කොවිඩ් පාලනයට ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ | සිළුමිණ

කොවිඩ් පාලනයට ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ

කොවිඩ් වයි­ර­ස­යෙන් ආරක්ෂාවී­මට පොලි­තින් උරව­ලින් හිස ආව­ර­ණය කර ගත් පකි­ස්තා­නයේ කුඩා දරු­වන් තිදෙ­නෙක්. ඔවුන් හිස් ආව­රණ කර ගත්තද වයි­ර­සය ආසා­ද­නය වන මුඛය සහ නාසය විවෘ­තව පවතී.

සුගිය සතියේ ලෝකයේ කොවිඩ් රෝග ව්‍යප්තිය දෙස බැලූ වියට පැහැදිලි වන්නේ මේ දක්වා වයිරසයේ කිසිඳු දුර්වලවීමක් හෝ පාලනයක් දක්නට නොලැබෙන බවයි. එහෙත් කිසියම් සුභදායක පුවතක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අසන්නට ලැබී තිබේ. ඒ වයිරසය පාලනය කළ හැකි නව එන්නතක් සම්බන්ධවය.

මේ එන්නත නිපදවා ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ෆර්ඩ් සරසවියේ ජෙනර් ආයතනයේ සහ ඔක්ෆර්ඩ් වැක්සීන් සමූහයේ විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක එකතුවෙනි. මේ එන්නත මේ වන විට පළමුවැනි අදියරේ සහ දෙවැනි අදියරේ අත්හදාබැලීම්වලදී සාර්ථකත්වය පෙන්වා තිබේ. මේ එන්නත මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටස් දෙකේම සාර්ථක ප්‍රතිශක්තියක් කොවිඩ් ඇතිකරවන SARS – COV 2 වයිරසයට එරෙහිව ඇති කිරීමට සමත් බව මේ වන විට තහවුරු වී තිබේ. මේ එන්නත් ලබා දීමෙන් දින 14ක් ඇතුළත මිනිස් සිරුරේ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති සෛලවලට පහරදී, ඒවා අඩපණ කළ හැකි අලුත් සෛල නිපදවන බවත්, දින 28ක් ඇතුළත ප්‍රතිදේහ ප්‍රතිචාර ඇතිවන බවත් මේ වන විට තහවුරු කර තිබේ. මිනිස් සිරුරක නිපදවෙන ප්‍රතිදේහ යනු වයිරසයක් උදාසීන කරවීමට කටයුතු කරන රසායනිකයක් ලෙස සරලව හඳුනා ගත හැකිය. එමෙන්ම මේ එන්නත දෙවැනි වර ලබා දීමෙන් පසු මේ ප්‍රතිදේහ වඩාත් ශක්තිමත් වූ බවද පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

දැනට මේ එන්නත එහි අත්හදාබැලීමේ තෙවැනි අධියරේ පසුවන අතර එම අත්හදාබැලීම්ද සාර්ථක වන්නේ නම් ලබන මස සිට වාණිජ වශයෙන් නිපදවිමට සහ ලොව පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායම පවසා තිබේ. එමෙන්ම ඔවුන් කොවිඩ් සඳහා එන්නතක් නිපදවීම ආරම්භ කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී බවද ප්‍රකාශ කර ඇත. ඒ වන විට කොවිඩ් චීනයේ වූහාන්වලට පමණක් සීමා වී තිබූ අතර මෙතරම් දරුණු ලෝක ව්‍යප්තියක් සිදුවේ යැයි කිසිවකු සිහිනෙන් හෝ සිතා තිබුණේ නැත.

කෙසේ වුවද මේ එන්නත සාර්ථක වන්නේ නම් එය මුළු මහත් ලෝකයටම මේ මොහොතේ ඇසීමට ලැබෙන සුභදායකම පණිවිඩය වනු ඇත. මේ අතරම ඖෂධ නිෂ්පාදනය සහ වෙළෙඳාම යනු වර්තමාන ලෝකයේ මහා පරිමාණ ලාභ ලබන, එමෙන්ම දැවැන්තම ජාවාරම්කාර මාෆියා ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක් බවද අමතක කළ යුතු නැත. මේ එන්නත සාර්ථක වී වාණිජ නිපදවීම් ආරම්භ කරණු ලැබූවද එයට නියමවන මිල කොපමණද? එය දුගී රටවල්වලට දැරිය හැකි මිලක් වේද? එය දුගී රටවලට ලබා දීමට කොපමණ කාලයක් ගත වනු ඇතිද යන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගත යුතු බව අමතක කළ යුතු නැත.

මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි එකහමාරකි. මරණ සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් තිබේ. කොවිඩ් වසංගතයේ ආරම්භක අවස්ථාවේදී එය ලෝක ව්‍යප්තියක් වේ යැයි සිතිවිල්ලක්වත් නොපැවති අවධියේදී ඒ පිළිබඳව අනාවැකි පැවසූ අමෙරිකාවේ ජෝන් හෝකින්ස් සරසවියේ පර්යේෂක කණ්ඩායම එදා පවසා සිටියේ මේ වයිරසයෙන් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මියයෑමට නියමිත බවය. එදා ඒ ප්‍රකාශය කිසිවකු මායිම් නොකළද මේ වන විට ඔවුන්ගේ ප්‍රකාශ සහ පෙර දැනුම්දීම්වලට වඩා වැඩි වැදගත්කමක් හිමිවෙමින් තිබේ.

පසුගියදා මේ ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර සිටියේ දැනට නිශ්චිතව තහවුරු කර ඇති කොවිඩ් ආසාදියන් සංඛ්‍යාවට වඩා සැබෑ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි බවයි. එය සැබවින්ම දැනට වාර්තා වී ඇති කෝටි එකහමාර මෙන් දෙගුණයක් විය යුතු බවද ඔවුන් පවසා තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ බොහෝ රටවල සැබෑ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා අතරට එක් නොවන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේද අතිශයින් ජනප්‍රිය සමාජ මාධ්‍ය වන ෆේස් බුක් හි නිර්මාතෘ, ලෝක ප්‍රකට ව්‍යපාරිකයකු සහ ධනවතකු ද වන මාර්ක් සකර්බර්ග් පසුගියදා අමෙරිකාවේ කොවිඩ් පාලනයට ප්‍රමාණවත් තරම් කටයුතු නොකිරීම සම්බන්ධව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර සිටියේය. ඔහු පවසා සිටියේ වයිරසය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ සිට ප්‍රමාණවත් පියවර ගත්තේ නම් මෙතරම් විනාශයක් අමෙරිකාවට සිදු නොවනු ඇති බවයි. ඔහුගේ මේ ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් හිමිවූයේ බොහෝ දෙනෙකුට පවසා ගත නොහැකි දැවැන්ත සත්‍යයක් ඔහු ප්‍රසිද්ධියේම පැවසූ බැවනි.

මේ වන විට අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හතළිහකි. මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකි. මේ වන විට අමෙරිකාවෙන් දිනකට ආසාදිතයන් පනස් දහස ඉක්මවා වාර්තා වෙමින් තිබේ. සැබවින්ම වයිරසයේ පැතිරීම වාර්තා වූ සැණින් ජනතාව දැනුම්වත් කරමින් එයින් ආරක්ෂාවීමට කටයුතු කළේ නම් මේ සා විශාල ජීවිත හානි වළක්වා ගැනීම අමෙරිකාවට සුළු කරුණක් විය හැකිව තිබිණි. එහෙත් අමෙරිකානු පාලකයෝ සෑම විටම වයිරසය අවතක්සේරු කළහ. අද එය ආපසු නිවැරදි කළ නොහැකි වරදක්වී, ජනතාව ජීවිතවලින් වන්දි ගෙවමින් තිබේ. සැබවින්ම අමෙරිකානු ආදර්ශය ලෝකයේ සෙසු රටවලටද අගනා පාඩමක් බව කිව හැකිය.

මේ අතර ඉන්දියාවද විශාලා මහනුවරක ලකුණු පෙන්වමින් තිබේ. පසුගියදා ඉන්දියාව එරට වාර්තා කළ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා කළ අතර එය 40,000ක් විය. මේ වන විට ලෝක කොවිඩ් ලැයිස්තුවේ තෙවැනි තැනට ඉන්දියාව පැමිණ සිටින්නේ ආසාදිතයන් ලක්ෂ 12ක් වාර්තා කරමිනි. තවදුරටත් වයිරස ව්‍යප්තිය පාලනය කර ගැනීමට කිසිවක් කර කියා ගැනීමට ඉන්දියාවට නොහැකි වී තිබේ. මරණ සංඛ්‍යාව 28,000ක්ව සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාවට වඩා අඩු අගයක පැවතියද ආසාදිතයන් වැඩි වීම යනු මරණ සංඛ්‍යාව වැඩි වීම බවද අමතක කළ යුතු නැත.

ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් වන තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකතුමාද කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය බව පසුගියදා වාර්තා විය.

මේ වන විට මුළු මහත් දකුණු අමෙරිකා මහද්වීපයම කොවිඩ් වයිරසයේ කනගාටුදායක ගොදුරක්ව තිබේ. බ්‍රසීලයේ වයිසරය කොතරම් පැතිරී ඇතිද කිවහොත් එරට ජනාධිපතිවරයා දෙවරක්ම වයිරසයට ගොදුරු වූයේය. එමෙන්ම මේ වන විට ආසාදිතයන් ලක්ෂ 22ක් වාර්තා කර ඇති බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව අසූ දහස පසු කරමින් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මෙක්සිකෝවද වාර්තා කරමින් සිටින්නේ ඛේදවාචකයකි. එහි ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ තුනහමාරක් වුවද මරණ හතළිස් දහසක් වාර්තා කර ඇති බැවින් එට සෞඛ්‍ය සේවයේ ඇති දුර්වලතාවන් පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

එසේ වුවද ජර්මනිය, රුසියාව වැනි දියුණු රටවල් මෙන්ම පකිස්තානය, බංග්ලාදේශය වැනි දුගී රටවල්ද ආසාදියන් සංඛ්‍යාව විශාල වුවද මරණ සංඛ්‍යාව අවම ලෙස පවත්වා ගැනීමෙන් වයිරසයට එරෙහි සටනේ ඉතා විශාල ප්‍රගතියක් පෙන්වා තිබේ.

Comments