
ළමයාගේ අත්දෙක බැඳ තබා ඇත්තේ කලහකාරී ලෙස හැසිරීම නිසා බව පොලිසිය පවසයි
පහර වැදීමෙන් දැඩි තැලීම් හා හිස ආශ්‍රිත කැපුමක් ද සිදු වෙලා
පොලිස් නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවලා
පසුගිය 25 වනදා නොඇසිය යුතු කතාවක් අපට අසන්නට ලැබුණි. නොඇසිය යුතු කතාව කෙසේ වෙතත් එය සිදු නොවිය යුතු මට්ටමේ සිදුවීමකි. මෙය සිදුවූයේ අලුත්ගම දර්ගා නගරයේ අඹගහ හන්දිය ප්‍රදේශයේය. මෙකී සිදුවීම ට අනුව එදින වයස අවුරුදු දාහතරක ළමයකුට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පහර දීමට ලක් කර තිබේ. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ එම දරුවා නිරෝගී දරුවකු නොවීමයි. එනම් ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යටතට ලඝු කර ඇති දරුවෙකි. මෙම ළමයා දර්ගා නගරයේ අඔගහ හන්දිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ බයිසිකලයෙනි. ඒ අවස්ථාවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔහුට පහර එල්ල කර තිබේ.
ඉන් පසු ඔහුව රැගෙන ගොස් තිබුණේ අසල ඇති පොලිස් මුරපල වෙතය. ළමයාගේ පියා පැමිණ තිබුණේ ළමයාට පහරදුන් ආරංචිය ලැබීමෙන් පසුවය. පොලිස් නිලධාරීන් පිරිස මෙම දරුවාට පහර දීම නිසා දැඩි තැලීම් වලට ලක්වන්නට සිදුවූ අතර හිස ආශ්‍රිතව කැපුමක් ද දක්නට ලැබුණි. ළමයාගේ පියා තම දරුවා බේරගන්න පැමිණියේ පොලිස් මුරපොළ වෙතය. එහිදී දරුවාගේ දෑත් බැඳ තිබිණි. පසුව ළමයා සමග නාගොඩ රෝහලට පැමිණි පසු එයින් පවසා සිටියේ ළමයාව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසයි. කෙසේ වෙතත් මේ සිදුවීම වන විටද ළමයා සති කිහිපයක සිට තම රෝගී තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබා නොගෙන ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් මේ සිදුවීම් සම්බන්ධව දරුවාගේ පියා විසින් පොලිස් කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ මොහොත වන විට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවයද අත්හිටුවා තිබේ.
ඉහත සඳහන් කරුණ එක් පාර්ශ්වයක් විසින් ප්‍රකාශ කළ ද ඊට වෙනස් වූ අදහස් වෙනත් පාර්ශවයකින් මේ මොහොත වන විට ඉදිරිපත් වෙමින් පවතී. එනම් වයස අවු 14 ක් යැයි කියූවද එම ළමයාගේ වයස අවුරුදු 14 ට වඩා වැඩි බවත් ඇඳිරි නීතිය පැවති සමයේ ඇඳිරි නීති උල්ලංඝනය කරමින් ද පැවති තත්ත්ව යටතේ මුහුණු ආවරණය නොකර මෙම ළමයා බයිසිකලයෙන් පැමිණීමේදී පොලිස් නිලධාරීන් ඔහුව නතර කළ බවත්ය. නමුත් එය එය නැවැත්වූවේ නැති නිසා බයිසිකලේ ආසනය අල්ලා ගැනීමට යාමේදී සයිකලය පෙරළී යෑමත් සමඟ කලබලයට පත්වූ ළමයා පොලිස් නිලධාරීන්ට කෙළගැසීමටත් කෑකෝ ගැසීමට මෙන්ම හපා කෑමටත් පටන් ගෙන ඇත. ඔවුන් ළමයාගේ අත්දෙක බැඳ තබා ඇත්තේ කලහකාරී ලෙස හැසිරීම නිසා බව ද පැවසේ.
1939 ළමා හා යෞවන ආඥා පනතේ 88 වගන්තිය අනුව ළමයා යනු වයස අවුරුදු දාහතර ට අඩු පුද්ගලයකු වන අතර අවුරුදු 14ට වැඩි අවුරුදු 16 අඩු තැනැත්තන් යෞවනයන් ලෙස හැඳින්වේ. 1989 වසරේ සංශෝධිත 1985 වයෝපූර්ණත්ව ආඥාපනතින් පසුව පූර්ණත්වය වයස අවුරුදු 21 සිට 18 දක්වා පහත දමන ලදී. ඒ අනුව බහුතරයක් නීතීන්හි දැක්වෙන පරිදි සාමාන්‍යයෙන් ළමයා යනු අවුරුදු 18 නොඉක්ම වූ සෑම පුද්ගලයෙක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් කොළඹ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම තම අදහස් ඉදිරිපත් කළේ මේ ආකාරයටය."වර්ෂ 1995 දී එවක සිට ජී.එල්.පීරිස් ඇමතිවරයාගේ කාලයේ ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ශක්තිමත් භාවයක් පෙනෙන්නට තිබුණා. පැහැදිලිවම කිවහැකි කරුණක් වන්නේ මේ මගින් බොහෝ දෑ විමර්ශනය නොකිරීමයි. එයට හේතුව වන්නේ පවතින තත්ත්වයන් යටතේ ඔවුනට යම් දෙයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණ හොත් පමණයි ඒ පිළිබඳ ඔවුනට විමර්ශනය කළ හැක්කේ. තවත් දෙයක් තමයි විදේශ රටවල තියෙනවා වැරදි කරන අයගේ නම් ඇතුළත් කරපු රෙජිස්ටර් ක්‍රමයක්. එයින් ඕනෑම අයකුට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් දැනගන්නට පුළුවන්. නමුත් ලංකාවේ එහෙම ක්‍රමයක් තවමත් නෑ. අනිත් කරුණ තමයි ළමයින් සම්බන්ධව පවත්නා ගැටලුවක් අධිකරණයෙන් මාස හයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් නම් ඒක බොහොම යහපත් දෙයක්. නමුත් පවතින ගැටලුව වන්නේ සාක්ෂි මදිවීම. මේ වන විට ලෝකයේ මෙවැනි බොහෝ නඩු විසඳීම සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයට. කිසිදු විටෙක දරුවාව උසාවියට කැඳවීමක් කරන්නේ නෑ. ඒ තරම් ඔවුන් දරුවන් වෙනුවෙන් රැක බලා ගැනීමක් කරනවා. මම මේ හැමදෙයකින්ම කියන්න උත්සාහ කරේ මෙම ව්‍යූහයේ පවතින අසමතුලිතභාවය. මෙන්න මේ ව්‍යුහයහි නියමාකාර ලෙසින් ගොඩනැගුණහොත් ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් බොහෝ කරැණු වලට විසඳුම් ලබාගත හැකියි.
මේ හා සම්බන්ධව කල්‍යාණන්ද තිරාණගම මහතා කරුණු දැක්වූයේ මේ ආකාරයටය. "විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව වන්නේ බොහොමයක් දරුවන් අපයෝජනයට ලක්වීම සිදු වන්නේ පාසල් තුළින්. බොහෝ විට ගුරුවරුන් තමුන්ගේ තියෙන ප්‍රශ්න මුදාහරින්නේ ඉගෙන ගැනීමට එන දරුවා මතින්" තවදුරටත් අදහස් දැක්වූ කල්‍යාණන්ද තිරාණගම මහතා ප්‍රකාශ කළේ, එය ලංකාවේ කලක් තිස්සේ පැවත එන්නක් බවත් මේවාට ජනමාධ්‍ය පවා වගකිව යුතු බවත්ය.
නිලංකා ජයසූරිය යනු ළමා අපයෝජන පිළිබඳ මෙන්ම ළමා කටයුතු සම්බන්ධව පර්යේෂණ කරන්නියකි. ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ මෙසේය.
ළමයකුට එරෙහිව සිදුවන අපයෝජන ස්පර්ශ සහිත හා ස්පර්ශ රහිත ලෙස දැක්විය හැකිබවත් දූෂණය කිරීම ස්පර්ශ සහික ලිංගික අපයෝජනයක් වන අතර අන්තර්ජාලය හරහා සිදුවන අපයෝජන ඡායාරූප ගැනීම ආදිය ස්පර්ශ රහිත අපයෝජන ලෙස දැක්විය හැකි බව පවසයි. එමෙන්ම දරුවාගේ විශ්වාසයක් පළුදු වන ආකාරයට කතා කිරීම ළමුන් එකිනෙකා හා සැසඳීම ආදිය මඟින් තම පවුල තුළ දී ම දරුවන් වාචික වශයෙන් අපයෝජනයට ලක් වන අවස්ථා ද දැකගත හැකි බව ද ඇගේ අදහසයි.
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධනුෂිකා අබේරත්න සඳහන් කරන්නේ මෙවැන්නකි . ළමයාගේ පැවැත්ම සංවර්ධනය කිරීම රජයේ වගකීමක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම යම්කිසි දරුවෙක් ආබාධිත තත්ත්වයේ සිටීනම් අනෙක් දරුවන් මෙන් හැදී වැඩීමට සහ විශේෂ රැකවරණයක් ලබා ගැනීමට ඔහුට හිමිකමක් පවතින අතර දරුවන්ට වද හිංසා කිරීම, දඩුවම් කිරීම ,දරුණු ලෙස සැලකීම, නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගැනීමට සිදු නොකළ යුතුය. නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගත්තද නිසි සැලකිලි ලැබීමට ඔහු සතුව අයිතිවාසිකමක් ද පවතී. තවදුරටත් කරුණු සඳහන් කරන ඇය පවසන්නේ පසුගිය වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට ළමයා යනු සමාජයේ අවදානමට භාජනය වූ පිරිසක් වන අතර එහිදී ඔවුන් අතරිනුත් ආබාධ සහිත, විශේෂ මානසික ආබාධ සහිත දරුවන් අනතුරට භාජනය වීමේ ප්‍රවණතාව ද වැඩි බව ය.
මීට කාලයක සිට ළමා අපයෝජන සම්බන්ධයෙන් කතාබහ කළ ද ඒවා සඳහා යුතු ක්‍රියාමාර්ග බොහෝවිට ප්‍රායෝගික මට්ටමේ නැති බව පෙනෙන්නට තිබෙන කරුණකි. මන්ද ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූවා නම් වර්තමානය වන විට ළමා අපයෝජන ක්‍රමිකව වර්ධනයක් සිදුවීමේ හැකියාවක් නැත. කෙසේ වෙතත් අනාගතය බාර ගැනීමට සිටින දරුවන් රැකබලා ගැනීම අප සියලු දෙනාගේම පරම යුතුකමකි.