ඇඳිරිනීතියේ තනිවුණ ලේක්හවුස් මල් වසන්තය | සිළුමිණ

ඇඳිරිනීතියේ තනිවුණ ලේක්හවුස් මල් වසන්තය

කන්තෝරුවේ කුමන වැඩක් කරමින් සිටියද ඉදහිට මහ වැස්සක් කඩා හැළෙන විට අප ජනේලයෙන් එපිට බලන්නේ සිළුමිණ ජනේලයෙන් පෙනෙන දසුන් සොඳුරු නිසාමය. එක් පැත්තකින් පෙනෙන්නේ රීගල් සිනමා ශාලාව පිහිටි පෙදෙසයි. අනෙක් පසින් පෙනෙන්නේ දේශිය ආදායම් ගොඩනැගිල්ල හා මහජන බැංකු ගොඩනැගිල්ලයි.

අනෙක් පසින් පෙනෙන්නේ ඩී.ආර් විජේවර්ධන මාවතේ පසෙකින් පෙනෙන්නේ අහස සිඹින්නට පොරකන නෙළුම් කුලුනයි. අහස වැහි බර වී උස් ගොඩනැගිලි මතින් වළාකුළු වැසි ගොස් නෙළුම් කුළුනද වැසුණ විට අප මේ සිටින්නේ කඳුකර පෙදෙසකදැයි නිකමට සිතේ. මේ වැහැබර දසුන් වලටත් වඩා ලේක්හවුසිය අවට සිරියාව තව තවත් වැඩි කරන්නේ කහ මලින් වැසි යන ඇහළ ගස් පෙළයි. ඇහැල මල් පිපෙන කාලය ලේක්හවුසියේ කාගෙත් ඇස් ඇත්තේ මේ සොඳුරු රුවැත්තියන් දෙසය. ඇහැළ ගස් පෙළට එහායින් ඇත්තේ බේරේ වැවට මායිම්ව උස් තාප්පය වසා ගත් විසල් බෝගන්විලා මල් යායකි.

වැස්සටත්, තද අව්වටත් මඟ යන එන්නන්ට සෙවණ දෙන මේ බෝගන්විලා පඳුර, ඇහැළ ගස් පෙළ විජේවරධන මාවතේ අද හුදකලා වී සිටියද කොළඹ පරිසරයේ පාළුව හුදකලා බව මකා දමන්නට වෙන කවරදාකවත් නැති අන්දමින් මලින් සැරසි සිටීම නම් අරුමයකි. විජයවර් ධන මාවතේ ) පමණක් නොව කොළඹ අවට කොළඹ නගරයේ ඇති විසල් රුක් වල දස දහස් ගණනින් මල් පිපි තිබේ. ඇතැම් විටෙක එකම කොළයක් වත් නැතිව ගස වැසෙන සේ පිපි ඇත්තේ රොබරෝසියා මල්ය. තවත් තැනක ඇත්තේ කහ පැහැ මලින් පිරී ගිය විසල් මාරගස්ය. ( මේ ගස් දකින්නට ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාල මාවත (රීඩ් මාවත), රාජකීය විද්‍යාල මාවත හා ලයනල් වෙන්ඩ් කලාගාරය අසලින් ඇති මාවත් වලය.

කොහොම වුණත් දවසක් මාසයක් කාලයක් නැතිව හැමදාම මල් පිපෙන ඇහැළ ගස් පෙළ මෙන්ම විසල් බෝගන්විලා පඳුර අද ඒ මඟට අලංකාරයකි. එමෙන්ම ලේක්හවුස් මන්දිරය ඉදිරිපිට පඩි පෙළට පහළින් ඇති පිච්චමල් යායද හැමදාම මලින් බරය. පළමුවරට පැමිණෙන්නෙකුට මල් පිපෙන කාලයට පිච්ච මල් සුවද විඳ ගත හැකි වුව ද එමල් වැල් ඇත්තේ කොතැනදැයි සොයා ගැන්ම අසීරුය. මල් වැල ඇත්තේ කොතැනදැයි සොයා ගන්නට නම් කෙනකෙු අවට විමසිල්ලෙන් බැලිය යුතුය.

ලේක්හවුසිය ඉදිරිපිට ඒ කාලේ කෙබඳුදැයි ඇසූ විට දෙටු ප්‍රවීණ මාධ්‍යවේදී කලක් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කතු පදවිය දැරූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පැවැසුවේ මෙවැනි කතාවකි.

“එක්දහස් නවසිය හැට ගණන් වල ලේක්හවුස් එනකොට ලේක්හවුස් මන්දිරය ඉදිරිපිට කිසිම ගහක් තිබුණේ නැහැ. ඒත් පිච්ච වැල් ටික නම් තිබුණා. පිච්ච මල් සුවඳ වින්ඳට ටික දවසක් ගිහින් තමයි මල් ගස් තියෙන තැන් දුටුවේ. පිච්ච මල් වැල් වවලා තියෙන්නේ ඒ කාලේ ඩී. ආර්. විජයවර් ධන මහත්තයාට උදේට බුදුන් පුදන්න. ඒ කාලේ ඔය අවට මහ ගස් තියෙනවා නම් මතකයක් නැහැ. ඉන් කාලෙකට පස්සේ තමයි ඔය ගස් හැම එකක්ම සිට වුණේ. මට මතකයි 2002 අවුරුද්දේ කොස් පැල සිටෙව්වා. මමත් ඔය හරියේ එක පැළයක් සිටෙව්වා” තිලක් මහතා අතීතය සිහි කරමින් පවසන්නේය.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා පත්තර මහගෙදර ගැන දිගු මතකයක් ඇති අයගෙන් කෙනෙකි. “වෙදාට නම් මේ කාලෙට පිච්ච මල් පඳුරුවලත් මල් පිිපෙනව. නමුත් මෙවර මොකක් හෝ කෘමි උවදුරක් බලපා තියෙනවා. අපට මෙය නිසි කලට කප්පාදු කරගන්න බැරි වුණා; පසුගිය කාලේ තිබුණ වාතාවරණය සමඟ. කොහොම වුණත් රණපාල බෝධිනාගොඩ මහතා සභාපතිත්වය දරපු කාලේ තමයි ඩී. ආර් විජයවර්ධන මාවතේ කොස් පැල හිටෙව්වේ. තැපැල් කන්තෝරුව ඉදිරිපිට සතොස ළඟ අද ඒ ඉතිරි වෙලා තියෙන කොස් ගස්වල ගෙඩිත් හැදෙනවා. ඇහැළ ගස් හිටෙව්වෙත් එතුමාගේ කාලයේ. දෙදහස් දෙක අවුරුද්දෙත් ඩී ආර් විජයවර්ධන පාරේ කොස් පැල කිහිපයක් සිටෙව්වා.

ඒ වගේම බෝගන්විලා පඳුර නඩත්තු කරන්නේ අපේ ආයතනයෙන්. පසුගිය කාලේ සිදු වුණ නගර සංවර්ධන වැඩ පිළිවෙල යටතේ කොටුවට යා හැකි කෙටි මඟක් සැකසුණා බේරේ වැව අද්දරින් පඩිපෙළ බැහැලා යන පාර. මේ පාර හදන විට අලංකාරයත් මගී ජනතාවට සෙවණ සැලසිමේ අරමුණින් බෝගන්විලා පඳුර ආරක්ෂා වන විදිහටයි මාවත සැකසුවේ. කොරෝනා උවදුරත් සමඟ ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වීම නිසා කොළඹ ජනගහනය නැහැ. එත් මේ ගස් වල වෙනදා නැති විදිහට සුන්දර ලෙසින් මල් පිපිලා තියෙනවා. එය ඇත්තටම අපේ ආයතනයට කළ මල් සැරසුමක් වගේ. තව දෙයක් තියෙනවා කියන්න; අපේ රටේ උතුරු මැද පළාතේ පළාත් පුෂ්පය වන්නේ ඇහැළ මලයි” අමරදාස මහතා පවසන්නේය.

අදින් වසර විසි දෙකකට පමණ ඉහත අතීතය සිහිවේ. විසල් බෝගන්විලා පදුර එකල මිටි පඳුරකි. මල් කිනිත්තක් දෙකක් හැරුණ විට අද මෙන් මලින් වැසී ගොස් නොතිබිණි. එකල මෙහි තිබූ ඇහැළ ගස්වලින් මල් දරුවේ එහි තිබූ පැරණිම ගසේය. අද ඒ ගස අනිත් ගස් අතරින් කැපී පෙනෙන්නේත්; අතු ඉති කොළ වසාගෙන මල් රෑන් සුළඟේ නැලවෙන්නේ හරි ආඩම්බරයෙනි. ඒ එහි සිටින ජ්‍යෙෂ්ඨතමයා තමන් යැයි කියා පාන්නාක් මෙනි. විවිධ කුරුල්ලන්ට කාක්කන්ටද කුඩු සාදා ගන්නට දී ඇහැළ ගස් පෙළ මල් පුරෝගන ඉන්නේ මහත් උජාරුවෙනි. .

“පෙබරවාරි, අප්‍රේල්, මැයි කාලය තමයි වැඩියෙන්ම මල් පිපෙන කාලය. අද වෙනකොට පේරාදෙණිය මල් වත්තේ වගේම හග්ගල මල් වත්තෙත් මල් පිපිලා තියෙනවා වෙන අවුරුදු වලට වඩා. මෙවර එක දිගටම අව්ව තිබුණා. වෙනත් කාල වල මේ කාලයට සැන්දෑව වන විට වහිනවා. ඒත් වෙර එක දිගටම අව් රශ්මිය තියෙන්නේ. ඒ නිසා බෝගන්විලා ඇහැළ වගේ ගස්වල මල් පිපී තියෙනවා. පෙබරවාරි, අගෝස්තු දක්වා ඇහැළ මල් පිපෙනවා. ඇහැළ බෝගන්විලා විශේෂයෙන් අව්ව ප්‍රිය කරන ශාඛ. ඇහැළ හඳුන්වන්නේ CASSIA FISTULA FEBACAC යන උද්භිත නමින්.

ඇහැළ ශාඛය බහුලව හැදෙන්නේ වියළි කලාපයේ. බෝගන්විලා හී උද්භිත නාමය වෙන්නේ BOUGAINVILLEA. මේ ශාඛයේ ජන්ම භූමිය වන්නේ බ්‍රසීලය වගේම මධ්‍යධරණිය මුුහුදු ආශ්‍රීත ප්‍රදේශ. කොහොම වුණත් වෙනත් කාල වලට වඩා මල් පිපෙන මේ කාලයේ වෙනසකට තියෙන්නේ වෙනදා වගේ මහජනතාවට මේ මල් බලන්නට සංචාරයේ යෙදෙන්නට බැරිවීම පමණයි.” මල් පිළිබඳ අපට පැවැසුවේ ජාතික උද්භිද උධ්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ෂෙලෝමී ක්‍රිෂ්ණරාජ් මහත්මියයි.

පත්තර මහගෙදර ඉදිරිපිට ඇති ඇහැළ ගස් පෙළ, බෝගන්විලා පඳුර හැරුණ විට ඩී. ආර් විජයවරධන මාවතේ තැනින් තැන ඇති රතු මල් පිපෙන මැයි මල් ගස් රොබරෝසියා ගස් , කහ පැහැමල් පිපෙන විසල් මාර ගස්වලට අමරව තවත් ගස් විශේෂ දෙකක් ඇත. එකක් නම් බකිණි ගසකි. මේ බකිණි ගස ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරිය ඉදිරිපිටය. දැන් එහි මල් පිපෙනවා කිසිවෙක් දකින්නේ නැත. ඒ ශාඛය උස්ව වැඩි ඇති බැවිනි. නැතිනම් කෙනෙකු බකිණි ගස් නොහදුනනවා ඇත. අනෙක් ශාඛය වන්නේ රුක් අත්තනය. ඖෂධීය ශාඛයක් වන රුක්අත්තන ගහේ මල් පිපෙන කාලයට ඇස් වසාගෙන ගියද ඒ අප පසු කරමින් සිටින්නේ ගාමිණි හෝල් හන්දියේ (ලේක්හවුස් දැන්වීම් ශාඛා කාර්යාලය ඉදිරිපිටය) බව රුක් අත්තන මල් සුවද හඳුනන්නෙකුට කිව හැකිය.

දිනෙන් දින කොන්ක්‍රීට් වනාන්තරයකට සම වන කොළඹ නගරයේ ඇහැට ප්‍රිය උපදවන මල්වල සොඳුරු බව විඳ ගන්නට ඔබට මට ඉක්මනින්ම හැකිවේවා යන්න අපේ පැතුමයි.

Comments