ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම වයිරසය ව්‍යාප්තයි | සිළුමිණ

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම වයිරසය ව්‍යාප්තයි

චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත (50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර වර්ජිනියා ප්‍රාන්තය ද කොරෝනා ආසාදිතයකු වාර්තා කළ අතර, ඒ අනුව, මේ වනවිට ඇමෙරිකාවේ 6,000ක් ආසාදිත තත්වයේ පසුවෙති.

පුද්ගලයන් 100දෙනෙකු මියගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වර්ජිනියා ප්‍රාන්තයෙන් කිසිදු රෝගියකු වාර්තා නොවීම පිළිබඳව ප්‍රසාදය පළකරමින් ඊයේ දිනයේදී අදහස් දැක්වීය.

‘මම හිතන්නෙ වර්ජිනියා ප්‍රාන්තයට වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය වන එකක් නැහැ. තවම කිසිම ආසාදිතයකු එයින් වාර්තා වී නැහැ’ යැයිද ට්‍රම්ප් පවසා ඇත.

එහෙත් ඊට පැය කිහිපයකට පසු වර්ජිනියා ප්‍රාන්තයෙන් පළමු රෝගියා හමුවූ බව එහි ආණ්ඩුකාරවරයා සනාථ කළේය. ‘අපි ඉන්නෙ එකම බෝට්ටුවේ. අපි සේරටම මේ වයිරසයට මුහුණදෙන්න වෙනවා.

වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු ඉතා දුර්වල මට්ටමෙන් කෙරෙන බැවින්, වෛද්‍ය පරීක්ෂණ සීමිතව සිදුකිරීමේ ස්වභාවය අනුව, ආසාදිතයන් සංඛ්‍යාව තවම නිශ්චිතව හඳුනාගෙන නැති බවද පැවසේ.

මේ අතර, ට්‍රම්ප්ගේ පරිපාලන ඒකකය විසින් සමාජයෙන් දූරස්ථව නිවාසවලට සිටින්නැයි සියලු ඇමෙරිකානුවන්ට දැනුම් දී තිබේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 7ක පමණ ජනතාවකට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමට නියම කර ඇති අතර, නිව්යෝක් නුවර ඇතුළු නගර කිහිපයක ම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු නවතා දමා ඇත.

සුළු හෝ අසනීප තත්වයක් පවතින පුද්ගලයන් වේ නම් ඔවුන්ට සති දෙකක කාලයක් නිවාසවල රැඳී සිටීමටද උපදෙස් ලබා දී ඇත.

කොරෝනා වයිරසයෙන් අපේක්ෂා කළ සීමාව ඉක්මවා ආසාදිතයන් සහ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වෙමින් සිටින බව විශේෂඥවරු පෙන්වා දෙති.

 

Comments