තවත් මහ මැතිවරණයක් හෙටින් ඇරඹෙන සතියේ බදාදාට යෙදී තිබේ. එම මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින හැම අපේක්ෂකයකුටම තම තමන්ගේ ජයග්‍රහණය ගැන ඇත්තේ උණුසුම් බලාපොරොත්තුවකි. එසේම ඔවුන් හැම දෙනෙකුම දිස්ත්‍රික් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තරග කරන බැවින් එම අපේක්ෂකයන්ට මුහුණ පෑමට සිදුවී ඇති බරපතළම තරගය ඇත්තේ තමන්ගේම පක්ෂයේ සහෝදර අපෙක්ෂකයන් සමඟ ය.
ඒ අනුව ඔවුන් හැම දෙනෙකුම බලාපොරොත්තු වන්නේ තමන්ගේම පක්ෂයේ සහෝදර අපේක්ෂකයාට වඩා ඉහළින් මනාප රැස් කරගෙන මැති සබයට තේරී පත්වීමය. තමන්ගේම පක්ෂයේ සහෝදර අපේක්ෂකයන් අබිබවා යෑම සඳහා ඔවුන් නොකරන දෙයක් නැති තරම්ය. එය වත්මන් මනාප ඡන්ද ක්රමයේ ඇති අනිටු ප්රතිඵලයකි. යමක් පිළිබඳ අපක්ෂපාතීව සහ විචාර බුද්ධියෙන් සිතීමට තරම් මනසක් ඇති අපේක්ෂකයකුට එහි තිබෙන වැරැද්ද ගැන යම් අවබෝධයක් තිබිය හැකිය. එසේ වුවද වත්මන් මනාප ඡන්ද ක්රමයේ ඇති වැරැද්ද නිසා ඔවුන්ට ද සිදුවී ඇත්තේ එම ජරාජීර්ණ ඡන්ද ක්රමයේ ස්වභාවයට අනුගත වීමටය. ඒ අනුව තමන්ගේම පක්ෂයේ සහෝදර අපේක්ෂකයන්ට එරෙහිව අපහාස, උපහාස කිරීමටත් යටින් අංචි ඇදීමටත් පට්ටපල් බොරුබේගල් දෙසා බාමින් චරිත ඝාතනය කිරීමටත් ඔවුන්ට සිදුවී තිබේ.
එවන් තත්ත්වයක් යටතේ ඔවුන් හැම දෙනෙකු විසින්ම පුන පුනා කියන්නේ තම පක්ෂයේ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ සිටින උගතා, බුද්ධිමතා, මානව හිතවාදියා සහ දිළිඳු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීමට තරම් හැකියාවක් ඇති ක්‍රියාශීලී අපේක්ෂකයා තමන් බවය. එමගින් ඔහු නිරතුරුව උත්සාහ කරන්නේ එකම පක්ෂ ලාංඡනයෙන් තරග කරන තම සහෝදර අපේක්ෂකයන් යටපත් කර තමන් පමණක් ඉස්මතු වීමටය. ඉහත කී තත්ත්වය පවතින්නේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අතර පමණක් නොවේ. ස්වාධීන කණ්ඩායම් ඇතුළු සියලුම දේශපාලන පක්ෂවලින් තරග කරන හැම අපේක්ෂකයකුගේම බලාපොරොත්තුව සහ ක්‍රියාකාරීත්වය ඊට සමානය.
සත්‍යය සහ යථාර්ථය යටපත් වී අසත්‍යය සහ මායාව ඉස්මතු වී ඇති වර්තමාන ඡන්ද සටනේ තීරකයා වන ඡන්ද දායකයා ද මෙහිදී දැඩි අපහසුතාවයකට පත්වන්නේ නිරායාසයෙනි. එසේ වන්නේ ඇත්ත කතා කරන්නේ කවුරුන්දැයි සිතා ගැනීමට පවා නොහැකිවය. එම කාර්යය කොතරම් අසීරු වුවද තමන්ගේ තීරණය නොවළහා ප්‍රකාශයට පත්කිරීම බුද්ධිමත් ඡන්ද දායකයන් සතු වගකීමකි. එහෙයින් ඡන්ද මධ්‍යස්ථානයේදී තමන් අතට ලැබෙන ඡන්ද පත්‍රිකාව පිරී යන ලෙස කතිරයක් ලකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමීමට ඔහුට නොපුළුවන. මන්ද එය තමන් සතු පුරවැසි අයිතියක් තමන් විසින්ම අවතක්සේරුවට ලක්කර ගැනීමක් වන බැවිනි. එහෙයින් කොපමණ අසීරු කාර්තව්‍යයක් වුවද ඔහු එම වගකීම ඉටුකළ යුතුය.
අද ඡන්දයට ඉදිරිපත්වී සිටින බොහෝමයක් අපේක්ෂකයන්ගේ සුලබ තර්කයක් වී ඇත්තේ උගතුන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවය. උගත්කමක්, බුද්ධියත් ඇති කිසිවකු හොරකමට හෝ අසාධාරණ ක්‍රියාවන්ට නොපෙලඹෙතැයි යන්න ඔවුන්ගේ තර්කයයි. එහෙත් මෙරටට නිදහස ලැබුණු දා සිට මේ දක්වා වූ කාලය තුළ නොයෙකුත් අසාධාරණකම් කරමින් මහජන මුදල් මිලියන හෝ බිලියන ගණනින් ගසා කා ඇත්තේ නූගතුන් හා අඥානයන් පමණක්මදැයි මඳක් සිතා බැලිය යුතුය. මෙහිදී අපට එකහෙළාම පෙනී යන පොදු සාධකයක් වන්නේ උගතුන් හා බුද්ධිමතුන් තමන්ගේ බුද්ධිය මෙහෙයවා මහජන මුදල් බිලියන ගණනින් යටිමඩි ගසා ඇති බවයි. කපටි ශූර බුද්ධියක් ඇති බොහෝ දෙනෙකුට තමන් විසින් සිදු කරන ලද හොරකම් සහ අක්‍රමිකතා බුද්ධිය මෙහෙයවා යටපත් කළ හැකිය. අනෙක් අතට උගතුන් වරදට නොපෙලඹෙන බවට සමාජයේ මුල් බැසගෙන ඇති මතයෙන් ද ඔවුන්ට යම් වාසියක් සැලසී තිබේ. එහෙයින් යම් පුද්ගලයෙකු උගතෙකු හෝ බුද්ධිමතකු වූ පමණින් ඔහුගේ අවංකකම ගැනත් ශුද්ධවන්තකම ගැනත් කිසිවෙකුට පූර්ව නිගමනයකට එළඹීමට නොහැකිය.
අනෙක් අතට කීර්තිමත් දේශපාලනඥයන් වැඩි පිරිසක් සිටින ප්‍රසිද්ධ පරම්පරාවක වුවද කිසිම වැදගැම්මකට නැති අපතයන් සිටිය හැකිය. තමන් මෙරට කීර්තිමත් දේශපාලනඥයකුගේ පරපුරෙන් පැවතෙන්නෙකු ලෙසට පාරම්බාන ඇතැමුන් බොහෝ විට සිදුකර තිබෙන අමනකම් දෙස බලන විට ඒ බව සිතාගත හැකිය. එසේම මීට වසර කීපයකට පෙර ඉතාම ක්‍රියාශීලී සහ ජනහිතකාමී දේශපාලනඥයකුට පවා වයසට යන විට විකාරරූපී ගති පැවතුම් ඇතිවීම ද බොහෝවිට සිදුවන්නකි. එවැනි දේශපාලනඥයෙකුගේ අතීත ක්‍රියාකාරකම් කොතරම් හරවත් සහ විශිෂ්ට තත්ත්වයක පැවතුණද ඔහුගේ වත්මන් ක්‍රියාකාරීත්වය දුර්වල නම් එවැන්නෙකුගෙන් වර්තමාන සමාජයට ඇති ඵලය කුමක්ද? මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක ඡන්ද විමසීමකදී ඡන්දදායකයන් කටයුතු කළ යුත්තේ අතිශය බුද්ධිගෝචර අයුරිනි. මන්ද එය රටේ අනාගතය තීන්දු කෙරෙන අතිශය තීරණාත්මක අවස්ථාවක් වන බැවිනි. එවැනි වැදගත් අවස්ථාවකදී ඡන්ද දායකයා තම තීන්දුව ප්‍රකාශ කළ යුත්තේ එක පැත්තක් පමණක් නොව සියලුම පැතිවල ස්වභාවය ගැන ද දැඩි ලෙස අවධානය යොමු කරවමිනි.
යමකු කී පලියට හෝ තමන්ගේ කනට ඇසුණු පලියට හෝ ඡන්දදායකයන් හදිසි තීරණවලට එළැඹීමද බුද්ධිගෝචර නොවේ. ඊට හේතුව වන්නේ ඡන්දදායකයන් තීරණාත්මක ඡන්ද විමසීමකදී වැඩිදුර නොසොයා නොබලා වැරදි තීන්දුවක් ගනු ලැබුවහොත් එමඟින් රටේ මතු බිහිවන පරපුර පවා අවදානමකට ලක්වීමට ඉඩ ඇති බැවිනි. ප්රජාතන්ත්රවාදී පාලනයක් ඇති රටක ඡන්දය යනු මහජනතාව සතු වැදගත්ම අයිතියකි. එහෙයින් එම අයිතිය ඉතා බුද්ධිමත්ව ක්‍රියාත්මක කළ යුතුය. අනෙක් අතට තමන් සතු එම වටිනාකම අයිතිය ක්‍රියාත්මක කිරීමට ඡන්දදායකයාට ඉඩ ලැබෙන්නේ ද වසර තුනකට, හතරකට හෝ පහකට එක් වතාවකි. එහෙයින් වසර ගණනාවකට පසු තමන්ට හිමිවන එම අයිතිය තවකෙකුට අපහරණය කිරීමට ද කිසිදු ඡන්ද දායකයකුට ඉඩක් තැබිය යුතු නොවේ.
ඒ අනුව අප හැම දෙනෙකු විසින්ම අපගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමේදී මුල් තැන දිය යුත්තේ මුදලට, බලයට හෝ ප්‍රසිද්ධියට නොව සැබෑ මිනිසුන් හටය. ඔවුන් සියලු දෙනාම වැඩ කරන ජනතාවගේ දාඩිය සුවඳ හඳුනන, මහ පොළොව මත දෙපයින් නැඟී සිටින හෝ නැඟී සිටීමට වෙරදරන ක්‍රියාශීලීන් විය යුතුය. එසේ නොමැතිව ධනයට, බලයට හෝ පෙනුමට වහල් වී නිදිමතයන් මැති සබයට යැවීමෙන් සිදුවන්නේ අප විසින් අපේම ජීවිත උකසට තැබීමය. නැතහොත් අප විසින්ම අපේ මිනී වළ කපා ගැනීමට සමාන සිද්ධියකි. එහෙයින් අප කුමන දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය ප්‍රකාශ කළ ද එය කළ යුතු වන්නේ ඒ ගැන දෙතුන්වරක් සිතා බැලීමෙන් පසුවය.