කොරෝනාවෙන් වැසුණු පාසල් විවෘත කිරීමට පෙර මේ ගැනත් සිතන්න! | සිළුමිණ

කොරෝනාවෙන් වැසුණු පාසල් විවෘත කිරීමට පෙර මේ ගැනත් සිතන්න!

මුලින්ම වැසිය යුත්තේත් පාසල්...

අවසානයට විවෘත කළ යුත්තේත් පාසල්...

කොවිඩ් වසංගතයේ අවදානම තවමත් පහව ගිහින් නැත්තේය. මේ වන විට රටේ විවිධ පළාත් පියවරෙන් පියවර විවෘත කිරීමට රජය කටයුතු කරන්නට සුදානම් වුවද, ඒ සියල්ල කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා ආරක්ෂක ක්‍රමවේදයන්ට මුල් තැන ලබා දෙමිනි. ලංකාවට කොවිඩ් වසංගතයේ අවදානම මතුවීමත් සමඟ මුලින්ම වසන්නට යෙදුණු පාසල්, විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු අධ්‍යාපන පද්ධතිය තවමත් විවෘත කර නැති අතර රජය පවසන්නේ මැයි මස 11 වැනිදා වන විට පාසල් පද්ධතිය නැවතත් ආරම්භ කරන්නට හැකි බවය. අධ්‍යාපන බලධාරීන් හා රජය ද මේ කටයුත්තට අත ගසන්නේ සෞඛ්‍ය බලධාරින්ගේ නිසි උපදෙස් හා අනුදැනුම මතය.

කෙසේ වෙතත් රටේ මිලියන 4.5 ක සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් පද්ධතිය නැවත ආරම්භ කිරීමේ අභියෝගය ඇත්තෙන්ම අභියෝගයකි. ඒ සඳහා මේ වන විට විවිධ පාර්ශ්වයන් විසින් රජයට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටින්නේ රජය ගන්නා ඒ ක්‍රමවේදයට සහයෝගයක් ලබා දීමේ අටියෙනි. මේ කරුණ පිළිබඳව අදහස් දක්වන අය පවසා සිටින්නේ රජය විසින් කොවිඩ් වසංගත තත්වයන් පාලනය උදෙසා වසා දමන ලද පාසල් පද්ධතිය නැවත විවෘත කිරීමේ දිනය පිළිබඳ නැවත වරක් සලකා බලන ලෙසයි. එලෙස පාසල් විවෘත කරන්නේ නම් පාසල් ඇතුළු සියලූම පාර්ශ්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්ද ඔවුහු මෙහිදී අවධාරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීතින්ට අනුකූලව නම් මෙවැනි වසංගතයකදි මුලින්ම වැසිය යුත්තේ පාසල් වන අතර අවසානයේ විවෘත කළ යුත්තේද පාසල් ඇතුළු දරුවන් ගැවසෙන විද්‍යායතන හා විශ්වවිද්‍යාල ය.

කොවිඩ් වසංගතයට ගොදුරු වූ රටවල මේ තත්ත්වය කෙබදු වීද? මේ පිළිබඳව සිළුමිණ හා අදහස් දැක්වූයේ ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියයි.

“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනුම් දණ්ඩට අනුව නම් මෙවැනි වසංගතයකදි මුලින්ම වැසිය යුත්තේ පාසල්. ඒ වගේම අවසානයට ආරම්භ කළ යුත්තේද පාසල්. ඊට හේතුව වන්නේ පාසල් දරුවන් මඟින් රෝගය බෝවීම වැඩි නිසයි. මෙහිදි දරුවන් රෝග වාහකයින් වෙනවා. ඒ දරුවන් මඟින් නිවෙස්වල අයටත් රෝගය බෝ විම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පාසල් ඇරීම කියන්නේ සැම සේවයක්ම සක්‍රීය විමක්. පාසල්වල සමාජ දුරස්තභාව පවත්වා ගෙන යාමේ ප්‍රශ්න පැන නඟිනවා. කොවිඩ් වසංගතයෙන් පස්සේ ඩෙන්මාර්කයේ පාසල් විවෘත කළේ කඩින් කඩයි. කුඩා දරුවන්ගෙනුයි ඔවුන් මුලින්ම පාසල් විවෘත කිරීම ආරම්භ කළේ. ඒ කුඩා දරුවන්ට මෙහි වැළදිම අවම නිසා. ද්වතියික පාසල් විශ්වවිද්‍යාල එසේ මුලින්ම විවෘත කළේ නැහැ. ඒ වගේම ප්‍රංශයේ මැයි මස 11 වැනිදා පාසල් විවෘත කරනවා. ඒ කඩින් කඩ. නමුත් අපේ රටේ මේ වන විට එවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නැහැ. නැවතත් පාසල් අරින්නනම් කොරෝනා වසංගතය ලකාවෙන් තුරන් විය යුතුයි......“

ලංකාවේ පාසල් පද්ධතිය හා සන්සන්දනය කිරීමේදි පාසල් තුළ ඇති තදබදය මේ ප්‍රශ්නය තවත් ව්‍යාකූල කරවන්නකි. අද බොහෝමයක් පාසල් වල සිසුන් 5000 ඉක්මවා සිටින අතර පංති කාමර වල සිසුන් 50 කට ආසන්න ප්‍රමානයක් සිටිති. කුඩා කාමරයක් තුළ මීටරයක දුරස්තභාව පවත්වා ගෙන යන්නේ කෙසේද ? විවේක කාලයේදි, පාසල් ආරම්භයේදි පාසල් අවසානයේදි හා දරුවන් නිවෙස් කරා පැමිණීමේදි මේ දුරස්තභාවය පවත්වා ගෙන යන්නේ කෙසේද?

ලංකාව පුරා විසිරුණු මේ පාසල් පද්ධතිය හා සන්සන්දනයේදි මේ තත්ත්වය කෙසේ බලපායිද යන්න පිළිබඳ අදහස් දැක්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාය.

“පාසල් නැවතත් විවෘත කිරීම පිළිබඳ නිර්දේශ ලබා දිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්. අපේ පාසල් පද්ධතිය හා සන්සන්දනයේදි මේ තත්ත්වය වඩාත් බරපතලයි. වර්තමානයේ ලංකාවේ බොහෝමයක් පාසල්වල සිසුන් බහුතරයක් පාසල් සඳහා උදෑසන නගරයට ඇදි එනවා. නගරයේ පාසල්වල තදබදය ඉතා වැඩියි. සමහර පාසල්වල සිසුන් 5000 කට වඩා ඉන්නවා. සමහරු බස්වල එන්නේ තෙරපෙමින්. විවේක කාලයේදි මේ දරුවන් එකට මුසු වෙනවා. පාසල්වල මේ සාමාන්‍ය චර්යා රටාව වෙනස් කිරීම අපහසුයි. සෑම පාසල් ළමයෙකුටම මුඛ ආවරණයක් ලබා දීමට අපහසුයි. අද පන්තියක සිටින සිසුන් ප්‍රමානය උපරිමයකට ගිහින්. ළමයි කුඩා පංති කාමරයක ඉන්නේ උරෙන් උර ගටෙමිනුයි. මේ තත්ත්වය අද වගේ කාලකට පමණක් නොවෙයි, සාමාන්‍ය කාලයේදීවත් සුදුසු වාතාවරණයක් නොවෙයි. මේ නිසා අපි පාසල් නැවත් විවෘත කිරිම පිළිබඳ බලධාරීන් දැනුම්වත් කර තියෙනවා. එහිදි අපි ඉල්ලා සිටියේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් ලබා ගනිමින් මේ කටයුත්ත සිදු කරන ලෙසයි. “

ප්‍රමුඛතා පදනමක් මත පාසල් නැවත විවෘත කිරීමේ හැකියාව තක්සේරු කිරීම සිදු කළ යුතු බව මේ විද්වතුන්ගේ තවත් අදහසකි. එහිදී 2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා පාසල් විවෘත කිරීම සුදුසු බවත්, සමාජ දුරස්තභාවය පවත්වා ගනිමින්, සිසුන්ගේත්, ගුරුවරුන්ගේත් ආරක්ෂාව සහතික කිරීම පිණිස පන්ති කාමර තුළ අදාළ සැලසුම් සැකසිය යුතු බවත් ඔවුහු පවසති. සෞඛ්‍ය අනුමැතියක් ලබා ගත් ප්‍රදේශ වල පාසල් විවෘත කිරීම සුදුසු බවත් ඔවුහු අවධාරණය කර ඇත. තවද මෙහිදී සියලුම සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වෛරසයේ පැතිරීම වළක්වා ගැනීම පිළිබඳ උපදෙස් සහ ක්‍රියාමාර්ග ඇතුළත් පුර්ව සැළසුම් සෑම පාසලකම දියත් කර තිබීම අනිවාර්ය බවත් ඔවුහු පෙන්ව දෙති.

මේ පිළිබඳව තවත් අදහසක් දක්වන්නේ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමියන්ය.

“කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමු පාසල් නැවතත් විවෘත කිරිම සම්බන්ධයෙන් අපි නිර්ණායක කිහිපයක් රජයට ඉදිරිපත් කළා. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මැයි මස 11 වැනිදාට පාසල් විවාත කරන බව පවසා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ විශේෂඥ වෛද්‍ය කමිටුවක නිර්දේශ මත මෙය සිදු කළ යුතු බවයි. එසේ පාසල් විවෘත කරනවා නම් නිශ්චිත කාලයක් යනතුරු සෑම පාසලක්ම විෂබීජහරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේම ළමයින් ආහාර ගැනීමේදි කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතු බව අපි පවසනවා. දරුවාට තමන්ටම අනන්‍ය වු කෝප්පයක්, පිඟානක්, වතුර බෝතලයක්, භාවිතා කළ යුතුයි. ඔවුන්ට තම නිවසින්ම පිසූ ආහාර පාන ලබා දීමට දෙමවුපියන් සැලකිලිමත් විය යුතුයි. එසේම සැම දරුවෙකුටම මුඛ ආවරණයක් සහිත ශරීරය වැසෙන ඇඳුමක් ඇන්දවීමට සැලැස්විය යුතුයි. එසේම සිසුන් තමන්ගේ ඉගෙනුම් ඉගැන්විම් කාර්යයේදි තමන්ට ආවේණික පොත පෑන පමණක් භාවිතා කළ යුතු වූ බවත් සිසුන්ගේ පොත් පිරික්සීමේදි එය සිසුන් විසින්ම කරන්නට කටයුතු කළ යුතුයි.

ඒ වගේම නිතරම අත සේදීමට අවශ්‍ය දේවල් දරුවන්ට ලබාදිය යුතුයි. පාසල් භූමිය නිතිපතා විෂබීජහරණයට ලක්කළ යුතුයි. පාසල් ආපන ශාලා පවත්වා ගෙන යායුතු වුවත් එයට ආහාර දිය යුතුතේ දරුවන්ගේ භාජන වලට. දැනට පංති කාමර වල පවතින තත්ත්වය අනුව සමාජ දුරස්තභාවය පාලනය කිරිම අපහසුයි. නමුත් අපි එයටත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. දරුවන්ට නිල ඇදුමට අමතරව විෂබීජහරණය කළ ඇඳුමක් ලබා දීම, වරු ක්‍රමයට පාසල් පැවැත්වීම හා අදියර කිහිපයක් යටතේ පාසල පැවැත්විමත්. එහි මුල් අදියර යටතේ උසස් පෙළ සිසුන්ට මුලිනුත්, දෙවැනි අදියර යටතේ සාමාන්‍ය පෙළ සිසුන්ටත් අනතුරුව අනිකුත් සිසුන්ටත් පාසල් විවෘත කළ හැකියි. ...“

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වසංගත තත්වයේ පැතිරීම මැඩ පැවැත්වීම උදෙසා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ගයන් ගත් අතර රජයක් ලෙස මාර්තු මස මැද භාගයේදී දරුවන් ගේ ආරක්ෂාව ජාතික ප්‍රමුඛත්වයක් ලෙස සලකා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට ගත් කාලෝචිත තීරණය ඔවුහු පවසා සිටිති. නමුත් වෛරසයේ අවදානම තවමත් පහව ගොස් නොමැති හෙයින් පාසල් නැවත විවෘත කිරීම ඉතා අවදානම් සහගත ක්‍රියාවක් ලෙස රටේ ජනතාව සළකන බව ඔවුහු තව දුරටත් අවධාරණය කරන ලදී. මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා

“සමාජ දුරස්තභාවය ඇති නොකර මේ කොවිඩ් වසංගතය පාලනය කර ගත නොහැකියි. ලංකාවේ ලක්ෂ 43 ක දරු පිරිසක් අතර මේ දුරස්තභාවය ඇති කිරීම අපහසුයි. පන්ති කාමරයේ සිටින ළමයින් ප්‍රමානය අනුව මේ සමාජ දුරස්තභාවය ඇති කරන්නේ කොහොමද? මැයි මාසයේ 11 වැනිදා පාසල් විවෘත කරන බව කිව්වේ අප්‍රේල් 11 වැනිදා. ඒ වෙන කොට හිටියේ කොවිඩ් රෝගීන් 197 ක්. නමුත් අද වන විට එය 300 කටත් වඩා වැඩි වෙලා. මේ තත්ත්වය අනුව විවෘත කරන දිනය තීරණය කරන්නේ කොහොමද? මේ නිසා පාසල් විවෘත කිරීමේදි සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් ගත යුතුයි. පාසල් නැවතත් ආරම්භ කරන ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අදියර කිහිපයක් යටතේ හෝ පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මේ වන විට විවිධ වෘත්තීන්හි නියැළෙන විද්වතුන්ගෙන් අදහස්වලින් සමන්විත ලියවිල්ලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා තියෙනවා..“

විවිධ වෘත්තීන්හි නියැලෙන විද්වතුවන්ගේ අදහස් ගොන්නක් ඇතුළත් ලිපියක් මේ වන විට ජනාධිපතිතුමාට යවා ඇත්තේ ඉදිරියේදි පාසල් විවෘත කිරීම පිළිබඳ රජයට අදහස් ලබා දෙන්නටය.

Comments