
අලෙවි මධ්‍යස්ථානය වැසීමෙන් එළවළු මිල ඉහළ යයි
කණකර උකස්කර කළ වගාව විකුණාගත නොහැකිව ගොවියා ළතවෙයි
මෙතෙක් කල් වැහුවේ පෝයට පමණයි
අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන විශාල පරිමාණයෙන් ගොවීහු එළවළු පළතුරු වගා කරලා
කොරෝනා වසංගත භීතිය හේතුවෙන් වසර 21 ක ඉතිහාසය තුළ ලංකාවේ ප්‍රධාන එළවලු හා පළතුරු තොග අලෙවි මධ්‍යස්ථානය වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින නියමයකින් නැතිව වසා දැමීමට ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත කළමණාකරණ භාරයන් විසින් තීරණය කර ඇත. පෝයදාට පමණක් වසා දැමුණු ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පමණක් නොව මේ වනවිට තඹුත්තේගම, කැප්පෙටිපොල, මැනින් වෙළඳපොළ, බණ්ඩාරවෙල තොග වෙළඳපොල ආදියද වරින් වර වසා දැමීමට සිදුවිය. කෘෂි නිෂ්පාදන අලෙවි කරගැනීමේ යාන්ත්‍රණයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලු නිර්මාණය කර ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
වසර දෙදහස් පන්සියයක තරම්වූ අප දන්නා ඉතිහාසය තුළ අපගේ රට පැවතියේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. එහි ගාමක බලවේගය වුයේ ගොවි ජනතාවයි. ශ්‍රී ලංකාව නිරක්ෂයට ආසන්නව පිහිටා තිබීමත් වසරකට දෙවරක් ලැබෙන මෝසම් වැසිත්, එහි විවිධත්වයෙන් යුතු බවත් නිසාම කෘෂි බෝග වගවටම උචිතවූ සරු පසක් ඇති බව අපේ පැරැන්නෝ ඔප්පු කර පෙන්වුයේ මෙරට සහලින් ස්වයංපෝෂිත කරමිනි.
කොරෝනා වසංගතයෙන් අපට කිසිදු දිනෙක කුසගින්නේ සිටින්නට සිදු නොවන ආකාරයෙන් අපේ රටේ වී නිෂ්පාදනය මෙන්ම කෘෂි නිෂ්පාදන ක්ෂේත්රයේ එළවළු නිෂ්පාදනය ඉහළ මට්ටමින් තිබෙන බවට කදිම සාක්ෂියක් වුයේ ඇඳිරිනීතිය බල පැවැත්වූ කාලයේ දඹුල්ල ඇතුළු දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණි විශාල එළවළු තොග නිරික්ෂණය කිරීමේදීය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු වගා බිම රැසක් විනාශවී යෑම නිසා එළවළු මිල ගණන් ඉහළ ගියේ පාරිභෝගිකයාට උසුලා ගත නොහැකි අයුරිනි. එහෙත් පෙබරවාරි මාසය වනවිට යළිත් කාලගුණය යහපත්වී එළවළු නිෂ්පාදනය ඉහළ යාම නිසා වෙළඳපොලේ එළවළු මිල ගණන් පාරිභෝගිකයාට දැරිය හැකි මිල මට්ටමකට ළඟා විය.
සෑම වසරකම සිංහල අලුත් අවුරුදු සමය වනවිට එළවළු මිල ඉහළයාම හේතුවෙන් එම කාලය ඉලක්ක කරගෙන විශාල පරිමාණයෙන් ගොවීහු එළවළු හා පළතුරු වගා කරති. ලංකාවේ වාර්ෂික එළවළු නිෂ්පාදනය ටොන් 71000 ක් පමණ වන්නේය. පළතුරු නිෂ්පාදනය ටොන් 50000 ක් පමණි. ශ්‍රී ලාංකීය පරිභෝජන රටාව තුළ එළවළු වලට ප්රමුඛස්ථානයක් ලැබී ඇත. සෑම නිවෙසකම බත් පතෙහි එළවළුවක් අඩංගුය.
පසුගිය දශකයක පමණ කාලය තුළ එළවළු නිෂ්පාදනය විශාල ලෙස වර්ධනය වෙමින් පවතියි. සුක්ෂම බිම් සැකසීම, සුක්ෂම ජල භාවිතය, වාරි ජල සම්පාදනය, පොහොර, කෘෂි රසායනික භාවිතය ඒවාට නිසි ලෙස ප්‍රතිචාර දක්වන දෙමුහුන් බීජ ආදිය නිසාත් වාණිජ කෘෂි කර්මාන්තය සඳහා රජයෙන් ලැබුණු දිරි ගැන්වීම් හේතු කරගෙන වාණිජ මට්ටමෙන් කෘෂි බෝග වගාව ගම්මාන සිසාරා පැතිර ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. ඒවායේ අස්වැන්න ඉහළ අගයක පවතී. අයහපත් කාලගුණ බලපෑම් අවම වී ඇත.
ලංකාවේ පළමු ආර්ථික මධ්‍යස්ථානය ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බිහිවන්නේ 1998 වර්ෂයේ අයවැය යෝජනා මගිනි.1999 වසරේ වෙළඳ කටයුතු ආරම්භ කල ආර්ථික මධ්‍යස්ථානයට දැන් වසර 21 සම්පුර්ණ වුයේ ඉකුත් අප්‍රේල් මස 01 දිනයි.වසර 21 සම්පුර්ණවී දින හතරක් යාමට මත්තෙන් එය වසා දැමීමට සිදුවීම දෛවෝපගත සිද්ධියකි.
ග්‍රාමීය ගොවියන්ගේ කෘෂි නිෂ්පාදනයක් පහසුවෙන් අලෙවි කරගැනීමට හැකිවීමෙන් සාධාරණ මිලක් ගොවීන්ට ලබා ගැනීමේ අවස්ථාවේදී, ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කර ගැනීම,තොග වෙළඳුන්ට සෘජුවම නිෂ්පාදකයාගෙන් නැවුම් එළවළු හා පලතුරු මිලදී ගැනීමේ අවස්ථාව උදාවීම, කෘෂි නිෂ්පාදන අඩු මිලට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේ අවසථාව, විශේෂිතවූ කෘෂි කාර්මික කලාපවලින් එළවළු හා පලතුරු රටපුරා බෙදාහැරීමේ අවස්ථාව, තොග වෙළඳුන්ට තරඟකාරී පරිසරයක් ඇති කිරීම යනාදිය අරමුණු කරගෙනය.
දඹුල්ල නගරය නොනිදන නගරය ලෙස විරුදාවලි ලැබුයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිසාවෙනි. ඒ පැය 24 පුරාවට විවෘතව තබමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම,පොලිස් මුරපොලක් සමගින් පුර්ණ ආරක්ෂාව පැය 24 පුරා සපයාදීම,රාත්‍රී ගනුදෙනු සඳහා බැංකු විවෘතව තැබීම අදිය හේතුවෙනි. එසේම ව්‍යාපාරිකයන්ට හා ගොවීන්ට රථවාහන තැබීමේ පහසුකම් තිබීම, දිනපතා රාත්‍රී කාලයේ සෝදා පිරිසිදු කිරීමද ,නොමිලයේ වැසිකිලි කැසිකිලි පහසුකම් මෙන්ම දිය නෑමේ පහසුකම්ද ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය විසින් ලබදී තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රටපුරා ඇඳිරිනීතිය පැනවීමට රජයට සිදුවුයේ ඉකුත් මාර්තු මස දිනයෙදිය. එම ඇඳිරිනීතිය සමග ජන ජීවිතයට මෙන්ම වෙළඳපොල ක්‍රියාකාරිත්වයට සිදුවී ඇති බලපෑම සුළුපටු නොවේ.
රටේ බහුතරයක් ජනතාව සිටින්නේ එදිනෙදා භාණ්ඩ මිලදී ගෙන ජීවිතය ගෙවන්නටය. ඇතැමුන් සතියකට දෙකට,මාසයකට භාණ්ඩ මිලදී ගැනීම නිසා වෙළඳපොලේ ඇතැම් භාණ්ඩ හිඟයක්ද ඇතිවෙමින් තිබේ. සුපිරි වෙළඳසැල්, සතොස, සමුපකාර ඇතුළු වෙළඳපොලේ අසාමාන්‍ය ඉල්ලුමක් මේ තත්ත්වය තුළ නිර්මාණය වී ඇත.
මේ තත්වයත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග පසුගිය දිනවල ළඟා විය.සාමාන්‍ය දිනකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු හා පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000-5000 කි.එහෙත් පසුගිය දිනවල එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10000 ක් ඉක්මවූ බව එහි ව්‍යාපාරිකයන් කියා සිටිති. විශේෂයෙන් දඹුල්ල වෙළඳපොල දිවා රාත්‍රී වෙළඳපොළක් ලෙස ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානයට උඩරට හා පහතරට එළවළු හා පලතුරු වර්ග ලැබෙන අතර 75 %ක් පමණ ගොවි ජනතාව විසින්ම තම අස්වැන්න රැගෙන ඒම සිදුකරති. එසේම මෙම එළවළු හා පලතුරු තොග වශයෙන් මිලදී ගැනීම සදහා දිවයිනේ සෑම ප්රදේශයකින්ම වෙළඳුන් සැපයුම්කරුවන් පැමිණෙති.
මේ නිසා මෙම මධ්‍යස්ථානය තුළ මෙම ගනුදෙනුව සිදුවන්නේ ඉතාමත් කාර්ය බහුල වටපිටාවක් තුළය. නිරන්තරයෙන්ම දක්නට ලැබෙන කාරණයක් වන්නේ ඉල්ලුම හා සැපයුම තුළ මිලෙහි සිදුවන උච්චාවචනයයි. මේ නිසාම බොහෝ වේලාවට ගොවීන්ට තම අස්වැන්න සද්සහ සාධාරණ මිලක් වෙළඳපොළ තුළදී ලබාගැනීමේ අවස්ථාව උදාවේ.
සෑම අවස්ථාවකම එළවළුවක හෝ පලතුරක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම නියාය පදනම් කරගෙනය.මේ සදහා කිසිදු ආයතනයක හෝ පාර්ශ්වයක මැදිහත්වීමක් ඇති නොවුවත් ඉහළ ඉල්ලුමක් ඇති එළවළු වර්ග අඩු සැපයුමක් තිබෙන අවස්ථාවේදී ඇතැම් වෙළඳුන් මෙන්ම අතරමැදියන්ගේ සුරාකෑමට ගොවි ජනතාවට සිදුවීම සුලබ දසුනක් බව නොකිවමනාය.
ඇඳිරිනීතිය පැනවීමත් සමග වෙළඳපොල ක්රියාකාරීත්වයේ ඇතිවුයේ වෙනත් දිනයන්හි ලෙස නොවේ. වෙළඳපොලේ ඇතිවූ අවිනිශ්චිතභාවය විසින්ම ගොවි ජනතාවද තම අස්වනු නෙළීම කඩිනම් කිරීමට පෙලඹීම නිරායාසයෙන් සිදුවන්නකි. ඒ නිසාම වෙළඳපොළට විශාල වශයෙන් එළවලු හා පලතුරු තොග ළඟා විය. එත් සමග දිවයින පුරා ක්‍රියාත්මකවූ ඇඳිරිනීතිය නිසා පිට පළාත්වලින් වෙළඳුන් හා සැපයුම්කරුවන්ගේ පැමිණීම අඩු වීම නිසා එළවළු මිල විශාල ලෙස පහත වැටුණි.
පසුගිය ඇතැම් දිනයන්හි තක්කාලි කිලෝවක තොග මිල වුයේ රුපියල් 20කි. කැකිරි කිලෝව රුපියල් 8 ක් හෝ 10 ක් විය. වම්බටු කිලෝව රුපියල් 30කි. අමු මිරිස් කිලෝව රුපියල් 50කි. අළු කෙසෙල් කිලෝව රුපියල් 15කි. මෑකරල් කිලෝව රුපියල් 30 කි.රාබු කිලෝව රුපියල් 10 කි.
ඇතැම් දිනවල කීයකට හෝ අලෙවි කරගත නොහැකි විය.හොඳ තත්ත්වයේ බෝංචි කිලෝව රුපියල් 20 ක් 30 ක් විය. ලීක්ස් කිලෝව රුපියල් 60කි. කැරට් කිලෝව රුපියල් 80 කි. මාළු මිරිස් කිලෝව රුපියල් 30 කි.
දඹුල්ල ආර්ථිකයේ මෙම තත්වය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග කිසිදු දිනෙක එළවලු අලෙවි නොකළ විවිධ කණ්ඩායම් ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන එළවළු රැගෙන යාමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන්නට වුහ. එහි ප්‍රතිඵලය වුයේ දඹුල්ල ප්‍රධාන මාර්ග සියල්ලක්ම පාහේ විශාල රථවාහන තදබදයක් ඇතිවීමයි.
එය ඇතැම් දිනයන්හි කිලෝ මීටර 7-8 තරම් දිගුවිය. දඹුල්ල රථවාහන පොලිසියට අමතරව වෙනත් පොලිසි වලින් අමතර පොලිස් නිලධාරින්ද කැඳවීමට සිදුවිය.
ඇතැම් දිනවල එම රථවාහන පෝලිම් පැය කීපයකට සිමාවුවත් ඇතැම් දිනයන්හි එම වාහන පෝලිම් පැය 24 පුරාම දක්නට ලැබුණි.
විශේෂයෙන් දිවයින පුරා සති පොළවල් ඇඳිරිනීතිය හේතුවෙන් වසා දැමීමට සිදුවීමෙන් ඔවුන්ද කුඩා ලොරි රථ රැගෙන පැමිණ එළවළු තොග රැගෙන ගම්මානවල අලෙවි කරන්නට පටන් ගත්හ. ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉතාමත් අඩු මුදලට මිලදී ගත් එළවළු කිලෝව ඉතා ඉහළ මිලක් නියම කරමින් පාරිභෝගික ජනතාව උහුලන්නට බැරි අධික
මිලක් නියම කරමින් වැඩි ලාභයක් ලබාගැනීමට බොහෝ පුද්ගලයින් කටයුතු කිරීම ව්‍යසනකාරී අවස්ථාවක බොරදියේ මාළු බෑමක් හා සමාන විය. බොහෝ ගම්බද ප්‍රදේශවල වෙළඳසල්වල ඉතා අධික මිලට එළවළු අලෙවි කරන බවට ජනතාව තවමත් මැසිවිලි නගති.
මෙම තත්වය තේරුම් ගත් ආණ්ඩුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගත හැකි උපරිම තොග මිලක් නියම කිරීමට පියවර ගනු ලැබිය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරය වෙළඳ සංගමය හා පාරිභෝගික අධිකාරිය එක්ව මෙම මිල ගණන් වාර්තාව සකස් කෙරිණි.එම් මිල ගණන්වලට දඹුල්ල වෙළඳ පොලෙන් මිලදී ගන්නා එළවළු කිලෝවකට අමතර රුපියල් 30 ක් එකතුකර සිල්ලර මිලට එළවළු අලෙවි කළ හැකි බවට නිවේදනය කෙරිණි.
ඒ අනුව එළවලු කිලෝවක උපරිම තොග මිල නියමවුයේ මෙසේය.
බෝංචි-110,ගෝවා-70,ලීක්ස්-100,කැරට්-(නුවරඑළිය )150,කැරට්-(යාපනය )100,කොළ බිට්-(නුවරඑළිය )50,කොළ බිට් -(මැල්සිරිපුර හා යාපනය )60,තක්කාලි-80, මාළු මිරිස්-110, රාබු-30, පතෝල-40,වටකුලු-50,බණ්ඩක්කා-40,නෝකෝල්-40,කරවිල-60,වට්ටක්කා-60,වම්බටු-60,අමු මිරිස්-160,කැකිරි-40 ,පිපිඤඤා-40, දම්බල්-60,එළ බටු-70,මාක්රල්-60, අළු කෙසෙල්-60,බතල්-50,දෙහි-200,කකිරි40,තතිබ්බටු-200,ආදී වශයෙනි.
මෙම මිල ගණන් මෙසේ නියම කළත් ගොවීන්ට එම මිල ගණන් වලට අලෙවි කර ගැනීමට හැකිවුයේ එළවළු වර්ග කීපයක පමණි.විශේෂයෙන් වම්බටු, වට්ටක්කා, කැරට් වැනි අතළොස්සක වර්ග කීපයක පමණි.සෙසු එළවළු වර්ග බොහොමයක් අලෙවි කර ගැනීමට සිදුවුයේ රුපියල් 10-40 අතර අඩු මිලකටය.
පවතින තත්ත්වය යටතේ ගොවි ජනතාව ආරක්ෂා කර ගනිමින් කෘෂි නිෂ්පාදන රටපුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 120 ක් වෙත එළවළු හා පලතුරු ඇනවුම් තොග වශයෙන් ප්‍රවාහනය කරදීමේ වැඩ පිළිවෙළක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණභාරය හා ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ඒකාබද්ධව පසුගිය (6) දින සිට ආරම්භ කළ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනණාකරණභාරයේ ලේකම් හා ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය මහතා ප්‍රකාශ කරයි..
මෙම වැඩ පිළිවෙළ යටතේ සෑම දිනකදී පරදේශීය ලේකම් කොට්ඨාශ 40 කට කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කෙරෙන අතර සෑම දින තුනකට වරක් එම එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කෘෂි නිෂ්පාදන ප්‍රවහනය කෙරෙනු ඇත.
කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කරන දිනට පෙර දින පෙරවරු 10.00 ට පෙර අවශ්‍ය කෘෂි නිෂ්පාදන තොග ඇනවුම් ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මෙහෙයුම් ඒකකයට දුරකථන මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් ලබාදිය යුතු අතර එදිනම පස්වරු 2.00 ට ඇනවුම් කර ඇති කෘෂි නිෂ්පාදන තොග ප්‍රමාණය, වර්ගය ලබාදිය හැකි බවට නැවත දැනුම් දෙනු ලබයි.
අදාල ඇනවුම ප්‍රාදේශීය ලෙකම කාර්යාලයේ බලය ලත් නිලධාරියකු අනුමත කිරීමෙන් පසු පසුදින පෙරවරු 10.00 ප්‍රථම අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට අදාළ කෘෂි නිෂ්පාදන ඇනවුම් ප්‍රවාහනය කරදෙනු ලැබේ. එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අවම වශයෙන් කෘෂි නිෂ්පාදන ඇනවුම් තොග ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 7000 කි.
ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් ඇනවුම් තොග ප්‍රමාණය ලැබුණු පසු ආර්ථිකයේ ව්‍යාපාරිකයින් විසින් දුරකථන මාර්ග ඔස්සේ තමා වටා ඒකරාශි වී සිටින ගොවි ජනතාව සම්බන්ධ කරගෙන අදාළ ගොවි බිම් වෙත ගොස් අත්පිට මුදලට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සිදු කෙරෙන අතර කෘෂි නිෂ්පාදන සදහා රජයේ විසින් මිල නියම කර ඇති නිශ්චිත තොග මිලකට ඒවා මිලදී ගැනීමට නියමිත බවද ප්‍රදේශිය ලේකම්වරයා පැවසිය.