
එක්දහස් නවසිය හැත්තෑ අටේ අගෝස්තු මස එකොළොස්වැනිදා තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත් චිත්‍රපටය 1979 වසරේදී පවත්වන ලද සිග්නීස් උත්තමාචාර උලෙළේදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම ප්‍රථම ජනාධිපති සම්මාන උලෙළේදී බොහෝ සම්මානයන්ට බඳුන් විය. විදේශිය චිත්‍රපට උලෙළ කිහිපයක් සඳහාම ප්‍රදර්ශනය කළ බඹරු ඇවිත් චිත්‍රපටය ප්‍රංසයේ ඛාන් ජාත්‍යන්තර සිනමා උලෙළට සමගාමීව පැවැත්වෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ද තෝරාගෙන ඇත. පතිරාජයන්ගේ ‘බඹරු ඇවිත්‘ සිනමා පටය ඛාන් සිනමා උලෙළේ දී තිරගත කරනුයේ 4k තාක්ෂණය ඔස්සේ නවීන ප්‍රතිසංස්කරණය කළ සිනමා පටයක් ලෙසිනි.
“උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා“ ධීවර ගම්මානයේ ප්‍රධානියා ධීවර වැසියන්ට පවසන්නේ වැල්ලට පිටස්තරයන්ගෙන් යම් හානියක් කරදරයක් තම රැහේ උන්ට වේය යන අදහසිනි. ධිවර ගමේ තරුණයකු ද ගැමියන්ට ඒ අනතුරු ඇඟවීම කර ගැමියන් වෙනුවෙන් පෙනී සිිටී. නමුත් කුමක් හෝ අහේතුවකට ගැමියෝ ඔහු කියන දේ පිළිනොගනිති. තරුණයා ගම හැරදා කොළඹ යයි.
පිටස්තරයන් විසින් වැල්ලේ විවිධ හරඹ දක්වයි. ලේ වැගිරිම් ගහ මරා ගැනිලි සියල්ල මේ කාල සීමාවේ දි සිදුවේ. මේ සියලු සිදුවීම් එක පෙළක් ලෙස අපට හමුවන්නේ ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද බඹරු ඇවිත් චිත්‍රපටයේ නිෂ්පාදනය තිලක් ගොඩමාන්න විසිනි. ධර්මසේන පතිරාජ හා මාලනි පතිරාජ විසින් තිර රචනය කරන ලද බඹරු ඇවිත් චිත්‍රපටයේ සිනමාරූපණය ඩොනල්ඩ් කරුණාරත්නය. සංස්කරණය සෙක්ටස් අපෝන්සුය. සංගීතය ප්‍රේමසිරි කේමදාසයන් ගෙනි. 1978 වසරේ අගොස්තු 11 දින දිවයින පුරා සිනමා ශාලා ගණනාවක ප්‍රදර්ශන කෙරුණු බඹරු ඇවිත් චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 විනාඩි 10 කි. මේ කාලය පුරා දෙතුන් වරක් චිත්‍රපටයේ ඇසෙන්නේ උදුම්බරා හිනැහෙනවා. ගීතය.
එදා මෙදා තුර ගෙවුණ කාලය වසර 42 ක් පුරා විටින් විට ඇසුණ මේ ගීතය ගැන බොහෝ කතාබහ ඇති වී තිබේ.
වසර ගණනක් පැරණි මේ චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයේ 388 වැනි සිංහල චිත්‍රපටයයි . සිනමාවේ ස්වර්ණමය යුගය යැයි විචාරකයන් විසින් හඳුන්වන යුගයක ප්‍රදර්ශනය කෙරුණ බඹරු ඇවිත් සිනමා පටය; මෙවර ඛාන් චිත්‍රපට සංවිධායකයන් විසින් පවත්වනු ලබන 2020 සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබීම සුවිශේෂිය. විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, අමරසිරි කලංසූරිය, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, වින්සන්ට් වාස්, ඩබ්ලිව් ජයසිරි, රුබී ද මෙල්, දයා අල්විස්, ආදි නළු නිළියන් රැසක් රඟපෑ බඹරු ඇවිත් චිත්‍රපටයේ තේමා ගීතය ලෙස ගැයෙන්නේ ‘උඳුම්බරා හිනැහෙනවා‘ ගීතයයි. මෙය බඹරු ඇවිත් චිත්‍රපටයේ තේමා ගීතය වුවද ගෙවුණ 42 වසරක කාලය තුළ ගුවන් විදුලියෙන් මේ ගීතය ප්‍රචාරය නොවූ දිනයක් නැති තරම්ය.
සුනිලා අබේසේකර, ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුභාෂිණි විසින් ගායනා කරන ලද මේ ගීතය සංගීතවත් කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. කේමදාස ලකුණක් ලෙසද හඳුන්වා දිය හැකි මේ ගීතයේ මෙන්ම චිත්‍රපටයේද සංගීත නිර්මාණය අපුරුය. බඹරු ඇවිත් චිත්‍රපටය තේමා කර ගන්නේ ධීවරයන් පවුල් වෙසෙන සමාජයකි. මේ පවුල්වල ජීවිත, හෙලන්ගේ චරිතය (හෙලන් ලෙස රඟපාන්නේ මාලනි ෆොන්සේකාය) පිටතින් පැමිණෙන තරුණ නඩය මුල්කරගත් ඒ සමාජයේ කතාවයි. මුහුදු රළ නැගෙන බිඳෙන අයුරින් තනු නිර්මාණය කර කේමදාසයන්ගේ අපූරු සංගීතයෙන් හැඩවන
“ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය ....“
මේ ගීතය මෙන්ම සංගීය ද විචාරකයන්ගේ පැසසුමටද ලක් වූවකි . එමෙන්ම ඒ ජනාධිපති සම්මාන ඇතුව දෙස් විදෙස් සම්මාන ගණනාවකිින් පිදුම් ලැබු මේ චිත්‍රපටයේ ගී පද රචකයාද සම්මානයෙන් පිදුම් ලැබුවේය.
මේ සුවිශේෂි ගීතයේ පද රචකයා වන්නේ ප්රවිණ නළුවකු වන ඩබ්ලිව් ජයසිරිය.
බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන්ගේ චරිතය මුල් කර ගනිමින් ලියැවුණ “උදුම්බරා හිනැහෙනවා ගීතය“ ගීතය ගීත තුනක් ලෙසින් චිත්‍රපටයේදී අපට ඇසේ. ගී පද රචකයා වූ ප්‍රවීණ සිනමාවේදී ඩබ්ලිව් ජයසිරිගෙන් අපි ඒ අතීතය පිළිබඳ විමසුවෙමු.
![]() |
සුනිලා අබේසේකර |
ධර්මසේන පතිරාජයන් බඹරු ඇවිත් චිත්‍රපටයේ තිර රචනය ලියලා ඉවරවෙලා මට කිව්වා චිත්‍රපටයේ තේමා ගීතය ලියන්න කියලා. එය ඇහුවාම ඇත්තටම මට පුදුමත් හිතුණා. මේ සිද්ධිය වුණේ 1972, 1973 කාලයේදී. මට පුදුම හිතුණේ ඒ වෙනකොට මහගමසේකර, සුනිල් ආරියරත්න, කේ. ඩී. කේ ආදි ප්‍රවීණයන් හිටියා තේමා ගී ලියන්න. නමුත් පතිරාජයන් මට එය භාර දීම එක්තරා අභියෝගයක්. ඒ වන විට මම සනත් නන්දසිරිට ගීතයක් ලියා තිබුණා.
“සුළං හමයි ලොව නැළවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළේ...“
ඒ ගීතය හැරුණාම මම තවත් ගීත පහක් ලියලා තිබුණා මඩවල එස් රත්නායකයන් ගුවන් විදුලියේ කළ ස්වර්ණ වර්ණ වැඩසටහනට. උදුම්බරා හිනැහෙනවා ගීතය ලියලා ඉන් පස්සේ මමයි පතියි ගියා කේමදාසයන් හමු වීමට. ගීතය හැඳුණේ ඒ ලෙසයි. මේ ගීතය සඳහා ජනාධිපති සම්මාන ලැබුණා. බොහෝ ඇගයිම් වලට ලක් වුණා. කෑන්ස් සිනමා ප්‍රදර්ශනය සඳහා බඹරු ඇවිත් චිත්‍රපටය තෝරා ගැනීම ගැන සතුටුයි. ඒ වගේම තමයි රසිකයන් මේ ගීතය අදත් රසවිදීම ගැන මට සතුටුයි. ඩබ්ලිව්. ජයසිරි පවසන්නේ වසර ගණනක අතීතයක් සිහිපත් කරමිනි.
දශක හතරක් තිස්සේ ගැයෙන මේ ගීතය අද ද නැවුම් බවකින් යුතුව අසන්න විදින්න උදුම්බරා හිනැහෙනවා ගීතය බඹරු ඇවිත් චිත්‍රපටය තරම්ම විශිෂ්ට යැයි කීවාට වරදක් නැතැයි ද සිතේ
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා......
මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා.....
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා.....
සිනා කඳුළු වගුරනවා
ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......
ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා කඳුළු සලයි......
උදුම්බරා කඳුළු සලයි......
කඳුළු සලයි.... කඳුළු සලයි.....
ගී පද : ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර, සුභාෂිණි