
මැතිවරණ කොමිසම මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක කරන බවක් කීවත් එහෙම දෙයක් පෙනෙන්ට නෑ නේද?
ඇත්තටම මැතිවරණ නීති රකින්න අපි බැඳී ඉන්නවා.මම මගේ නිලරථයේ මගේ මනාප අංකයවත් සදහන් කරල නෑ. මැතිවරණ කාර්යාල පවත්වා ගෙන යාමේදීත් මහජන හමු පැවැත්වීමේදීත් අපි මැතිවරණ කොමිෂම ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න උත්සාහ කරල තිබෙනවා. නමුත් අපිට මැතිවරණ කොමිසම ගැන විශාල කලකිරීමක් තිබෙනවා. මම චිත්‍රපට නිෂ්පාදකයෙක්, ගීත රචකයෙක් මෙන්ම කලකරුවකු ලෙස මගේ මැතිවරණයට කලින් ප්‍රචාරය කරන ලද ‘සිහිනයකි රෑ‘ වැඩ සටහන මුදල් ගෙවල ප්‍රචාරය කරන්නවත් මේ දක්වා අවසර දීල නෑ. ඒ තරමටම අපි පුද්ගලිකව බැටකමින් වුණත් මේ මැතිවරණ නීති රකින්න මම උත්සාහ කරනවා.
මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කීවත් ඒක කර ගන්න නොහැකි වීම නිසා ඔබේ පක්ෂය තුළත් බරපතළ විදියට මනාප පොරයක් තියෙනවා නේද?
අනේ ඒක ගැන නම් කියල වැඩක් නෑ. සංසාරේ එපා වෙනවා මේ මනාපයක් වෙනුවෙන් සමහර අය ක්‍රියා කරන හැටි දැක්කාම. මනාපයක් වෙනුවෙන් අපේම අය පවා ඡන්දදායකයාට කරන බලපෑම දැක්කාම මහ කලකීරිමක් ඇති වෙනවා. මේ ක්‍රමය දිගටම තිබුණොත් අපි වගේ අයට මැතිවරණවලින් ඉවත් වෙලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. මේ මනාප බලු පොරය නැති දිනේෂ් ගුණවර්ධන කමිටුව යෝජනා කර තිබෙන කොට්ඨාශ ක්රමයේ මැතිවරණ ක්‍රමයක් හදා ගන්න ඕන. ව්‍යවස්ථාව වෙනස් කරල හෝ ඒක කරන්නම ඕන.
තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නෙ ඔබලට
හිසරදයක් වෙලා තියෙන මැතිවරණ කොමිසම අහෝසි කරන්නත්, පාර්ලිමේන්තුවට තිබෙන බලය අඩු කරලා ජනාධිපති බලය වැඩි කරන්නත් වැනි කාරණා ඉටු කර ගන්නද?
ඔබ කියන විදියට 19 වන සංශෝධනයෙන් සම්මත වෙලා තියෙන්නෙ ඔය කාරණා විතරද? අගමැති ජනාධිපති අතර එකඟතාවක් ඇති කර ගන්න බැරිව යහපාලනය අවුල් වුණේ මේ 19වන සංශෝධනය නිසා නොවෙයිද?නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඕනැද? ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනගත කර තිබෙන සෞභාග්‍යය දැක්ම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ අලුතින් අණ පනත් හදලා ඒවා සම්මත කර ගන්නත් අපිට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා. විරුද්ධ පක්ෂ මොනවා කීවත් මේ රට හදන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණයි කියල දැන් ජනතාව තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ නිසා මෙවර ජනතාව අපේ අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දෙනවා කියල මට නම් විශ්වාසයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හදා ගන්න කවුරු වුණත් කමක් නෑ පත් කරලා එවන්න කියලද ඔබ කියන්නෙ?
ඔබ එහෙම ඇහුවට මම එහෙම දෙයක් කීවෙ නෑනේ. තුනෙන් දෙක සම්පුර්ණ කරන්න නිකන් ඔළුගෙඩි ටිකක් පත් කරල එවල ජනාධිපති අපේක්ෂා කරන දේ කර ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මෙවර පාර්ලිමේන්තුවට පත් කරන්න ඕනේ හොරකම වංචාව, දූෂණය නැති උදේ ඉදලා රෑ වෙනකම් වැඩ කරන්න පුළුවන් රටට ආදරය කරන පිරිසක් බව ජනතාව මතක තියා ගන්න ඕන. මගේ අත්දැකීම අනුව නම් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ සඳහා මෙවර පක්ෂ බේදයෙන් තොරව සූදානම්ව ඉන්නවා. කොළඹ පමණක් නොවෙයි රටපුරා මතුව තිබෙන තත්ත්වය අනුව පොහොට්ටුව අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන මැතිවරණ ඉතිහාසයේ අලුත් පෙරලියක් ඇති කරයි කියලයි මට හිතෙන්නෙ.
පක්ෂ දේශපාලන කුහකකම් මත කටයුතු කිරීමෙන් ජනතා මුදල් මෙන්ම සංවර්ධනය සඳහා යොදවා ගත හැකි විශාල කාලයක් විනාශ කරනවා. අලුුත් ආණ්ඩුවෙන් මේකට විසඳුමක් ලැබෙයිද?
ඔබ ඔය කියන කාරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂයන් අවබෝධ කරගෙන තමයි ඔවුන් යෝජනා කරන්නේ රටට හිතකර ජනවාදි ව්‍යවස්ථාවක් හදන්න ඕන කියල. ඒ හදන ව්‍යවස්ථාව දේශපාලනඥයන් හදන එකක් නොවෙන්න ඕන ව්‍යවස්ථාව හදන්න පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ගිහි පැවිදි උගත් බුද්ධිමතුන් පිරිසක් පත්වෙන්න ඕන. ඒ වගේම අධ්‍යාපනය කෘෂිකර්මය ආදී මෙරටේ ආර්ථිකයට වැදගත් හැම විෂයයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. විටින් විට බලයට පත්වෙන ආණ්ඩු වලට ඒවා වෙනස් කරන්න බැරි වෙන විදියට ඒ ජාතික ප්‍රතිපත්ති ස්ථාවර වෙන්න ඕන. ජනාධිපතිවරයා දැනටමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න තොරතුරු ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරල තිබෙනවා. මේ වැඩපිළිවෙල සක්‍රිය කර ගන්න තමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඉල්ලන්නෙ.
ඔබ මනාප පොරය පිළිබඳව සදහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ මනාප පොරයෙන් ඔබ හෙම්බත් වෙලාද?
අනේ මට එහෙම තත්ත්වයක් නෑ. මොකද මට මනාප වෙනුවෙන් පොර කන්න දෙයක් නෑ. මොකද මගේ උගත් කොළඹ දරුවෝ මීට වසර 31 ටපෙරදි තමයි තමන්ගේ දෙමාපියන් එක්ක එකතුවෙලා මම පාර්ලිමේන්තුවට යැව්වෙ. මම ඒ අයට ගෞරවයක් වෙන විදියට තමයි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් හැසිරිලා තිබෙන්නෙ. හොරකම, දූෂණය, වංචාවට සම්බන්ධ නොවී සත පහකවත් කොමිස් මුදල් ලබා නොගෙන මම විශාල මෙහෙවරක් කරලා තිබෙනවා. මම හැමදාම වැඩකරල තිබෙන්නෙ හෘදය සාක්ෂියට එකඟව අවංකව. කිසිවිටක කිසිවකුටත් කිසිකලෙක කළ නොහැකි දේවල් මම මේ කාලය ඇතුළත කරල තිබෙනවා.
මැතිවරණයකදී දේශපාලනඥයන් සුන්දර ජන ආකර්ෂණීය වචන මාලාවක් හදා ගන්නවා. ඔබත් ඔය කරන්නේ ඒකම නේද?
මම හැමදාම හැමතැනකදීම කරන දේවල් තමයි අදත් මේ ඔබ එක්ක කියන්නෙත්. මම කරල තියෙන දේ කියන්නේ. සමහර අය කියන්නේ කරන්න හිතාගෙන ඉන්න දේවල්. දකුණු ආසියාවෙ විශාලතම ද්විතීයික පාසැල මෙකතක් කල් නොතිබුණ තාක්ෂණික විෂයධාරාව හඳුන්වා දීම, මහින්දෝදය තාක්ෂණ පීඨ දාහක් රටපුරා ඇති කිරීම, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 260 ක් ඇති කිරිම, රට පුරා ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් ඇති කිරිම, විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත තාක්ෂණ පීඨ ඇති කිරිම, හරිත සරසවිය බිහි කිරීම, නැනෝ තාක්ෂණික ආයතනය පිහිටුවීම, පෙළ පොත් ගබඩා සංකීර්ණයක් ඇති කිරීම, දත්ත ගබඩාවක් ආරම්භ කිරීම වැනි මෙතෙක් වෙනත් කිසිවකුත් කර නැති දේවල් මම කරල තියෙනවා. ඒ නිසා සුරංගනා කතා කියල මට ජනතාව ගෙන් මනාප ඉල්ලන්න ඕනෙ නෑ.
ඔබ පාර්ලිමේන්තුවට පත්කර යවන්න සහය දෙන්නේ හෝමාගම ජනතාව වුණත් ඔබට ලැබෙන ඇමතිකම්වල බලය යොදාගෙන සියල්ල හෝමාගමට කේන්ද්‍ර ගත කිරීම සාධාරණයි කියල හිතනවද?
නෑ, ඇමති බලතල පාවිච්චි කරලා හැම දෙයක්ම හෝමාගමට විතරක් දෙනවා නම් ඒක සාධාරණ නෑ .මම මුලින් කිව්ව වැඩ ලැයිස්තුව අනුව මම දිවයින පුරා ජනතාව ගේ යහපත වෙනුවෙන් අලුත් දේවල් බොහෝමයක් කරල තිබෙන බව නැවත නැවත පැහැදිලි කරන්න දෙයක් නෑ. මම කරන්නේ අලුත් ව්‍යාපෘතියක් හදලා අත්හදා බලන්නේ හෝමාගම තමයි. ඒ අත්දැකීම් අනුව ඊටත් වඩා හොඳට ඒ දේම වෙනත් ප්‍රදේශ වලට ලබා දෙනවා. පළමු ද්විතීයික පාසැල මම හෝමාගම හදලා දෙවැන්න මාතර හැදුවා. තෙවැන්න ත්‍රිකුණාමලයේ හදන්න ඉඩම් පරික්ෂාවත් කරලයි තිබ්බෙ. මේ විදියට දිස්ත්‍රික්ක 22කට ද්විතීයික පාසැල් විසි දෙකක් හදන්න මම සැලසුම් සකස් කරලයිි තිබුණේ. අනෙක් ව්‍යාපෘතිත් එහෙමයි. මම පළමු ආර්ථික මධ්‍යස්ථානය හැදුවෙ මීගොඩ. නමුත් දෙවැන්න හැදුවෙ තඹුත්තේගම. ඒ නිසා කාටවත් කියන්න බෑ මම සියල්ල හෝමාගමට විතරක් කරනවා කියල.
ඔබ සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් වුවත් උගතෙක් වගේම බුද්ධිමතෙක්. එසේ තිබියදී ඔබේම කණ්ඩායමේ තව පිරිසක් උගත් බුද්ධිමත් කියල එකම කණ්ඩායම ඇතුළත බෙදීමක් ඇති කරල තිබෙනවා කියන චෝදනාව ඇත්තක්ද?
නෑ, එහෙම බෙදීමක් නෑ. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ 2015 සිට 2019 දක්වාම සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය හදන්න රට පුරා ගිහිල්ල තොරතුරු එකතු කරපු විවිධ විෂයන්ගේ ප්‍රවීණයන් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් කොටසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරල තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ අය විතරක් උගතුන් බුද්ධිමතුන් කියල. ඒ වාගේම ඒ හැම දෙනාටම ඇමතිකම් දෙනවා කියලත් නෑ. උගත් වූ පමණින් ඇමතිකම් දරන්න බෑ; ඒ සඳහා පළපුරුද්දක් තිබෙන්නත් ඕන.
ඔබ කියන්නේ අලුත් අයට ඇමතිකම් අකැපයි කියලද?
නෑ, මම එහෙම කියන්නේ නෑ. මට එහෙම කියන්නත් බෑ. නමුත් අපි අවධානය යොමු කළ යුතු කාරණාවක් තියෙනවා. 2015 මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වුණාට පස්සේ එතුමට එළව එළවා පහර දෙන විට එතුමා තනි නොකර එතුමා ළඟින් හිදිමින් නැවත ඔහු ශක්තිමත් කර ඉදිරියට ගෙනෙන්න මහන්සි වූ 58 දෙනෙක් ඉන්නවා. මේ අයත් අනෙක් අය වගේ යහපාලන ආණ්ඩුවට එකතු වුණා නම් අද අපිට ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරවන්න ලැබෙන්නෙ නෑ. මෙකද එහෙම වුණා නම් ව්‍යවස්ථාව වෙනස් කරල රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගාලම දානවා.
ඒ නිසා ආණ්ඩුවක් පිහිට වූ වහාම අනෙක් අයට සලකන්න පෙර මේ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පක්ෂ නායකයන් ඇතුළු 58 දෙනා ගැන විශේෂිත වූ සාධාරණයක් ඉෂ්ඨ කරන්නම ඕන. සම්පන්දන්ලා, අනුර කුමාරලා එක්ක මේ අයත් එදා එකතු වුණා නම් ඔක්කොම ඉවරයි. එහෙම නොවුණේ මේ 58 දෙනා එදත් මහින්ද රාජපක්ෂ තනි නොකර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අසාධාරණයට එරෙහිව සටන් වැදුණ නිසා බව අපි අමතක කරන්න හොඳ නෑ. රට නැවත හරි මඟට ගෙනාපු වීරයෝ විදියට මෙි 58 දෙනා ගැන ශ්‍රී ලංකාවෙ දේශපාලන වංශ කතාවෙ ලියවෙිවී.
ඒ පනස් අට දෙනා අතර සිටින ඔබට මේ මැතිවරණයේ දී ජය ගන්න පුළුවන් කියල ඔබ හිතනවාද?
අනිවාර්යයෙන්ම මම ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නොවෙයි අපි කොළඹ දිස්ත්‍රික්කය මෙවර පොහොට්ටුව ජය ගන්නවා. එජාපය දෙකඩ වෙලා. ඔවුන් ජනතාවට බොරු කියමින් බලය වෙනුවෙන් සටන් කරනවා. මේ බොරුව ප්‍රෝඩාව කොළඹට විකුණා ගන්න අමාරුයි. කොළඹ ඇවිල්ලා ජනතාවට විසිදහක් තිස්දහක් දෙනවා කියල සජිත් කියන කොටම කොළඹ ජනතව දන්නවා මෙයා දේශපාලන කපටියෙක් කියල. ඡන්දය ගන්න ඕනෑම බොරුවක් ඇත්ත විදියට කියන දේශපාලන කවටයෙක් විදියට තමයි ඔහු. ජනතාව දකින්නේ අනෙක් පැත්තේ මහ බැංකුව මහ දවල් මං කොල්ල කාපු කණ්ඩායමක් ඉන්නෙ. මේ නිසා මැද ඉන්න අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රටට හදන වැඩ පිළිවෙලට සහය දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ අනුව ආසන දොළහක් පමණ මෙවර පොහොට්ටුවට හිමි වෙන්න තිබෙන අවස්ථා වැඩියි.
මහින්ද රාජපක්ෂයන් 2015 ජනාධිපතිවරණයේදී පරාජය කීරිම තමන් අතින් වූ විශාල වරදක් ලෙස තේරුම් ගත් ජනතාව 2018 දී හා 2019 දී ඒවරද නිවැරදි කර ගෙන තිබෙනවා. ඒ ජනතාව 2020 දිත් ඒ ආකාරයටම කටයුතු කරයි කියල ඔබ හිතනවාද?
ඇත්තටම 2015 දී වරද්දා ගෙන යහපාලන ආණ්ඩුව නිසා ලැබු අමිහිරි අත්දැකීම් ජනතාවට අමතක වෙන්නෙ නෑ. ඒ නිසා මෙවර 2019ටත් වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් පොහොට්ටුවට ලබා දෙන බව මට නම් විශ්වාසයි.