
• ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පැමිණ දින සියය ඉක්මවා තිබෙනවා. ජනතාවට සේවයක් ඉටු වෙලා තිබෙනවාද?
ඉකුත් යහපාලන රජයේදී අප දුටුවේ අසාර්ථක ආර්ථික ක්‍රමයක්, මහජනතාවගේ ගැටුම්, අක්‍රීය ආර්ථිකයක්. නිරන්තර අර්බුද තමයි දිගින් දිගටම සිද්ධ වුණේ.
මේ රටට විශේෂ අතපෙවීම් දිගින් දිගටම සිද්ධ වුණා. අතිශය අසාර්ථක පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වුණේ ජනතාව අන්ත අසරණ වෙලා. මේ රට ඉතිහාසයේ විශාලතම කඩා වැටීමට ලක් වුණා. රට වසර ගණනාවකට ආ පස්සට ගියා.
ඉතිහාසය පුරාවටම මේ රටේ උග්‍ර විශාලතම මුදල් සොරකම් කිරීම මහ බැංකු වංචාව, රටේ සම්පත් වෙනත් රටවලට විකිණීම, මේ රට දෙකඩ කරන MCC වැනි ගිවිසුම් මේ රටට ගෙන ඒම මේ සියල්ල ඉකුත් වසර පහ ඇතුළත ක්‍රියාත්මක වුණා. සරසවි අධ්‍යාපනය, නොයෙක් වෘත්තීන් දැඩි ලෙස කඩා වැටුණා.
මේ රටේ ආරක්ෂාව බින්දුවට දමමින් මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාරය මේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රමුඛ විදේශ ආදායම් ගෙන ඒම සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. තැන තැන පාතාලයින් වෙඩි තියාගන්න වල් වැදුණු නීතියක් තමයි ක්‍රියාත්මක වුණේ.
රටේ ජනතාවට මෙය තදබල ලෙස බලපෑවා. විශේෂයෙන් ම ජනතාව ආරක්ෂාව පැතුවා. රටේ කඩා වැටෙන ආර්ථිකය, සංචාරක කර්මාන්තය මේ සියල්ල යළි ගොඩනැඟීමට නම් නව දේශපාලන ගමනක් අවශ්‍ය බව මේ රටේ ජනතාව තේරුම් ගත්තා. අන්න ඒ කාරණා සමඟ ජනතාව යහපාලන රජය ගෙදර යැවීමට තීරණය කළා.
රෙට් ජනතාවට නියම ආරක්ෂකයෙක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගත්තා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට ජනතාව කටයුතු කළා. අද ජනතාව ගත් තීරණය පිළිබඳව ඔවුන් බෙහෙවින් සතුටු වෙනවා.
මේ වනවිට සුළුතර ආණ්ඩුවක් හැටියට අපි ජනතාවට සහන ලැබෙන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.
විශේෂයෙන් ම ජනතාව බියෙන් සැකයෙන් තොර විශ්වාසයක් ඇතිව ජීවත් වෙනවා. මේ රට ස්ථාවරභාවයට පත් කිරීමට පළමු දින සියය ඇතුළත පියවර ගෙන තිබෙනවා. රටේ අනාරක්ෂිත භාවය වෙනුවට ආරක්ෂිත භාවයට පැමිණ තිබෙනවා.
අද රජය හැකි අයුරින් ජනතාවට සහන සලසනවා. දූෂණය වී තිබූ රාජ්‍ය සේවය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් විදේශිකයන් මෙරටට පැමිණෙමින් සිටිනවා. දිනෙන් දින ආයෝජකයන් මෙරටට පැමිණෙනවා.
•ඉකුත් ජනාධිපතිවරණයේදී ඔබලාගේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත් වුණා බැඳුම්කර හොරුන් නීතිය හමුවට ගෙන එන බව. එහෙත් මෙතෙක් කිසිවකුත් ඒ සම්බන්ධව අත්අඩංගුවට අරගෙන නැහැ නේද?
ඇත්තටම ඔය චෝදනා සිදු කරන්නේ දේශපාලන වාසි බලාපොරොත්තු වන අය. අපි හොරු අල්ලන්නේ නැහැ කියන එක. අපි රජයක් හැටියට මේ සම්බන්ධව ක්‍රියා කරනවා. විශේෂයෙන් ම මේ සඳහා ක්‍රියා කරන්නට සිදුවන්නේ නීතිමය රාමුවක සිටගෙනයි.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රටින් පලාගොස් සිටිනවා. ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගනිමින් අප ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබෙන්නේ.
මොහු රට යැවුවේ අප නොවෙයි. ඔහු රටින් පැන්නේ ඉකුත් යහපාලනය පැවැති සමයේ. ඔවුන්ට වසර ගණනක් ගිහිල්ලත් බැරි වුණා. සැකකරු අත්අඩංගුවට ගන්න. අපි ඉතා ඉක්මනින් මේ සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගන්නට ක්‍රියා කරනවා.
• ඉතා වැදගත් මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වෙනවා. කොහොමද ඒ සඳහා සූදානම?
මේ සඳහා අවශ්‍ය සියලු දේවල් මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. අපි මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානයක් හැටියටයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ ගණනාවක් අප සමඟ එකතු වනවා. පොහොට්ටුව ලකුණින් අපි තරග කරනවා. පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදුණු පළාත් පාලන මැතිවරණය මෙන් ම ජනාධිපතිවරණයත් අපි විශිෂ්ට ලෙස ජය ලැබුවා. ඉදිරියේදී මහ මැතිවරණයත් ඒ අයුරින් ම ජයගන්නවා කියන එක මා නොබියවම ප්‍රකාශ කරන්න කැමැතියි.
දිස්ත්‍රික් මට්ටමින්, පළාත් පාලන මට්ටමින් ග්‍රාම සේවා බල ප්‍රදේශ මට්ටමින් අපි මැතිවරණය සඳහා සූදානම් වෙනවා. මේ වනවිට ඒ සඳහා අපගේ සියලු පක්ෂ ක්‍රියාත්මකයි. අප ගොඩනැඟූ සන්ධානයේ පළමු විධායක සභාව ද ඉතා සාර්ථක මට්ටමින් අවසන්.
• එක්සත් ජාතික පක්ෂය අද දැවැන්ත අර්බුදයක. නායකත්වය, පක්ෂ ලාංඡනය මේ සියල්ල තවමත් ගැටුම්කාරී තත්ත්වයකයි පවතින්නේ. ඒ පක්ෂය මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ ඇයි?
පාරම්පරිකව පැවත එන ඉතා වටිනා දේශපාලන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. අද එය විශාල කඩා වැටීමකට ලක් වෙලා.
මේ පක්ෂය තවමත් සාම්ප්‍රදායිකව තිබීම පක්ෂයේ කඩා වැටීමට හේතුවක් කියලා මට හිතෙනවා. කාලයට අවශ්‍ය විදියට මේ පක්ෂය හැඩ ගැසුණේ නැහැ. ඉකුත් දශකය ගත් විට එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත පසුබෑමක් තමයි පෙන්නුම් කරන්නේ.
අප දේශපාලන නායකයන් හැටියට පක්ෂයක සිටිනවා නම් ඒ පක්ෂය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. නැතිනම් ඒ පක්ෂය කඩා වැටෙනවා. යම් ස්ථාවරයකට ගෙන ඒමට නම් තමන්ගේ පක්ෂය දේශපාලන කැප කිරීම් සිදු කළ යුතුයි. එසේ කැප කරන නායකයින් නැති නම් පක්ෂයක් කඩා වැටෙනවා. එය වළක්වන්න බැහැ.
• මහජනතාව අතර මතයක් ගොඩනැඟී තිබෙනවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එක්විය යුතුයි කියලා. ඔබ මොකද මේ අදහස ගැන කියන්නේ?
ඇත්තටම එය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. මෙවර පාර්ලිමේන්තුවේ හැට පහකට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වෙනවා. මා හිතන්නේ අලුත් මුහුණු රාශියක් ඉදිරි පාර්ලිමේන්තුවේදී දැක ගැනීමට හැකි වේවි.
ඉතිහාසය ගත් කල සෑම පාර්ලිමේන්තුවකටම අලුත් මුහුණු රැසක්ම එක් වුණා කියන එක මගේ මතයයි.