ආකර්ෂණ නීතිය දන්නවා නම් ඔබත් ආකර්ෂණීයයි | සිළුමිණ

ආකර්ෂණ නීතිය දන්නවා නම් ඔබත් ආකර්ෂණීයයි

ආකර්ෂණ නීතිය මෑත වකවානුවේ රැල්ලක් සේ ජනප්‍රිය වූ මාතෘකාවක්. නමුත් සමහර අවස්ථාවලදී මේ මූලධර්මය පිළිබඳ නිවරැදී මඟපෙන්වීමක් නොලැබීම නිසාම ගැටලු හා බිඳවැටීම් ඇති වූ අවස්ථා ද තිබෙනවා. ඒ නිසා ආකර්ෂණ නීතියෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නා අයුරු අද ඔබට කියා දෙනවා.

මොකද්ද මේ ආකර්ෂණ නීතිය

ඔබ කැමැත්තෙන් ඉන්නේ මොනවගේ දේකට ද, ඔබ හීන දකින්නේ මොනවගේ දෙයක් ද ඒ දකින ලෝකේ තමයි ඔබට ලැබෙන්නේ. සරලව කීවොත් අපි හැමතිස්සෙම දකින දේ තමයි ජීවිතේදි අපට ලැබෙන්නේ. මෙයයි ආකර්ෂණ නීතිය. එය ඉතා ප්‍රබලයි. නමුත් උපරිම ඵල නෙළා ගන්න නම් ඔබේ ජීවිතයත් සොබාදහමට එකඟව මිනිස්සුන්ට ආදරය කරමින්, තෘෂ්ණාව, ලෝබකම අත්හැරිය යුතුයි. ඔබ සොබාදහමට එරෙහි වුණොත් ආකර්ෂණ නීතියත් ඔබට වැරදි විදිහට ක්‍රියාත්මක වේවි. ඔබ දකින, ඔබට අවශ්‍ය ‌දේ ඔබේ ජීවිතේ ළඟා කරගන්නෙ කෙ‌සේද යන්න උදාහරණයකි පැහැදිලි කර දෙනවා නම් එය මෙසේයි... තම වාහනයේ ඇති කාර්මික දෝෂයක් හදා ගන්න ගරාජය වෙත යන එක්තරා තරුණයකුට නවීකරණය කළ ලස්සන වාහනයක් දකින්න ලැබෙනවා. ඉතාම කැමැත්තෙන් ඒ දෙස මඳ වේලාවක් බලා සිටි ඔහු වහනය තම පසුබිමේ දිස් වන අයුරින් ඡායාරූපයක් ගෙන තම මුහුණු පොතේද පළ කරනවා. වාහනයේ අංකයත් ඡායාරූපයේ සටහන්ව තිබුණා. වසර තුනකට පසු ඔහු නවීකරණය කළ වාහනයක් ගන්නවා. එයින් වසර තුනකටත් පසු එක්තරා දිනෙක ඔහුගේ මුහුණු පොතේ පහුගිය මතකවලට ආළව ඡායාරූපයක් දකිනවා. එහි තිබුණේ තමන් මිල දී ගත් වාහනයට සමාන වාහනයක ඡායාරූපයක්. ඒ දෙස වුවමනාවෙන් බැලූ ඔහුට හරි අපූරු දෙයක් දැක ගත හැකි වුණා. ඒ, මෙම ඡායාරූපයේ දිස් වූ වාහන අංකය සහිත වාහනයක්ම තමන් මිලදී ගෙන තිබූ බව. එදා ඔහු නිසි අවබෝධයක් හෝ නැතිව හෝ යටිසිතට දුන් පණිවිඩයයි එලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ‌ගෙන තිබුණේ. එවැනිම තවත් උදාහරණයක් පැහැදිලි කළ හැකියි. රජරට සරසවියෙ ඉගෙන ගත් කෙනෙක් දිනක් ඡායාරූප දෙකක් එවා තිබුණා. එහි එක් ඡායාරූපයක දිස් වුණේ ඔහුගේ බිරිය බැල්කනියේ සිට ඔහුට අත වන අයුරු හා ඔහු තම තිබෙන බ්‍රීෆ්කේස් එක සහ කෑම පෙට්ටිය වාහනේ දොර හැර වාහනේ තුළට දමමින් තම බිරිය දෙස ආදරයෙන් බලන අයුරුයි. සුදු පාට කාර් එකක පසුපස කොටස හා වහලය ද එම ඡායාරූපයේ දිස් වුණා. අනෙක් ඡායාරූපය ගෙන තිබුණේ ඔහු සරසවි සිසුවකු ලෙස සිටි කාලයේදියි. එහි දිස් වුණේ ඔහුගේ නේවාසිකාගාරයේ පාඩම් මේසය අවටයි. ඒ අසල බිත්තියේ ඡායාරූපයක් සහිත දින දර්ශනයක් දක්නට ලැබුණා. තවත් විමසිල්ලෙන් ඒ දෙස බලන විට පෙර ඡායාරූපයට සමාන රූප පෙළකුයි ඒ දින දර්ශනයේ ද සටහන්ව තිබුණේ. වසරක් පුරාවට ඔහුගේ මනසේ රැඳෙන්නේ දින දර්ශනයේ තිබූ ඒ රූප පෙළයි. පසු කලෙකදි අවිඥානිකවම ඔහු මිලදී ගන්නෙත් සුදු පාට කාර් රථයක්. හදන්නෙ දෙමහල් නිවෙසක්; ආදරණීය විවාහයක්

නොදැන කළොත් වැඩ වරදි

ඔබේ යටි සිත ඇත්ත යැයි විශ්වාස කරන්නේ නිරන්තරයෙන් ඔබ දකින සහ ඔබට පෙනෙන්න තිබෙන දසුන්. එවිට ඔබට වැඩි වැඩියෙන් ඒ දෙවල් ලැබෙනවා. ඔබට දකින්න අවශ්‍ය දේවල් ඔබ සැලකිල්ලෙන් තෝරා ගත යුත්තේ ඒ නිසයි. ආකර්ෂණ නීතිය හරිහැටි නොදැන වෙන සිදුවීම් පිළිබඳ ඔබ දැනුම්වත් විය යුත්තේ එය ඉතා වැදගත් කරුණක් නිසයි. ඔබට මතක ඇති වසර කීපයකට පෙර පාරවල් දිගට රිය අනතුරුවල පසුබිමේ පරෙස්සමින් රිය පදවන්න යැයි සවි කර තිබූ දැවැන්ත පුවරු. එහි ආකර්ෂණ නීතිය නිවරැදිව ක්‍රියාත්මකව තිබුණේ නැහැ. රිය අනතුරුවල ඡායාරූප සහිත පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් සිදු වෙන්නේ රිය අනතුරු අඩු කිරීම නොව අනතුරු වැඩි කිරීමට උත්තේජනයක් ලැබීමයි. එම නිසා මේ පුවරු වෙනුවට වෙන අදහසක් ක්‍රියාත්මක වුණා. ඒ පවුලෙ කට්ටිය හිනාවෙලා අතවනමින් බලාගෙන සිටින ඡායාරූපයක්“ ඔබ එනකම් අපි බලාගෙන ඉන්නවා, පරිස්සමෙන් ගෙදර එන්න“ යන සටහනත් එක්ක. මේ දිනවල පවා ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර අහන්න දකින්න වෙන්නේ කොවිඩ් ආසාධිත ප්‍රමාණය, රෝහල් ගත කළ සංඛ්‍යාව, මිය ගිය ප්‍රමාණයයි. නමුත් එයින් සුවය ලැබූ ප්‍රමාණය, ආරක්ෂිත ක්‍රමවේද, වසංගතය සාර්ථකව මැඩ පැවැත්වූ රටවල් වල ඒ ක්‍රමවේද වෙත අවධානය යොමු කරනවා නම් වඩා යහපත්. ප්‍රවෘත්තිවල පෙන්වන මිනීමැරුමක් ගැන කතා කරමින් පසු දිනත් එහි පසුවිපරමක යෙදෙන කෙනකුට ඒ මිනීමැරුම පමණක් නොවෙයි, තව තව මිනීමැරුම් ගැනත් තොරතුරු අහන්න දකින්න ලැබේවි. සමාජ මාධ්‍යවල කෘත්‍රිම බුද්ධිය සමඟ මේ දේවල් ක්‍රියාත්මක වෙන නිසා ඔබට නැවත නැවත දකින්න ලැබෙන්නෙත් වැඩිපුර අභිරුචියකින් සොයන දේවල්. ඔබේ විවාහය ප්‍රමාද නම් කාමරයේ ඔබ එල්ලා තිබෙන්නේ තනි පුද්ගලයකු ගේ පින්තූර ද බලන්න. මුහුණු පොතේ හෝ වෙනත් සමාජ මාධ්‍යයක ඔබ පළ කර තිබෙන්නෙ තනිකම හොඳයි යන අදහස සහිත දේවල් නම් ඔබ ළඟා කරගන්නේත් ඔබ පැතූ ඒ තනිකම බව මතක තබා ගන්න. සමහර අය තමන්ට මාසිකව ගෙවන්න තිබෙන දේවල් ගැන කතා කරන්නේ බොහොම කනස්සල්ලෙන්. කෑම මේසේ ළඟ එල්ලන් ඉන්නෙත් ටෙලිෆෝන් බිල්, ලයිට් බිල්, වතුර බිල්. ඉතින් හැම දවසකම ඔබට පෙනෙන්නේ ගෙවන්න තියන දේවල් විතරක්ම නම් ඔබ එයින් කනස්සල්ලට පත් වීම පුදුමයක් නෙවෙයි. ඒ වෙනුවට ඔබට පුළුවන් ඔබේ බැංකු පොතේ ෆොටෝ එකක් අරන් එහි ලොකු මුදලක් තියනව වගේ හැඟීමක් දැනෙන්න බිංදු ටිකක් දාලා පේන තැනක තියා ගන්න. ඔබම ඔබේ නමින් ලියාගත් චෙක් පතක් වුණත් නිදන කාමරයේ හෝ නිතරම පෙනෙන්න තබා ගන්න. නැති නම් ඔබ හදාගෙන යන ගෙයි වැඩ අවසන්වූ පසු පෙනුම ඡායාරූපයක් හදා තබා ගන්න. ඔබේ අගහිඟකම් වෙනුවට සතුට උපදවන එවැනි සිහින ජීවිතේ සාර්ථකත්වයට ඉතාම වැදගත්.

ඔබටත් ඡායාරූප පුවරුවක්

ඔබ අවට තිබෙන යහපත් දේ දකින්න. ඒවා එකතු කරමින් දසුන් පුවරුවක් හදන්න. දසුන් පුවරුව කියන්නෙ ජීවිතේ ඔබ ළඟා කරගන්න කැමැති දේවල්වල් එනම් ඔබ ගෙදර ඉන්න කැමැති විදිහ, ඔබට අවශ්‍යය වාහනය, සංචාරයට කැමැති රටවල්වල ඡායාරූප එකතුවක්. එයට සමෘද්ධිමත් ජීවිතයක්, ආදරණීය ජීවිතයක් වැනි තේමාවක් එකතු කරන්න. උදාවන හැමදිනෙකම ඔබ මේ පුවරුව දකින්න පටන් ගත් පසු ඒ දකින දේ ඔබට ලැබෙනවාමයි. ඔබට වීරයො අවශ්‍යයි. ඒ ඔවුන්ගේ ගතිගුණ අධ්‍යයනය කරන විට ඔබට ඒ උත්තේජන ශක්තිය ලැබෙන නිසා.

Comments