
වත්මන් රජය යටතේ සෞභාග්‍යයමත් හෙටක් උදා කිරීම පිණිස අපේ ජාතික ගුවන් විදුලිය නව දැක්මක් යටතේ සමබර මගක යන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි. අලුත් වැඩසටහන් හඳුන්වා දෙමින් එක් පක්ෂයක හෝ එක් රජයක හෝ පුද්ගලයකුගේ හොරණෑවක් නොවී, ජාතික ආගමික සංස්කෘතික ආර්ථිකමය කරුණු පිළිබඳ පොදු ජනතාව කැමැති සමබර වැඩසටහන් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි සංස්ථාව තම සභාපතිත්වය යටතේ ඉදිරිගමනකට ප්‍රවිශ්ටවී ඇති බව සභාපතිවරයා පවසයි.
ගුවන් විදුලි මහගෙදර මහ පුටුව ලැබීම ගැන ඔබේ අදහස කොහොමද?
ඔව්. එය මගේ කලා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. මම 1988 ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පියෙක් ලෙස මේ ස්ථානයට පියනගල තිබෙනවා. ඒ කාලේ අපි ගොඩක් සංගීත නිර්මාණ ඉදිරිපත් කළා. අනෙක් සේවාවල් නොතිබුණු ඒ යුගයේ විශාල ශ්‍රාවක පිරිසක් ගුවන් විදුලිය සමඟ සිටියා. කෙසේ වුවත් 1991 දී පමණ මම සංස්ථාවෙන් අයින් වෙලා අමරදේව මහත්තයා එක්ක එතුමාගේ සංගීත කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් හරියටම වසර 31 කට පමණ පසු ගුවන් විදුලි සංස්ථාවේ මහපුටුව මට ලැබුණා. ගරු ගෝඨාභය රාජපක්ෂයන් විසින් මා මෙතැන්ට පත් කළේ පෙබරවාරි 13 වැනිදා. ඒක මගේ කලා ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් කඩඉමක්.
මෙම තනතුර මම ආභරණයක් කරගන්නේ නැහැ. ඒ මගින් කලා, ශාස්ත්‍රීය හා සංගීත අංශ මගින් මෙන්ම සන්නිවේදනය පිළිබඳව ජාතික මට්ටමෙන් සේවයක් කිරීමටයි අපේක්ෂාව.
කොරෝනා වසංගතය කාලේ ඔබට ලැබුණු අභියෝග හා ඒවා ජයගත් අයුරු පැහැදිලි කළොත්?
ඒ කාලේ ප්‍රවාහන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ඇති වුණා. නමුත් සේවකයන්ගේ උනන්දුව කැපවීම නිසා අපි වෙනදාටත් වඩා හොඳ වැඩසටහන් ඉදිරිපත් කළා. අපේ රටේ ජනතාව තවමත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියන දේ 100% ක් ම විශ්වාස කරනවා. ඒ අනුව කොරෝනා වසංගත කාලේ ප්‍රධාන ලෙස රජයේ සත්‍යය නිල නිවේදන ඉදිරිපත් කළේ අපියි. ඊට අමතරව රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ගේ අදහස් ඇතුළත් සංවාද අපි ඉදිරිපත් කළා.
ඒ සමඟම ඒ කාලේ ගෙදර ඉන්න ජනතාවට ශ්‍රවණය කිරීමට රසවින්දනාත්මක, ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන් රැසක් අපි ආරම්භ කළා. විශේෂයෙන් කොරෝනා වසංගතය නිසා ගෙදර සිටින අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ආදර්ශ මාධ්‍යයක් ලෙස අධ්‍යාපනික වැඩසටහන් මුලින් ම Online ක්‍රමයට ආරම්භ කළේ අපි. භාෂා හතරකින් එනම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා හින්දි භාෂාවලින් අපි අධ්‍යාපනික වැඩසටහන් සියලු සේවා මගින් ඉදිරිපත් කළා. කෝවිඩ් 19 වසංගතය නිසා අමතර පන්ති අහිමි වන දුෂ්කර පළාත් දරු දැරියන් සඳහා ‘රේඩියෝ ගුරුවරයා’ නමින් අලුත් වැඩසටහනක් අපි ආරම්භ කළා. එය දිනපතා උදේ හවස පැය දෙකක් පමණ විෂය නිර්දේශය අනුව තවමත් විකාශනය වෙනවා. ඊට එක් වුණේ මෙරට ප්‍රවීණ ප්‍රශස්ත ගුරුවරු රැසක්.
ඔබ අලුත් තනතුරට පැමිණීමෙන් පසු ගුවන් විදුලි වැඩසටහන්වල ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීමට කළ කටයුතු පිළිබඳව පැවසුවහොත්?
අපේ ගුවන් විදුලියේ ජනප්‍රිය පැරැණි වැඩසටහන් රැසක් තිබුණා. ඒ අතර ආරාධනා, මධු රසාංග වැනි සංගීත වැඩසටහන් මෙන් ම පිබිදෙන ගායක පරපුර, මුවන්පැලැස්ස, මොනරතැන්න, ඉසිවර අසපුව වැනි වැඩසටහන් ඉතා ජනප්‍රිය වුණා. යළිත් ඒ වැඩසටහන් ආරම්භ කිරීමට මා කටයුතු යොදා තිබෙනවා.
පැරැණි ගීත දැන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම අඩුවෙලා ද? ඊට ඔබ ගන්නා පියවර?
ඔව්. පැරැණි සිංදු ප්‍රචාරය වීම අඩුවීමක් පේනවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ ගුවන් විදුලි තැටි ගබඩාවේ තිබුණු පැරැණි ගීත අඩංගු තැටි, කැසට්, සීඩී පට සොරකම් කිරීමයි. එපමණක් නොව තැටි ගබඩාවේ තිබුණු ආගමික වැඩසටහන්, සංවාද වැඩසටහන් හා සංවාද පිළිබඳ වැඩසටහන් ඇතුළත් තැටි, කැසට්, සීඩී ආදිය විශාල ප්‍රමාණයක් නැතිවෙලා තිබෙනවා. හැබැයි ඒවා බොහොමයක් දැන් අන්තර්ජාලයේ තිබෙන බවයි පෙනෙන්නේ.
මෙයින් පෙනෙන්නේ මා මෙම තනතුරට පත්වීමට පෙර මෙම ස්ථානයේ විශාල වංචා දූෂණ සිදුවී ඇති බවයි. ඒ පිළිබඳව මා නීතිමය පියවර ගන්නට සූදානම්. මේ බුද්ධිමය දේපළ අයිතිය ගැන නෛතික අයිතියක් ජාතික ගුවන් විදුලියට ලබාදෙනවා. මම මෙවැනි වැඩ කරගෙන යනකොට මා මෙම ස්ථානයට සම්බන්ධ කරගත් පිරිසක් තවත් පිරිසක් සමඟ එක්වී මා ගැන සමාජ ජාල මගින් අසත්‍ය ප්‍රචාර විවේචන ඉදිරිපත් කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. එවැනි කරුණු පිළිබඳව වැරැදිකරුවන් වූ තිදෙනෙක් දැනටම සේවයෙන් ඉවත් කර තිබෙනවා.
ජාතික ගුවන් විදුලිය සුරැකීම රටේම යුතුකමක්. මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
අපි ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජාතික ගුවන් විදුලිය මගින් ඉදිරිපත් කරන වැඩසටහන්වලට යම් වගකීමක් තිබෙනවා. එය ජාතික මාධ්‍යයක් ලෙස සැලකිය යුතුයි. අපි සපයන තොරතුරුව සත්‍ය බව තහවුරු විය යුතුමයි. නමුත් සමාජ ජාල හා කැලෑ පත්තර මගින් ප්‍රචාරය වන නිර්දය විවේචන නිසා අපටත් අප සමඟ වැඩකරන අයටත් කලකිරීමක් ඇතිවෙනවා. ඕනෑම ආයතනයක හෝ සංවිධානයක හෝ දියුණුවට මහන්සිවී වැඩ කරන අයට මෙවැනි බොරු විවේචන අපහාස ඉදිරිපත් කරන විට ඒ අයට කලකිරීම් ඇතිවෙනවා. මෙය රටටම පාඩුවක් බව කිව යුතුයි. ඒ නිසා මෙවැනි අහිංසක පුරවැසියන්ගේ කීර්ති නාමයට ඇතිවන හානිය පිළිබඳව නීතිමය පියවර ගැනීමට රජය පියවර ගත යුතුයි.
වත්මන් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන ඉදිරියට ගෙන යාමට ඔබ ආයතනය එක්වන්නේ කෙසේද?
ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට එක්වීමට රට තුළ භෞතික, ආර්ථික, සංස්කෘතික හා මානසික ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය දැනුම්වත් කිරීම සිදු කරමින් අපි ඊට සහාය දෙනවා. අපි ඉදිරිපත් කරන නිර්මාණාත්මක, ශාස්ත්‍රීය හා කාලීන සන්නිවේදන දැක්ම මගින් ගරුත්වය මත පදනම් වූ සමාජයක් බිහි කිරීමට අප කටයුතු කරනවා. සෞභාග්‍යයේ දැක්ම අනුව ජාතික ගුවන් විදුලිය දැන් අලුත් ගමනකට අවතීර්ණ වෙලා.එයට අපේ ශ්‍රාවකයන්ට මෙන් ම මෙය බලන පාඨකයන්ට උදවු දෙන්න පුළුවන්. සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අපට ලියා දන්වන්න. ඔබගේ අදහස් වලට ඉඩකඩක් දෙන්න අප නිතරම සූදානම්.
ගුවන් විදුලි සංස්ථාවට හැමදාම ජනතාව කරන චෝදනාව තමයි ආණ්ඩුවේ හොරණෑව කියන එක. ඒ තත්ත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර මොනවාද?
ගුවන් විදුලි සංස්ථාව මගින් පසුගිය කාලයේ අරන් ගියේ ඒක පාක්ෂික ප්‍රචාරයක්. ගුවන් විදුලි සංස්ථාව පොදු දේපළක්. එය රටේම සියලු පක්ෂවලට සියලු ජනතාවට අයිතියි. ඒ අනුව අපි දැන් කටයුතු කරන්නේ එය සියලු පක්ෂවලට ජනතාවට විවෘත ආයතනයක් වශයෙන් වැඩසටහන් ඉදිරිපත් කරමින්. සමබර හා කාලීන වැඩසටහන් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි සංස්ථාව අලුත් මගක දැන් ගමන් කරනවා. මේ අනුව අපි ජනතාවට කියන්නේ අපි දැන් බාල, තරුණ, මහලු සියලු දෙනාට සුදුසු සියලු පක්ෂවල තොරතුරු ඇතුළත් සමබර වැඩසටහන් රැසක් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ගුවන් විදුලි මහගෙදර මේ වැඩසටහන් සැමට සුදුසු ඒවා බවට ඔබම අසා තීරණය ගන්නා ලෙස සියලු දෙනාට දන්වා සිටිනවා.
සේයාරුව - ගයාන් පුෂ්පික