නායා රිවේරා පිරූ විලේ සැඟව ගිය අප්‍රමාණ මව් සෙනෙහස | සිළුමිණ

නායා රිවේරා පිරූ විලේ සැඟව ගිය අප්‍රමාණ මව් සෙනෙහස

ව් සෙනෙහසට සම කළ හැකි තවත් කිසිවක් මෙලොව වේද? පිළිතුර නැත යනුවෙන් විය යුතුමය. එහෙත් ඇතැම් මව්වරුන් දරුවන් මහමග දමායන්නේ නම් සෙනෙහස කොහේදැයි තර්ක නැගිය හැකිය. තවත් බොහෝ දෙනා සිතන්නේ මව යම් වෘත්තිකයකු වන්නේ නම් දරුවන් කෙරෙහි සෙනෙහස අඩුවන බවය. අවධානය අඩුවන බවය.

විශේෂයෙන්ම මව වෘත්තියෙන් නිළියක් නම් එවැනි අයට දරුවන් නොලැබෙන එකම හොඳය. මේ තර්ක විතර්ක කෙසේ වුවද, ඇතැම් පුද්ගලයන් තුළ එය අඩුවැඩි වුවද මව් සෙනෙහස මව් සෙනෙහසමය. ඒ සඳහා මවකගේ වෘත්තිය හෝ වෙනත් කිසිදු හේතුවක් බලපාන්නේ නැත. අමෙරිකානු නිළියක වූ නායා රිවේරා මේ සඳහා හොඳම උදාහරණයක් ලබා දෙමින් පසුගියදා මෙලොවින් සමුගත්තාය. නායා යනු යන්තම් තිස්තුන් හැවිරිදි කාන්තාවකි. ඇය සිව් වියැති පුතකුගේ මවකි. අමෙරිකාවේ සුලබ ලෙසටම පියා දික්කසාදය.

මවක් වීමට පෙර සිටම නායා දුටු සිහිනයක් විය. ඒ නිළියක් වීමයි. ඇය ඒ සිහිනය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඇරඹුවේ වසර හතරක් තරම් කුඩා වියේදීමය. ක්‍රමයෙන් වයසින් වැඩී සුන්දර තරුණියක් වත්ම නායා හොලිවුඩ් සිනමාවේ කිසියම් ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමට සමත් වූවාය. එපමණක්ද නොව ඇය නිරූපිකාවක් පමණක් නොව ගායිකාවක්ද වූවාය. පසුව ඇය අමෙරිකානු රූපවාහිනියට නැතිවම බැරි නිළියක් බවට පත්වූවාය. මේ සියල්ල අතර ඇය තම දරුවාට සෙනෙහබර මවකද වූවාය.

පසුගිය ජූලි 8 වැනි දින ඇය කැලිෆෝර්නියාවේ පීරු විලේ බෝට්ටු පැදීමට ගියේ තම සිව් හැවිරිදි පුතණුවන්ද සමඟිනි. කැලිෆෝර්නියාවේ උපත ලැබූ නායාට පිරූ විල අමුතු තැනක් වූයේ නැත. එහි ගැඹුරු තැන් මෙන්ම දියවැල්ද ඇයට හුරපුරුදු විය. කැලිෆෝර්නියාවේ සැන්ට් ක්ලාරිටා ඇයගේ උපන් ගම වූ අතර පිරූ විලේ සුන්දරතම කොටසක් මේ ප්‍රදේශයට අයත් විය.

ඇය සුපුරුදු ලෙස බෝට්ටුවක් කුලියට ගත්තාය. පිරූ විලේ බෝට්ටු පැදීමට බොහෝ දෙනා ප්‍රිය කරන බැවින් ඒ සඳහාම සකස් කරන ලද විශේෂ සේවාවන් එහි විය. නායා තම පුතණුවන් සමඟ බෝට්ටුවෙන් විලේ නොපෙනෙන ඉම සොයා ගියේ මහත් වූ නිදහසකිනි. එහි ඇය සහ දරුවා පමණක්ම විය. එය සැබෑ නිවාඩුවකි. ඔවුන් රැගත් බෝට්ටුව ඈතින් ඈතට නොපෙනී යනු බෝට්ටු හිමිකරුවා බලා සිටියේය.

පැය තුනක් ගත විය. මේ වන විට නායා ගිවිසුම් ප්‍රාකාරව බෝට්ටුව යළි හිමිකරුට බාර දිය යුතුය. එහෙත් නායා පැමිණියේ නැත. තවත් හෝරාවක් පමණ ගත වූ පසු බෝ‌ට්ටුව සොයා යා යුතු බව බෝට්ටු හිමිකරුට පැහැදිලි විය. මේ අතර විලේ ගමන් ගනිමින් තිබූ තවත් බෝට්ටුවකට නායාගේ බෝට්ටුව දක්නට ලැබිණි. ඔහේ පාවෙමින් තිබූ මේ බෝට්ටුව අසලට ගොස් බැලූ විට දක්නට ලැබුණේ කුඩා දරුවකු එතුළ නින්දට වැටී සිටින අන්දමයි. වහාම පොලීසිය කැඳවනු ලැබූ අතර දරුවාගෙන් සියුම්ව අසා දැනගත් තොරතුරු අනුව ඔහු සහ මව විලේ පිහිනා තිබේ. දරුවාට ජීවිතාරක්ෂක කබාය පැලඳුවද විල හුරු නායා ජීවිතාරක්ෂක කබාය නොඇන්දාය.

දරුවාට මතක තම මව තමා ඉමහත් ආයාසයෙන් යුතුව වතුරෙන් බෝට්ටුවට නැංවූ අන්දමයි. එහෙත් නායාට බෝට්ටුවට ගොඩවීමට දියවැල් ඉඩ ලබා දුන්නේ නැත. එහෙත් ඇය සිය අවසන් ශක්ති ප්‍රමණයෙන් ස්වකීය පුතණුවන්ගෙ ජිවිතය බේරා ගත්තාය. තම මව වතුර යට නොපෙනී ගිය අන්දම කුඩා දරුවාගේ මතකයේ තැන්පත්ව තිබුණේ මවගෙන් ලද විශාලතම දායාදය සදා ඔහුට සිහි ගන්වමිනි.

දින පහක් පුරා පිරූ විල කලඹමින් නායාගේ සිරුර සෙවීමට කැලිෆෝර්නියා පොලීසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් කටයුතු කළහ. එහෙත් සැඟව ගිය කුඩා මිනිස් සිරුරක් සෙවීමට තරම් පිරූ විල කුඩා නොවීය. අවසන දින පහකට පසු විල මත පාවෙමින් තිබූ නායාගේ සිරුර ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හමුවිය. මවකගේ අපම්‍රාණ ධෛර්යය සහ අප්‍රමාණ දරු සෙනෙහස ඒ සමඟ විය.

නායා රිවේරා එළෙසින් මෙලොව හැර ගියාය. එහෙත් කාන්තාවක් මවක වූ පසු ඇය කවුරුන් වුවද, කිනම් වෘත්තියක නිරත වුවද, කුමන පසුබිමක වුවද දරුවන් වෙනුවෙන් කළ හැකි කැපකිරීම අප්‍රමාණ බවත්, බොහෝවිට ඒ කැපකිරීම අන් කිසිවක් නොව ජීවිතයම බවත් ඇය යන්නට පෙර ජීවත්ව සිටින්නන් අතර සටහන් කර තබා ගියාය.

 

Comments