මිලියන 21ක් වූ මෙරට ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා සහ විශේෂයෙන් සුබසාධනය සැලසීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් සපයාගනු ලබන්නේ බදු ආදායමෙනි. එලෙස රටේ සංවර්ධනයත් ජනතාවගේ දියුණුවත් සැලසීමට ඉවහල් වන ආදායම් එකතු කරගැනීම රජයේ බදු ප්‍රතිපත්තිය වුව එහිදී ආදායම් උත්පාදනයට මිස ජනතාව තළා පෙළා දැමීමට රජය කිසි විටෙකත් ක්‍රියා නොකරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල පාවිච්චියට ගෙන පෞද්ගලික අරමුණු ඉටු කරගැනීමට කටයුතු නොකිරීමට සියලු දෙනා වග බලා ගනිමින් සිටියි. ඒ අනුව වසර 2019 තම දෙපාර්තමේන්තුවට සුවිශේෂී වසරක් විය. රුපියල් බිලියන 785ක් තරම් වූ වැඩිම බදු ආදායමක් ලබාගනිමින් තම දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම් ඉපැයූ වර්ෂය ලෙස පසුගිය වසර සනිටුහන් කළේය.
වසර 2019දී රු. බිලියන 799ක බදු ආදායමක් අය කරගැනීමට ඉලක්ක කර තිබිණි. එම ඉලක්කයෙන් 98.5%ක් සපුරා ගැනීමට සමත් වී තිබේ.
වසර 2018ට සාපේක්ෂව වසර 2019දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආදායම් එකතු කිරීම 122%කින් වර්ධනය කරගෙන ඇත.
වසර 2018දී එම දෙපාර්තමේන්තුව ඉපැයූ ආදායම රු. බිලියන 650ක් විය. එය 2019 දී රු. බිලියන 785ක් ලෙස රු. බිලියන 135කින් ඉහළ දමාගැනීමට සමත් වීම සතුටට කරුණකි. වසර 2019 අප්‍රේල් 21 වැනි දා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් මෙරට සංචාරක සුළු හා මධ්‍ය පරිමාණ ස්වයංරැකියා අපනයන ඇතුළු අංශ ගණනාවක ආර්ථික ක්‍රියාකාරකම් පසුබෑමකට ලක් විය. එවන් තත්ත්වයක් තුළ පවා මේ අන්දමට ආදායම් ඉලක්ක ළඟා කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි.
වසර 2018ට සාපේක්ෂව වසර 2019දී ආදායම් බද්ද 160%ක ප්‍රතිශතයකින් වර්ධනය කරගෙන ඇත. ඊට අමතරව උපයන විට ගෙවීමේ බද්ද 119%කින් සහ රඳවා ගැනීමේ බද්ද 109%කින් වර්ධනය කරගෙන ඇත.
වසර 2020 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව සභාව අමතා අදහස් දැක්වූ නඳුන් ගුරුගේ මහතා මෙසේද සඳහන් කළේය.
2019 වර්ෂය ගෙවා දමා 2020 නව වර්ෂය ආරම්භ වන මේ මොහොතින් ඔබව රාජකාරිමය වශයෙන් අමතන්නේ ඉතා සතුටින් බව කිව යුතුයි. අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දමමින් දෙපාර්තමේන්තුවටත්, රටටත්, ඔබ අප සියලු දෙනාටත් 2020 වර්ෂය නැවුම් අලුත් බලාපොරොත්තු රැගෙන අප පැමිණ තිබෙනවා.
ඒ සැමගේම බලාපොරොත්තු ඉටු කරගැනීම පිළිබඳ අප ගැඹුරෙන් සිතා කටයුතු කළ යුතු වෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ඉහළම ආදායම් ලබන ජනතාව සමඟ පුරවැසියන් සමඟ සමීපව කටයුතු කරන ඔවුන් වෙත සේවා ලබාදෙන ආයතනයක්. අප එසේ ලබාදෙන සේවාවේ ගුණාත්මක බව අනුව ඔවුන් රජය වෙත ගෙවන බදු මුදල් තීරණය වෙන්න පුළුවන්.
දෙපාර්තමේන්තුවේ කාර්යසාධන මට්ටම රඳා පවතින්නේ මෙන්න මේ ආදායම් ඉපයීම මත කියන එක අපි කවුරුත් දන්න දෙයක්. අපි සේවය ලබාදෙන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කිරීමෙන්. එතකොට රජයන්, ප්‍රතිපත්ති සම්පාදකයනුත්, බදු උපදේශකයන්, බදු ගෙවන ජනතාවත් මේ පිළිබඳ උනන්දුවෙන් විමසිල්ලෙන් බලා සිටිනවා. අපට මේ අණපනත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, ජාතිය ගොඩනැඟීමේ බදු පනත ක්‍රියාත්මක කිරීමේ බලතල දීල තියෙන්නේ එමඟිනුත් ආදායම් උත්පාදනයට මිස බදු ගෙවන ජනතාව තළා පෙළා දැමීමට ඔවුන්ව පීඩනයට භාජනය කිරීමට ඔවුන් අපහසුතාවට පත් කිරීමට නොවෙයි. එම බලය පාවිච්චි කරලා පෞද්ගලික අරමුණු ඉටු කරගැනීමට නොවෙයි. ඒ බව රජයේ නිලධාරීන් ලෙස අප සියලු දෙනා මේ නව වසර ආරම්භ වන මොහොතේ තදින් සිහිතබා ගත යුතු වෙනවා.
මෙය කාර්යාලයේ ගේට්ටුව අසල සේවයේ යෙදී සිටින ආරක්ෂක නිලධාරියාගේ සිට කොමසාරිස් ජනරාල් වන මා දක්වාම එකසේ වලංගුව පවතින බව අප සිහිපත් කළ යුතු වෙනවා. ඒ අනුව මෙම වර්ෂයේ මුලින්ම මා සඳහන් කරන්නේ සියලුම නිලධාරීන්ගේ රාජකාරී විනය නිවැරදි කරගැනීම ආචාර ධර්ම අනුව කටයුතු කිරීම, කිසිම නිලධාරියෙකුට විරුද්ධව මහජන පැමිණිල්ලක් නොලැබෙන අයුරින් කටයුතු කිරීම වැදගත් බවයි.
2020 ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන වසර 5 තුළදී රටේ සමස්ත ආයතන පද්ධතිය ක්‍රියාත්මක විය යුතු වන්නේ ප්‍රධාන කරුණු ගණනාවක් මුල් කරගෙන බව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළිදක්වා තිබෙනවා. අප කවුරුත් දන්නා පරිදි 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ලෙස හඳුන්වන්නේ එයයි. ඒ අනුව ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් වශයෙන් කොටස් 4ක් යටතේ දක්වා තිබෙනවා. මේ යටතේ තමයි අප මුලින්ම දිවුරුම ප්‍රතිඥාවක් ලබාදෙමින් රාජකාරි ආරම්භ කළා. අපි ඒ අනුව අපගේ ආකල්ප වෙනස් කරගත යුතු වෙනවා. අපි ඒ සඳහා කැප වීමෙන් වැඩ කළ යුතු වෙනවා. අප සියලු දෙනාම තම සේවා සහ රාජකාරී විනය විතරක් නොවෙයි පෞද්ගලික විනයත් නිවැරදිව පවත්වාගැනීමට දැඩිව කැප විය යුතු වන බව මා ඉතා දැඩිව අවධාරණය කරනවා.
ඒ අනුව යමින් ආකල්පමය වෙනසක් සහිතව අපි 2020 වර්ෂයට සූදානම් වෙමු. දෙපාර්තමේන්තුව තුළ තවමත් විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවා විසඳීම සඳහා හැකි සෑම පියවරක්ම අපි ගනිමින් සිටිනවා. දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ අපට ස්වාධීනව ඇතැම් තීරණ ගන්න අමාරුයි. අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය වෙත පවාගෙන යන්න වෙනවා. 2019 වර්ෂයේදී දෙපාර්තමේන්තුවේ තිබූ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්න, උසස්වීම් පිළිබඳ ප්‍රශ්න, RAMIS ප්‍රශ්න සහ විනය සම්බන්ධ ගැටලු සියල්ල ද විසඳූ බව ප්‍රකාශ කළ යුතුයි. ඒ සමඟම 2019 වර්ෂයේ ආදායම් ඉලක්කයෙන් 99%ක් ළඟා කරගැනීමට දායක වූ ඔබ සැමටත් මාගේ ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම අපගේ අංශ කිහිපයක් වැඩි පහසුකම්වලින් යුතු නාරාහේන්පිට මෙහෙවර පියස ගොඩනැගිල්ලට යනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් 2020 වර්ෂයේදී මා බලාපොරොත්තු වෙනවා.