ලක්ෂ 40ක ජනතාවක් මරු තුරුළට යැවූ 1931 චීනයේ මහා ගංවතුර | Page 4 | සිළුමිණ

ලක්ෂ 40ක ජනතාවක් මරු තුරුළට යැවූ 1931 චීනයේ මහා ගංවතුර

පසුගිය සතිය වන විට චීනයෙන් බාගයක් යට කරමින් දෙගොඩ තලා ගලා යමින් තිබූ ගංවතුර මේ වන විට බැසගොස් තිබේ. බොහෝ දෙනා බය පළ කළ පරිද්දෙන් චීනයේ මහා ත්‍රී ගෝජස් වේල්ලද බිඳී ගියේ නැත. මේ වන විට ගං වතුරෙන් යට වූ ප්‍රදේශවල යළි සාමාන්‍ය ජන ජීවිතය ස්ථාපිත වෙමින් තිබේ.

එලෙසින් මෙවර ජූලි මාසය චීනයට සැනසුමක් උදා කළද 1931 වසරේ ජූලි මාසයේ චීනය දෙගොඩතලා ගිය ගංවතුර එලෙසින් චීන ජනතාවට සැනසුමක් උදා කළේ නැත. එවර චීනයට ඇද වැටුණු මහ වැසි අවසානයේ මධ්‍යම සහ නැගෙනහිර චීනය යට කළ ගංවතුර මාස හතරකට පසු බැස ගියේ ලෝකයේ ලොකුම ජීවිත හානි සංඛ්‍යාව සිදු කළ ස්වභාවික ව්‍යසනය වාර්තා කරමිනි.

වර්ෂ 1928 සිට 1930 දක්වා කාලය චීන ජනතාවට පහසු කාලයක් වූයේ නැත. එක දිගට ඇදී ගිය මහා නියඟයක් හේතුවෙන් ඔවුහු දැඩි සේ පීඩා වින්දාහ. එහෙත් 1930 වසරේ ශීත ඍතුවේදී මහා හිමපතනයක් ඇතිවූ අතර මධ්‍යම සහ නැගෙනහිර චීනයේ උස් කඳු මුදුන් රැසක විශාල වශයෙන් හිම තට්ටු පතිත විය. 1931 වර්ෂා සමය සුපුරුදු පරිදි උදා වූයේ මේ සියලු ස්වභාවික සංසිද්ධීන් එකට කැටිකොට මහා විපතක් සිදු කරණු ඇතැයි ඉඟියක් හෝ නොලබමිනි.

ජූලි මස සුපුරුදු පරිදි වර්ෂා සමය උදා වූ අතර දිගු කාලීන නියඟයකින් පීඩා විඳි ජනතාව යැංග්සි ගංගා නිම්නයේ තම වගා කටයුතු ආරම්භ කළහ. එහෙත් වර්ෂාව ධාරාණිපාත විය. වාර්තා වී ඇති අන්දමට බොහෝ දිනවල මිලිමීටර් 600ට වැඩි වර්ෂාපතනයක් චීනයේ නැගෙනහිර ප්‍රදේශවලට ලැබී තිබිණි. එයින් පසුව ගං වතුර ආවේය.

කිසිවකුට සූදානම් වීමේ අවස්ථාවක් නොවීය. ඇද වැටුණු මහා ජලධාරාවන්ට එක් වූ උස් කඳු මුදුන්වලින් දිය වී ගලා හැලුණු අයිස් පරුවත මහා ජල බිත්තියක් මැවීය. එය වේගයෙන් පහත් බිම්වල ජනතාව කරා ඇදී ආවේය. මධ්‍යම සහ නැගෙනහිර චීනයේ අන්හුයි, හුබෙයි, හුනාන්, ජින්ග්සු, ජියෑන්ග්ක්සි, හෙනාන් සහ ශැංග්ඩොන්ග් ප්‍රාන්ත සහ වූහාන් ඇතුළු එම ප්‍රාන්තවල ප්‍රධාන නගර ඇසිල්ලකින් ජලයෙන් යටවී ගියේය. ඇසින් දුටු සිද්ධිය අනාගත සාක්ෂියක් කර තැබීමට තරම් වාසනාවන්ත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ජින් ශිලොංග් ඇසින් දුටු දේ මෙසේ අනාගතයට වාර්තා කර තැබුවේය.

“එහි කිසිදු අනතුරු ඇඟවීමක් පැවතියේ නැහැ. එක්වරම මහා ජල බිත්තියක් ගලා ආවා. එපමණයි. ඒ වන විට වූහාන් නගරයේ අති බහුතරයක් ගොඩනැගිලි තනි මහල්. එබැවින් මේ ගලා ආ ජල කඳෙන් ගැලවීමට යා යුතු කිසිඳු ආරක්ෂිත ස්ථානයක් තිබුණේ නැහැ. ජනතාව එක්වරම මරු වැලඳ ගත්තා. මේ මහා ජල බිත්තිය ගලා එන විට මම සේවය අවසන්ව කාර්යාලයෙන් ඉවතට ආවා පමණයි. ඒ කිසිදා අමතක නොවන බිහිසුණු දර්ශනය මා දුටුවා. ඒ වන විට මා සේවය කරමින් සිටි කාර්යාලයේ ගොඩනැගිල්ල තට්ටු තුනක උසට සාදා නිමකළේ ඊට කෙටි කාලයකට පෙරයි. එබැවින් එය ඒ මුළු මහත් ප්‍රදේශයේම පැවති උසම සහ ශක්තිමත්ම ගොඩනැගිලි සුළුතරයෙන් එකක්. මා කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළ මහලටම දිවගියා. “

එහෙත් වැඩි දෙනා ජින් ශිලොංග් මෙන් වාසනාවන්ත වූයේ නැත. මාස හතරක් පුරා ගංවතුර බැස ගියේ නැති අතර ඇතැම් තැන්වල පොළොව මට්ටමේ සිට අඩි 56ක් දක්වා උසට වතුර මට්ටම විය.

ජනතාව ගං වතුරෙන් දිවි ගලවා ගත්තද කුසගින්න ඔවුන් අතරින් වැඩි දෙනා බිලි ගැනීමට සමත් විය. ගංවතුර අවසානයේ කළ ගණනය කිරීම් අනුව මියගිය සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවීය. මේ වන විට චීන බලධාරීන් සපයන වාර්තා අනුව 1931 මහා ගංවතුරෙන් දිවි අහිමි වූ චීන ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂ 40ක් විය. මිලියන 23ක ජනතාවක් අවතැන් වූ බවට චීන රජය පවසා තිබුණද, ඇතැම් වාර්තා පවසන්නේ එම සංඛ්‍යාව මිලියන 56ක් ලෙස නිවැරදි විය යුතු බවයි. අද වන විටත් 1931 චීනයේ මහා ගංවතුර සැලකෙන්නේ ලෝකයේ වැඩිම ජනතාවකගේ දිවි අහිමි වූ ස්වභාවික ව්‍යසනය ලෙසය. මේ වාර්තාව බිඳ දැමීමට තවමත් ලෝකයේ වෙනත් කිසිදු ස්වභාවික ව්‍යසනයකට හැකියාව නොලැබුණේ මිනිස් වර්ගයාගේ වාසනාවට විය හැකිය.

මාස හතරක් පුරා චීනයෙන් වැඩි ඉඩක් වසාගෙන සිටි ගංවතුර අවසානයේ 1931 වසරේ නොවැම්බර් මාසයේ දී බැස යන්නට විය. පසුව කරන ලද ගණනය කිරීම් අනුව මෙලෙස වතුරෙන් යට වූ ප්‍රදේශය එංගලන්තය සහ ස්කොට්ලන්තය එක් කළ විට ලැබෙන භූමි ප්‍රමාණයට සමාන විය. නැතහොත් අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි ප්‍රාන්ත දෙක එක් කළ විට ලැබෙන භූමි ප්‍රමාණයට සමාන විය. එම භූමි ප්‍රමාණය ලංකාවට සමාන කරන්නේ නම් ලංකාව මෙන් තුන් ගුණයක් පමණය. මේ මහා ව්‍යසනයෙන් පසු චීන ජනතාව තම දිවි බේරා ගැනීමට අතට හසුවන ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට පුරුදු වූහ. ඇතැම් දෙනා වල්පැළෑටි ආහාරයට ගත් අතර, ගස් පොතු සහ පස් ආහාරයට ගෙන දිවි ගැටගසාගත් පිරිස්ද විය.

1932 වසරද බොහෝ දුක් විඳීමට චීන ජනතාවට සිදුවූයේ ඔවුන්ගේ වගා බිම් අතරින් බහුතරය ගංවතුර විසින් බිලි ගනු ලැබූ නිසාය. එහෙත් එතැන් සිට යළි එකාවන්ව නැගී සිටීමට චීන ජනතාවට හැකි විය. මේ මහා ව්‍යසනය චීනයේ පසුකාලීනව ඇතිවූ දේශපාලනික බිඳ වැටීම් සහ නැගී සිටීම්වලටද වක්‍ර හේතුවක් විය.

චීන කොමියුන්ට්ස් පාලනය උදා වූ පසු යළිත් මෙවැනි මහා ව්‍යසන ඇති නොවීමට එවකට චීනයේ පාලක සභාපති මාඕ සේතුං යැන්ග්සි ගඟේ ගං වතුර පාලනය කිරීමට මහා වේල්ලක් ඉඳි කිරීමේ අදහස ඉදිරිපත් කළේය. මෙවර මහා ගංවතුරට නොසැලී දරා සිටිමින් ජනතාව ආරක්ෂා කළ ත්‍රී ගෝජස් වේල්ල ඉඳි වූයේ ඒ අනුවය.

සොබාදහම එවර චීනය බොහෝ සේ රිදවූයේය. එහෙත් ඒ එවර පමණක්මය. මන්ද යත් චීන ජනතාව අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගන්නා බැවිනි.

Comments