුලාදෑනිකමක්?” ඔහු පුදුමයට පත් විය.
මේ මුලාදෑනිකම මාටින්ට නොදෙන ලෙස නගර සභාවේ යෝජනාවක් ද සම්මත විය. එහෙත් පොරොන්දු වූ දෙයක් කෙසේ හෝ කිරීම සයිමන් අබේවික්රමගේ පුරුද්දකි.
කිසි දිනක කිසි වැඩකට දෙතුන් ගමනක් නොයන අබේවික්‍රම මේ කරුණ සම්බන්ධව කතා කිරීමට දිසාපතිවරයා හමුවීමට තුන් වරක් ම ගියේ ය. කෙසේ හෝ එම පොරොන්දුව ඉටු කළේ ය. මේ කාලයේ මන්ත්‍රීවරු අතරින් බස් රියේ ගමන් ගත් මන්ත්‍රීවරු අතර එම්.පී. ද සොයිසා ද විය. බලපිටියේ සිට කොළඹ බස් රියෙන් පැමිණෙන ඔහු ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට බස් නැවතුම් පොළෙන් බසයෙන් බසී. ගේට්ටුවෙන් මන්ත්‍රණ සභාවට ඇතුළුවීමට වඩා තාප්පයට උඩින් පැන ඒම මේ මන්ත්‍රීවරයාගේ පුරුද්දකි. බසයෙන් ආවත් සෑහෙන විශාල බෑග් එකක් රැගෙන ඒම මේ මන්ත්‍රීවරයාගේ සිරිතකි.
අදත් සුප්‍රකට කියමනක්ව පවතින “ඇරසොයිසා” කතාව ඇරඹුණේ මේ මන්ත්‍රීවරයා සම්බන්ධවය. බණ්ඩාරනායකයන් ගැන මොහු තුළ තිබුණේ දැඩි භක්තියකි. එක් දිනක් විරුද්ධ පක්ෂයේ කථිකයෙක් බණ්ඩාරනායකයන්ට අපහාස කතාවක් කියද්දී අසල තිබූ ආසනයක් රැගෙන ඔහු වෙතට දුව ගිය සොයිසා මන්ත්‍රීවරයා එම කතාව කියූ මන්ත්‍රීවරයාට පහර දෙන්නට හදත් ම බණ්ඩාරනායකගේ හිතවත්තු “ඇර සොයිසා... ඇර සොයිසා...” කියා සභාවම දෙවනත් කළේ ය.
සර් ජෝන් කොතලාවල අගමැති ලෙස සිටි කාලයේ මුල් වතාවට එළිසබත් රැජින ලංකාවට පැමිණියාය. රැජින අතින් පාර්ලිමේන්තු වාරය විවෘත කිරීමට විශාල උත්සවයක් පිළියෙල විණ. මැති ඇමැතිවරු සියලු දෙනාම රැජින හා අතට අතදී කතා කිරීමට සර් ජෝන් අවස්ථාව සලසා තිබුණි. “මේ ඉන්නේ අහවල් ඇමැතිතුමා, මේ පාර්ලිමේන්තු ලේකම් තුමා, මේ අහවල් මන්ත්‍රී තුමා” ආදී වශයෙන් රැජින හා මැති ඇමැතිවරුන් හඳුන්වා අතට අත දීම මෙහි විශේෂ අවස්ථාවක් විය. මේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලැබුණත් මන්ත්‍රීවරුන්ගේ භාර්යාවරුන්ට නොලැබිණ. එය සමහර මන්ත්‍රීවරුන්ගේ භාර්යාවන් මෙය දුටුවේ මදි පුංචිකමක් ලෙසිනි. සර් ජෝන් හමුවීමට මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුගේ භාර්යාවෝ පැමිණියහ. අගමැති කාමරය එදා මන්ත්‍රී භාර්යාවරු පිරී ගිය එකක් විය.
“ඇයි අපට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ රැජිනට අතට අත දෙන්න?” යයි එක හඬින් කියා සිටියහ. මෙය සර් ජෝන්ට මහා හිසරදයක් විය. කළ යුතු එකම දෙය මෙය රැජිනට කීම යයි සර් ජෝන් කල්පනා කළේ ය.
“අපේ මන්ත්‍රීවරුන්ගෙ නෝන මහත්වරු ඔබ තුමියට සුබ පතන්න ඇවිත් ඉන්නවා. කරුණාකර ඇවිත් ඒ අය හමුවී කතා බස් කරන්න” යයි රජගෙදරට ගිය සර් ජෝන් රැජිනට කීවේය.
රැජින නැවත වරක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආවාය. මන්ත්‍රීවරුන්ගේ භාර්යාවෝ පෙළ ගැසී සිටියහ. අතට අත දීමට පොර කමින් ඉදිරියට ආහ.
වෛවාරණ ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටි මේ බිරියන් අතරින් සමහරෙක් චිත්‍රපට නිළියන් දර්ශන රූපගත කිරීමට යද්දී වත්සුණු තවරා ගන්නා ලෙස වැඩිපුර කැපී පෙනෙන ලෙස සරසාගෙන සිටියහ. පළාතම විවිධ සුවඳින් පිරී තිබිණ.
අතට අත දීමෙන් පමණක් නොසෑහුණු මන්ත්‍රී බිරියන් පෙරළි පෙරළී වදින අයුරු දුටු මන්ත්‍රීවරුන්ගේ මුහුණු රතු විය.
ඊට සතියකට පසු එක මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරයකුට මෙසේ කීය.
“අපේ නෝන මහත්තය රැජිනට දීපු අත හෝදන්ට දුකෙන් සතියක් අත හේදුවේ නෑ.”
“මමත් කියන්න හිටියෙ අපේ එක්කෙනාත් එදා ඉඳල තවම අත හේදුවේ නෑ.”
මුතුරාජවෙල සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සමඟම හැඳල ප්‍රදෙශයේ තෙල් පිරිසිදු කරන මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් අගමැති සර් ජෝන් කොතලාවල සැලසුම් කර තිබුණි. මේ සැලසුම යටතේ හැඳල ප්‍රදේශයේ ජනතාව සතු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් රජයට පවරා ගන්නා බවට රාවයක් පැතිරෙමින් තිබිණ.
එවකට වාරියපොළ මන්ත්‍රීවරයා පදිංචිව සිටියේ හැඳල ප්‍රදේශයේ ය. මන්ත්‍රීවරයා හමුවූ ගැමියෝ තමාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කොට කෙසේ හෝ අගමැතිතුමාගෙන් සහනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.
එදා කොතලාවල මහතා පාර්ලිමේන්තුවට පැමිණ මෝටර් රථයෙන් බැස්සා පමණි. මහා සෙනගක් පිරිවරාගෙන ආ මන්ත්‍රීවරයා කොතලාවල මහතා ඉදිරියට ගියේ ය.
“අනේ සර්... මේ අයගෙ ඉඩකඩම් ආණ්ඩුවට ගන්න යනවලු. බලන්න මම දවස් තුනකින් නිදාගත්තෙත් නෑ. මට නිදාගන්න වෙලාවක් නෑ. රෑ එළිවෙනකම් මේ අය ඇවිත් මට කරදර කරනවා. මේ බලන්න සර්...” යයි කියමින් මහ හඬින් ඉකිබිඳිමින් හඬන්නට පටන් ගත්තේ ය.
කොතලාවලට යකා නැග්ගේය. “මොකද යකෝ අඬන්නෙ? එක්කො කියල ඉවර වෙලා අඬපන්. එහෙම නැත්නම් අඬල ඉවර වෙලා කියපන්.”
කොතලාවලගේ හඬින් මන්ත්‍රීවරයා බියට පත් විය. හැඬුම නවත්වා බයෙන් බයෙන් ජනතාවගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළේ ය.
“තමුසෙලා තුන් සීයයි. මම හදන්නෙ තුන් දාහකට රස්සාවල් දෙන්න. මගේ තීරණේ වෙනසක් නෑ” සර් ජෝන් කෙළින් ම තම කාමරයට ගියේ ය.