
දරුවොත් එක්ක සතුටින් ඉඳල මගේ මහත්තයා ගියේ පැය දෙකකින් එනව කියල. අනේ මගේ රත්තරන්ට මෙහෙම දෙයක් වෙයි කියල කවුද හිතුවේ. මගේ දරුවො දැන් තාත්තා කියන්නෙ කාටද? දෙවියනේ, මගේ දරුවො තාත්තා ආයේ කවදා දකින්ද?" නොහික්මුණ රියදුරකුගේ ආකාරුණික බවට ගොදුරක්වූ හක්මණ පොලීසියේ පොලිස් සැරයන් මාලිත විතාරණ ගේ බිරිය එස්. පී. නිරෝෂිකා කඳුළු සලමින් පැවසුවාය.
මාලිත විතාරණ මෙම ඛේදනීය ඉරණමට මුහුණ දුන්නේ පසුගිය 13 දින රාත්‍රියේ හක්මණ කෝංගල මාර්ග බාධකයේදීය. වලස්මුල්ල මොදරවාන පල්ලෙවාව්ව පදිංචිව සිටි මාලිත තිස් හයවැනි වියේ පසුවූ දෙදරු පියකි.
වෙනදා දරුවන්ගේ කෙළි සෙල්ලම් හඬින් ගිඟුම්දුන් මහ ගෙදර අද කඳුළින් බරව ඇත්තේය. සුදු කොඩි, ශෝක ප්‍රකාශ බැලූ බැලූ හැම තැනම දක්නට ලැබීමෙන් පෙනීයන්නේ මුළු ප්‍රදේශයම මාලිතගේ වෙන්ව යාමෙන් දුකට පත්ව ඇති බවයි. අහස් කුසටද මාලිතගේ වෙන්ව යාම දරාසිටිය නොහැකිව ඇත්තේය. විටින් විට ඇදහැලෙනා වැසි බිඳු අහස හඬන විට වැටෙවා කඳුළු බිඳු වැනිය.
![]() |
මාලිතගේ නිසල දේහය |
"අනේ මගේ මහත්තයා එදා හවස පහහමාරට විතර ඇවිත් දරුවොයි මමයි එක්ක සතුටින් හිටියා. පොලීසියෙන් කැඳවීමකට තමයි අටයි තිහට විතර ආපසු ගියේ. අනේ මගේ දරුපැටව් දෙන්නා ඉඹල පැය දෙකකින් එනවා කියල ගියේ. හොඳට ගියපු මගේ මහත්තයා ආපසු ආවෙ මෙහෙමයි. මගේ දරුවන් දැන් තාත්ත කියන්නෙ කාටද? මෙහෙම අපරාධ කරන්නේ අයි දෙවියනේ" නිරෝෂිකා මහත්මිය යළි යළිත් විලාප නගන්නීය.
මාලිත පැය දෙකකින් එන බව පවසා හක්මණ පොලීසියට ගිය ද නැවත නියමිත වේලාවට නොපැමිණියෙන් නිරෝෂිකා දරුවන් දෙදෙනා ද සමඟ රාත්‍රිය ගතකිරීම සඳහා තම නිවස ආසන්නයේ ඇති දෙමාපියන්ගේ නිවසට ගොස් ඇත්තේ වැඩි ආරක්ෂාව සඳහාය. එලෙස මහ ගෙදර සිටියදී මෙම කනගාටුදායක පණිවුඩය ලැබී ඇති අතර ඒ මොහොතේ පටන් සියලුදෙනාගේ නෙත් සිත් කඳුළින් බරව ඇත්තේය.
වීරකැටියේ ඉපිද ඇති මාලිත උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා පොලීසියට බැඳී ඇත්තේ 2008 වර්ෂයේදීය. නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබා පළමු පත්වීම ලෙස කොල්ලුපිටිය පොලීසියට පත්වන මාලිත එහි ටික කලක් සේවය කර හක්මණ පොලීසියට ස්ථාන මාරු ලැබ පැමිණියේය. පසුව යළි යාපනය අච්චුවේලී පොලීසියට ස්ථාන මාරු ලබා එහි කෙටි කාලයක් සේවය කර මේ වර්ෂයේ ජනවාරි මස සිට යළි හක්මණ පොලීසියට පැමිණ සේවය කරමින් සිටියදී මෙම ඛේදනීය ඉරණමට මුහුණදී ඇත.
![]() |
මාලිතගේ බිරිඳ නිරෝෂිකා හා දරුවන් දෙදෙනා
|
"මගේ පුතා ගෙදර අයට හරිම ආදරෙයි. ගෙදර ඉන්න කාලෙ මමත් එක්ක හරිහරියට ගොවිතැන් වැඩ කළා. මම අසනීප වුණාට පස්සේ ගොවිතැන් වැඩ ඔක්කොම බලාගත්තෙ මගේ මේ පුතා තමයි. ඒත් අනේ" මාලිතගේ පියාවූ ගුණපාල විතාරණ ට කියාගත හැකිවූයේ එපමණකි. දෙනෙත් කඳුළින් පිරී ගියේය.
පොලිසීයේ සේවය කරමින් සිටියදී නිරෝෂිකා සමඟ ඇතිවූ ප්‍රේම සබඳතාවක් මත 2011 දී විවාහවී ඇති මාලිත, සෙනුජ සෙන්සිත් (07) පුංචි පුතුගේ හා සෙනුජි තිහාරා පුංචි දියණියගේ ආදරණීය පියාවන්නට වාසනාවන්ත විය. එහෙත් දරුවන් දෙදෙනා අද තම පියා නැති සොවින් නිසොල්මන්ව සිටිති.
"අපේ පුතා අපිට හරි ආදරෙයි. උසස්පෙළ කරල බාහිර උපාධියත් කරන්න උත්සාහ ගත්තා. ගෙවල් වලට තියෙන ආදරය නිසාම සේවය ගැන ගොඩාක් උනන්දුවෙන් හිටියේ. අපේ පුතා අපිට දැන් නෑ. හිතක් පපුවක් නැති මිනිහෙක් පුතා අපිට නැතිකළා." මාලිතගේ මව වූ ලතා ගමගේ මාතාව හැඬූ කඳුළින් පැවසුවාය.
දඩපතක් ලබාදීමට උරණවූ ටිපර් රථ රියදුරු මාලිත ඇතුළු පොලිස් නිලධාරීන් යටකර පළා ගොස් සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුට මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම, අන්තරාදායි ලෙස රිය පැදවිම සහ අනතුරක් සිදු කොට පළා යෑම ආදි කරුණු යටතේ චෝදනා ගොනු කොට 15 දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 23 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇත.
මියගිය පොලිස් කොස්තාපල් මාලිත විතාරණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) දින පවුලේ අය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද සෝ සුසුම් මැද මොදරවාන ප්‍රදේශයේදී සිදුකෙරිණි.
![]() |
මාලිතගේ මව සහ පියා. |
![]() |
මාලිතගේ දේහය තබා ඇති නිවස. |