
මහමැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමේදී මෙරට ප්‍රධාන වාමවාදී දේශපාලනික අදහස් දරන්නන් විසින් ආකල්ප දෙකක් ඉදිරිපත් කර ඇත. පළමු කරුණ නම් මේ රටේ ඡන්දදායකයා කිසිදු දැනුමක් නැති අඥානයන් බවයි. දෙවැනි අදහස නම් පොදු පෙරමුණ විසින් පසුගිය වසර ගණනාව පුරා මේ රටේ ජනතාව සිංහල බෞද්ධ උන්මාදයකට පත් කර ඇති බවත් මේ සාවිශාල බලයක් ලබා දී ඇත්තේ එම සිංහල බෞද්ධ උන්මාදයට පත්වුවන් බවත්ය. මේ අදහස් දෙකම නිශේධනීය සහ සාවද්‍ය අදහස් ලෙස සැලකිය හැකිය. ඒවා මේ රටේ ඡන්දදායකයන් පිළිබඳ ඇති කර ගන්නා ලද අඩු තක්සේරුවක් බව මගේ අදහසයි.
එබැවින් ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයට මේ තරම් ඉහළ ජන ප්‍රසාදයක් සහ මෙතරම් ආසන සංඛ්‍යාවක් හිමිවූ කරුණු ගැන අප සැලකිලිමත් වියයුතුය. එමෙන්ම මේ තරම් නව මුහුණු පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට උත්සාහ ගත්තේ කුමන කරුණක් නිසාද යන කරුණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ යුතුය. මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විවරණය කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ඒ මඟින් ප්‍රතිබිම්බනය කරන කාරණා පිළිබඳ වඩා සැලකිලිමත්ව විවරණය කිරීමටයි. රටේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වු ඉතා ප්‍රබල ආර්ථික, සමාජීය අර්බුදය ඒ සඳහා බලපෑ පළමු කරුණයි. 2015- 2020 කාලපරාසය අතර යුගයේ කැපී පෙනෙන අසාර්ථක භාවය කෙතරම්ද යන්න මෙහිදි දැක ගත හැකිය. රටට අහිතකර ගිවිසුම් ගණනාවක් අත්සන් කර කටයුතු කිරීම සහ 2020 වන විටත් එවැනි ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු සූදානම් කර සිටි බව අපට දක්නට ලැබෙයි. ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් කර තිබූ සහස්ශ්‍ර අභියෝග සමයාතන ගිවිසුම (Mcc) ඒ හා බැඳුණු අනෙක් ගිවිසුම් හැඳින්විය හැකිය. එමෙන්ම සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාවට ඉතා අහිතකර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.
ගිවිසුම්ගත වීමට සුදානම් වන සෑම අවස්ථාවකදී ම ජනතා විරෝධය නිසා එම ගිවිසුම්ගත කීරීම් ඒ ආකාරයටම කිරීමට ඔවුන්ට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය පන්නයේ ආණ්ඩුවක් සෑදීමෙන් රටේ ස්වාධිපත්‍ය, රටේ පොදු සම්පත් බාහිර ලෝකයට ලබාදීමෙන් ශ්‍රී ලංකාවට ඒවා අහිමි වෙතැයි යන කාරණාව ජනතාව විසින් පුළුල් ලෙස සලකා බැලූ බව මෙවර මැතිවරණ ප්‍රතිඵල තුළින් පැහැදිලි වේ. අන්තවාදීන්ගේ බෝම්බ පිපිරීමේ සිදුවීම තුළ ආරක්ෂාවට තර්ජනයක් සේම ආණ්ඩුවේ අර්බුද සහ අනෙක් සියලු අංශවල පැහැදිලි අස්ථාවරත්වයක් පැවැති බව දක්නට ලැබෙයි. මේ ආකාරයට රටේ ව්‍යාපාර කටයුතු කරගෙන යන පන්තියට පවා එම පන්තියේම නියෝජිතයා ලෙස පෙනි සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පිළිබඳ කළකිරීමක් ඇතිවිය. එමෙන්ම 19 ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මේ රටේ තිබූ දේශපාලනික අවිනිශ්චිත බව තුළ තිබෙන ආණ්ඩුව ඉවත් වී නව ආණ්ඩුවක ආගමනය සිදුවිය යුතු බව ජනතාව තීන්දු කර ඇත.
2019 නොවැම්බර් 16 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයෙනුත් 2020 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයේදි එම පියවරම ගැනීම තුළ ජනතාව විසින් මේ ආකාරයට ආණ්ඩුව වෙනස් කිරීම සිදුවිය. මේ තීන්දුව සහ ප්‍රතිඵලය මහජනතාවගේ අඥාන භාවය නිසා හෝ උන්මාදයක් නිසා සිදුවූවක් නොවන බව මගේ විස්වාසයයි. මේ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අපි දුටු කාරණාවක් මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පැහැදිලි නායකත්වයක් ලබාදෙන්නේ ව්‍යාපාරික ධනේෂ්වර පන්තියටය. ඔවුන්ගේ නියෝජිතයා ලෙස එම පක්ෂය ඇමරිකාවට සහ ඇමරිකාවේ හිතවතුන්ට පක්ෂව විදෙස් ප්‍රතිපත්තියක් ගෙන ගියේය. මේ සියල්ල තිබුණද වරින් වර ආණ්ඩු මාරුවීමේදී එම පක්ෂය බරපතළ අහිතකර තත්ත්වයක් පෙන්නුම් නොකළද පසුගිය වසර පහ තුළ ධනේෂ්වර පන්තිය එම පක්ෂය සැක කිරීමේ තත්ත්වයකට පත්වීම නිසා එයින් ක්‍රමානුකූලව ඉවත් වීම එහි බිඳ වැටීමට ප්‍රධාන කාරණාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහගේ නායක්වයත් සමඟ තිබු බිඳ වැටිමත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේ්න්තු මැතිවරණ තලයේ බිඳවැටිම සම්බන්ධයෙන් මේ ආකාරයට පැහැදිලි කරගත හැකිය. ඒ පක්ෂයේ කැඩුණු කොටස්වලට යම් ආකාරයට කිසියම් ආකාරයක විවේචනාත්මක මතවාදයන් දැරීම නිසා සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටු වූ සමගි ජනබලවේගය මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත් විය.
මීට පෙර මැතිවරණ සලකා බලන විට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරි අඩකින් අඩුවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ එහි සම්ප්‍රදායික ගැමි, තරුණ, කෘෂිකාර්මික පන්ති පදනමින් වෙනස් වීම නිසාවෙනි. අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ අලුතින් නැඟෙන මධ්‍යම පන්තියට විශේෂයෙන් කොළඹ සිවිල් ජනතාවට ඔවුන්ගේ සම්ප්‍රදායික මතවාදය දුරස් වීමක් පෙන්නුම් කරයි. අනෙක් කාරණාව ඔවුන්ගේ පන්ති පදනම ද අඩු වීම නිසා පැවති මන්ත්‍රි සංඛාව හෝ දිනා ගැනීමට නොහැකි විය.
ප්‍රබල විපක්ෂයක් නොමැති වීම රටකට අහිතකර නමුත් ප්‍රබල විපක්ෂයක් ඇතිවෙනවාද නැති ද කියන කාරණාව මහජනතාව විසින් තීන්දු කරනු ලබයි. එතෙක් පැවැති විපක්ෂ එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන මේ සිවු පිරිසම පසුගිය පස් වසරක කාලය තුළ ඍජුව හෝ වක්‍රාකාරව ආණ්ඩු සමඟ ගමන් කළහ. එම නිසා ඔවුන් පරාජය කළ යුතුයි සහ ඔවුන් විපක්ෂයක් ලෙස හෝ එකට ක්‍රියාකළ යුතු නැත කියන තැනට ජනතාව පැමිණ ඇත. දෙමළ ජනකොටස් දෙස බැලූ විට උතුරුකරයේ ජනතාව දිර්ඝ කාලයක් එක්ව ක්‍රියාකළ ආකාරය ඉතා පැහැදිලි දක්නට ලැබුණද මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් හිමිවිය. පසුගිය වසර පහ තුළ එම ජනතා නියෝජිතයන් ක්‍රියා කළ ආකාරය අනුව දෙමළ ජාතික සන්ධානයේ, තමිල් අරසු කච්චි පක්ෂයේ ඒකාධිකාරය සහමුලින්ම බිඳී ඇති ආකාරය ඔවුන්ගේ ආසන ප්‍රමාණය බිඳ වැටී ඇති ආකාරයෙන් අපට පෙනී යයි.
දෙමළ දේශපාලනයෙහි අලුත් ධාරා දෙකක් මතුවී ඇති අතර ඒ, විග්නේෂ්වරන්ගේ පක්ෂය ආගමනය සහ ධජේන්ද්‍ර පොන්නම්බලම් විසින් ලබාගත් මැතිවරණ ප්රතිඵලයි. මේ දෙකම පෙන්නුම් කරන්නේ දෙමළ ධාරාවේ සම්ප්‍රදායික දේශපාලනයට වඩා ජාතිකවාදී වැඩි දේශපාලන ධාරාවක් දේශපාලනය තුළ මතුවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය තුළ පෙන යන්නේ දෙමළ දේශපාලනය තුළ කිසියම් ආකාරයක සිංහල ආණ්ඩු සමඟ බද්ධව හා සම්බන්ධ වීමෙන් කටයුතු කිරිමෙන් දේශපාලනිකව ස්ථාවර විමට හැකි බවයි. එක් පැත්තකින් ඉතා තදබල ලෙස ජාතිකවාදී ප්‍රවණතාව මතුවීමේ ඉඩකඩ සහ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාතිකවාදී දේශපාලනයකට යළි යෑමේ සලකුණක් ඇති බව මේ මැතිවරණ ප්‍රතිඵලවලින් දක්නට ප්‍රධාන ගැටලුවයි.
ඉතා පහසු මැතිවරණ ජයක් ලැබීමෙන් මේ ආණ්ඩුවට ඉතා පහසු ගමන් මඟක් ඇති බව කිව නොහැකිය. මක්නිසාද යත් මේ ආණ්ඩුවට මෙතරම් විශාල බලයක් ලබා දීමට ප්‍රධාන හේතුවක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවතින විශ්වාසයයි. මුලින් සඳහන් කළ පැවති ආණ්ඩුව ඇතිකළ ආර්ථික අර්බුද,රටේ ස්වාධිපත්‍ය පාවාදීම සහ රටේ අස්ථාවරත්වය යන කරුණු යම් කිසි ප්‍රමාණයකට බලපා ඇත. ආණ්ඩුව පත් වී ගත වු මාස හත අට තුළ වසංගතය අර්බුදය අවම වශයෙන් පැතිරුණු රටක් ලෙස ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ද ජනතා පැසසුමට ලක්විය. නමුත් මැතිවරණ ව්‍යාපාරය තුළ ජනාධිපතිවරයා විසින් දෙන ලද පොරොන්දු ඉතා කෙටි කාලයකදී ඉටුකිරීම මෙන්ම ජනතා විශ්වාසය දිගටම පවත්වාගෙන යෑම ආණ්ඩුව විසින් කළ යුතුය.
මෙරට මැතිවරණවල ස්වාභාවය නම් කිසිදු ආණ්ඩුවකට වඩා ශක්තිමත්ව සිටීමට ඉඩ ලබා නොදීමයි. ඒ නිසා සමාන්‍යයෙන් වසර 10 හෝ 12 කාල සීමාවක් යම් උපායමාර්ගවලින් ගමන් කරන අවස්ථා ඇත. ප්‍රශ්න මත ආණ්ඩු පත් කළ ජනතාව ඒ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා ආණ්ඩු පෙරළයි. මෙම ජයග්‍රහණයට මුල් වූ පළමු කරුණක් වන සෞභාග්‍ය දැක්ම ක්‍රියාමාර්ගය අනුව ආර්ථික කටයුතුවලදී රටේ භූමිය හෝ භෞතික සම්පත් කිසිදු විටක අන් රටවල් සතු නොකිරීමට කටයුතු කරන අතර එය ඉතා ශක්තිමත් කියවීමකි. එය ස්ථාවරව පවත්වාගෙන යෑම මෙම ආණ්ඩුවේ බරපතල වගකීමකි. එමෙන්ම රටේ ස්වාධීනත්වය පාවා නොදෙන බව ඉතා පැහැදිලිව සෞභාග්‍ය දැක්මේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් පත් කළ කමිටු ඉතා පැහැදිලි ලෙස ඔවුන්ගේ කමිටු වාර්තා නිගමනවල සඳහන් කර ඇත්තේ ඒ යෝජනා ගිවිසුම් අතිශයින් රටේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතු කරන බවයි. සෞභාග්‍යය දැක්මේ සඳහන් වන පරිදි පසුගිය වසර පහ තුළ ඇති කරගත් ද්විපාර්ශවීය සහ බහුපාර් ශ්වීය ගිවිසුම් නැවත සමාලෝචනය කරමින් රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකර සිටීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.
දෙවැනි කරුණ නම් සමාජයේ පහළ පැලැන්තියේ මිනිසුන්ගේ ආර්ථිකය කිසියම් ප්‍රමාණයකට නඟා සිටුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාවයි. එනම්, රට පුරා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව වඩා වැදගත් යැයි හැඟෙන පවුල්වල ලක්ෂයක් සේවකයන් බදවා ගැනීමේ යෝජනාව ඉතා වැදගත් වන්නේ කෝවිඩ් 19 අර්බුදයත් සමඟ රැකියා ලක්ෂයක් අහිමි වීමේ තත්ත්වයක් පවතින නිසාය. රැකියා ලක්ෂය නොව ලක්ෂ දෙකක් ලෙස යොදාගත්තද එය රටේ පහළ මාලයේ ජනතාවට ඉතා වැදගත් වෙයි. රූස්වෙල් හිටපු ඇමැරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ විශාල ආර්ථික අර්බුදකට අනතුරුව යෝජනා කළ ක්‍රියා මාර්ගයක් නම් සමාජයේ පහළ තීරුවට සහ බලය බෙදී යෑමට සලස්වා ඔවුන්ගේ ක්‍රියාකාරිත්ව බෙදාදීම මඟින් අර්ථීකය බල ගැන්වීමයි.
සමාජයේ පහළ ස්තරවලට සහයෝගය සහ ආධාර ලබාදීම මඟි ආර්ථිකය ශක්තිමත් කිරීම ට්‍රිකල් අප් යන නමින් හැඳින්වේ. ලක්ෂයක බහුකාර්යය සේවාව ලබාදීම, උපාධිධාරින් “පනස් දහසකට” රැකියා ලබාදීම මඟින් කෝවිඩ් 19 වැටුණු ආර්ථීකය ඉහළට දමා ගැනීමට යම් ඉඩප්රස්ථාවක් ඇතිබව මගේ විශ්වාසයයි.
එම නිසා ඉදිරි මාස තුන තුළ ඉතා පැහැදිලි ලෙස හුදු දීමනාවක් නොවන ලෙසත් රටේ ආර්ථිකයට ආධාරයක් වන ලෙස එය ක්‍රියාත්මක වේ නම් එය රාජ්‍ය අංශයට වැඩි නව පණක් දීම සදහා මෙන්ම පශ්චාත් කෝවිඩ් 19 පණ ගැන්වීමට ද විශාල පිටිවහලක් විය හැකිය. එමෙන්ම සෞභාග්‍යයේ දැක්ම තුළ දක්නට හැකි කරුණක් නම් ගම හුදු ජන්දයක් ලෙස නොසලකා ගමට තීන්දු ගැනීමේ බලයක් ලබාදීමය.
ඒ සඳහා උපාධිධාරීන්ගේ සහාය ලබා දීමට කටයුතු කළ හැකිනම් කෝවිඩ් 19න් වැටුණු ආර්ථිකය නැවත පුනරුත්ථාපනය කිරීමට හැකිවනවා පමණක් නොව උපාධිධාරීන් පනස් දාහ ඵලදායී ලෙස ආර්ථිකයට අවශෝෂණය කරගැනීමට හැකි බව මගේ විශ්වාසයයි. මෙය ඉතා විශාල අර්බුදයක් වන අතර ඒ අර්බුදය විසඳීම සඳහා උතුරුකරයේ සහයෝගිතා දේශපාලනය ශක්තිමත් කිරීමෙන් රජයට කෙටි සහ දිර්ඝකාලීන විසඳුම් සොයාගත හැකිය.