
ශ්‍රී ලංකාවේ බිහි වූ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එජාපයේ අද ඉරණම ගැන ඔබ මොනවද හිතන්නෙ?
එජාපයට මෙි විදියේ අත්දැකීම් ඕනැ තරම් තිබෙනවා. එජාපය අද අත්විඳින අත්දැකීම වින්දේ 1952 එස්. ඩබ්ලිව්. අර්. ඩී. බණ්ඩාරනායක එජාපයෙන් ඉවත් වෙලා වෙනම පක්ෂයක් හදා ගෙන කටයුතු කරද්දී.
ඉන් පසුවත් එජාපය සමඟ සිටි පිරිස් ඔවුන්ගේ මතවාද එජාපය තුළ ක්‍රියාත්මක කරන්න බැරි වූ අවස්ථාවල එජාපය දාල ගිහිල්ලා තියෙනවා. ඒ මොනවා වුණත් එජාප පදනම කාටවත් කුමනාකාරයෙන්වත් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. සිංහල, දමිළ ,මුස්ලිම්, බර්ගර් යන මේ හැම ජාතියකටම අයිති එජාපයේ ඒ පදනම කාටවත් වෙනස් කරන්නත් බෑ; වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ.
ඔබලා නිතර කියන කාරණයක් තමයි මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් එජාපයට විතරයි කියලා. එතකොට යහපාලන ආණ්ඩුව එජාපයේ නොවෙයිද? ඒ කාලේ රටේ ආර්ථිකය 7% සිට 2.8% දක්වා පහත වැටුණා නේද?
ඔබ හොඳ ප්‍රශ්නයක් මතු කළේ. අපේ රටේ ආර්ථිකය 2017 වනවිට කඩාගෙන වැටෙන බව දැනගෙන ඉන් බේරෙන්න තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2017 පැවැත්වීමට නියමිත මැතිවරණය 2015 තියන්න කටයුතු කළේ. ඔය විදියටම 1999 දිත් වුණා. 2001 දිත් වුණා. අපි 2015 දී ආණ්ඩුව බාර ගන්න කොට ආර්ථිකය කඩා වැටිලා ලෝකයේ බංකොළොත් වෙන්න තිබුණ රට යාන්තම් ඉන් මුදවාගෙන ණය වෙලා තිබුණ ඒවත් ගෙවා ගෙන රට සංවර්ධන මාවතට ගන්න අපිට පුළුවන් වුණා. අපේ අවුරුදු හතරක කාලය තුළ ස්වාභාවික විපත් රැසකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සියල්ලට මුහුණ දෙන ගමන් රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කරන්නත් අපි කටයුතු කළා.
මැතිවරණය නියමිත දිනයට කලින් පැවැත්වීම ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක්. ඔබලා මැතිවරණ පැවැත්විය යුතු දිනටත් මැතිවරණ නොපවත්වා කල් දාලා දැන් නියමිත දිනට කලින් පවත්වපු මැතිවරණයක් ගැන වැරදි අර්ථකථන දීලා ඔබලා ගේ වැරදි වහගන්න නේද හදන්නෙ?
ඔබ ඔය කියන විදියට නියමිත දිනට කලින් මැතිවරණය තියෙන එක ප්රජාතන්ත්රවාදී නම් අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දත් ජනවාරි විතර යොදා ගත්තා නම් ජනතාවට තවත් හොඳයිනෙ. මාසයක් දෙකකට කලින් මැතිවරණය තිබුණ නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙයි.
නමුත් 2017 පැවැත්විය යුතු මැතිවරණයක් 2015 නියමිත දිනට වසර දෙකකට කලින් පැවැත්වූවේ ඇයි? ඒ අය දැක්කා රටේ අනාගතය හොඳ නෑ. ඒකට මුහුණ දෙන්න නම් ජනතාවට බර පටවන්න ඕන. එහෙම බර පටවලා මැතිවරණයට ගියොත් අන්ත පරාජයක් හිමි වෙන එක වළක්වාගන්න තමයි ඔය ඔබ කියන ප්රජාතන්ත්රවාදී උපක්‍රමය මේ අය යොදා ගත්තේ.
ඔබතුමා චෝදනා කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් තමයි ඔබලා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ. එහෙම වුණේ කොහොමද ?
ඔහු ඒ රජයෙන් පිටට එන්නෙ ඇයි? ඔහු ඒ රජයේ ආර්ථික කළමනාකරණය රජයේ ප්‍රතිපත්ති ගැන කලකිරිල තමයි එළියට ආවෙ.
එතුමාටත් ඕන වෙලා තිබුණා පවුල් පාලනය පිටු දකින්න. ඒ අනුවයි අපි ඔහු අපේ පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගත්තෙ.
එතකොට ඔහු දැන් නැවත රාජපක්ෂවරු එක්ක එකතු වෙලා ඉන්නෙ දැන් ඔවුන් ගේ ප්‍රතිපත්ති නිවැරදි වෙලා නිසාද?
ඒක ඉතින් එයා ගේ පෞද්ගලික තීරණයක්නෙ. ඒ ගැන මට මොකුත් කියන්න බෑ.
ඔබ කියන විදියට එජාපයට විශාල ආර්ථික අභියෝග ජය ගන්න පුළුවන් නම් 2015 අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කෑවෙ ඇයි?
ඕක ඉතින් මහ දේශපාලන සටන් පාඨයක්නෙ. ශ්‍රී ලංකා මහ බැංකුව වසර හතළිහක් විතරම ලෝයත් එක්ක කටයුතු කරල තිබෙන්නෙ යල් පැන ගිය ක්‍රමවේදයන් එක්කයි. ඒ ක්‍රමවේදය වෙනස් කරල කටයුතු කරන කොට ඇති වූ වෙනස්කම් මගින් සිදු වු දේවල් වැරදි විදියට අර්ථකථනය කරන එක වැරදියි. ආර්ථික ක්‍රියාවලියක් දේශපාලනීකරණයකට ඇද දමාගෙන චෝදනා කරන්න හැදුවත් මේ දක්වා මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ කිසිම තැනක මේ ක්‍රියාදාමයට දේශපාලනඥයකුට චෝදනා එල්ල වී නෑ.
එජාපයේ පැරන්නෝ බහුතරය සමඟිජන බලවේගය සමඟ එකතුවීම නිසා මෙවර මහ මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කර සිටින බොහෝ අපේක්ෂකයන් අලුත් මුහුණු. එවැනි පසුබිමක ජය ගන්න පුළුවන්ද?
ඔව් අපිට ජය ගන්න පුළුවන්. 1977 දී පැවැති මහ මැතිවරණයත් අපි ජය ගත්තේ එහෙමයි. එදා අදටත් වඩා මැතිවරණයට මුහුණ දුන්නේ අලුත් මුහුණු. නමුත් අපි එදත් විශිෂ්ට ජයක් ලබා ගත්තා.
ඇයි ඔබ කෙළඹින් තරග කරන්නේ?
මම කොළඹ දෙහිවල උපන් කෙනෙක්. මම අම්පාර දිගා මඬුුුල්ලට ගියේ මගේ ව්‍යාපාරික කටයුතු සඳහායි. ඒ වෙනුවෙන් දිගටම එහේ ඉන්න අතරේ තමයි පී.දයාරත්න මහතා රාජපක්ෂලා ගේ දැත් ශක්තිමත් කරන්න කියල ගිය නිසා රනිල් වික්‍රමසිංහ එජාප නායකතුමා මට අම්පාර දිස්ත්‍රික්කය බාර ගන්න කීවා.
ඒ අනුව තමයි මම දේශපාලනයට ආවෙ. 2015 පැවැති මහ මැතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා මට කිවේ ඔබ අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්න නැත්නම් එජාපය පරාජය වෙනවා කියල. එදත් මම අම්පාරෙන් ඉල්ලලා දිනුවා. මෙවර එජාපයට අමාරුම ආසනය හෝමාගම මම ඒක බාර ගත්තා.
මේ මැතිවරණයේදි හෝමාගම මම දිනලා නැවත එජාප ආණ්ඩුවක් අපි හදනවා.
සජිත් ප්‍රේමදාස එජාපය දෙකඩ කිරීම ගැන ඔබ මොනවද හිතන්නේ.
ඇත්තටම මගේ ලොකු ගෞරවයක් තිබුණා ඔහු ගැන. ඒ අර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසා නමුත් ආශ්‍රය කරන කොට තමයි මට තේරුණේ සජිත් ප්‍රේමදාස අර්.ප්‍රේමදාස ජනාධිපති ළඟින්වත් තියන්න බෑ කියලා.