
පොලිස් දෙපාර්තමේන්තුවේ අසූහතර දහසක් පමණ වන නිලධාරින් අතුරින් අතළොස්සකගේ අවමන් සහගත හැසිරීම නිසාවෙන් මේ දිනවල පොලිසිය පිළිබඳව ජනතාව දක්වන්නෙ එතරම් 'හොඳ' ප්‍රතිචාර නොවේ.
පසුගිය කාලයේ පොලීසියෙන් වූ අවමන් සහගත සිදුවීම්වල දිගුවක් ලෙස සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් ගෙන ආ ශෝචනීය සිදුවීමක් වාර්තා වූයේ පසුගිය 10 වැනිදායි. ඒ, මොරටුව, ලුනාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සිවුදරු පියකු මිය යාමේ ඛේදවාචකයයි. එලෙස සිවිල් වැසියකු වෙඩි තබා ඝාතනය කිරීම නිසාවෙන් අඟුලාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් (15186) දිසානායක, කොස්තාපල් (92434) පොතුපිටිය සහ කොස්තාපල් රියැදුරු (94742) නිරෝෂ් යන නිලධාරින්ගේ වැඩ තහනමකටද ලක්කොට විමර්ශනයක්ද සිදු කිරීමට මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත.
එම කතාන්දරය පෙළ ගැසෙන්නෙ මෙලෙසිනි. මොරටුව, ලුනාව, හත්වැනි පටුමගේ, අංක 143/7 නිවෙසේ විසූ 39 හැවිරිදි කස්තුරිආරච්චිගේ අමිත් කරුණාරත්න වයස අවුරුදු 21, 16, 12 සහ 09 යන වයස්වල පසුවන දරුවන් සිවු දෙනෙකුගේ පියෙකි. වසර 15කට අධික කලෙක සිටම ධීවර රැකියාවෙන් සිය දරු පවුල රැකි අමිත් ලුනාව, අඟුලාන ප්‍රදේශයේ කා අතරත් හොඳහිත දිනාගෙන ජීවත්වූ අයෙකි. මේ දිනවල වාරකන් හෙයින් මුහුදට ගොස් ධීවර රැකියාවේ යෙදීමට තිබූ අපහසුව නිසාවෙන් අමිත් ඇතුළු පිරිස තීරණය කොට තිබුණේ රාජගිරිය ඇළට ගොස් 'බට්ටා' මාළු අල්ලාගෙන ජීවන වෘත්තිය කිරීමටයි. ඒ අනුව පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී අමිත් වැඩිමහල් පුත් අසිත නිලංක සහ අමිත්ගේ සහෝදරයෙක් වන අමිල මනෝජ් සමඟ තවත් දෙදෙනෙක් එක්ව ත්‍රිරෝද රථ දෙකකින් රාජගිරිය ඇළෙහි මාළු ඇල්ලීමට යාමට පිටත් විය.
එසේ ත්‍රිරෝද රථ දෙකෙන් පිටත්වූ පස්දෙනාට වැඩි දුරක් යාමට නොහැකි විණි. හරියටම ලුනාව සහ අඟුලාන දුම්රිය ස්ථාන අතර ලුනාව පාලම අසලදී ත්‍රිරෝද රථ දෙක නතරකර තිබුණේ පොලිස් නිලධාරින් විසිනි. ඒ, මේ දිනවල මත්ද්‍රව්‍ය සහ අපරාධකාරයන් කොටුකර ගැනීමට පොලිසිය සිදුකරන වැටලීම්හි නිරතව සිටි අඟුලාන පොලිසියේ ජංගම රාජකාරියේ නිරත නිලධාරින් තිදෙනෙකි. ඔවුන් මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි බවකි. වේලාව හරියටම මධ්‍යම රාත්‍රිය පසු වූවා පමණි.
නතර කෙරුණු ත්‍රිරෝද රථ දෙක පරීක්ෂාකොට බැලූ පොලිස් නිලධාරින්ට දැකගන්නට ලැබී ඇත්තේ එක් රථයකට ආදායම් බලපත්‍ර නොමැති බවයි. ඒ, අමිත් පැදවූ ත්‍රිරෝද රථයට බව සැලවේ. ඉන් අනතුරුව සිදුවී තිබුණේ ඛේදනීය තත්ත්වයකි. ඒ පොලිස් නිලධාරින් සහ අමිත්ලා අතර වූ බහින්බස් වීමක් දුරදිග ගොස් නිලධාරියෙක් විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් අමිත්ව මරණයට පත්වීමයි. එම ශෝචනීය සිදුවීම දුටු අයෙක් මාධ්‍යයට කීවේ,
"රාත්‍රී 12.10ට විතර ඇති. අපි දැල් බේරමින් හිටියේ. පොලිස් ජිප් එකේ තුන්දෙනෙක් ආවා. ජීප් එක නතර කරලා ඒ අය ටිකක් ඉස්සරහට ගියා. ඒත් එක්කම ඔය ත්‍රිවිල් දෙක ආවා. බලපත්‍ර ඇහුවා. එකක බලපත්‍ර අහෝසි වෙලයි කිව්වා. ඊට පස්සෙ ඔය මැරිච්ච කෙනාට පොලිසියෙ කෙනෙක් ගැහුවා. එයා ඇහුවා ඇයි රාලහාමි නිකන්ම ගහන්නෙ. එහෙම ගහන්න අයිතියක් නෑනේ. ඊට පස්සෙ ඔහුව ආපු කෙනෙක් අල්ලගත්තා. ඊට පස්සෙ පොලිසියෙ කෙනෙක් වෙඩි තිබ්බා."
එම සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිස් නිලධාරින්ට ගල්වලින් පහර දීමට උත්සාහ කිරීමේදී එක් නිලධාරියෙක් රාජකාරි ගිනිඅවියෙන් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් වෙඩි වැදුණු එක් අයෙක් මියගිය බවයි.
![]() |
2009 අගෝස්තු 12දා අඟුලානේ සිදුවූ මෙවැනිම ඝාතනයකින් එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපති නිව්ටන් සහ තවත් නිලධාරීන් තිදෙනෙකු
පෝරකයට නියමව රැගෙන ගිය අයුරු.
|
එහෙත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරින්ට එලෙස මඟතොට යනෙන සාමාන්‍ය වැසියන්ට වෙඩි තබන්නට දී ඇත්තෙ කුමන බලයක් ද? ඉන් මේ වන විට අහිංසක දරු පවුලක් අසරණ වී හමාරය. එක කුස උපන් අමිත්ගේ සහෝදරයා වන 36 හැවිරිදි අමිල මනෝජ්ද සිය පණ මෙන් ආදරය කළ සහෝදරයාට පාපතර පොලිස් නිලධාරියෙක් අතින් සිදුවූ වෙඩි ප්‍රහාරය වූ මොහොතේ එම ස්ථානයේ සිටි අයෙකි. ඔහු වාවාගත නොහැකි දුකින් යුතුව පවසන්නට වූයේ,
"අපි මාළු අල්ලන රස්සාව කරන්නෙ. ත්‍රිරෝද රථ දෙකකින් සිද්ධිය වූ ස්ථානය පසුකර යාමටයි ගියේ. පොලිසිය එතැනදි අපිව නතර කළා. පොලිස් නිලධාරින් මත්පැන් පානය කරලා හිටියේ. අපේ එක ත්‍රිවිල් එකක බලපත්‍රය කල් ඉකුත් වෙලයි තිබුණේ. ඒ වෙලාවෙ තමයි ඔය පොලිස් නිලධාරියා අපේ අයියට ගැහුවේ. අන්තිමට වෙඩි තියලා මරලා දැම්මා. මටත් වෙඩි තිබ්බා. අයියගෙ පුතාටත් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි හතරක් තිව්වා. පස්සෙ ඒ වෙඩි උණ්ඩත් අරගෙනයි මේ අය එතැනින් ගිහින් තියෙන්නෙ."
අමිත් සමඟ ඔහුගේ පුත්‍රයාද ධීවර රැකියාවට ගොස් තිබුණේය. පොලිස් නිලධාරින් තිදෙනාගෙන් අයෙක් ආදායම් බලපත්‍ර නොමැති රථයට දඩ කොළයක් දීම සඳහා අමිත්ව පොලිස් ජංගම රථය අසලට රැගෙන ගොස් තිබේ. ඒ අතරේ එක් පොලිස් නිලධාරියෙක් 'කෝ උඹලා ළඟ තියෙන කුඩු... ගංජා ගනින්' යැයි දැඩි ස්වරයෙන් පවසමින් අමිත්ගේ කලිසම් සාක්කුවට අත දැමීමට තැත් කළ බව අමිත්ගේ වැඩිමහල් පුත් 21 හැවිරිදි අසිත නිලංක කීවේය. “සාක්කුවට අත දාන්න එපා... එයා සාක්කුව පෙන්නන්නම් කියලා. පස්සෙ සාක්කුවල තිබුණු ෆෝන් එකයි සල්ලියි ඒ නිලධාරියාට දුන්නා. එතකොට ඒ නිලධාරියා 'උඹේ කට වැඩියි...' කියලා අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තාත්තට ගැහුවා. එතකොටම තාත්තා කිව්වා, 'සර් කතා කරන්න දැනගන්න... අපි වැරැද්දක් කළේ නෑනේ...' ඊට පස්සෙ තවත් නිලධාරියෙක් ඇවිත් 'උඹේ කට වැඩියි... ඔළුව කුඩුවෙන්න තියනවා කියලා තාත්තගෙ ඔළුවට තුවක්කුව තිබ්බා... තාත්තා එතැනින් රැගෙන යන්න හදද්දිම පොලිසියෙන් කෙනෙක් පිටුපසින් ඇවිත් තාත්තගෙ ඔළුවට වෙඩි තිබ්බා... ඊට පස්සෙ තාත්තට තව වෙඩිල්ලක් තිබ්බා. මටයි බාප්පටයිත් වෙඩි තිබ්බා." යැයි අසිත කීවේය. කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තෙ අමිත්ගේ හිසට වෙඩි වැදීමෙන් වූ බරපතළ හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
මෙකී ඛේදනීය සිදුවීමත් සමඟ කුපිත වූ ලුනාව සහ ඒ අවට ගම්මු අඟුලාන පොලිසියට එරෙහිව දැඩි විරෝධයක් පළ කරන්නට වූහ. ඒත් සමඟ අඟුලාන පොලිසිය සහ අවට තත්ත්වය සැලවුණු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුණේ තත්ත්වය පාලනය කිරීමටයි.
අමිත්ගේ පවුලේ සාමාජිකයන්ට වූ අසාධාරණයට පොලිසිය පැත්තෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් සහ නීතිය අපක්ෂපාතිව ක්‍රියාත්මක කොට සර්ව සාධාරණය ඉටුකරන බව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අමිත්ගේ කුඩා නිවෙසට දින දෙකකදීම ගොස් සපථ කළේය. ඔහු එහිදී නිවැසියන්ට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කනගාටුව ප්‍රකාශ කරමින් පැවැසුවේ,
![]() |
පසුගිය 16 වැනිදා අඟුලාන පොලීසියට ජනයා ගල් මුල් ප්‍රහාර එල්ල කළ ආකාරය. |
"මේ සිද්ධියට අඟුලානේවත් ශ්‍රී ලංකා පොලිසියේවත් සැවොම සම්බන්ධ නෑ. මේකට සම්බන්ධ තුන්දෙනයි. වෙඩි තැබීම සිදුකරලා තියෙන්නෙ එක් අයෙක්. මේ සිද්ධිය වසං කරන්නවත්... වරදක් කරලා තියෙනවානම් ඔවුන් බේරගන්නවත් අපි කිසිම විටෙක උත්සාහ ගන්නෙ නෑ. පොලිසිය බාර ඇමැතිතුමා ලෙස චමල් රාජපක්ෂ ඇමැතිතුමාත් මට කතා කරලා උපදෙස් දුන්නෙ කිසිම ප්‍රශ්නයක් නොවන විදිහට සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි."
ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් තිබෙන අතර පසුගිය 16 දා මෙකී ඝාතනයේ අධිකරණ කටයුතු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති දිනයයි.
එදින පාන්දර පොලිසිය විසින් මෙහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඔවුනගේ නිවෙස්වලටම පැමිණ රැගෙන යාම පිළිබඳව අඟුලාන ජනතාව අතර කසුකුසුවක් ඇතිවී තිබිණි. අනතුරුව එදින මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා විසින් මෙකී විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියෝග කෙරිණි.
එම අධිකරණ ක්‍රියාදාමයෙන් පසු සවස 2.30ට පමණ අඟුලාන පොලිසිය අවට රැස්වූ ගම්මු පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරි ලෙස හැසිරෙන්නට වූහ. ඉන් පොලිසියට දැඩි හානි සිදුවිණි. ඒත් සමඟ එම ස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මියගිය අමිත්ගේ නිවෙසටද ගිය අතර ජනතාවට අවධාරණය කර සිටියේ, කලහකාරි ලෙස හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි. පොලිසිය පැත්තෙන් යම්කිසි අඩුපාඩුවක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවත් ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, කොල්ලකරුවන්ට නොරැවටී කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
අඟුලාන පොලිසියේ දේපොළවලට දැඩි හානි සිදුකොට පොලිස් නිලධාරින් නවදෙනෙකුට තුවාල කිරීම හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙකු සහ කාන්තාවන් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අඟුලාන පොලිසියට අනුයුක්ත රාජකාරි කළ නිලධාරින්ගේ අතින් මෙලෙස මිනිස් ඝාතනයක් වූ පළමු අවස්ථාවද මෙය නොවේ. 2009 අගෝස්තු 12 වැනිදාද සුළු වරදකට අඟුලාන පොලිසියේ අත්අඩංගුවට පත් අඟුලානේ තරුණයන් දෙදෙනෙක් වූ දිනේෂ් තරංග සහ ධනුෂ්ක උදයංග දෙදෙනා වෙඩි තබා ඝාතනයකොට මළසිරුරු ස්ථාන දෙකක තිබී හමු විණි. 2009 අඟුලාන ද්විත්ව ඝාතනය ලෙසින් රටේම මහත් ආන්දෝලනයක් ඇතිකළ එම සාහසික අපරාධය කළ බවට එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ විනී නිව්ටන් සහ තවත් නිලධාරින් තිදෙනෙකුට මරණ දඬුවම් නියම විණි.
මෙලෙස පොලිසිය සහ ජනතාව අතර සහසබඳතාව පළුදු වන ආකාරයෙන් හැසිරෙන පොලිස් නිලධාරින්ට එරෙහිව පොලිසිය පැත්තෙන් දැඩි තීන්දු තීරණ ගත යුතුය. එසේම මින් ඉදිරියට හෝ මෙවැනි අපරාධ පොලිස් නිලධාරින් අතින් සිදු නොවීමට වග බලා ගනිමින් පොලිසිය 'සුද්ධ' කළ යුතු කාලය එළැඹ ඇති බව පෙනේ. එසේම ජනතාවද කුඩුකාරයන්ට, කොල්ලකරුවන්ට නොරැවටී බුද්ධිමත්ව හැසිරිය යුතු බව අවධාරණය කරන්නෙමු.
ඡායාරූප - සමීර අබේසිංහ (නුගේගොඩ සමූහ)