පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න | සිළුමිණ

පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න

ශ්‍රී ලංකා ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, අදහස් පළ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස යටතේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා දී ඇති පොරොන්දුව අගය කරන අතරම නිදහස් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට පුවත්පත්වලට අවසර දී ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු යැයි පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

පුවත්පත් ප්‍රකාශකයන් සහ කර්තෘවරුන් සිරගත කළ හැකි විධිවිධාන ඇතුළත් පුවත්පත් මණ්‍ඩල පනත වැනි නීති වෙනුවට පුවත්පත්වලට ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට ඉඩදීම යෝග්‍යයැයි කියන එම සංවිධානය ශ්‍රී ලංකාවේද එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරයි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය ජනාධිපතිවරයාට එවා ඇති මෙම ලිපිය ආරම්භ කරන්නේ අතිබහුතර ජනවරමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වීම නිමිත්තෙන් එතුමන්ට ශුභාශිංසන පිරිනැමීමෙනි.

මාධ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය මහත් ඕනෑකමින් සැලකිල්ලට ගන්නා බවද සඳහන් කරන එම සංවිධානය සිය ලිපිය අවසන් කරමින් ජනාධිපතිතුමන්ගේ ධුරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමිනි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) මාධ්‍ය ආයතන 3,000කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සාමාජිකත්වය සහිත ලොව විශාලතම ප්‍රවෘත්ති පත්‍ර සංවිධානයයි. ලොව පුරා මාධ්‍යවේදීන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවූ මෙම සංවිධානය ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

ඊට අමතරව මෙම සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනෙස්කෝව සහ යුරෝපා කවුන්සිලය යනාදියේ නිල නියෝජිත තත්ත්වය ද හිමිය.

Comments