පාර්ලි­මේ­න්තු­වට අභි­මා­න­යක් ගෙන දුන් මංගල සැසිය | සිළුමිණ

පාර්ලි­මේ­න්තු­වට අභි­මා­න­යක් ගෙන දුන් මංගල සැසිය

ජනා­ධි­ප­ති­ව­රායා හා එම ආර්යාව පාර්ලි­මේ­න්තු­වට සම්ප්‍රාප්ත වූ අව­ස්ථාව
ජනා­ධි­ප­ති­ව­රායා හා එම ආර්යාව පාර්ලි­මේ­න්තු­වට සම්ප්‍රාප්ත වූ අව­ස්ථාව

මෙරට ව්‍යව­ස්ථා­දා­ය­කයේ කේන්ද්‍ර­ස්ථා­නය වූ පාර්ලි­මේන්තු සංකී­ර්ණය පසු­ගි­යදා සැදි පැහැදි සිටියේ තවත් පස් වස­රක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පරි­ච්ඡේ­ද­යක සමා­ර­ම්භය සනි­ටු­හන් කර­න්න­ටය. පසු­ගිය 20 වැනිදා දින ගණ­නා­වක විවේ­ක­යෙන් අන­තු­රුව පාර්ලි­මේ­න්තුව නැව­තත් පණ ලබ­න්නට වූයේ 9 වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු මංගල සැසි­වා­ර­ය­ටය.

මෙවර මැති සබය නියෝ­ජ­නය කරන විවිධ පක්ෂ පාටින් යුතු දිදු­ලන ධජ පතාක වලින් පාර්ලි­මේන්තු පිවි­සුම් මඟ අභි­මා­න­වත් විය. වෙනදා නොතිබූ නිහ­ඬ­ත්වය මඳකට වෙනස් කර­මින් සැවොම සැදි පැහැදී සිටියේ නව­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ නවක මැති ඇමැ­ති­ව­රුන් පිළි ගන්න­ටය. මෙදා පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය සඳහා පැමිණි බොහෝ දෙනෙක් නවක යන් වූ නිසාම ඒ අත්දැ­කිම සමීප කර ගන්නට ඔවුන් පැමිණ සිටියේ සිය සමිප හිත­ව­තුන් සම­ඟය. මේ නිසා වෙන­දා­ටත් වඩා පාර්ලි­මේන්තු සංකී­ර්ණය මෙදා අති­ශ­යින්ම කාර්ය බහුල විය. උදෑ­සන 9.30 ට ගණ පූරණ සීනුව නාද වීමෙන් අන­තු­රුව නව වැනි පාර්ලි­මේන්තු සභා ගර්භය වෙනදා නොතිබු උද්යෝ­ග­ය­කින් මැති ඇමැ­තී­න්ගෙන් පිරෙ­න්නට වූයේ නව රාජ­කාරි රැසක ආර­ම්භය සනි­ටු­හන් කර­මිනි.

මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ බොහෝ දෙනෙක් තරුණ මන්ත්‍රී­වරු විය. මේ අතර පාර්ලි­මේ­න්තු­වට නුහුරු අලුත් මුහුණු 81 ක් විය. මෙවර කාන්තා මන්ත්‍රී­ව­රි­යන් 12 දෙනෙක් තේරී පත් වූ අතර ඔවුන් සිය­ල්ලම මෙවර මැති සබ­යට පැමිණ සිටිනු දක්­නට ලැබුණි. පාර්ලි­මේන්තු ආර­ම්භක දින මන්ත්‍රි­ව­රුන්ට අසුන් පැන­වී­මේදි කිසිදු විශේ­ෂ­ත්ව­යක් සිදු නොවූ­යෙන් ඔවුහු තම හිත­මි­තු­රන් සමඟ රිසි ස්ථාන වල අසුන් ගත්හ.

තේ පැන් සංග්‍රහයේදී අගමැතිතුමා මන්ත්‍රීන් පිරිසක් සමඟින්

උදැ­සන 9.30 පාර්ලි­මේන්තු ගණ පූරණ සීනුව නාද වීමත් සමඟ පාර්ලි­මේ­න්තුවේ ආර­ම්භය සනි­ටු­හන් වූයේ සුපු­රුදු පරිදි වේත්‍ර­ධාරි විසින් සභා ගැබට සෙංකෝ­ලය ගෙන ඒමත් සම­ඟය.

සෙංකෝ­ලය පහළ අසුනේ තැන්පත් කෙරුණේ ඒ වන විටත් නව කථා­නා­යක පත් කර නොතිබූ හෙයිනි. පාර්ලි­මේන්තු මහ ලේකම් ධම්මික දිස­නා­ය­කගේ නිවේ­දන වලින් අන­තු­රුව නව පාර්ලි­මේන්තු සැසි වාරයේ අති­ශ­යින්ම වැද­ගත් කට­යුත්ත වූ නව කථා­නා­ය­ක­ව­රයා පත්කර ගැනීම පෙ.ව 9.40 ට සිදු­විය. 9 වැනි පාර්ලි­මේ­න්තුවේ අභි­නව කතා­නා­ය­ක­ව­රයා තෝරා පත්කර ගැනීම නිවේ­ද­නය කිරී­මෙන් අන­තු­රුව ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන නැඟී සිටි­මින් නව කතා­නා­ය­ක­ව­රයා ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේ­ව­ර්ධ­නගේ නම යෝජනා කළ අතර ස්ථීර කිරීම සමගි ජන බල­වේ­ගයේ රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර විසින් සිදු කළේය. වෙනත් නම් නොති­බු­ණෙන් 9 වැනි පාර්ලි­මේ­න්තුවේ 26 වන නව කථා­නා­ය­ව­රයා ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධන පත්වූ අතර පාර්ලි­මේන්තු මහ ලේකම් ධම්මික දස­නා­යක විසින් නව කථා­නා­ය­ක­ව­රයා ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධ­නගේ නම ප්‍රකා­ශ­යට පත් කළේ සියලු දෙනාගේ අත්පො­ළ­සන් මධ්‍ය­යේය. අන­තු­රුව යෝජනා ස්ථිර කළ මන්ත්‍රී­ව­රුන් දෙපළ විසින් නව කථා­නා­ය­ක­ව­රයා කථා­නා­යක අසුන වෙත කැඳ­වා­ගෙන යාම සම්ප්‍ර­දා­යට මුල් තැන දෙමින් සිදු­විය.

නව කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධ­නට පාර්ලි­මේ­න්තුවේ සිවු දෙසින්ම සුබ පැතුම් ගලා එන්නට විය. මුලින්ම සුබ පැතුම් එක්කළේ අග­මැ­ති­ව­ර­යාය. ඉන් අන­තු­රුව සමගි ජන බල­වේ­ගයෙ නායක සජිත් ප්‍රේම­දාස, දෙමළ ජාතික සංධා­නයේ නායක ආර්. සම්බ­න්ධන් , මුස්ලිම් කොන්ග්‍රස් නයක රවුෆ් හකීම්, ඊළාම් ජනතා පක්ෂයේ ඩග්ලස් දේවා­නන්ද, ජනතා විමුක්ති පෙර­මුණු නායක අනුර කුමාර දිසා­නා­යක, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වෙනු­වෙන් මෛත්‍රි­පාල සිරි­සේන, ඇමැ­ති­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල ,සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍ර­සය වෙනු­වෙන් රිෂාඩ් බදි­යු­දීන්, ප්‍රජා­තා­න්ත්‍රික වාමාං­ශික පෙර­මුණ වෙනු­වෙන් වාසු­දේව නානා­ය­ක්කාර, සිව­නේ­ෂ­තු­රේයි චන්ද්‍ර­කාන්ත හෙවත් පිල්ලෙ­යාන්, මෙන්ම සි.වී විග්නේ­ශ්ව­රම් ඇතුළු පාර්ලි­මේන්තු පක්ෂ නියෝ­ජි­ත­යින් රැස­කගේ සුභා­ශිං­සන පැයක කාල­යක් පුරා­ව­ටම පිරි­නැ­මුණි.

නව­වන පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­රයා ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පත් කර­ගත්තේ ඉන් අන­තු­රු­වය.

ඇමැති මහින්ද අම­ර­වීර විසින් ඔහුගේ නම යෝජනා කළ අතර රාජ්‍ය ඇමැති නිමල් ලන්සා විසින් ඒ යෝජ­නාව ස්ථීර කරන ලදී. නිමල් සිරි­පාල ද සිල්වා සහ දුමින්ද දිසා­නා­යක යන මන්ත්‍රී­ව­රුන්ගේ යෝජනා ස්ථිර­ත්ව­යෙන් නියෝජ්‍ය කාරක සභා සභා­ප­ති­ව­රයා ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රී අංග­ජන් රාම­නා­දන් පත්විය. පළමු සැසි වාරයේ පළමු දින පාර්ලි­මේන්තු ඉති­හා­ස­යට සුවි­ශේෂි දින­යකි. දේශ­පා­ලන පක්ෂ 12 ක මහ­ජන නියෝ­ජි­ත­යින් 222 දෙදෙ­නෙක් මෙදා පළමු සැසි වාර­යට එක්විය. මේ වන විට බන්ධ­නා­ගාර ගතව සිටින රත්න­පුර දිස්ත්‍රීක් පාර්ලි­මේන්තු මන්ත්‍රි ප්‍රේම­ලාල් ජය­සේ­කර පාර්ලි­මේ­න්තු­වට පැමිණ නොසිටි අතර එක්සත් ජාතික පක්ෂ­යෙන් හා අපේ ජන බල පක්ෂ­යෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී­ධුර පත් කර නැති නිසා ඒ අඩු­වත් පැහැ­දි­ලිව පෙනෙ­න්නට විය. කෙසේ වෙතත් වසර 73 කට පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී­ව­ර­යෙකු නොසිටි පාර්ලි­මේ­න්තු­වක් දක්නට ලැබීම පාර්ලි­මේන්තු ඉති­හා­සයේ සුවි­ශේෂි ලක්ෂ­ණ­යක් විය. මේ අතර රක්ෂිත බණ්ධ­නා­ර­ග­තව සිටින සිව­නේ­ෂ­තු­රේයි චන්ද්‍ර­කාන්ත හෙවත් පිල්ලෙ­යාන් පාර්ලි­මේ­න්තු­වට පැමිණ සභා ගැබ ඇම­තීම සුවි­ශේ­ෂිය.

9 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය ආරම්භ වූයේ සවස 2.45 ටය. ආචාර වෙඩි මුර ඇතුළු අන­වශ්‍ය විය­දම් අවම කර­මින් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් හා එම මැති­නි­යගේ සම්ප්‍රා­ප්තිය සිදු­වූයේ චාම් හා අභි­මා­න­වත් අන්ද­මින් පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය සුර­කි­මිනි. 9 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය සඳහා සපැ­මිණි ජනා­ධි­ප­ති­ව­රයා පිළි­ගනු ලැබූයේ නව කතා­නා­ය­ක­ව­රයා විසින් මඟුල් බෙර මධ්‍ය­යේය. මෙවර විශේ­ෂ­ත්වය වූයේ ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් කිසිදු අශ්වා­රෝ­හක කණ්ඩා­ය­මක් හෝ අම­තර වාහන කිසි­වක් සහ­භාගි කර නොගැ­නී­මයි.

9 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය උත්ස­වා­කා­ර­යෙන් විවෘත කිරීමේ අව­ස්ථාව සනි­ටු­හන් වූයේ පස්වරු 3 ටය. ඒ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ජනා­ධි­ප­ති­ව­රයා විසින් නව රජයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මත් සම­ඟය. මුලින්ම නව තන­තු­රු­ව­ලට පත්වු කථා­නා­යක ඇතුළු පිරි­සට සුබ පැතුම් එක් කළ ජනා­ධි­ප­ති­ව­රයා කොවිඩ් වසං­ගත කාලයේ ලොව සියලු රට­වල් පර­ද­ව­මින් එම අභි­යෝ­ග­යට රජය සාර්ථ­කව මුහුණ දුන් ආකා­රය ප්‍රකාශ කළේය. ඉන් අන­තු­රුව නව රජයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ඉදි­රි­පත් කර­මින් කතා කළ ජනා­ධි­ප­ති­ව­රයා රටේ සැම අංශ­යක්ම ආව­ර­ණය කර­මින් ඉදි­රි­යේදි ක්‍රියා­ත්මක කිරී­මට අපේ­ක්ෂිත සංව­ර්ධන සැලැස්ම විස්තර කළේය.

නව සැසි­වා­රයේ කට­යුතු අව­සන් වූයේ සතුටු සාමිචි මැද ගෙවුණු තේ පැන් සංග්‍ර­හ­ය­කින් අන­තු­රු­වය.

මේ අතර පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර නියෝග 114 හි විධි­වි­ධාන ප්‍රකා­රව නව වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා­වා­රයේ සේවය කිරීම සඳහා කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන ගේ සභා­ප­තී­ත්ව­යෙන් සාමා­ජි­ක­යන් 12 දෙනෙ­කු­ගෙන් සම­න්වත තේරීම් කාරක සභා­වක් පත්විය. නිමල් සිරි­පා­ලද සිල්වා, දිනේෂ් ගුණ­ව­ර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවා­නන්ද, ඩලස් අල­හ­ප්පෙ­රුම, විමල් වීර­වංශ, ප්‍රසන්න රණ­තුංග, ලක්ෂ්මන් කිරි­ඇල්ල, ගයන්ත කරු­ණා­ති­ලක, රවුෆ් හකීම්, විජිත හේරත්, සෙල්වම් අඩෛ­ක්ක­ල­නා­දන් යන මැති ඇමැ­ති­වරු මීට ඇතු­ළත්ය. මේ අතර සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රි මනූෂ නානා­ය­ක්කාර කථා­නා­ය­ක­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රී සී. වි විග්නේ­ශ්ව­රම් කතාවේ ඇතු­ළත් ජාති­වාදී කොටස් හැන්සාඩ් ගත කිරී­මෙන් වළ­කින ලෙසයි.

 

සේයාරු - ගයාන් පුෂ්පික, දුෂ්මන්ත මායා­දුන්න, සුලෝ­චන ගමගේ

 

Comments