සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකලොත් ඡන්දය තියන්න බෑ | සිළුමිණ

සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකලොත් ඡන්දය තියන්න බෑ

සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද යළි අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය.

තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය.

''වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය දීමට පැමිණියා. නිලධාරිවත් බැරිනම් අපිට පාලනය කර ගන්න සාමාන්‍ය ජනතාව කොයි විදියට පැමිණෙයිද ? ඒක වළක්වන්න, පාලනය කර ගන්න මේ නීතිය අවශ්‍යයි. මේ ගැසට් පත්‍රය නොමැතිවීම අපේ කටයුතුවලට බරපතල බාධාවක්.'' යනුවෙන් ඔහු පැවසුවේය.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස නීතිමය වටිනාකමක් ලබා දී නොමැති නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ජූලි 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළහ.

අගෝස්තු 05 වැනිදා ඡන්දය විමසීම වෙනුවෙන් උපරිම උත්සාහය ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව ජූලි 21 යළි රැස්වීමට නියමිත අතර එදිනට රටේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.

 

Comments