ලෝකයම වෙනස් වූ දින අනූවක මුහුදේ තනිවූ නැවක කතාව | සිළුමිණ

ලෝකයම වෙනස් වූ දින අනූවක මුහුදේ තනිවූ නැවක කතාව

කෲස් නැව් යනු කොවිඩ් වයිරසය ලොව පුරා පැතිර යෑම ආරම්භ වූ ආසන්නයේදීම වඩාත් කතාබහට ලක්වූ ප්‍රවාහන ක්‍රමවේදයකි. ඉතා ධනවත් මිනිසුන්ගේ විනෝදාස්වාද සම්පාදන මාධ්‍යයක් වූ කෲස් නැව් යනු වර්ෂයකින් බාගයක් පමණ කාලයක් පුරා රටවල් රැසක සුන්දර ස්ථාන දැකීමට සංචාරකයන් රැගෙන යන අති සුඛෝපභෝගී නෞකා විශේෂයකි. මේ සංචාරයන් සඳහා අති විශාල මුදලක් එක් පුද්ගලයකුගෙන් අයකෙරෙන අතර විශාල වත්කම් හිමි ධනවතුන්ට අමතරව තම ජීවිත කාලය පුරා මුදල් සෙවීමට වෙහෙසවී වියපත් වූ පසු ප්‍රථම,එකම සහ අවසාන වතාවට මෙවැනි සංචාරයකට එක්වන වියපත් පුද්ගලයෝද බෙහෙවින් සිටිති.

චීනයෙන් පිටතට කොවිඩ් පැතිර ගිය මුල්ම අවස්ථාවේදී එනම් පසුගිය ජනවාරියේදීම රෝගය නැගෙනහිර ආසියා මුහුදේ සංචාරයක කරමින් සිටි කෲස් නැව් කිහිපයකට පැතිර ගිය අතර ජපානයේ නැංගුරම් දැමූ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ ඉරණම ලොව පුරා කතාබහට ලක් විය. ජපානයේ කොවිඩ් රෝගීන් වැඩිවීමට මේ නැව හේතු වූ අතර නෞකාව නිරෝධානයට ලක් කරමින් දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමටද, එමගින් තම රට තුළ රෝගය පැතිරීම වැළැක්වීමටද මහත් පරිශ්‍රමයක් දැරීමට ජපානයට සිදුවිය.

ඒ හේතුවෙන් ‍ලොව අන් කිසිඳු රටක් වෙනත් කිසිදු කෲස් නැවකට තම වරායකට ඇතුළු වීමට අවසර ලබා නොදීමට කටයුතු කළේය. මේ වන විටත් සංචාරය කරමින් සිටි කෲස් නැව් රාශියක් ලොව පුරා විවිධ මුහුදු කළාපයන්හි වූ අතර වයිරස‍ය පැතිර යෑම සම්බන්ධව බියපත් වූ බොහෝ නැව් ආසන්නතම රටට පැමිණීමට අවසර ඉල්ලා සිටි නමුත් ඒ බොහෝ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. ඇතැම් රටවල් නෞකාවලට තම රටවලට පැමිණීමට අවසර දුන් නමුත් පසුව එම නෞකාවල කොවිඩ් ආසාදිතයන් සිටි බවට වාර්තා වූයෙන් ඉක්මනින් වයිරසය තම රට තුළ පැතිර යෑම වැළැක්වීමට කටයුතු යෙදීමට එම රටවලට සිදුවිය.

මේ තත්ත්වය මත සංචාරයේ යෙදී සිටි බොහෝ කෲස් නෞකා ස්වකීය සංචාර අවසන් කරමින් තම නෞකා අයත් සමාගම් පවතින නම් රටවල් කරා ගමන් කරන්නට විය. එසේ කිරීමට ප්‍රධාන හේතුවක් වූයේද කිසිදු රටක් මේ නෞකාවලට නැංගුරම් ලෑමට අවසර ලබා නොදීමයි.

එසේ තම මවු රට කරා සංචාරය කරමින් සිටි ‍කෲස් නෞකාවක් පසුගිය දිනවල අප රටේද බෙහෙවින් ජනප්‍රිය වූයේ එම නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික සේවකයා අප රටට කැඳවා ගැනීමට අප රටේ බලධාරීන් කටයුතු කළ බැවිනි. එම්.එස්.සී මැග්නිෆිකා නම් වූ එම නෞකාවේ මව් සමාගම ඉතාලියේ පිහිටා තිබූ අතර ඉතාලිය බලා සංචාරය කරමින් තමන් ආරම්භ කළ ගමන අවසන් කිරීම හැර විකල්පයක් එම නෞකාවට වූයේ නැත.

මැග්නිෆිකා නෞකාව පසුගිය ජනවාරි 5වැනිදා ඉතාලියේ ජිනොවා නගරයෙන් සංචාරය අරඹන විට ලෝකය බෙහෙවින් වෙනස් තැනක් විය. ඒ වන වටත් චීනයේ වූහාන් හි ‘හඳුනා නොගත් රෝගයක්’ පැතිරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබුණි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම නිවේදනයට අනුව කිසිවකුත් එම රෝගයෙන් මිය ගොස් නොතිබිණි. ‍වූහාන් නගරයේ පුද්ගලයන් 59 දෙනෙකුට පමණක් එම හඳුනා නොගත් රෝගය ආසාදනය වී ඇති බව ලෝක ‍සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ සඳහන් විය.

මැග්නිෆිකා නෞකාව ඉතා ආරක්ෂිතව සහ සුවපහසු ලෙස තම ගමන ආරම්භ කළ අතර නෞකාවේ මගීන් 1760ක් විය. ඉතාලි, ප්‍රංශ සහ ජර්මන් ජාතිකයන් වූ ඔවුන් කිසිවකුත් ඒ වන විට අලුත් වයිරසයක් සම්බන්ධව කිසිවකුත් අසා තිබුණේ නැත. ඔවුන් තට්ටු කිහිපයකින් සමන්විත වූ තරු හතේ හෝටලක් වැනි වූ නෞකාවේ මතු මහලේ හිරු රැස් නාමින් ඉතා සුඛෝපභෝගී ලෙස සංචාරය විඳිමින් සිටියහ.

නෞකාවේ කපිතාන් රොබර්ටෝ ලියොට්ටා නම් සිසිලි වැසියෙකි. කෲස් නෞකාවල ඔහුගේ සේවා කාලය වසර 32කි. ඒ අනුව ඔහු ඉතා අත්දැකීම් බහුල කපිතාන්වරයකු වන අතර නෞකාවේ මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධව ඔහුට මනා දැනුමක්ද විය.

ගමන ආරම්භ කරමින් අප්‍රිකා මහාද්වීපය පසු කර අත්ලාන්තික් සයුර වෙත පැමිණි නෞකාව බ්‍රසීලයේ වරායක නැංගුරම් දමන විට වයිරසය චීනය හැර පුරා ලෝකයේ සෙසු රටවල් හඹා යන්නට පටන් ගෙන තිබිණි. ලොව දසතින් අසන්නට ලැබෙන ප්‍රවෘත්ති කපිතාන්වරයාගේ සතුටට හේතු නොවීය. ඒ පසුගිය ජනවාරි 19වැනිදාය.

පෙබරවාරි වන විට මැග්නිෆීකා චිලී රටින් නික්ම ගමන් අරඹා තිබූ අතර ඒ වන විට කොවිඩ් සහ කෲස් නෞකා පිළිබඳ කතා ලොව පුරා පැතිර යමින් තිබිණි. බොහෝ කෲස් නෞකා වරායන් කරා පැමිණෙමින් තිබුණු අතර සියලුම වරායන් ඔවුන්ට දොරවල් වසා දමමින් තිබිණි. බොහෝ නෞකාවන්හි රෝගීන් වාර්තා වෙමින්ද, රෝගීන් මියයමින්ද තිබිණි.

මාර්තු 2වැනිදා වන විට තවදුරටත් සාමාන්‍ය ගමන පවත්වා ගත නොහැකි බව කපිතාන්වරයාට වැටහීගොස් තිබිණි. ඔවුන් මාර්තු මස වන විට ඕස්ට්‍රේලියාව කරා ගමන් කර තිබූ අතර ඒ වන විට වයිරසය යුරෝපය විනාශ කරමින් ආසියාව කරාද පැතිර අවසන්ය. මාර්තු 14වන දින මැග්නිෆිකා තස්මේනියාවට පැමිණෙන විට ඔවුන්ට ගොඩබැසීමට සිදුවූයේ කොවිඩ් ආසාදිතයන් සහිත රටකටය. වයිරසය නෞකාවට වඩා වේගයෙන් පැතිර යමින් තිබූ අතර තත්ත්වය විනෝද වීමට තරම් ලෝකයක් තවදුරටත් ඉතිරි වී නොතිබිණි.

වහාම තම අත්දැකීම් මත ඉතා නුවණැති තීරණයක් ගත් ‍මැග්නිෆිකාහි කපිතාන්වරයා කිසිදු මගියෙකුට නෞකාවෙන් බැහැර යෑමට අවසර නොදුන්නේය. එසේ කිසිවකු හෝ බැහැර ගියේ නම් වයිරසය තම නෞකාව තුළටද රිංගා ගන්නා බවට දැඩි විශ්වාසයක් ඔහු තුළ විය. ඔහුගේ දුරදිග දැකීමේ හැකියාව හේතුවෙන්ම නෞකාව තුළට රිංගා ගැනීමට වයිරසයට හැකියාව ලැබුණේ නැත.

ඒ වන විට ජනවාරි මස ඔවුන් ජිනොවා හිදී ගමන ආරම්භ කරන විට පැවති ලෝකය තවදුරටත් පැවතියේ නැත. තවදුරටත් ඔවුන්ට ගමන් කිරීමට‍ කිසිදු අරක්ෂිත ස්ථානයක් සමස්ත පෘථිවි තලය මත වූයේ නැත.

නෞකාව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නැංගුරම් ලා සිටින විට තවදුරටත් ලොව ඇති කිසිඳු කෲස් නෞකාවක් තවදුරටත් ධාවනය නොකරන බවට වූ නිවේදනය කපිතාන්වරයාට ලැබිණි. ඒ අනුව මැග්නිෆිකාද තම ගමන අවසන් බව මගීන්ට දැනුම් දුන්නේය. කැමති අයෙක් සිටීනම් ගුවන් මගින් තම නිවෙස් කරා යා හැකි බවට නිවේදනය විය. සියයක් පමණ මගීන් නෞකාවෙන් බැස ගුවන් තොටුපොළ කරා ගියද බොහෝ දෙනා නෞකාවේ ආරක්ෂාව පතා එහිම සිටීමට තීරණය කළහ.

ඒ වන විට පෙර කෲස් නෞකාවලින් ලද කටුක අත්දැකීම් හේතුවෙන් මැග්නිෆිකා නෞකාවට වෙනත් කිසිම වරායකට ඇතුළු වීමට අවසර ලැබුණේද නැත. ඇතැම් වරායන්හිදී නෞකාව පැමිණීමට පෙර ජනතාව නෞකාව ඇතුළු කර නොගන්නා ලෙසට විරෝධතාවන්හිද නිරත වනු රිදුණු හදින් යුතුව බලා සිටීමට මැග්නිෆිකාහි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට සිදු විය.

යළිත් තම මව් රට වන ඉතාලිය බලා ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් මැග්නිෆිකාට නොවීය. ඒ ගමනේදී ඩුබායි හි නතරව ඉන්ධන ඇතුළු අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ සූදානමක් නැව තුල වූ අතර පසුව එය කොළඹ වරායේදී සිදු කිරීමට කපිතාන්වරයා තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ අනුර හේරත් මේ කතාවට පිවිසෙන්නේ මෙකී තිරණයත් සමගිනි. ඔහුගේ ඉල්ලීම් අනුව ශ්‍රී ලංකා රජය විසින් ඔහු මව්රටට ගෙන ඒමට කටයුතු කළ අතර ඒ වෙනුවෙන් රජයට ජනතාවගෙන් බොහෝ ප්‍රශංසාද හිමි විය.

අනුර සම්බන්ධව අදහස් දක්වමින් කපිතාන්වරයා පසුව ප්‍රකාශ කර තිබුනේ ඔහු තම මවු රටට පැමිණීමට අදහාගත නොහැකි තරමේ දැවැන්ත ප්‍රයත්නයක් දරා ඇති බවයි. එමෙන්ම තමන් ඔහු සම්බන්ධයෙන් තමා ආඩම්බරයට පත් වන බවද කපිතාන්වරයා පවසා තිබේ.

පසුගියදා ඉතාලියේ මාර්සෙල්ලේ නගරයට ළඟා වන විට මැග්නිෆිකාද සමග පෘථිවි තලය මත ගමන් කරමින් සිටියේ කෲස් නෞකා තුනක් පමණකි. පසුගියදා ෆැසිපික් ප්‍රින්සස් නම් වූ එක් නෞකාවක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි නැංගුරම් ලෑ අතර කොස්ටා ඩෙලිසියෝසා නම් වූ අනික් නෞකාව ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි නැංගුරම් දැමීය. ඒ අනුව මේ වන විට කිසිදු කෲස් නෞකාවක් පෘථිවියේ කිසිදු සයුරක යාත්‍රා කරන්නේ නැත.

මිනිසුන් විසින් නිපදවා ගනු ලැබූ තවත් එක් විනෝදාස්වාද සම්පාදන මාධ්‍යයක් කොවිඩ් විසින් නවතා දමනු ලැබුවේ එසේය. එහෙත් තවදා හෝ මිනිසා විසින් කොවිඩ් පරදවන දිනයක යළිත් මේ මහා නෞකා මහා සයුර ජයගනු ඇත.

Comments