මිනිස් ශිෂ්ටාචාරය ක්‍රමවත් කළ කැලැන්ඩරයේ අතීත පවත | සිළුමිණ

මිනිස් ශිෂ්ටාචාරය ක්‍රමවත් කළ කැලැන්ඩරයේ අතීත පවත

- 1752 සැප්තැම්බර් මස 02 දා රාත්‍රියේ නින්දට ගිය බ්‍රිතාන්‍ය වැසියන් යළි අවදි වුණේ සැප්තැම්බර් 14 දා... 
- සූර්යා වටා පෘථිවියට වරක් කැරකෙන්න ගත වන කාලය සම්මත කාලයට වඩා  තත්පර 26ක් වැඩියි... 
- 4909 වසර වන විට කැලැන්ඩරයේ දිනය සත්‍ය දිනයට වඩා එක් දවසකින් වැඩි වෙනවා... 
- අදටත් අපට කාලය ගැන ඇත්තේ සාපේක්ෂ හැඟීමක් පමණයි...

ව වසරක් උදා වී ඇත. අද ලෝකයේ සියලු රටවල් රාජ්‍යතාන්ත්‍රීය සහ වාණිජ කටයුතුවල දී භාවිත කරනු ලබන බටහිර කැලැන්ඩරයට (ක්‍රිස්තියානි) අනුව නව වසර ක්‍රි. ව. 2020 ලෙස නම් කොට තිබේ. එහි අර්ථය වන්නේ, ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ උත්පත්තියේ සිට මේ වන විට වසර 2019 ගත වී අවසන්ව ඇති බවය. අද මෙම දින දර්ශනය ආගමික නොවන සියලු කටයුතුවල දී ලෝක ජනයා සාමුහිකව භාවිත කරන බැවින් කාලය මැනීම ඉතා පහසු කාර්යක් බවට පත් වී තිබේ. එහෙත් එවැනි පිළිගත් සාමූහික චින්තනයක් නොපැවතුණු පැරණි ලෝකයේ කාලය මැනීම පහසු කාර්යක් නොවීය.

විවිධ ජන සමාජවල කාලය මැනීම සඳහා උපයෝගී කොටගත් ක්‍රමවේද මෙන්ම වසරකට වෙන් කොට තුබූ දින ප්‍රමාණය මෙන් ම මාස සංඛ්‍යාව ද අසමාන විය. එමෙන් ම සෑම විට ම කාලය මනිනු ලැබුවේ සාපේක්ෂ මිනුමක් ලෙස ය. එනම් යම් වැදගත් සිදුවීමක සිට කොතරම් කාලයක් ගත වී ඇත්දැයි සොයා බැලීමය. ඒ නිසා පැරණි ජනසමාජවල භාවිත වූ දින දර්ශන බොහෝ විට එකකින් එකකට අසමාන විය.

පැරණි භාරත දේශයේ සාපේක්ෂ කාල ගණනයේ දී ශූන්‍යස්ථානය ලෙස බොහෝ විට තෝරාගනු ලැබුවේ බුදුන්ගේ පරිනිර්වාණය ය. මගධ රාජ්‍යය ඉන්දියාවේ අති විශාල ප්‍රදේශයක් යටපත් කොටගෙන අධිරාජ්‍යයක් බවට පත් වූ පසු එම අධිරාජ්‍යයේ කීර්තිමත් පාලකයා වූ අශෝක අධිරාජයාගේ මෞලි මංගල්‍යයේ සිට කාල ගණනය සිදු කරනු ලැබී ය. එහෙත් පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල අශෝක මහරජුගේ මෞලිමංගල්‍ය සිදු වූ දින කාලවකවානු ගණනය කොට ඇත්තේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයේ සිට ය. එම නිසා භාරතයේ අතීතයේ සිදු වූ සියලු කාල ගණනයන්හි ශූන්‍යස්ථානය ලෙස ඍජුව හෝ වක්‍රව හෝ සලකා ඇත්තේ බුද්ධ පරිනිර්වාණය බව පැහැදිලි වේ.

පසු කලෙක ඉන්දියාවේ සක රජපෙළපත අනුහාසාත්මක පාලකයන් බවට පත් වූ පසුව එම රජ පෙළපතේ පාලන කාලයට සාපේක්ෂව කාල ගණනය සිදු වූයේ ය. බුදුන්ගේ පරිනිර්වාණයේ සිට වර්ෂ ගණනයේ දී බුද්ධ වර්ෂ යන දෙවදන ව්‍යවහාරයට පැමිණි අතර සක රාජ පෙළපතට සාපේක්ෂව වර්ෂ ගණනය කිරීමේ දී සක වර්ෂ යන වදන් ව්‍යවහාරයට පැමිණියේ ය. අදටත් බෞද්ධ ආගමික කටයුතුවල දී බුද්ධ වර්ෂ ක්‍රමය ව්‍යවහාර වන අතර ජ්‍යොතිෂ කටයුතුවල දී සක වර්ෂ ක්‍රමය ද භාවිත වෙයි.

පැරණි රෝමවරු කාල නිර්ණය කිරීම සඳහා ශූන්‍යස්ථානය ලෙස තෝරාගත්තේ රෝම නගරය පිහිටුවූ වසර ය. පැරණි මිසරයේ (ඊජිප්තුව) කාල නිර්ණය කිරීමේ දී නයිල් ගංගාව කෙරේ අවධානය යොමු කරනු ලැබී ය. ඒ මහා ගංගාව සෑම වසරකම එකම කාලයක දී දෙගොඩතලා පිටාර ගැලී ය. ඒ මහා ගංවතුර දෙකක් අතර සමස්ත කාලය මිසර වැසියන් අවුරුද්දක් ලෙස සැලකී ය. අවුරුද්දේ මාස නම් කිරීමේ දී මිසර ජනයා යොදාගත් නාම ගංවතුර සමඟ ඍජුවම බද්ධ විය. ගංවතුරෙන් පසු පළමු මාසය, දෙවන මාසය, තෙවන මාසය ලෙස පැරණි මිසර දින දර්ශනයේ මාස නම් කරනු ලැබීය.

අපේ රටේ පැරණි සෙල්ලිපිවල සහ සාහිත්‍ය මූලාශ්‍රවල කාලය දැක්වීමේ දී භාවිත වූ ක්‍රම කිහිපයක් විය. බලයේ සිටිනා රජුගේ මෞලිමංගල්‍යයේ සිට, කාල ගණනය සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ ය. එහෙත් එම සම්මතයට පරිබාහිරව කාල ගණනය කළ අවස්ථා ද මෙරට සාහිත්‍ය මූලාශ්‍රවල මෙන්ම ප්‍රකට සෙල්ලිපිවල ද සටහන් වී ඇත. පොලොන්නරුවේ රජ කළ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පිහිටුවා ඇති ගල්විහාර පර්වත ලිපිය, එම ලිපිය පිහිටුවූ වර්ෂය දක්වා ඇත්තේ වළගම්බා මහරජුගේ රාජ්‍ය කාලයේ පටන් ය. එයට හේතුව ලෙස දැක්විය හැක්කේ එම සෙල්ලිපිය මහාපරාක්‍රමබාහු රජතුමා පිහිටුවූයේ එකල මේ රටේ පැවැති භික්ෂු නිකාය තුන එක් නිකායක් බවට පත් කිරීම සැමරීම සඳහා ය. 

මෙහිදී වළගම්බා රාජ්‍ය කාලයට සාපේක්ෂව කාලය ගණනය කිරීම වැදගත් වන්නේ මෙරට මුල්ම සංඝ භේදය ඇති වූයේ එරජුගේ රාජ්‍ය කාලයේදී නිසාය. වළගම්බා රජුගේ රාජ්‍ය කාලය දැක්වීම සඳහා මේ සෙල්ලිපි රචකයා ශූන්‍යස්ථානය ලෙස සලකා ඇත්තේ බුද්ධ පරිනිර්වාණයයි. එම නිසා බුද්ධ පරිනිර්වාණයේ සිට ගල් විහාර සෙල්ලිපිය පිහිට වූ කාලය වන විට කෙතරම් වසර ප්‍රමාණයක් ගෙවීගොස් තිබිණිදැයි සොයාගැනීමට අවශ්‍ය කරුණු ද මෙම සෙල් ලිපියෙහි අන්තර්ගත වේ. බුදුන්ගේ පරිනිර්වාණයේ සිට කාලය දැක්වීම ආගමික ක්‍රියාකාරකම්වල දී අද මෙන්ම අතීතයේ දී ද දැඩි ලෙස අවධානයට ලක් විය.

ගම්පොළ රාජ්‍ය සමයේ දී පිහිටුවා ඇති ඇතැම් සෙල්ලිපිවල, රාජ්‍ය වර්ෂ ක්‍රමය මෙන් ම සක වර්ෂ ක්‍රමය ද දින කාල වකවානු දැක්වීමේ දී භාවිතයට ගෙන තිබේ. කෝට්ටේ රජ කළ බුවනකබාහු රජු සහ පෘතුගාල අධිරාජයා අතර හුවමාරු වූ රාජකීය ලිපි ලේඛනවල දිනය සටහන් කිරීමේ දී එවකට පෘතුගීසීන් භාවිත කළ බටහිර කැලැන්ඩරයට බුවනකබාහු රජතුමා ද අනුගතව සිට ඇත. ඇතැම් විට එය පෘතුගීසීන්ගේ බලපෑම මත සිදු වූ ක්‍රියාවක් වීමට ද අවකාශ තිබේ. සිංහල රජ පෙළපත අවසන් වන තුරු එකල සම්පාදනය වූ බොහෝ සාහිත්‍යය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල දින කාල වකවානු දැක්වීමේ දී රාජ්‍ය වර්ෂ ක්‍රමය කෙරෙහි ම මූලික අවධානය යොමු කරනු ලැබී ය.

ක්‍රි. පූ. 45 වන තුරු යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යවහාර වූ පැරණි රෝම දින දර්ශනයේ වූයේ මාස 10ක් පමණි. එම මාස දහයට ඇතුළත් වූ මුළු දින ප්‍රමාණය 305කි. ශීත ඍතුවට අයත් වූ දින 60ක් කිසිම මාසයකට ඇතුළත් කොට නොතිබිණි. මෙකල රෝම අධිරාජ්‍යයේ බලය හෙබ වූ අනුහාසාත්මක නායකයකු වූ ජූලියස් සීසර් අධිරාජයා අවුරුදු 709 පැවැති පැරණි රෝම කැලැන්ඩරය සංශෝධනය කැරවූයේ ය.

කිසිම මාසයකට අයත් නොවූ දින 60ක් රෝම කැලැන්ඩරයට ඇතුළත් කිරීම සඳහා නව මාස දෙකක් සම්පාදනය කරනු ලැබී ය. ජනවාරි සහ පෙබරවාරි යන දෙමස බටහිර කැලැන්ඩරයට එක්තු වූයේ ජූලියස් සීසර් රෝම අධිරාජයාගේ පාලන සමයේ දී ය. එතැන් පටන් අවුරුද්දකට අයත් වූ දින ප්‍රමාණය 365ක් වූයේ ය. අවුරුදු හතරකට වරක් 366කින් යුක්ත අධික අවුරුද්දක් ද නිර්මාණය කළේ පෘථිවිය, හිරු වටා එක් වටයක් භ්‍රමණය වීමේ දී සත්‍යය ලෙසම ගත වන දින 365 1/4ක කාලය නිවැරදිව සටහන් කිරීම සඳහා ය. එහෙත් මෙම ගණනය කිරීමේ ද අඩුපාඩුවක් සිදු වී තුබූ අතර එය අවබෝධ කොට ගත්තේ ක්‍රි. ව. 1582 වසරේ දී ය.

පැරණි රෝම කැලැන්ඩරයට අනුව නව වර්ෂය ආරම්භ වූයේ මාර්තු මාසයේ දී ය. එම මාසය රෝමවරුන් නම් කොට තිබුණේ ඔවුන් යුද්ධයට අධිපති යැයි පිළිගත් මාර්ටියුස් (අඟහරු) දෙවියන්ගේ නාමයෙනි. අද සමස්ත ලෝකයම භාවිත කරන වර්ෂයේ ආරම්භක දිනය වූ ජනවාරි පළමු වන දිනට එම ගෞරවනීය පිළිගැනීම ලබා දුන්නේ නුමා පොම්පිලියුස් (Numa Pompilius) මහරජතුමා විසිනි. පැරණි රෝම කැලැන්ඩරය සංශෝධනය කළ ජූලියස් සීසර් රෝම අධිරාජයා තමන් උපන් මාසය තමන්ගේ පෞද්ගලික නමේ රෝම ව්‍යවහාරය අනුව යමින් ජූලි ලෙස නම් කළේ ය. එතෙක් භාවිත වූ පැරණි රෝම දින දර්ශනයේ එම මාසය හැඳින්වූයේ පස් වන මාසය අරුත ඇති “ක්වින්ටිලිස්” යන නමිනි. පැරණි රෝම කැලැන්ඩරය මාර්තු මාසයෙන් ආරම්භ වූ බැවින් ජූලි මාසය එම කැලැන්ඩරයට අනුව නව වසරේ පස් වන මාසය වූයේ ය. ජූලියස් සීසර් විසින් හඳුන්වා දුන් ජනවාරි ලෙසින් ඉංග්‍රීසි බසින් හඳුන්වන වත්මන් දින දර්ශනයේ පළමු මාසයට ඒ නම යෙදූයේ, රෝම ජුනේරියස් දෙවියන් සිහි කිරීම අරමුණු කොට ගෙන ය.

මෙම දෙවියන්ට හිස් දෙකක් වූ අතර එම හිස් දෙකින් එකක් ගෙවුණු අතීතය දෙසටත් අනෙක් හිස එළඹෙන අනාගතය දෙසටත් යොමු කොට සිටින බව රෝම සංස්කෘතියේ පිළිගැනීම වූයේ ය. ප්‍රවේශ මාර්ගවලටත් ද්වාර මණ්ඩපවලටත් එම දෙවියන් අධිපති වූ බැවින් එම රෝම දෙවියන් වෙනුවෙන් අවුරුද්දේ ආරම්භක මාසය වෙන්වීම අර්ථපූර්ණ වූයේ ය.

පෙබරවාරි මාසයට එම නාමය උරුම වූයේ පැරණි රෝම උත්සවයක් වූ පාරිශුද්ධ උත්සවය එම මාසයේ 15 දින පැවැත්වීමේ රෝම සම්ප්‍රදාය නිසා ය. “පෙබ්රුවේරිස්” නමින් හැඳින්වූ එම පැරණි පාරිශුද්ධ මංගල්‍යය සිහිපත් කරමින් සීසර් අධිරාජයා විසින් ක්‍රි. ව. 45 දී පැවැති රෝම දස මාස කැලැන්ඩරයට එකතු කළ දින හැටේ දෙවන භාගය පෙබරවාරි නම් වූ නව මාසයක් බවට පත් වූයේ ය. ජූලියස් සීසර් අධිරාජයාගෙන් පසුව රෝම අධිරාජ්‍යයේ බලයට පත් වූ වෙනත් බොහෝ රෝම අධිරාජයන් ද පැවැති රෝම කැලැන්ඩරයේ නම් වෙනුවට තමන්ගේ පෞද්ගලික නම් යොදාගැනීමට අවශ්‍ය වුව ද එය පහසු කාර්යක් නොවීය.

ඔගස්ටස් අධිරාජයා පමණක් පෙර රෝම කැලැන්ඩරයේ “සෙක්ටිලිස්” නමින් හැඳින්වූ එම කැලැන්ඩරයේ වූ හයවන මාසය තමන්ගේ නමින් නම් කිරීමට සමත් වූයේ ය. ඉංග්‍රීසි බසින් ඕගස්ට් (අගෝස්තු) නමින් අදත් ව්‍යවහාරයේ ඇත්තේ ඔගස්ටස් සීසර්ගේ නමින් රෝම කැලන්ඩරයට එකල නම් කළ මාසයයි. කලියුලා, නීරෝ, ඩොමීෂියන් වැනි රෝම අධිරාජවරුන් ද තමන්ගේ අභිමතය අනුව බටහිර කැලැන්ඩරයේ මාස නාම වෙනස් කිරීමට උත්සුක වුව ද රෝම ප්‍රභූන්ගෙන් හා සමාජයෙන් එයට අනුකූලතාවක් ලබාගැනීමට නොපුළුවන් විය. අදටත් බටහිර කැලැන්ඩරයේ ඇති සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන නම් වලින් සන්නිවේදනය වන්නේ හත්වන, අටවන, නමවන සහ දසවන මාසය යන අර්ථයන්ය.

මාර්තු මාසයෙන් ආරම්භ වූ පැරණි රෝම කැලැන්ඩරයට අනුව, එම මාස සඳහා දෙනු ලැබූ නාම එම කැලැන්ඩරයේ ආරම්භක මාසය වූ මාර්තු මාසයට ආපේක්ෂව නිවැරදි විය. ක්‍රි. පූ. 45 අතිරේක මාස දෙකක් පැරණි රෝම කැලැන්ඩරයට එකතුව කළ ද වසර ආරම්භය මාර්තු මාසයේ දී ම සිදු වන බව පිළිගැනීම නිසා එම පැරණි මාස නාම වෙනස් කිරීමට අවශ්‍ය නොවී ය. බටහිර කැලැන්ඩරයේ වර්ෂාරම්භය ජනවාරි මාසයට සංශෝධනය කළ අවස්ථාවේ පටන් මෙම මාස නාමවල අර්ථයෙන් ද්වනිත වන අදහස්වල යම් වෙනසක් මතුව ඇතත් එය වෙනස් කිරීමට කවර හෝ උත්සාහයක් මෙතෙක් ගෙන නැත.

ක්‍රි. ව. 1582 දී VIII ග්‍රෙගරියන් පාප්වහන්සේ එතෙක් පැවැති බටහිර දින දර්ශනය දෝෂ සහිත බව අවබෝධ කොටගෙන එය විමර්ශනය කොට නිවැරදි කිරීමට එවක විසූ කීර්තිමත් තාරකා විද්‍යාඥයන්ට භාර කළේ ය. ඔවුන්ගේ දීර්ඝ කාලීන විමර්ශනවලින් පැහැදිලි වූයේ එවකට භාවිත කළ කාලැන්ඩරයේ සූර්යා වටා පෘථිවිය එක් වරක් භ්‍රමණය වීමට ගත වන කාලය ලෙස සැලකූ දින 365 1/4 ක කාල ප්‍රමාණය සත්‍ය කාල ප්‍රමාණය වඩා විනාඩි 11කුත් තත්පර 14කින් දීර්ඝ වූ බවය. එම වසරේ දී ම සියලු යුරෝපීය රාජ්‍ය ප්‍රධානීන්ගෙන් එම කාල වෙනස සාමූහික නිවැරදි කරන මෙන් ග්‍රෙගරින් පාප්වහන්සේ ඉල්ලා සිටි නමුත් ලැබුණු ප්‍රතිචාර යහපත් නොවී ය.

බ්‍රිතාන්‍යය එම වෙනස නිවැරදි කිරීම 1752 වන තෙක් කල් දැමීය. රුසියාව සහ ග්‍රීසියේ ආණ්ඩුව එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කළේ 20 වන සියවස ද ආරම්භ වූ පසුව ය. 12 වන සියවසේ සිට බ්‍රිතාන්‍යය නව වර්ෂයේ ආරම්භක දිනය ලෙස සැලකුවේ මාර්තු 25 දිනය.එදින කන්‍යා මරියතුමියගේ දිනය ලෙස ද සැලකූ අතර එරට වූ සෑම දේවස්ථානයකම එම වර්ෂාරම්භක දිනය වෙනුවෙන් දේවපූජා, යාඥා මෙන් ම ආගමික උත්සව ද සංවිධානය කරන ලදි. බ්‍රිතාන්‍යයේ පැවැති ජූලියන් කැලැන්ඩරයේ (රෝම සීසර්ගේ) වූ කාල වෙනස නිවැරදි කළේ 1752 සැප්තැම්බර් මස 02 දින දී ය. එදින රාත්‍රියේ නින්දට ගිය බ්‍රිතාන්‍ය වැසියන් යළි අවදි වූයේ සැප්තැම්බර් මස 14 දිනය.

එම කාල සංශෝධනය ගැන විරෝධය පෑ බ්‍රිතාන්‍ය ජනකොටසක් ද විය. එයට හේතුව වූයේ කාලය අපට අවශ්‍ය ලෙස සැකසීම දෙවියන්ගේ කටයුතුවල අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් බව එකල යුරෝපය පුරා පැවැති පිළිගැනීම වූ නිසාය. බ්‍රිතාන්‍යය මෙම වසරේ දී ම වර්ෂාරම්භක දිනය ලෙස ජනවාරි මස 01 වනදා තෝරාගැනීම ද ඇතැම් ආගමික පාර්ශ්වවල අප්‍රසාදයට හේතු වූයේ ය. ඉතාම සියුම් ලෙස සිදු කළ ගණනය කිරීම්වලින් අනතුරුව සම්පාදනය කළ ග්‍රෙගරියානු කැලැන්ඩරයේ කාල නිර්ණයේ ද දෝෂයක් වේ. අද අප භාවිත කරන බටහිර කැලැන්ඩරයේ පෘථිවිය සූර්යා වටා එක්වරක් භ්‍රමණය වීමට ගත වන කාලය ලෙස සලකන සම්මත කාල ප්‍රමාණය සත්‍ය කාල ප්‍රමාණයට වඩා තත්පර 26කින් වැඩි වේ.

එම වෙනස නිසා ක්‍රි. ව. 4909 වසර වන විට අප අද පාවිච්චි කරන බටහිර කැලැන්ඩරයේ දැක්වෙන දිනය සත්‍ය දිනයට වඩා එක් දිනයකින් වැඩිවනු ඇත. එකල මෙලොව වාසය කරන්නන් එම වෙනස නිවැරදි කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැක්කේ වත්මන් අති ධාවනකාරී ලෝක ප්‍රජාවට දිනයක් නොව තත්පර කිහිපයක වෙනස ද ඉමහත් වැදගත් කමකින් යුක්ත වන බැවිනි.

ප්‍රාථමික සමාජවල විසූ මිනිසුන්ට කාලය පිළිබඳ සාපේක්ෂ අදහසක් ලබාගැනීමට අවශ්‍ය වූයේ යම් ආගමික උත්සවයක සිට ගත වූ කාලය ගැන සරල අදහසක් ලබාගැනීම මෙන් ම එළඹෙන අස්වනු කාලය ගැන අවබෝධයක් ලබාගැනීම වැනි සීමිත වූ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා ය.

මෙහි දී සූර්යාට පෙර ඔවුන්ගේ අවධානය යොමු වූයේ චන්ද්‍රයා කෙරෙහි ය. අහසේ දිස් වූ චන්ද්‍රයාගේ හැඩයේ වෙනස් වීම එකම රටාවකට අනුව සිදු වන බව අවබෝධ කොටගැනීමෙන් පසු පුරපොහොය දිනක සිට ඊළඟ පුරපොහොය දිනට ඇති කාලය මාසයක් ලෙස සලකනු ලැබීය. අතීතයේ දී පෙරදිග මෙන්ම අපරදිග ජනසමාජවල ද භාවිත වූයේ මෙම ස්වාභාවික සංසිද්ධිය ඇසුරෙන් සකසාගත් චන්ද්‍රමාස ක්‍රමයයි. හිරු උදාවීම් දෙකක් අතර කාලය දිනක් ලෙස සැලකූ අතර මෙහිදී නිෂ්චිත රටාවක් වූ බැවින් කාලය පිළිබඳ සාපේක්ෂ අදහසක් ලබාගැනීමට හැකි විය.

අද්‍යතනයේ අප භාවිත කරන කැලැන්ඩරය සාකල්‍යයෙන්ම අන් රටක භාවිත කරන කැලැන්ඩරයකට සමාන වුවද කාලය මැනෙන ආකාර එක සමාන නොවේ. නවසීලන්තයට ජනවාරි පළමු වැනිදා උදා වන මොහොතේ ම අපට එම දිනය උදා නොවේ. අප රටට එම දිනය උදා වන්නේ නවසීලන්තයට එම දිනය උදාවී පැය ගණනකට පසුව ය. ඇමෙරිකාව සහ ඒ ආසන්නයේ ඇති රටවලට එම දිනය උදාවන්නේ තවත් පැය ගණනකට පසුව ය. එම නිසා අදටත්, මිනිසුන් වන අපට කාලය ගැන ඇත්තේ සාපේක්ෂ හැඟීමක් පමණම ය. කාලය සහ අවකාශය මැනීමට බටහිර විද්‍යාව තවමත් දියුණු වී නැත.

ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා

Comments