
ව්‍යාපාරිකයකු වශයෙන් ප්‍රසිද්ධ ඔබ දේශපාලනයට පිවිසෙන්නේ ඇයි?
මම දේශපාලනයට පැමිණෙන්නේ අද ඊයේ නොවෙයි. රටේ ජනතාවට කොළඹ පුරවරයට ඉතා නිහඬ සේවයක් සිදු කරමින් සිටියා. විශේෂයෙන් ම කොළොන්නාව ජනතාවට ඔවුන්ගේ ආර්ථික ශක්තිය සමාජ මෙන්ම දේශපාලන ගමන් මඟ වෙනුවෙන් ක්‍රියා කර තිබෙනවා.
තරුණ කාලයේ සිට වමේ දේශපාලනය තමයි අපගේ අරමුණ වෙලා තිබුණේ. වාමාංශික දේශපාලනය තවත් අප තුළ ක්‍රියාත්මකයි. 2014 වසරේදී මහින්ද රාජපක්ෂයන්ට සහය ලබා දෙමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරග කරනවා. ඡන්ද සුළු සංඛ්‍යාවක් මදි වුණු නිසා මට පළාත් සභාවට යෑමට නොහැකි වුණා. එහෙත් මම ක්‍රියාකාරි දේශපාලනයේ අදටත් සිටිනවා.
මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු මැදමුලනට ගොස් දේශපාලනයෙන් සමුගන්න හදනවා. එහෙත් අපි කණ්ඩායමක් එහි ගොස් මහින්ද රාජපක්ෂයන්ට නැවත මේ රට බාර ගන්න කියන අභියෝගය බාර දෙනවා. අද එය සාර්ථක වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂයන් මේ රටේ ජනතාවට අවශ්‍යම නායකයෙක් බව ඔහු අද ඔප්පු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂයන්ගේ නැවත පැමිණීමේ ක්‍රියාදාමයට මා ඍජුව සම්බන්ධ වූ කෙනකු හැටියට අද ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
බැසිල් රාජපක්ෂයන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේ ඒ සඳහා පූර්ණ දායකත්වයක් ලබා දීමට මා කටයුතු කළා. එලෙසම ගෝඨාභය රාජපක්ෂයන් දේශපාලනයට පැමිණ මේ රට බාර ගන්නා ක්‍රියාවලිය දක්වාම මා මට හැකි සෑම අයුරකින්ම සහය ලබා දුන්නා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළොන්නාව ආසනය තුළ ස්ථාපිත කරමින් ජනතා සේවය සිදු කරනවා. මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඉල්ලීමට අනුවයි.
බොහෝ දේශපාලනඥයන්ට ජනතාව ඍජුව චෝදනා කර සිටියා. කොරෝනා උවදුර හමුවේ ජනතා නියෝජිතයන් සේවය නොකළ බව. ඔබටත් මේ
චෝදනාව එල්ල වනවාද?
ඇත්තට ම අපිට ජනතාවගෙන් එවැනි චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. පාට පක්ෂ ආගම් භේද මේ කිසිවක් නොමැතිව අපි කොරෝනා උවදුර හමුවේ ජනතාව සමඟ සිටියා.
විශේෂයෙන්ම කොළොන්නාව ආසනයේ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ නොයෙක් සහන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා. ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සොයා බැලුවා. සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඇඳිරි නීතිය පනවමින් තිබූ අවස්ථාවල ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සොයා බැලුවා. හැකි සෑම අයුරින්ම ඔවුන් වෙනුවෙන් කටයුතු කළා. මා ඒ සඳහන් කළේ පෞද්ගලිකව මා සිදු කළ ක්‍රියා පමණයි.
එහෙත් රටක් හැටියට දේශපාලන පක්ෂයක් හැටියට වර්තමාන අපගේ රජය ලෝකය හමුවේ අප ජයග්රාහි රටක් බව පෙන්නුම් කළා.
ලෝකයේ රටවල ජනතාව වීදි දිගේ මාර්ගවල ඇද වැටෙන කොට ලක්ෂ ගණනින් ජනතාව මිය යන මොහොතක කොරෝනා වයිරසයට එරෙහිව අපි ජයග්‍රහණ රැසක්ම ලබා ගෙන තිබෙනවා.
රටේ ජනතාවට මරණ බියෙන් තොරව අද ජීවත් වෙන්න හැකිවෙලා තිබෙනවා. ලෝකයේ ප්‍රබල යැයි කියා ගන්නා රටවල් අන්ත අසරණ වෙලා තිබෙන මොහොතක ශ්‍රී ලංකාව ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට වර්තමාන රජය මෙන්ම දේශපාලන නායකත්වයට හැකිවෙලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය අංශ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික වැසියන් මේ වෙනුවෙන් බොහෝ කැප කිරීම් සිදු කළා. අප දේශපාලනඥයන් වශයෙන් මේ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.
ඔබ මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමේ බලාපොරොත්තු මොනවාද?
ඇත්තටම මට මගේ කියලා කිසිම බලාපොරොත්තුවක් නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික අරමුණු කිසිවක්ම නෑ කියන එක මා අවංකවම ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ රටේ ජනතාවට සේවයක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයකු හැටියට මගේ ජීවිතේ ලත් අත්දැකීම් මෙන්ම රටවල් කිහිපයකදීම මා ලද අත්දැකීම් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කරමින් මේ රටේ ජනතාවගේ ආර්ථික, සමාජීය, දේශපාලන ස්ථාවරභාවය මෙන්ම නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනැඟීමේ ක්‍රියාවලියට පූර්ණ දායකත්වය ලබාදීමට මා කටයුතු කරනවා. ඒ සඳහා මට ශක්තිය ඇති බව මා හොඳින්ම දන්නවා.
කොළඹ කොළොන්නාව කියලා කිව්වම කුඩු පුරවරයක් ලෙස ජනතාව අතර මතයක් තිබෙනවා. මේක ඇත්තක්ද?
ඇයි නතර කරන්න බැරි?
ඇත්තටම ඒ පිළිබඳව විමසීම ගැන මා ඔබට ස්තුතිවන්ත වෙනවා. කොළොන්නාවේ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ බින්න බැහැපු එකක්. නමුත් මේ උවදුර නැති කරලා තරුණ තරුණියන් එයින් මුදා ගැනිමේ කාලය දැන් පැමිණිලා තිබෙනවා කියන එක මම නොබියව ප්‍රකාශ කරනවා.
කොළොන්නාවේ පවුල් අතර සියයට අටක ආසන්න පිරිසක් මත්කුඩුවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ පිළිබඳව දත්ත අප සතුයි. මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්.
මේ නිසා මෙම ආසනයේ ජනතාවගේ පවුල් සංස්කෘතිය, ආර්ථිකය, සමාජීය වශයෙන් දැවැන්ත පසුබෑමක් තිබෙනවා. ඔවුන් මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මා උත්සාහ කර තිබෙනවා. ඒ සඳහා දේශපාලනික වශයෙන් මට ලොකු ශක්තියක් තිබුණේ නැහැ. නමුත් ඉදිරියේදි මේ තත්ත්වය අපි වෙනස් කරනවා.
දැනටමත් රටපුරා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අපගේ රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. රුපියල් කෝටි ගණන් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ ගණනින් අත්අඩංගුවට ගන්නවා. පාතාල යැයි කියා ගන්නා සාමාජිකයින් සිය ගණනින් අත්අඩංගුවට ගන්නවා. මේනිසා ඉතා ඉක්මණින් මත් උවදුරෙන් මෙරට ජනතාව මුදා ගැනීමට අප රජයට හැකියාව තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙමින් තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාව කටයුතු කරන බව අපිට විශ්වාසයි.