
මීට වසර 117කට පෙර ඉපිද මීට වසර 40කට පෙර අපෙන් සමුගත් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ මහතා අප රට තුළ අනාගතයේ ඇති විය හැකි අභියෝග කල්තියා හඳුනාගෙන ඒවා ජය ගැනීමට විවිධ උපාය මාර්ග ප්‍රායෝගිකව භාවිතා කළ ශ්‍රී ලංකාව එක්සත් දේශයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන්නට අතිමහත් සේවාවක් නිහඬව සිදු කළ දේශප්‍රේමියෙකු, මානව හිතවාදියෙකු ලෙස හැඳින්විය හැකිය.
1903 ජූලි 23දා උතුරේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේදී උපත ලැබූ සින්නදුරේ යොවුන් වියේදී කොළඹට පැමිණ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අතරේ මීගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, පී.වී. ලැනරෝල්, මීමන ප්‍රේමතිලක, පියදාස පලන්සූරිය, ඇල්.පී. දේශබන්දු, චන්ද්‍රරත්න මානවසිංහ සහ කුමාරතුංග මුනිදාස වැනි සිංහල සාහිත්‍යධරයන් සමඟ එකට එක්ව සිංහලයෙකු මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක විය.
පසු කාලීනව 1980 මාර්තු 22 වැනි දින ඔහු මියයන තෙක් අවුරුදු 60ක් පමණ වූ කාල පරාසය තුළ මෙතුමා සිදු කළ ජාතික, ආගම, සාමාජයීය කටයුතු පිළිබඳ අවලෝකනය කිරීමේදී මෙතුමා කළ ආගමික සංහිඳියාව සහ සිංහල, දමිළ මිත්‍රත්වය නොබිඳෙන ලෙස ඒකාත්මික කර තබන්නට අදහාගත නොහැකි තරම් උනන්දුවක් සහ අවශ්‍යතාවයක් පැවැති බව මනාව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ උතුරින් දකුණට සංක්‍රමණය වූ මොහු කොළඹ පිටකොටුවේ බෝගහ හන්දියේ ලීලා ස්ටෝර්ස් නමින් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එකල අනාරක්ෂිතව පැවැති මෙම බෝධි වෘක්ෂය ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් අවස්ථා දෙකකදීම කපා ඉවත් කිරීමට සූදානම් වූ අතර මෙම හින්දු බැතිමතා සහ මීගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඊට විරෝධය ප්‍රකාශ කිරීම එය වළක්වා ගත හැකි විය. සෑම දිනකම උදෑසන මෙම බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීමට පුරුදුව සිටි සින්නදුරේ බෝධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට ගේට්ටුවක්ද දැමීය. පසුව බුදුකුටියක් ඉදිකොට බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන ලදී. එසේම ඔහුගේ බලවත් උත්සාහය නිසා එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කොට පිටකොටුවේ සෙසු ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ද ලබාගෙන විහාර මන්දිරයක්, චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ දේවාල ආදී සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතව බෝධිරාජ විහාරය සංවර්ධනය කරන ලදී.
උපතින් හින්දු බැතිමතෙකු වූවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ මෙතුමා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දන්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය සහ ඇහැලියගොඩ සාම මහා විහාරය ආදී විහාරස්ථාන රැසක දියුණුව උදෙසා සින්නදුරේ පවුලේ ඍජු දායකත්වය ලබාදී ඇත. සිංහරාජ වන පෙදෙස් සුමංගල ජන විජය චෛත්‍යය ඇතුළු ශ්‍රී ලංකාව පුරා තවත් විහාරස්ථාන රැසක් සංවර්ධනය උදෙසාද මොහු අනුග්‍රහය ලබා දී ඇත.
එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සිතුවම් සහිත දින දර්ශනය වන ලීලා පංචාඤ්ග දින දර්ශනය මොහුගේ සුවිශේෂතම සේවාවකි. තවද ශ්‍රී ලංකාවේ විද්වතුන්ට ලේඛකයින්ට සහ කවියන්ට තම නිර්මාණ සහ ග්‍රන්ථ ඉතා පහසු මුදලකට මුද්‍රණය කර එළිදැක්වීමට අනුග්‍රහය දැක්වීමෙන්ද සිංහල භාෂාව හා සාහිත්‍යයට මොහු කළ සේවාව අගය කළ යුතුය.