පොහොට්ටු පෙරහර ඔන්න එනවා | සිළුමිණ

පොහොට්ටු පෙරහර ඔන්න එනවා

පුව­ත්පත් ප්‍රවෘත්ති කර්තෘ­ව­රුන්, විශේ­ෂාංග කර්තෘ­ව­රුන්, දේශ­පා­ලන ලිපි රච­ක­යන්, කාටුන් ශිල්පීන් හා අග්‍රා­මා­ත්‍ය­ව­රයා අතර හමු­වක් ඉකුත් 06 වැනිදා අර­ලිය ගහ මන්දි­ර­යේදී සිදු­විණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, ජී. එල්. පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල්, ගෙවිඳු කුමා­ර­තුංග ඇතුළු පිරි­සක් ඒ අව­ස්ථා­වට එක් වූහ.

එහිදී පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සමය පිළි­බ­ඳත් ඉදිරි මහ මැති­ව­ර­ණය පිළි­බ­ඳත් වැඩි අව­ධා­න­යක් යොමු විණි. ඉකුත් ජනා­ධි­ප­ති­ව­රණ සමයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් දුටු වින­යා­නු­කූ­ල­භා­වය මහ මැති­ව­ර­ණ­යට නාම­යෝ­ජනා භාර­දී­ම­ටත් පෙර අව­සන් වී ඇති ආකා­ර­යක් දක්නට ඇතැයි මාධ්‍ය­වේ­දීහු අග­මැ­ති­ව­ර­යාට කීහ.

“විවේ­ච­නය කිරීම් සිද්ධ වෙන්නෙ අපේ­ක්ෂ­ක­යන් අත­රයි. මේ ඡන්ද ක්‍රමයේ හැටි­යට තියෙන්නේ මනාප යුද්ධ­යක්. යූ.එන්.පී අය අපිට බණින්නේ නැහැ. තමන්ගේ කෙනා තමන්ගේ කෙනා­ටයි කපන්නේ. මම ඉල්ල­නවා නම් මටත් කප­නවා. තාත්තා පුතා වුණත් එච්ච­රයි.” කී අග­මැ­ති­ව­රයා කීවේ සියලු දෙනා සින­හා­ග­න්වමි.

මැති­ව­රණ කොමි­සම, උපා­ධි­ධා­රීන්ගේ රැකියා පුහු­ණුව නතර කිරීම සම්බ­න්ධ­යෙන්ද මෙහිදී වැඩි අව­ධා­න­යක් යොමු විණි. පක්ෂ පාට භේද­ය­කින් තොරව සියලු ම උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා­දීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා ගෙන තිබූ ප්‍රති­ප­ත්ති­මය තින්දු­වක් සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­සම මෙවැනි තීර­ණ­ය­කට එළැ­ඹීම තම­න්ටද ප්‍රශ්න­යක් බව අග­මැ­ති­ව­රයා සඳ­හන් කළේය.

“ඒ දරු­වන්ට පුහු­ණුව නොලැ­බු­ණාට, පත්වීම් ලිපි භාර අරන් තියෙන නිසා වැටුප ගෙවන්න ඕනේ. මේ තීර­ණය නිසා නැති වෙන්නේ පුහු­ණුව විත­රයි.” යනු­වෙන් අග්‍රා­මා­ත්‍ය­ව­රයා අද­හස් පළ කරන අව­ස්ථාවේ ‘උපා­ධි­ධා­රීන්ට මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට යෑමේ හැකි­යාව තියෙ­නවා නේද?” යි මාධ්‍ය­වේ­දීහු නැව­තත් අග­මැ­ති­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කළහ.

“අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට ගිහින් ඒ විදි­යට විය­දම් කරන්නේ මොක­ටද. මාස දෙකක් ගෙද­රට වෙලා පඩි අර­ගෙන, ඊට පස්සේ රැකි­යා­වට එන එක ඒ ළම­යින්ට වාසියි” යනු­වෙන් අග­මැ­ති­ව­රයා සඳ­හන් කළේය.

රජයේ ගිණුම් පිය­වීමේ අර­මු­ණින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ අතුරු සම්මත ගිණුම විප­ක්ෂය නිර්දය ලෙස විවේ­ච­නය කිරීම සහ තමන් බල­යට පැමි­ණී­මෙන් පසුව උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා දෙන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කිරී­මද මෙහිදී සාකච්ඡා විය.

“පක්ෂය දෙකඩ වෙලා, හදා­ගත්ත සමගි සන්ධා­න­යෙත් සම­ගිය නැති වෙලා ඉන්න වේලාවේ එයා කටට එන එන දේ කිය­ව­නවා” යැයි අග­මැ­ති­ව­රයා සිනා­සෙ­මින් පිළි­තුරු දුන්නේය.

ඉදිරි මහ මැති­ව­ර­ණ­යේදී කාන්තා නියෝ­ජ­නය වැඩි කිරීම පිළි­බඳ අව­ධා­නය යොමු කර ඇත්දැයි කාන්තා මාධ්‍ය­වේ­දි­ය­නි­යක් අග­මැ­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කළාය.

පොලො­න්න­රු­වෙන් බියුටි ක්වීන් කෙනෙක්

“අපි හැම දිස්ත්‍රි­ක්ක­යම කාන්තා­වන්ට නාම­යෝ­ජනා දෙනවා. ජන­තාව තමයි පත් කර ගන්න ඕනේ. මේ පාර පොලො­න්න­රු­වෙන් බියුටි ක්වීන් කෙනෙ­කුත් ඉදි­රි­පත් වෙන්නයි ඉන්නේ” අග­මැ­ති­ව­රයා පෙරළා පිළි­තුරු දුන්නේය. ඒ සමඟ මහා­චාර්ය ජී. එල්. පීරිස් මහතා ද කතා­වට සම්බන්ධ වෙමින් ‘කෙරිලා තියෙන සමී­ක්ෂ­ණ­ව­ලින් පේනවා කාන්තා­වන් කාන්තා­වන්ට ඡන්දය නොදෙන බව. පක්ෂය නාම­යෝ­ජනා දුන්නත් පත් කර­ගන්න ඕනේ ජන­තාව.” යැයි සඳ­හන් කළේ සියලු දෙනා සිනා­ග­න්ව­මිනි.

මේ දින­වල සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දරු­වෙකු අප­චා­ර­යට ලක් වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රචා­රය වෙයි. අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කිසි­වෙකු අත්අ­ඩං­ගු­වට ගෙන නැතත් විවිධ අයට චෝදනා එල්ල වෙමින් පව­තියි. නමුත් එකී කුඩා ගැහැනු දරුවා සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසිදු තොර­තු­රක් අනා­ව­ර­ණය වී නැත. මාධ්‍ය­වේ­දි­යෙකු ඒ සම්බ­න්ධ­යෙන් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ අව­ධා­නය යොමු කළත් අග­මැ­ති­ව­රයා එකී සිද්ධිය සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත්ව සිටි බවක් නොපෙ­ණිනි.

“ඔය වගේ සිද්ධි­ව­ලට දැඩි දඬු­වම් දෙන්න නම් ඕනේ.” යැයි අග්‍රා­මා­ත්‍ය­ව­රයා එහිදී සඳ­හන් කළේය. අග්‍රා­මා­ත්‍ය­ව­රයා එලෙස පිළි­තුරු දුන්නද මාධ්‍ය ලේක­ම්ව­ර­යාට ළඟට පැමි­ණෙන ලෙස හිසින් සන් කළේය.

“හේරත්, ඔය සිද්ධිය ගැන මට සම්පූර්ණ විස්ත­ර­යක් ඕනේ” කී අග්‍රා­මා­ත්‍ය­ව­රයා නැව­තත් මාධ්‍ය­වේ­දීන් සමඟ සුහද කතා­බ­හට එක්වූ­යේය.

නව නිප­ැයුම් සම්බ­න්ධ­යෙන් රජයේ සහාය පිළි­බඳ සැල­කි­ලි­මත් විය නොහැකි බවත් ඊට රජයේ අව­ධා­නය මීට වඩා යොමු කිරී­මෙන් නව නිපැ­යුම් කරන අයට මෙන්ම පව­තින නිපැ­යුම් වැඩි­දි­යුණු කිරීම සඳ­හාත් අව­ස්ථාව ලබා­දිය යුතුව ඇතැයි මාධ්‍ය­වේ­ද­ියෙකු සඳ­හන් කිරී­මත් සමඟ බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා,

“මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ­පි­ළි­වෙළ යටතේ අපි තාක්ෂණ හා නවෝ­ත්පා­දන විෂය හඳුන්වා දුන්නා. ඒ අනුව පාස­ල්වල අලුත් දේවල් කෙරෙ­නවා. පාසලේ වැඩ­ක­ට­යුතු වැඩි ප්‍රමා­ණ­යක් දැන් කරන්නේ දරු­වන් අතින්. පාසල් 300ක් විශ්ව­වි­ද්‍යාල 15ක් අනෙක් උසස් තාක්ෂණ හා නාවෝ­ත්පා­දන ආය­ත­නත් එක්වෙලා 11,12,13 හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලය හා අවට තාක්ෂ­ණික විද්‍යා­ලත් එකතු වෙලා ප්‍රද­ර්ශ­න­යක් කර­නවා. හෝමා­ගම තමයි වැඩි­පු­රම තාක්ෂ­ණික විද්‍යාල තියෙන්නේ. නවෝ­ත්පා­දන වෙලා තියෙන ප්‍රමා­ණය දැන­ග­න්නත් පුළු­වන්. ව්‍යාපා­රි­ක­යන්ට ඒ නවෝ­ත්පා­ද­ක­යන්ට අත­දෙ­න්නත් අව­ස්ථාව ලැබෙ­නවා.” යනු­වෙන් අග­මැ­ති­ව­රයා පිළි­තුරු දීම­ටත් මත්තෙන් පිළි­තුරු දුන්නේය.

“හෝමා­ගම.....හෝමා­ගම” යැයි බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­ර­යාගේ පිළි­තුර අව­සන් වීමත් සමඟ අග­මැ­ති­ව­රයා සඳ­හන් කළේ සියලු දෙනා සිනා­ග­න්ව­මිනි. බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා නියෝ­ජ­නය කරන ආස­නය හෝමා­ගම වීම නිසා අග­මැ­ති­ව­රයා එවැනි විහි­ළු­වක් කළේය.

 

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සුබ මොහො­තින් නාම යෝජනා අත්සන් කරයි

 

2020 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­නයේ නාම යෝජනා, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ යටතේ භාර­දී­මට හවු­ල්කාර පාර්ශ්ව තීන්දු කර ඇත. නාම යෝජනා පත්‍ර සඳහා සුබ මොහො­තින් අස්සන් තැබීම ඉකුත් 11 වැනිදා පෙර­ව­රුවේ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ විජ­ය­රා­මයේ පිහිටි නිව­සේදී ආරම්භ කළේය.

එම අව­ස්ථා­වට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් රැසක් සහ­භාගි වූ අතර හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාද එක් වි සිටි­යේය. නාම­යෝ­ජනා අස්සන් තැබුණේ එත­රම් ඉඩ පහ­සු­කම් සහිත ස්ථාන­යක නොවූ නිසා හිටපු ජනා­ධි­ප­ති­ව­රයා නාම­යෝ­ජනා අත්සන් කරන ස්ථාන­යට තද­බ­දය මැදින් පැමි­ණියේ අසී­රු­වෙනි. හිටපු මන්ත්‍රී­ව­රුන් අත­රින් රිංග­මින් පැමි­ණෙන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා දුටු සැණින් මාධ්‍ය­වේ­දින් අතර කසු­කු­සු­වක් ඇති­විණි. මේ අතර මන්ත්‍රී­ව­රුද එකි­නෙ­කාගේ මුහුණු බලා­ගන්නා අයුරු දැක­ග­න්නට ලැබිණි.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා පැමි­ණී­මත් සමඟ මාධ්‍ය­වේ­දීන්ගේ අව­ධා­නය යොමු වූයේ පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ නාම­යෝ­ජනා අස්සන් කිරීම සම්බ­න්ධ­වයි. දිස්ත්‍රික්ක කිහි­ප­යක නාම­යෝ­ජනා අස්සන් කිරී­මෙන් පසුව මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා අග­මැ­ති­ව­රයා සමඟ කෙටි කතා­බ­හක නිරත විය. පසුව නාම­යෝ­ජනා අස්සන් කිරීමේ කට­යුතු අව­සන් වීම­ටත් පෙර හෙතෙම පිටව ගියේය. ‘මොකක්ද දන්නේ නැහැ සීන් එක” යි මාධ්‍ය­වේ­දීන් කියනු ඇසිණි.

අග­මැ­ති­ව­රයා පළ­මුව නාම­යෝ­ජනා අස්සන් තබයි

 

මහා සංඝ­ර­ත්නයේ ආශි­ර්වාද මධ්‍යයේ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය සඳහා පළ­මු­වෙන්ම නාම යෝජනා පත්‍ර­යට අස්සන් තැබීය. අග­මැ­ති­ව­රයා නාම­යෝ­ජනා සඳහා අස්සන් තබන අව­ස්ථාවේ අග­මැ­ති­ව­ර­යාගේ මුනු­පුරු නිර්වාන්, ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය අතෙහි විය. එහි වන දේ පිළි­බඳ කිසි­වක් නොදත් ළදරු නිර්වාන් සීයාව සිප­ග­ත්තේය. නාම­යෝ­ජනා අස්සන් කිරීමේ කට­යුතු අව­සන් වීමත් සමඟ නිර්වාන් සිය­තට ගත් අග­මැ­ති­ව­රයා මුනු­පුරා සුර­තල් කිරී­මත් සමඟ එහි සිටි සියලු දෙනාගේ අව­ධා­නය නිර්වාන් වෙත යොමු විණි.

නාම­යෝ­ජනා අත්සන් තැබීමේ කට­යුතු අව­සන් වීමෙන් පසුව තේ පානය සඳහා සියලු දෙනා එක් වූහ. එහිදි නෙලුම් පොහො­ට්ටුව සහිත කේක් එකක් කැපූ අග­මැ­ති­ව­රයා කේක් කෑල්ලක් බන්දුල ගුණ­ව­ර්ධන අතට දෙමින් ‘ඔයා කවන්න‘ යැයි කීවේය. බන්දුල ගුණ­ව­ර්ධන කේක් කෑල්ල අතට ගත් සැණින් විමල් වීර­වංශ දෙසට හැරී විමල් වීර­වං­ශට කේක් කැබැල්ල දිගු කළේය. කේක් කෑල්ලක් කන අතරේ විමල් විර­වංශ ‘ හොඳ හිතින් නේද කවන්නේ. පර­දින්න කියලා නෙවෙ­යිනේ ” යැයි පැව­සුවේ සියලු දෙනා සිනා­ග­න්ව­මිනි. බන්දුල ගුණ­ව­ර්ධ­නත් විමල් වීර­වං­ශත් යන දෙදෙ­නාම කොළඹ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම එවැනි දෙබ­සක් ඇති වීමට හේතු වන්නට ඇත.

විමල්ට කේක් සංග්‍රහයක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ලේකම් සාගර කාරි­ය­ව­සම් මහතා සකස් කර තිබූ නාම­යෝ­ජනා ලිපි ලේඛන රැගෙන පැමිණ සිටියේ පොදු­ජන පෙර­මුණ කාර්යා­ලයේ සේවය කරන තරු­ණියෝ දෙදෙ­නෙකි. මෙතැ­නදී අග­මැ­ති­ව­රයා සමඟ එම තරු­ණි­යන් දෙදෙ­නාට පින්තූ­ර­යක් ගැනී­මට අවශ්‍ය වි තිබිණි. ඒ බැව් අග­මැ­ති­ව­ර­යාට කී සැණින් “එන්න. එන්න” යැයි කීවේය. එය ඇසූ අවට සිටි අයද ඒ අස­ලට එන්නට වුහ .

“ නැහැ නැහැ. කාන්තා­වන් දරුවෝ එක්ක පින්තූ­ර­යක් ගන්න කොට ඔය ගොල්ලෝ එන්න එපා” කී අග­මැ­ති­ව­රයා නෙලුම් මාවතේ සිට පැමිණි තරු­ණි­යන් දෙදෙනා සමඟ පින්තූ­ර­ය­කට පෙනී සිටි­යේය.

පින්තූ­ර­යට පෙනී සිටි එක් තරු­ණි­යක පෙන්ව­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ලේකම් සාගර කාරි­ය­ව­සම් මහතා “මේ ළම­යාගේ වෙඩින් එකට සර්නේ අස්සන් කළේ. සර්ට මත­කද” යැයි කීවේය.

“ ඔව්.ඔව්.මට මත­කයි. දැන් බබාලා ඉන්න­වාද?” යි පෙරළා ඇසීය. “තවම වැඩි කාල­යක් නැහැනේ සර් “ යැයි එම තරු­ණිය පැව­සු­වාය. “නැහැ, මට මතක විදි­යට දැන් අවු­රුදු දෙකක් විතර” යැයි අග­මැ­ති­ව­රයා සඳ­හන් කිරී­මත් සමඟ ‘ඔව් සර් ‘ යැයි තරු­ණිය පෙරළා පැව­සු­වාය. “ඒකනේ ළමයෝ කියන්නේ. අවු­රුදු දෙකක් කියන්නේ ලොකු කාල­යක්. මේ රට වෙනු­වෙන් ළමයි හදන්න. තරුණ වයසේ ඔහොම හිතු­වාට රට ජාතිය වෙනු­වෙන් ඔයා­ලාගේ යුතු­කම ඉටු කරන්න” යැයි අග­මැ­ති­ව­රයා නැව­තත් එම තරු­ණි­යට පැව­සීය.

 

කැල­ණියේ ප්‍රස­න්නගේ එඩි­ත­ර­කම

කෑම මේසෙන් අග­මැ­ති­ව­රයා ඉවත්ව ගිය පසු අග­මැ­ති­ව­රයා වෙත පැමිණි ප්‍රසන්න රණ­වීර මන්ත්‍රී­ව­රයා දුටු සැණින් අග­මැ­ති­ව­රයා “ මොකෝ අස්සන් කළේ නැත්තේ” යි ඇසීය. “ලොකු අය අස්සේ අපි කර­දර කරන්න ඕනේ නැහැනේ සර්. ගෙදර උන්දැයි ළමයි එක්ක ආස­නේ­දීම අස්සන් කර­න්නම්” යැයි පැව­සීය.

“ඔව්. ඔව්. මෙයා ඉන්නේ මිනිස්සු එක්කනේ“ අග­මැ­ති­ව­රයා සඳ­හන් කරන විටම අපේ උත්ස­ව­ය­කට ආරා­ධ­න­යක් කර­න්නත් තියෙ­නවා” යි ප්‍රසන්න රණ­වීර කීවේය. පුළු­වන් නම් නොමි­නේ­ස­න්ව­ලට කලින් දින­යක් දාගන්න කී අග­මැ­ති­ව­රයා ඒ අව­ස්ථා­වේම මාර්තු මස 28 වැනිදා ඒ සඳහා යොදා ගන්නැයි ප්‍රසන්න රණ­වී­රට කීවේය.

“මේකට නම් මම නොගි­හින් බැහැ” යි සිනා­සෙ­මින් අග­මැ­ති­ව­රයා සඳ­හන් කිරී­මත් සමඟ එහි සිටි ටිරාන් අලස් “ඇයි සර්“ ඒ යැයි විම­සීය.

“මෙයා කැල­ණියේ වුණාට උස්සන් ආවේ මගේ ගමේ කෙල්ලෙක්. ඒ නිසයි මම මෙයැ­යිට මේ තරම් ආදරේ”යැයි අග­මැ­ති­ව­රයා පිළි­තුරු දුන්නේය. “සර් මෙයා ළඟට ගත්තාට තමක් නැහැ. මිරිස් කුඩු තියෙ­න­වාද දන්නේ නැහැ”

“නැහැ මෙයා මිරිස් කුඩු ගහන්නේ නැහැ. පිහිය අමෝ­රා­ගෙන එන­කොට මෙයැයි තමයි ඉස්ස­ර­හට පැනලා මාව බේරා­ගත්තේ” යැයි අග­මැ­ති­ව­රයා ද පෙරළා ටිරාන් අලස්ට පැව­සීය.

පෙරමුණේ රාල ගැන පොතක්

 

මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යන් බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළ­ඹදී අස්සන් තැබීම 12 වැනිදා සිදු විය. මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා නාම යෝජනා අස්සන් තැබිම සඳහා පැමිණ සිටි අතර එස්. බී. දිසා­නා­යක හිටපු ජනා­ධි­ප­ති­ව­රයා තනි නොකර ඔහු සමඟ කතා­බ­හක නිර­තව සිටි­යේය.

එස්. බී. දිසා­නා­යක හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සමඟ කතා කිරී­මෙන් පසුව එතැන සිටි අනෙ­කුත් අයද මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සමඟ කතා­ක­ර­න්නට විය. බැසිල් රාජ­පක්ෂ, චමල් රාජ­පක්ෂ, මහින්ද අම­ර­වීර, දයා­සිරි ජය­සේ­කර, හිටපු ජනා­ධි­ප­ති­ව­රයා නාම­යෝ­ජනා අස්සන් කරන අව­ස්ථාවේ එතැන රැඳී සිටි­යහ. මෛත්‍රී­පාල සිරි­සේන නාම­යෝ­ජනා අස්සන් තැබූ සැණින් බැසිල් රාජ­පක්ෂ මහතා අත්පො­ළ­සන් දුන්නේය. ඒ සමඟ එතැන සිටි අනෙක් අයද අත්පො­ළ­සන් දුන්හ.

මාධ්‍ය­වේදී ධනුෂ්ක ගොඩ­කු­ඹුර විසින් රචනා කරන ලද ‘ප්‍රසන්න - පොදු­ජන අර­ග­ලයේ නොකී කතාව‘ ග්‍රන්ථය ‍පසුගිය බදාදා එළි­දැ­ක්වුණේ හිටපු ඇමැති බැසිල්ගේ ප්‍රධා­න­ත්ව­යෙනි. 2015-2019 කාල පරි­ච්ඡේ­දය තුළ විප­ක්ෂයේ සිටි­මින් මහින්ද රාජ­පක්ෂ මහතා නැවත බල­යට ගෙන ඒම සඳහා ප්‍රසන්න රණ­තුංග දැක්වූ දාය­ක­ත්වය පිළි­බඳ සකස් කර ඇති එම ග්‍රන්ථය එළි­දැ­ක්වීමේ උලෙළ මිනු­ව­න්ගොඩ, නයි­වල ජය­සිංහ සිටි සෙන්ටර්හි දි පැවැ­ත්විණි.

උලෙළ පැවැ­ත්වී­මට අද­හස් කර තිබුණේ අග­මැති මහි­න්දගේ ප්‍රධා­න­ත්ව­යෙනි. එහෙත් එදින විශේෂ සාකච්ඡා කිහි­ප­යක් නිසා අග­මැති මහි­න්දට උත්ස­ව­යට සහ­භාගී වන්නට නොහැකි බව කලින් දැනුම් දී තිබිණි. අග­මැති මහින්ද සහ දිස්ත්‍රික් නාය­ක­යන් නාම­යෝ­ජනා පත්‍ර­යට අස්සන් තැබීමේ උත්ස­වයේ දී ප්‍රස­න්නට අග­මැති මහින්ද මුණ­ගැ­සිණි. අගැ­මැති මහින්ද ප්‍රස­න්නගේ වැඩේ ගැන එහිදී මතක් කළේය.

“ප්‍රස­න්නගේ වැඩෙත් අද නේද? බල­න්නකෝ ප්‍රසන්න නාම­යෝ­ජනා ගැන සාකච්ඡා වග­යක් නිසා අද හවස් වරු­වම කොළඹ ඉන්න‍ ­වෙ­ලානේ” අග­මැති මහින්ද පැව­සීය.

“මම දන්නවා සර්. පොතේ වැඩේට නාවට කමක් නැහැ. සර් කොළඹ ඉඳලා ඔය වැඩ ටික කර­ග­න්නකෝ” ප්‍රසන්න කීවේය.

“ඒ වුණාට ප්‍රස­න්නගේ වැඩ­කට මම නොගි­හින් ඉඳ­ලම නැහැ. මම තාමත් කල්පනා කර­නවා මොකද කරන්නේ කියලා” මහින්ද පැව­සීය.

“ආයෙත් ඒ ගැන කල්පනා කරන්න දෙයක් නැහැ සර්. ඔබ­තුමා වැඩ ටික කර­ගන්න. බැසිල් මහ­ත්තයා ආවම ඇති මගේ වැඩේට” ප්‍රසන්න යළි කීවේය.

“බැසිල් නම් කොහො­මත් එයි. ප්‍රස­න්නගේ වැඩක් කිව්වම අපි කාටත් මඟ­හ­රින්න බැහැ. ප්‍රස­න්නත් අපේ සටනේ පෙර­මුණේ රාල­කෙ­නෙක්නේ” අග­මැති මහින්ද සිනා­සෙ­මින් පැව­ස­සීය.

එදින සවස පහට ප්‍රසන්න - පොදු ජන අර­ග­ලයේ නොකී කතාව එළි­දැ­ක්වීමේ උලෙළ ආරම්භ කෙරිණි. බැසිල් සමඟ උදය සහ වාසු ද එම උත්ස­ව­යට එක්ව සිටි­යහ. ප්‍රධාන දේශ­නය පව­ත්වනු ලැබුවේ මහා­චාර්ය ඉඳු­රා­ගාරේ ධම්ම­ර­තන හිමි­යන් විසිනි. උන්ව­හන්සේ සිය දේශ­නයේ දී කීවේ රට පාල­න­යට උග­තුන් අවශ්‍ය යැයි නිය­ම­යක් නැති බවය. දේශ­පා­ල­නයේ දී අවශ්‍ය මූලික සුදු­සු­කම උග­ත්කම නොව රටට ඇති ආද­රය බවත් උන්ව­හන්සේ පෙන්වා දුන්හ.

ඇමැතිවරුන්ගෙන් රසකතා

බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දු­වක් ගැනී­මට පෙර ප්‍රස­න්නගේ ඉරි­යව් දෙස විම­සි­ල්ලෙන් බලන බවය. ජන­තාව සමඟ සිටින ප්‍රායෝ­ගික නාය­ක­යකු වශ­යෙන් ප්‍රසන්න නිත­රම නිවැ­රැදි තීන්දු ගන්නා බව පැවසූ හිටපු ඇමැති බැසිල් තමා තීන්දු­වක් ගැනී­මට පෙර ප්‍රසන්න දෙස බලන්නේ ඒ නිසා බවත් පැව­සීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහො­ට්ටු­වෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රස­න්නගේ ඉරි­යව් මත තීර­ණය වූ ඒවා බවත් බැසිල් පැව­සීය.

තමා පළමු වතා­වට පළාත් සභා­වට තේරී පත් වූ විට සෑම මන්ත්‍රී­ව­ර­ය­කුම තමා දෙස බැලුවේ ගෙට ඇතුළු වී ගේ විනාශ කිරී­මට ආ රකු­සකු දෙස බලන ආකා­ර­යෙන් බව ගම්ම­න්පිල මෙහිදී කීවේය. ඊට හේතු වී තිබුණේ තමා දැඩිව පළාත් සභා ක්‍රම­යට විරෝ­ධය පළ කළ නිසා යැයි කී ගම්ම­න්පිල ඒ සියල්ල නොස­ලකා මන්ත්‍රී­ව­රුන් සමඟ මුහු වීමට අව­ස්ථාව උදා කර දුන්නේ ප්‍රසන්න බවත් කීවේය.

එසේම සියලු මන්ත්‍රී­ව­රුන් කී පරි­ද්දෙන් තමා උඩු­ග­ම්පොළ උපා­ධිය සමත් වූ බවත් ගම්ම­න්පිල කීවේ සිනා­සෙ­මිනි‍

රස කතා­ව­ලින් හෙබි උත්සව සභාවේ ග්‍රන්ථය එළි­දැ­ක්වීමේ අව­ස්ථාවේ දී මුල්ම පිට­පත ධනුෂ්ක ගොඩ­කු­ඹුර විසින් ප්‍රස­න්නට පිළි­ගැ­න්වී­ම­ටත් අන­තු­රුව ප්‍රසන්න අනෙක් පිට­පත් මැති ඇමැ­ති­ව­රුන්ට පිළි­ගැ­න්වී­ම­ටත් නිය­මි­තව තිබිණි. එහෙත් පළමු පිට­පත ධනු­ෂ්කගේ අතින් ගත් ප්‍රසන්න අනෙක් ආරා­ධි­ත­යන්ට පිට­පත් පිළි­ගැ­න්වීමේ කට­යු­ත්තත් ධනු­ෂ්ක­ටම පැව­රු­වේය.

උත්ස­වය අව­සන් වීමෙන් අන­තු­රුව බැසිල් ඇතුළු පිරිස සමඟ ප්‍රසන්න රාත්‍රි ආහා­රය ගැනී­මට ගියේ අසල තිබුණු හෝට­ල­ය­ක­ටය. එහිදී විප­ක්ෂයේ සිටි වසර පහේ දී මුහු­ණපෑ රස කතා රාශි­යක්ම මැති ඇමැ­ති­ව­රු­න්ගෙන් කියැ­විණි. බැසිල් කීවේ තනිව තරග කරමු, පොහො­ට්ටුව විත­රයි කිය­මින් ප්‍රසන්න දිවා රෑ තම­නට වද දුන් හැටිය.

“අපෝ මෙයා­ගෙන් තමයි බේරි­ල්ලක් තිබ්බෙම නැත්තේ තනි­වම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අර­ගෙන මිනි­ස්සුන්ට කිය­ලත් ඉව­රයි. අන්ති­මට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනා­සෙ­මිනි.

“ඒ කතා ටිකත් මේ පොතේ ඇති නේද? ඩුලිප් ඇසු­වේය.“කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩ­ලයේ අය මේ පොත රත්ත­රන් වගේ පරි­ස්සම් කළා පොත එළි­ද­ක්ව­න­කම්. අඩු ගාණේ මට­වත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න කීවේ සිනා­සෙ­මිනි.

එක්සත් ජාතික පෙර­මුණ තුළ ඇතිව තිබෙන මත බේදය සම­ථ­ය­කට පත් කිරීම සඳහා ගෙවී ගිය සතියේ ද තිරය පසු­පස මෙහෙ­යුම් ගණ­නා­වක් සිදු විය. ප්‍රශ්නය විස­ඳී­මට මැද­හත් වූ සියලු පාර්ශ්ව සොයා ආවේ කථා­නා­යක කරු ජය­සූ­රි­ය­ව ය. මේ අතර භික්ෂුන් වහන්සේ ඇතුළු අනෙ­කුත් ආග­මික නායක කාර­කා­දීහු කිහිප දෙනෙක්ද රනිල් සජිත් දෙපිලේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ සාමා­ජි­කයෝ ද කිසිදු පාර්ශ්ව­යක් නොගන්න මධ්‍යස්ථ පිරිස්ද වූහ.

ඒ සියලු දෙනා පෙන්වා දුන්නේ දෙපා­ර්ශ්ව­යේම ගෞර­වය දිනා­ගත් පරි­ණත පුද්ග­ල­යෙකු ලෙස කරු ජය­සූ­රිය මහතා ගේ මැද­හත් වීමෙන් ප්‍රශ්නය විස­ඳා­ගත හැකි යැයි තමන් විශ්වාස කරන බවයි. ඒ සියලු දෙනා­ටම සවන් දුන් කරු ජය­සූ­රිය මහතා පැව­සුවේ සම­ඟිය වෙනු­වෙන් තමා මෙතෙක් දැරූ උත්සා­හය අසා­ර්ථ­කව ඇති නමුත් අව­සන් මොහොත දක්වා ම තමන් ඒ වෙනු­වෙන් දරන උත්සා­හය අත්හැර නොද­මන බවයි.

Comments