
දේශපාලනයට ඔබ පැමිණෙන්නේ කුමන අරමුණක් සඳහා ද?
අපගේ ඉතිහාසය ගතහොත් අපි මේ රටට වැඩ කළ පිරිසක්. මා හිතන්නේ නුවර ජනතාවට මෙන් ම මුළු මහත් ශ්‍රී ලංකාවටම වැඩ කළ හැකි පිරිසක් තමයි මෙවර පොදුජන පෙරමුණ විසින් මහමැතිවරණයට ඉදිරිපත් කරන්නේ.
තරුණ දක්ෂ නායකයන් වගේ ම පරිණත උගත් බුද්ධිමත් මෙන් ම මේ රටට ආදරය කරන පිරිසක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව මේ රට ගොඩනැගීමේ කාර්යයට එකතු වන්නේ කියන එක අපි පැහැදිලිවම කියනවා. මහනුවර කියන්නේ ඓතිහාසික වටිනාකමක් ඇති මේ රටේ හදවත වගේ නගරයක්. මේ නගරය ඉතා හොඳ වටිනාකමක් සහිත පිරිපුන් නගරයක් කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ.
නිදහසින් පසු බලයට පත් වූ විවිධ රජයන් යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් ඒවායින් ජනතාවට ලැබුණු ප්රතිලාභ පිළිබඳව විවිධ ගැටලු තිබෙනවා. විශේෂයෙන් ම භූ විෂමතාව අතින් සුවිශේෂී පිහිටීමක පවතින ඓතිහාසික වටිනාකමක් ඇති කන්ද උඩරට ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට අපිට නව සැලසුමක් තිබෙනවා. ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් මහනුවරට අවශ්‍යම අවස්ථාවකයි අපි මෙලෙස ඉදිරිපත්ව සිටින්නේ.
මහ මැතිවරණයෙන් ජනතාව ඔබලාට ලබාදෙන
ජයග්රහණයෙන් රජයක් පිහිටුවීමට හැකිවේද?
අපි මහින්ද චින්තනය යටතේ මේ රටට විශාල සේවයක් කළා. ඉන් පසුව ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් විසඳුම් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ රටට ආදරය කරන මේ රට ආරක්ෂා කරන්න කැමැති බහුතරයක් ජනතාව ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂයන්ට විශිෂ්ට ජයක් ලබා දුන්නා. එම ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයේදී විජයග්රහණයක් කිරීමට ජනතා සහය ලැබෙනවා කියන එක අපට ස්ථිරවම කියන්න පුළුවන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ නැවත වරක් අගමැති මහින්ද රාජපක්ෂයන් මේ රටේ අනාගතය වෙනුවෙන් වගකීම බාර ගන්න බව අද ජනතාව තේරුම් ගෙන තිබෙනවා. මේ දෙදෙනාගේ සුසංයෝගය අප රට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කරනවා කියන මතය අද ගම් නියම්ගම්වල ජනතාව අතර පවතින විශ්වාසයක්. ඒ නිසා ජනතාව අපට තුනෙන් දෙකක බලයක් ලබාදෙන බව අපිට විශ්වාසයි.
ඔබ එසේ කීවත් සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජයක් ඔවුන් බිහි කරන බවයි. මේ ගැන ඔබගේ අදහස?
ඒක හීනයක් කියන එක තමයි කියන්නට තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ නායකයන් බිහි කළ ප්‍රබල දේශපාලන පක්ෂයක්. අද එම දේශපාලන පක්ෂය කුඩු පට්ටම් වෙලා ගිහින් තිබෙනවා. තමන්ගේ පියා ජනාධිපති ලෙස පත් කළ පක්ෂය රැකගන්න බැරි සජිත් ප්‍රේමදාස මහතාට මේ රට රකින්න පුළුවන්ද කියලා අපි අහන්න කැමැතියි.
සමගි ජන බලවේගය කියන්නේ මේ රට විනාශ කිරීමට එකතු වෙච්ච කණ්ඩායමක් කියලයි මගේ හැඟීම. රටට බොහෝ විනාශකාරී ප්‍රතිපත්ති ඇති පිරිසක් තමයි එහි සිටින්නේ. විශේෂයෙන් ම මේ රට විදේශිකයන්ට විකුණන කණ්ඩායමක්. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වූ මේ පිරිස අද ගැටුම් රාශියකට මුහුණදෙමින් දැඩි අර්බුදයකට පත්වෙලා තිබෙනවා. සමගි ජන බලවේගය ලෙස ඔවුන් පෙනී සිටියාට ඔවුන් අතරවත් සමගියක් නැති බව තමයි ඔවුන්ගේ ක්‍රියා කලාපයන් මගින් පෙන්නුම් කරන්නේ.
සමගි ජන බලවේගය තුළ නායකත්වයට පොරකන අයුරු දැන් සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට පුළුවන්.
එක්සත් ජාතික පක්ෂයට මෙන් ම සමගි ජන බලවේගය සමඟ සම්බන්ධව සිටි දස දහස් ගණනින් පාක්ෂිකයන් අද අපිට එකතු වෙලා තිබෙනවා.
හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් පාතාලය මර්දනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරාගෙන යන ගමනට අද ජනතාව එකතුවෙලා තිබෙනවා.
පක්ෂ, පාට, ආගම් භේද මේ සියල්ල අමතක කරලා මේ රට සංවර්ධනය කරා යන අයුරු ජනතාවට දැක බලා ගැනීමට හැකි වෙලා තිබෙනවා. ගැමි සුවඳ හඳුනන දේශයට ආදරය කරන මේ දේශය රකින්න පුළුවන් ජනතා නායකයකු අද වැලඳ ගැනීමට රට වැසියාට හැකිවෙලා තිබෙනවා. ඉදිරියේදී අප රජය ගෙන එන දැවැන්ත සංවර්ධන වැඩසටහනෙන් ජනතාවට ලැබෙන සහන ලබාදීමට අපට හැකියාව තිබෙනවා.
මහින්ද චින්තනය මගින් මහනුවර ජනතාවට ලැබුණු ප්රතිලාභ පිළිබඳව කිව හැකිද?
මහින්ද චින්තන කඩිනම් මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ යටතේ එදා මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල පැවැති අධික රථවාහන තදබදයට විසඳුම් ලබාදුන්නා. මහනුවර දුම්රියපොළ ප්‍රදේශයන්, මධ්‍යම වෙළෙඳපොළ ප්‍රදේශයත් යා කරමින් පදික උමං මාර්ගයක් ඉදි කළා. මේ සඳහා රුපියල් ලක්ෂ 600 ක මුදලක් වැය කළා.
මේ එක සංවර්ධන ව්‍යාපෘතියක් විතරයි. මේ ආකාරයට මහනුවර මෙන් ම අවට මාර්ග පද්ධති වැඩි දියුණු කළා. අලුත් මාර්ග පද්ධති ඇති කළා; ගොඩනැගිලි ඉදි කළා. මේ ආකාරයට සංවර්ධන ව්‍යාපෘති රැසක් ම ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය මෙන් ම සමගි ජන බලවේගය වර්තමාන රජයට නොයෙක් චෝදනා එල්ල කරනවා. මේවාට ඔබ ලබාදෙන පිළිතුරු?
මුළුමහත් ලෝකයටම ව්‍යසනයක් වූ කොරෝනා උවදුරට අපි ඉතා හොඳින් මුහුණ දුන්නා කියන එක අද මුළු ලෝකය පිළිගන්නා කරුණක්. ලෝකයේ ප්‍රබල රටවල් අන්ත අසරණ තත්ත්වයකට පත්වෙද්දී ශ්‍රී ලංකාව රටක් හැටියට මේ සඳහා මුහුණ දුන් ආකාරය පිළිබඳව අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ වෙත හදවතින්ම ස්තුති වන්ත වෙනවා.
ලෝකයේ රටවල ලක්ෂ ගණනින් ජනතාව තැන තැන මැරිලා වැටෙන කොට ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් උද්ගත වූයේ නැහැ. අද මේ රට තුළ ජනතාව කොරෝනා බියකින් තොරව ජීවත් වෙනවා.
විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නොයෙක් අභූත චෝදනා එල්ල කළත් ඒවා කිසිදු බාධාවක් වූයේ නැහැ අපේ කොරෝනා මර්දන කටයුතුවලට. දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව මෙය ජයග්‍රහණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කර යුතු තත්ත්වයක් තිබුණත් බංකොළොත් වූ දේශපාලන නායකයන් හැරෙන්නට රටේ සමස්ත ජනයා මේ කාර්ය ජය ගැනීමට එක්වූවා. එහි නායකත්වය ජනපති හා අගමැති බව රටේම ජනතාව දන්නවා. ඒ අනුව අපිට මෙවර ලොකු ජයක් ලැබීම ස්ථිරයි.