
ඔබේ පියා මෙරට ජනාධිපතිධුරයට පත්වීම පිළිබඳව ඔබට දැන් හිතෙන්නේ මොනවාද?
අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසයට ඔහු ඔප්පු කළා දුෂ්කරම තැනින් ආරම්භ කරලා ඉහළම තැනට යන්නේ කොහොමද කියන එක. ඔහු නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ආරම්භ කරපු ගමන ඉතාම අධිෂ්ඨානශීලීව ජනාධිපති දක්වා ආවා. ඔහු බාර ගත්තේ දෙකොන දැල්වෙන විලක්කුවක් වගේ රටක්. එහෙම රටක් බාර අරගෙන ඔහු දුගී දුප්පත්කම තුරන් කරන්න විශාල වැඩ කොටසක් කළා. ජනසවිය, ගම් උදාව, ඇඟලුම් කම්හල්, නිල ඇඳුම්, ජනපති ජංගම සේවය වගේ විශාල වැඩ කොටසක් කළා. හිසට සෙවණක් නැති ජනතාව වෙනුවෙන් අප්‍රමාණ වැඩ කොටසක් කළා. ඔහු ආරම්භ කළේ ඉන්දියන් හමුදාව ආපහු යවලා. ඒ විතරක් නෙවේ, මේ රටේ සාග් ක්‍රීඩා උලෙළ පවත්වලා කීර්තිමත් ජයග්‍රහණ රටට ගේන්න එතුමා උපකාර කළා. මම හිතනවා අමාරුම වෙලාවක ඔහු ජනාධිපති වෙලා රටට විශාල මෙහෙවරක් කළා කියලා .
ඔබේ පියා ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් දැනටත් මෙරටට ගැළපෙනවා කියල ඔබ හිතනවාද?.
ඕනම දෙයක් කාලය එක්ක වෙනස් වෙනවා. මේක ගතික සමාජයක්. ඩී. එස් සේනානායක මහත්මයා ගොවි ජනපද ආරම්භ කළා.එදා ආරම්භ කළ ගොවි ජනපදවල ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. ඒ වගේම තමා ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ බොහෝ දේ අදටත් ගැළපෙනවා. අදත් අපේ රට විශාල විදේශ විනිමයක් උපයන්නේ ඇඟලුම් කම්හල් නිසා. එදා ඒ ක්‍රමය හඳුන්වා දෙන කොට ප්‍රතිවාදින් මඩ ගැහුවා. හැබැයි එතුමා අනාගතය වෙනුවෙන් වැඩ කළා. අදත් මේ රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අංශයක් වෙලා තිබෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියා නම් කියලා අදත් කියන මිනිස්සු ඉන්නවා. ඒ ඔහුගේ ජනතාවාදී වැඩපිළිවෙළ නිසා.
පවුල් දේශපාලනය ගැන ඔබට තිබෙන්නෙ මොන වාගේ හැඟිමක්ද?
හැකියාව දක්ෂතාව එක්ක ඕනම කෙනෙක්ට ඉදිරියට එන්න පුළුවන්. නමුත් පවුල් බලය, නිල බලය එක්ක එකම පවුලක බුරුතු පිටින් දේශපාලනයට එන එක ඉතාම අහිතකරයි. මොකද රටක් කියන්නේ පවුලක බූදලයක් නොවේ. ස්වභාවිකව නායකයන්ට ගොඩනැගෙන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුමයි.
තමන් කටයුතු කරන දේශපාලන පක්ෂයේ නායකත්වයට බලපෑම් කිරිම, අභියෝග කිරීම කොයිතරම් සදාචාරත්මකද?
ප්රජාතන්ත්රවාදය කියන්නේ මත එකට ගැටෙමින් නිවැරදි මත සමඟ ඉදිරියට යන එකට. ඒක බලපෑමක් වෙන්නේ කොහොමද
රනිල් වික්රමසිංහයන්ට ඔබ කළ දේ ඔබටත් කවදා හෝ අත්විඳින්න වුණොත්?
එතුමාට මම මොනවද කළේ. ඔබ අදහස් කරන්නේ එක්තරා අවස්ථාවක අගමැතිකම බාර ගන්න කියලා හිටපු ජනාධිපතිතුමා හැට වතාවකට වඩා මගෙන් ඉල්ලීමක් කරද්දීත් එය භාර නොගෙන සිටීම වගේ දෙයක් නම් මට කියන්න තියෙන්නේ ඒ අත්දැකීම මට විඳින්න ලැබෙනවා නම් හොඳයි කියලා. නායකත්වයට ගරු කිරීම, කවදත් මම කළා. දුක්විඳින පාක්ෂිකයන් වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් අරගල කරන එකත් හැමදාම මම කළා. මට අංක එක වෙන්නේ ජනතාව.
ඔබ පක්ෂ නායකත්වයට කෑදරකමින් දිගු කලක සිට කටයුතු කල බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන මොනවද කියන්නෙ?
දේශපාලන ඉතිහාසය දන්න කෙනෙක් ඔය කතාව කියන්නේ නෑ. මම මට ලැබුණු අවස්ථා නිර්ලෝභීව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. මම කිසිම වෙලාවක පටු වුවමනාව වෙනුවෙන් පක්ෂය තුළ හෝ පක්ෂ නායකයා සමඟ අරගල කරලා නෑ. සමගි ජන බලවේගය පවා පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහයන්ගේ පූර්ණ ආශීර්වාදයෙන්. අනෙක 2010,2015 කියන දෙපාරම පොදු අපේක්ෂකයෝ ගේනකොටත් නියෝජ්‍ය නායකයා විදිහට මම ඊට එරෙහිව කැරලි ගැහුවේ නෑ. ඒ නිසා මම ගැන හිතලා මම ආත්මාර්ථකාමී තීන්දු අරගෙන නෑ. එතරම් පටු දේශපාලනයක් මට නැහැ. තනතුරු , තාන්නමාන්න තාවකාලිකයි. අපි කවුරුත් ජනතා පරමාධිපත්‍යය ඉදිරියේ නම්‍යශීලී විය යුතුයි.
සමගි ජන බලවේගය පිහිටුවීම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගත් තීරණයක් කියල ඔබලා කීවත් එජාප නායකත්වය එය ප්‍රතික්ෂේප කරනවා නේද?.
එහෙම කියන අයගේ විහිළු වලට උත්තර දීලා පලක් නෑ. එක්කෝ එහෙම කියන කෙනෙක් ඉන්නවා නම් ඔවුන් වහාම මොළය පරික්ෂා කළ යුතුයි. එජාප කෘත්‍යාධිකාරිය ඒකමතිකව ගත් තීන්දුව බොරුවක් වෙන්නේ කොහොමද? ඔවුන් මාධ්‍යට එවූ ලිපිය බොරුද? මේ බොරු කරන්නේ. මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා කරන්න ලැජ්ජාවක් නැද්ද?
එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නොහැකි වන ආකාරයට ඔබලා අධිකරණයෙන් ඉල්ලා තිබු වාරණ නියෝගය නොලැබීම ගැන මොනවද හිතන්නෙ?.
ඒක එයාලට සහ පොහොට්ටුවට තාවකාලික සතුටකට හොඳයි. හැබැයි සත්‍ය ජයගන්න බව මතක තියාගන්න. තවම නඩුව ඉවර නෑ. අනික ඔය සියල්ල පස් වෙනිදා ජනතා අධිකරණය ඉදිරියේ විභාග වෙනවනේ. අපි ඉවසමු.
එජාපය කියන්නේ සමගි ජනබලවේගයේ ඉන්නේ චෝදනා වලට ලක්වූ පිරිස් කියලා?
මම එහෙම චෝදනාවක් අහලා නෑ. හැබැයි එහෙම චෝදනා කරන කවුරුහරි ඉන්නවා නම් කරුණාකරලා අපේ ලයිස්තුව බලන්න කියල මම කියනවා. පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු 80ක් අපි එක්ක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට මම , පක්ෂ සභාපතිතුමා, භාණ්ඩාගාරික, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු දෙදෙනාම, උප සභාපතිතුමා, පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකතුමා, නියෝජ්‍ය සංවිධායකතුමා, ජාතික යොවුන් පෙරමුණේ සභාපතිතුමා, මානව හිමිකම් ලේකම්තුමා, ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, පක්ෂයේ උපදේශකවරුන් තිදෙනාම, ආසන සංවිධායකරු 136 න් 92 ක්, දිස්ත්‍රික් සංවිධායකවරුන් 06 දෙනෙකු ඉන්නවා.
මහාචාර්යවරු, ගුරුවරු වෘත්තියවේදීන්, පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් ඉන්නවා.ඒ නිසා ඔය චෝදනා කරන අයට කියනවා ඇස් ඇරලා බලන්න කියලා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවතාව හා ජාතික රූපවාහිනීයෙන් ඔබේ ප්‍රතිරූපය නංවා ගන්න රජයේ මුදල් යෙදවීම හා රූපවාහිනියට ණය වී ඒ මුදල් ගෙවීම පැහැර ඇති බවට එල්ලවන චෝදනා ගැන මොනවද කියන්නෙ?
මඩ වලට උත්තර දෙන්න වුවමනායි කියලා මම හිතන්නේ නෑ. මට මගේ ප්‍රතිරූපය බලහත්කාරයෙන් නංවන්න වුවමනා නෑ; ඒක ජනතාව තීන්දු කරයි. හැබැයි ඔය චෝදනා කරන සමහරු තමයි මේ රටේ ඓතිහාසික උරුමය ඩෝසර් කරන්නේ. එහෙම අපරාධ කරනවා මදිවට ඒවා සාමාන්‍යකරණය කරන්නත් ඒ අයට ලජ්ජාවක් නෑ.
ඔබත් නියෝජනය කළ යහපාලන රජයට අඩු ආදායම් ලබන පවුල්වලට රුපියල් 5000/= වත් දෙන්න නොහැකි වු පසු බිමක ඔබට බලය ලැබුණොත් රුපියල් 20000ක් දෙනවා කියන්නෙ දේශපාලන උප්පරවැට්ටියක්?
ඔබට අමතකද සමෘද්ධිය සීයට දෙසීයකින් වැඩි කළේ කවුද කියලා. එතකොට සමෘද්ධි ඇමති මම. ඔබට අමතකද රජයේ සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් වැඩි කළේ කවුද කියලා. ඔබට අමතකද දහස් ගානක් නිවාස හැදුවේ කවුද කියලා. ඔබ අහනවා කොහොමද විසිදාහක් දෙන්නේ කියලා. ගල්කිස්සේ මුහුද ගොඩ කරලා කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරපු ක්‍රීඩාංගණ හදන්න කෝටි ගනං ඇස්තමේන්තු හදපු මේ ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී ව්‍යාපෘති නතර කළත් විසිදාහ දෙන්න පුළුවන්.
අනික දෙකොන දැල්වෙන විලක්කුවක් වගේ රටක් බාර ගත්ත රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවට සහන දුන්න හැටි ඉතිහාසයෙන් බලන්න. මේ රටේ කම්කරුවන්, එදා වේල උපයන්නන්, සමෘද්ධිලාභීන්, දුක් විඳින ජනතාවට රුපියල් විසිදාහ දෙනවා. ජීවිත කාලය පුරා නෙවේ; මේ වැටුණු ආර්ථිකය ගොඩ එනතුරු.
ඔබ මැතිවරණ වේදිකාවල කතා කරන තරමට පොහොට්ටුවට ඡන්ද වැඩි වෙනවා කියලයි ඒ අය කියන්නෙ? ඔබ මොනවද ඒ ගැන කියන්නෙ?
එහෙනම් ඒ අය ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක එහෙමනම් ඔවුන් කළ යුත්තේ මගේ සම්පූර්ණ කතා ඒ අයගේ මාධ්‍යවල විකාශය කරන එකනේ. නමුත් කරන්නේ "කට් ඇන්ඩ් පේස්ට්"මාධ්‍ය කලාව.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඔබ කොළඹට ආවෙ හම්බන්තොට ජය ගන්න බැරි නිසාද?.
හම්බන්තොට ශ්‍රීලනිප බළකොටුව දෙපාරක් මම දිනලා තියෙනවා. එතකොට මම දේශපාලනයට අලුත්. දිනන්න අමාරුම කාලේ හම්බන්තොට ගිහින් දිනපු මගෙන් ඔබ ඕක ඇහුවට මහින්ද මහත්තයා හම්බන්තොට දාලා කුරුණෑගල ගිහින් පැරදුණ එක එතුමගෙන් අහලා බලන්න. ජනාධිපති විදිහටත් ඉදලා පැරදුණ මහින්ද මහත්තයා ආපහු මන්ත්රීකමට ඉල්ලපු එක ගැන මොකද කියන්නේ. ඒ විතරක් නෙවේ, මම කොළඹින් හම්බන්තොටට ගිය කෙනෙක්. නමුත් අගමැතිවරයා හම්බන්තොටින් කුරුණෑගලට ගියේ. මම උපන් ගමට ආවා. එතුමා උපන්ගම දාලා ගියා. තව දෙයක් කිවයුතුයි. දිස්ත්‍රික්කය කොහෙද, ග්‍රාමසේවා වසම කොහෙද කියන එක නෙවේ මට වැදගත්. මට කොතනත් මේ ශ්‍රී ලංකාව. මම රටම සංවර්ධනය කරන්න කැපවූ නායකයෙක්.
ඔබ මෙරටේ අගමැති වුණොත් මුලින්ම කරන්නෙ මොනවද?.
සද්-ජාතිකත්වය ගොඩ නගන එක. මිනිස්සු මිනිස්සු හැටියට දකින,ශිෂ්ටසම්පන්න රටක් ගොඩ නඟන්න අඩිතාලම දාන එක. මේ ආණ්ඩුව මාස අටට කරපු ප්‍රෝඩාව අවසන් කරන එක. කොවිඩ් නිසා කඩා වැටුණු රට කෙටි මධ්‍ය සහ දිගුකාලීන ලෙස ගොඩනගන මෙහෙයුම ආරම්භ කරන එක.
මෙි මැතිවරණයේදී සමඟි ජන බලවෙිගයට මන්ත්‍රී ධුර කීයක් ලැබෙයිද?
ඒක ජනතාව තීන්දු කරයි. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න පුළුවන් කියලා.
ඔබට අවස්ථාවක් ලැබුුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වන සංශෝධනය ඉවත් කරනවාද?
19ගෙනාවේ 18 තිබුණ ඒකාධිපති වියරුව ඉවත් කරන්න.ඒ නිසා 19 ඉවත් කරන්න අවශ්‍යතාවයක් නෑ. කළ යුත්තේ එය ශක්තිමත් කිරීමයි. නමුත් යම් යම් අඩුලුහුඬුතා තිබෙනවා නම් ඒ අඩුලුහුඬුතා ඉවත් කරන්න කටයුතු කරනවා.
MCC ගිවිසුම ගැන ඔබේ මතය කුමක්ද?.
කැබිනට් එකේදි ඊට විරුද්ධ වෙච්ච මම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊට විරුද්ධ වෙච්ච මම අදත් ඒ ස්ථාවරයේ ඉන්නවා. කබරගොයා තලගොයා කරන, දෙබිඩි ප්‍රතිපත්ති මා ගාව නෑ. ඉරා විසිකරනවා. හැබැයි මේ ආණ්ඩුවට එහෙම සෘජු පිටකොන්දක් නෑ. ඉරනවා කීව ගිවිසුම දැන් හිතලා බලනවලු. ටික දවසකින් කියයි අත්සන් කරලා බලමු කියලා.
කෝවිඩ් වසංගතයත් සමඟ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගන්න ඔබගේ වැඩපිළිවෙළ මොකක්ද?
අපි සූදානම් මේ රටේ ගරා වැටී ඇති ආර්ථිකය ගොඩගන්න. ඒ සඳහා අප සතුව ජනතාවාදී දර්ශනයක් ජනහිතකාමී වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වාගේම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ නිපුණතාවක් ඇති කණ්ඩායමක් අප සමඟ ඉන්නවා. අපේ දර්ශනය ඒකීය ස්වෛරී ශ්‍රී ලංකාවක් තුළ සෞභාග්‍ය සම්පන්න මාතෘ භූමියක් බිහි කිරීමයි. සමබර ආර්ථික දියුණුවක් උදා කර ආර්ථික වර්ධනයේ ප්රතිලාභ සෑම ජන කොට්ඨාසයකටම භේදයකින් තොරව ලබාගැනීමට හැකිවන ආකාරයට කටයුතු කිරීම අපේ අරමුණයි. ජීවන වියදම අඩු කිරීම හා බඩු මිල අඩු කිරීම අපේ මූලික අරමුණයි. ජීවන බරින් මිරිකුණු අද අපේ රටේ ජනකොට්ඨාසය ඉමහත් පීඩනයකට අසහනයකට ලක්වී සිටිනවා. අපේ ආර්ථිකය ගොඩනැගෙන තුරු අගහිඟකම් ඇති පවුල්වලට මසකට රු. 20,000/= ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම ඒ අතර ජනතාවගේ අතමිට සරු කරන්නට අපේ ආර්ථිකය තුළ අවස්ථා වැඩි කරනවා. විශේෂයෙන් ම අපේ ආණ්ඩුව පිහිටුවා පළමු පැය විසි හතර තුළ තෙල් මිල අඩු කිරීමට අපි කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දක්නට ලැබෙන ඉඩම් හා නිවාස ප්‍රශ්නයට ජාතික සමගි බලවේගයට විසඳුමක් දෙන්න පුළුවන් වෙයිද?
ඔව්. රටේ ඉඩම් හා නිවාස ප්‍රශ්නයට අපිට විසඳුම් ලබාදෙන්න පුළුවන්. අපේ අරමුණ තමයි වැඩි වැඩියෙන් උදාගම් සකසා නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම. එමෙන්ම ග්‍රාම රාජ්‍ය සහ නගර රාජ්‍ය සංකල්පයෙන් සියලුම ගම්මාන සියලුම උප ගම්මාන සියලු නගර සියලු උප නගර ගම හදා නගර හදා රට හදන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඉඩම් ප්‍රශ්නය විසඳීමේදී දැනට පවතින ඉඩම් නීති සංශෝධනය කළ යුතු නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන කඩිනමින් ජනතාවගේ ඉඩම් ගැටලුව විසඳීමටත් අපි පියවර ගන්නවා. විශේෂයෙන් වසර ගණන් පදිංචි ඉඩම්වලට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කර රටේ සෑම පවුලක්ම ඉඩමක හිමිකමක් ඇති පවුලක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවා.
ඔබ තුමා සඳහන් කර තිබුණා 4% පොලියට සහන ණය ලබාදෙනවා කියලා. ඒ සඳහා අපේ රටේ බැංකුවල ප්‍රමාණවත් මුදල් තිබෙනවාද?
බැංකුවල මුදල් තිබෙනවාද නැද්ද කියන එක පිළිබඳව දන්නැතුවද රාජපක්ෂලා 4% පොලියට ණය දෙනවා කියලා ජනතාව රවට්ටන්නෙ. අපි ජනතාව රවට්ටන්නෙ නෑ. ජනතාවගේ පැත්තෙන් ගත යුතු තීන්දු සියල්ලක් ම අරගෙන අපේ මේ මාතෘ භූමිය ස්වයංපෝෂිත හා සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත රටක් බවට පත් කරන්නයි අපි බලාපොරොත්තු වන්නේ. විදුලි බිල අඩු කරලා, සහන දෙනවා කිව්ව ආණ්ඩුව සියලු මාසවල විදුලි බිල් එකට එකතු කර මේ අහිංසක ජනතාවගේ කරපිට බර පටවන එක අසාධාරණයක් බව අපි දකිනවා. නමුත් මේ ආණ්ඩුව ඒ ගැන තැකීමක් කරලා නැහැ.
අපේ ආණ්ඩුව බලයට පත්වූ විට මාර්තු මස විදුලි බිලයි, අප්‍රියෙල් මස විදුලි බිලයි අහෝසි කරලා ඒවාට මුදල් ගෙවපු අයට ඒ මුදල් ඔවුන්ටම ආපසු ලබාදෙනවා. මේ ආණ්ඩුව කිව්ව 4% සහන පොලියට ණය දෙනවා කියලා. එහෙම ණය ලබාගත්තු එක්කෙනෙක් හරි ඉන්නවාද? මේ ආණ්ඩුව හැම වෙලාවෙම කරන්නෙ බොරුව. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවලට විසඳුම තමයි සමගි ජන බලවේගය ආණ්ඩුවක් බිහි කරගන්න එක. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ රාජපක්ෂලාගේ කෙරුවාවන් පිළිබඳ ජනතාවට දැන් තිබෙන අත්දැකීමත් එක්ක මෙවර ඡන්දය සමගි ජන බලවේගයට දෙන්න කියලයි. අපි අපේ ආණ්ඩුවක් තුළ ජනතා ප්‍රශ්න විසඳලා රට ස්වයංපෝෂිත සෞභාග්‍යවත් රටක් බවට පත් කරන්නට කැපවෙනවා.
ඔබේ දේශපාලනයේ පරමාදර්ශී නායකයෝ කවුද?
ලින්කන්, මැන්ඩෙලා, ගාන්ධි
ඔබේ විදේශ ප්‍රතිපත්ති කොයි වාගේද?
සද්- ජාතිකත්වය පදනම් කරගත් සෛවරී, මිත්‍රශිලී විදෙස් ප්‍රතිපත්තියක් මගේ දර්ශනය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔබ දකින්නෙ කොහොමද ?.
ඔහු විසින්ම ඔහු කවුද කියා ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා මගේ නිර්වචන අවශ්‍ය නෑ.