
සත්ත්ව සංරක්ෂණයට සත්ත්ව සුබ සාධනයට හා සතුන් නැරඹීමට මෙරට ක්‍රියාත්මක සුවිශේෂ ආයතනයක් වන ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යාන තුළදී 2016 - 2017 වසරවලදි පමණක් සේවක හා නිලධාරි නොසැලකිල්ල නිසා සතුන් 328ක් මරණයට පත්ව තිබේ. 2017වසරේදි පමණක් රුපියල් බිලියනයක පමණ ආදායමක් ලැබුණත් සත්ත්ව ආහාර, සත්ව හා සේවක සුබසාධනය සඳහා වැය කර ඇත්තේ ආදායමෙන් සියයට 28 පමණි.
මේ හේතුව හා සත්ත්ව උද්‍යාන බලධාරින්ගේ, නිලධාරින්ගේ හා සේවකයන්ගේ සත්ව භාරකරුවන්ගේ නොසැලකිල්ල නිසා මුළු ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවම පසුගිය වසර 3 - 4 ඇතුළත ආකාර්යක්ෂම ලෙස කටයුතු කර ඇතැයි විගණකාධිපති වාර්තාවක් හෙළි කරයි.
අපේ රටේ සත්ත්ව සංරක්ෂණය හා රටේ ජනතාවට සතුන් නැරඹීමේ අවස්ථාව ලබාදීම පර්යේෂණ කිරීමට ඉඩකඩ ලබාදීම ඇතුළු අපේක්ෂා හා අභිමතාර්ථ ඉටුකර ගැනීම පිණිස ආරම්භ කළ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් සත්ත්ව හා සේවක සුබසාධනය කෙරෙහි දක්වන අවම සැලකිල්ල නිසා සත්ත්ව උද්‍යානවල සිටින සත්ව පරපුරටත් එහි සේවය කරන සේවක පරපුරටත් එහි නරඹන ජනතාවටත් ප්‍රබල තර්ජන රැසක් එල්ලවී ඇත.
2018 දී රටම ඉදිරිපත් කරන ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ විශේෂ විගණක වාර්තාවකින් මෙම කරුණු ගෙන හැර දක්වා ඇත. විශේෂයෙන් සත්ත්ව උද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ව සංරක්ෂණයට සුබසාධනයට කෙසේ භාවිත කරන්නේ ද යන්න මෙම විගණකාධිපති වාර්තාවෙන් පරීක්ෂණයට ලක්කර තිබිණි.
ආසියාවේ පැරණිතම සත්ත්වෝද්‍යානයක් වන දෙහිවල සත්වෝද්‍යානයට අමතරව පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපොල සත්ව ආහාර ගොවිපොළ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් වේ.
මෙම විගණනයේ මූලික නිරීක්ෂණයන් අතර, බොහෝ අවස්ථාවන්හිදී නියමිත වේලාව වනවිට සතුන්ට ආහාර නොලැබීම, සතුන්ට දමන ආහාර බාහිරින් පැමිණෙන සතුන් කා දැමීම හේතුවෙන් බොහෝ සතුන්ට ලැබිය යුතු ආහාර ප්‍රමාණයම නොලැබී යෑම, සෆාරි උද්‍යානයේ අලි කලාපය සහ ලෝක සත්ත්ව කලාපය යන කලාප දෙකේ සතුන් සඳහා ඇණවුම් කළ ආහාර ප්‍රමාණය සැපයුම්කරුවන් විසින් නොසැපයීම නිසා සතුන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබී නොතිබීම, හිඟවූ ආහාර ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නොතිබීම, අලින් සඳහා ලබාදෙනු ලබන ආහාර ඔවුන්ගේ බරෙහි වෙනස අනුව වෙනස් කළ යුතු වුවද බර මැනීමක් සිදුකර නොතිබීම ආදිය නිරීක්ෂණය විය.
2016-17 වසරවලදී සතුන් වත්ත ඇතුළතදි සතුන් 328ක් මැරිලා
සතුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්හිදී සතුන් සඳහා නීරෝධායන පහසුකම් නොතිබීම, 2016 හා 2017 වර්ෂ දෙක තුළදී ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්ත්වෝද්‍යානවල සතුන් 328ක් රෝගාබාධ සහ වෙනත් හේතු මත මරණයට පත් වී තිබීම, සතුන් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කර නොතිබුණු අවස්ථා පැවතීම, අලින් සහ ඇතුන් සඳහා ප්‍රතිකාර ලබාදීමේදී එම ප්‍රතිකාරයන් අඛණ්ඩව සිදු වී නොතිබීම, සතුන්ට පහුසවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රඳවනයක් (Crush) නොතිබීම යන කරුණු නිරීක්ෂණය කරන ලදී. සතුන්ට ස්වභාවික හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කළ හැකි වන පරිදි වාසස්ථානයන් නිර්මාණය විය යුතු වුවද දෙහිවල සත්වෝද්‍යානයේ ඇතැම් සතුන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් සෙවණ කළමනාකරණයක් නොතිබීම යන කරුණු නිරීක්ෂණය කරන ලදී. එයට අමතරව ඇතැම් සතුන්ට සහකරුවන් සහකාරියන් නොමැතිව සිටින අවස්ථාවන් ද නිරීක්ෂණය කරන ලදී.
ඉහත නිරීක්ෂණයන්ට අමතරව දෙහිවල සත්ත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය යන සත්ත්වෝද්‍යානවල අපවිත්‍ර ජලය නිසි පරිදි බැහැර කර නොතිබීම, පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ මලපහ හා ඉවතලන දෑ අදාළ පරිශ්‍රය තුළ ගොඩගසා තිබීම නිරීක්ෂණය කරන ලදී. දෙහිවල සත්ත්වෝද්‍යානයේ කූඩු විශාල ප්‍රමාණයක් දිරාපත්ව තිබුණු අතර එදිනෙදා පිළියම් යොදා ගනිමින් පවත්වාගෙන යන බවත් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන අවස්ථා පවතින බවත් නිරීක්ෂණය විය. එසේම පින්නවල අලි අනාථාගාරයේ උසාවි නියෝගය මත රඳවා සිටින අලි ඇතුන් 18 දෙනා හේතුවෙන් පැනනැඟී ඇති සත්ව සහ සේවක සුභසාධන ගැටලු ද විගණනයේදී නිරීක්ෂණය විය.
සේවක සුබසාධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්හිදී සත්ත්වෝද්‍යානය මඟින් උපයන මුළු ආදායමෙන් සියයට තුනකට වඩා අඩු ප්‍රතිශතයක් පමණක් සේවකයන් වෙනුවෙන් වැය කර තිබීම, සතුන්ට ප්‍රතිකාර කරන අවස්ථාවන්හිදී ඔවුන් රඳවා තැබීම සඳහා රඳවනයක් (Crush) නොමැතිවීම හේතුවෙන් සේවකයන් අනතුරට ලක්විය හැකි අවස්ථා පැවතීම, එවැනි අනතුරු සඳහා ප්‍රමාණවත් රක්ෂණාවරණයක් නොතිබීම, අවශ්‍ය පරිදි පුහුණුවීම් ලබාදී නොතිබීම යන කරුණු නිරීක්ෂණය විය.
ඉහත තත්ත්වයන් සඳහා පිළියම් ලෙස සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු සත්ත්වෝද්‍යාන සඳහා සතුන්ගේ සහ සේවකයින්ගේ සියලු සුබසාධන කටයුතු ආවරණය වනසේ විස්තරාත්මක සහ නිශ්චිත මාර්ගෝපදේශක සංග්‍රහයක් සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම, සහකරුවන් නොමැති සතුන් සඳහා සහකරුවන් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම, සේවකයන්ට වඩාත් කාර්යක්ෂම හා ඵලදායක ලෙස තම සේවය පවත්වාගෙන යෑමට හැකි වන පරිදි පුහුණුවීම් ලබාදීම, නියමිත කාල සීමාවකට වරක් වෛද්‍ය කඳවුරු පැවැත්වීම, ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක් ලබාදීම මඟින් ඔවුන්ගේ සේවා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතු බව මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ රු. මිලියන 999ක පමණ ආදායමක් උපයා ඇති අතර මෙම ආදායමෙන් සතුන්ගේ ආහාර සහ ඖෂධ සඳහා සියයට 27 ක්ද, සේවක සුභසාධනය හා පුහුණු කිරීම් සඳහා සියයට 2.56 ක්ද, ඉදිකිරීම් සදහා සියයට 16 ක්ද වැය කර තිබුණි. සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සිය ආදායම් සම්පූර්ණයෙන් උපයනු ලබන්නේ සතුන් ප්‍රදර්ශනය කිරීම මඟින් වන හෙයින් හඳුනාගන්නා ලද නිරීක්ෂණ වලට අවධානය යොමු කරමින් සත්ව සුභසාධනය සහ සේවක සුභසාධනය සඳහා තවදුරටත් අවධානය යොමු කළ යුතු බව නිගමනය කරනු ලැබේ.
1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනතේ II කොටසේ 8 වන වගන්තිය යටතේ පිහිටුවා ඇති සත්ව උද්‍යාන සංවර්ධන හා සුභසාධක අරමුදල සඳහා සෑම ප්‍රභවයකින්ම ලැබෙන අරමුදල් බැරකිරීම කළ යුත්තේ සත්ව සංරක්ෂණය සහතික කිරීම, සත්ව සංරක්ෂණය සඳහා සත්ව අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සත්ත්ව සංරක්ෂණය සහ සතුනට දයාව දැක්වීම යන පුළුල් සංකල්ප යටතේ සතුන් පිළිබඳව අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සත්ත්ව සංරක්ෂණය, අභිජනනය පිළිබඳව සහ දෙපාර්තමේන්තුවලට අදාළ වෙනත් අංශ පිළිබඳව පර්යේෂණ පැවැත්වීම යන කරුණු ඉටුකර ගැනීමටය.
ඊට අමතරව දයානුකම්පාව සහ සංරක්ෂණ පණිවුඩය ලබාදීම අරමුණු කර ගනිමින් සත්ව ප්‍රදර්ශනය, නරඹන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා විනෝදාත්මක පහසුකම් සැපයීම, සත්ව අභිජනනය, සත්ව සංරක්ෂණය සහ යහපත් සත්ව සෞඛ්‍ය පවත්වාගැනීම උදෙසා පශු වෛද්‍ය රැකවරණය සැලසීම ද මේ අරමුදල මඟින් සිදුකෙරේ.
ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපයා දීම, පරිපාලන පද්ධතිය වැඩිදියුණු කිරීම, තත්ත්ව කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දීම, ආදායම් උත්පාදන මාර්ග වර්ධනය කිරීම, හරිත කළමනාකරණ උපාය යෙදීම ද නව ආයතන ස්ථාපිත කිරීම ද මේ සුබසාධන අරමුදලේ තවත් කාර්යයක් බව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුවත් 2018 දි සත්ත්ව සුබසාධන හා සංවර්ධන අරමුදලට බැරවූ රුපියල් කෝටි 100කට අධික මුදලින් සත්ව සංරක්ෂණයට අධ්‍යාපනික වැඩසටහන්වලට හරිත කළමනාකරණ වැඩසටහන් සඳහා මෙන්ම නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක කර නැතැයි හෙළිවී තිබේ.
2017 ආදායම කෝටි 900යි ඒත් සතුන්ට බේත් ගන්න වැය කර ඇත්තේ ඉන් සියයට 0.8යි
මේ විගණකාධිපති වාර්තාව අනුව 2017 ආදායම වූ කෝටි 100න් සත්ත්ව ඖෂධ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා වියදම් කර ඇත්තේ මුළු ආදායමෙන් සියයට 0.8ක් පමණි. එමෙන්ම සේවක සුබසාධනය සඳහා වැය කර ඇත්තේ මුළු ආදායමෙන් සියයට 2.5කි. එසේ වුවත් මෝටර් රථ ලබා ගැනීමට මුළු ආදායමෙන් සියයට 2.9ක් වැය කර ඇත. සතුන් පෙන්වා ආදායම ලැබූවත් සත්ව ආහාර පාන සඳහා වැය කර ඇත්තේ මුළු ආදායමෙන් සියයට 26ක් පමණි.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය යන මෙහෙයුම් ඒකකයන්ට අමතරව පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපල සත්ව ආහාර ගොවිපොළ යන මෙහෙයුම් ඒකකයන්ගෙන් සමන්විත වන අතර මෙම සියලු මෙහෙයුම් ඒකකවල සතුන් 4,902ක් විය.
පින්නවල අලි අනාථාගාරයේ ඉවත දමන ඉතිරි කොළ අතු, පොල් අතු, කිතුල් අතු හා කොටන් කැබලි, අලින්ගේ මලපහ ආදි සියලු ඝන අපද්‍රව්‍ය අනාථාගාරයේ තැනින් තැන ගොඩගසා තිබුණි. එම අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර කිරීමට හෝ ඉවත්කිරීමට ක්‍රමවේදයක් සකසා නොතිබුණි.
2016 හා 2017 වර්ෂවලදී දෙහිවල සත්වෝද්‍යානයේ සිට වෙනත් සත්වෝද්‍යානවලට සතුන් 29 දෙනෙකු මාරු කර ඇති බවත් එහිදී ලෝක සත්ව හා මින් මැදුරු සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කර නොමැති බවත් නිරීක්ෂණය විය. 2017 සැප්තැමබ්ර් 17 හම්බන්තොට සෆාරි උද්‍යානයෙන් හම්බාවන් දෙදෙනෙකු ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානයේ 8 වන කොටසට දමා ඇත. එම සතුන්ගෙන් එක් අයෙකු සැප්තැම්බර් 27 මිය ගොස් ඇති අතර ඔක්තෝබර් 28 අනෙක් සතා මිය ගොස් තිබුණි.
පින්නවල ඉන්න නඩු අලි 18ක් නිසා ප්‍රශ්න ගොඩක්
2017 සැප්තැම්බර් 22 වන දින පශු වෛද්‍ය විසින්, රයිනෝ ගැහැනු සතුන්ගේ මළපහ මාසයක කාලයක සිට පමණ එකතුවී ඇති බවත් ඒ නිසි ලෙස ඉවත් නොකිරීම සතුන්ගේ සෞඛ්‍ය සඳහා ද තර්ජනයක් විය හැකි බවත් සඳහන් කර තිබුණි.
සත්වෝද්‍යානයේ වෙසෙන සතුන්ට පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබා දිය යුතුවේ. ඒ අනුව එක් එක් සතාට එම සත්වයාගේ බර, වයස හා වෙනත් විශේෂ තත්ව්යන් (උදා- ගර්භනී, රෝගී සතුන්) හඳුනාගෙන ආහාර වට්ටෝරුවක්, සුදුසුකම් ලත් පශු වෛද්‍යවරුන් විසින් සෑදිය යුතුයි.
පශු වෛද්‍ය විසින් එක් එක් සතාට ආසන්නම ග්‍රෑම් ගණනට ආහාර නිර්දේශ කළද අරක්කැමියන් විසින් සිදුකරනු ලබන ආහාර පිළියෙල කිරීම පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ආහාර කිරා, මැන නොබලා තම අත්දැකීම හා පළපුරුද්ද මත අවශ්‍ය එළවළු, පළතුරු හා මස් වර්ජග භාජනවලට දමා කූඩු වලට යවනු ලබයි. මෙම හේතුව නිසා වෛද්‍යවරයා විසින් නිර්දේශ කළ ආහාර ප්‍රමාණයම එම සතාට ලැබෙනවාද නොලැබෙනවදා යන්න විගණනයේදී තහවුරු කරගත නොහැකි විය.
සතුන්ට ආහාර ලබාදීමේදී පහසුවෙන් කෑමට හැකිවන පරිදි එම ආහාර ලබා නොදුන් අවස්ථාද නිරීක්ෂණය විය. සත්වෝද්‍යානය කාර්ය සංග්‍රහය අනුව උදෑසන ආහාරය පෙ.ව. 8.30ට පෙර සැපයිය යුතු වුවත් එම වේලාවට ආහාර සපයා නොතිබීම නිතර නිතර නිරීක්ෂණය වන අතර බොහෝ සතුන්ට උදෑසන ආහාර පෙ.ව. 9.00 ත් පෙ.ව. 9.30ත් අතර ලැබෙන බව භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. ඊට අමතරව සත්ව භාරකරුවන් විසින් ද මේ ආහාර පිළිබඳව සටහන් තබා තිබුණි. තවද දෙහිවල සත්ත්වෝද්‍යානයේ 5 වන කොටසේ සතුන්ට ප්‍රමාද වී ආහාර ලැබෙන බවද වැඩිදුරටත් නිරීක්ෂණය විය.
ආහාර මෙන්ම ජලය ද සතෙකුගේ මූලික අවශ්‍යතා අතර වේ. එසේ වුවද, මෙමසතුන්ට අවශ්‍ය ජලය නොලැබෙන අවස්ථා පවතින බව නිරීක්ෂණය විය. 15 වන කොටසේ ගිබන් සතෙකු ජලය නොමැතිව විජලන තත්ත්වයට පත්ව 2017 සැප්තැම්බර් 17 දින මිය ගොස් ඇත. පැටව් කොටස සඳහා ප්‍රමාණවත් පරිදි බීමට ජලය ලබා නොදෙන බව ද භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
අංක 05 කොටසේ විදේශීය කුරුලු උයනේ සිටි සිළු ගිරවුන් (Cocktial) දෙදෙනෙක් ආතතිය සහ විජලනය නිසා මැරී ඇති බව පශු වෛද්‍ය විසින් 2016 ජූලි 08 දින සටහන මඟින් පෙන්වා දී ඇත.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු සත්ත්වෝද්‍යානවල වෙසෙන සතුන්ගෙන් 328 දෙෙනකු 2016 හා 2017 වර්ෂ දෙක තුළ දී මිය ගොස් තිබුණි. නියුමෝනියාව, ආතතිය, සතුන් අතර ගැටුම්, විලෝපිකයන් විසින් කා දමා තිබීම වැනි හේතූන් මත සතුන් 77ක් මිය ගොස් තිබූ අතර මෙය සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 23ක් විය.
සෑම සතෙකුටම අව්වෙන්, වැස්සෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ආවරණයක් සත්වෝද්‍යානය විසින් ලබාදීම සුදුසුවේ. එය කැලෑවේදී සතුන් අව් වැසිවලින් ආරක්ෂා වීමට ඔවුන්ට අවශ්‍ය ලෙස උපක්‍රම භාවිත කළ හැකි වුවත් සත්ත්වෝද්‍යානයක වෙසෙන සතුන්ට එසේ කළ නොහැකි නිසා ඔවුන්ට වැස්සෙන් නොතෙමී සිටීමට සහ අව්වෙන් අවශ්‍ය වෙලාවට ආරක්ෂා වීමට අවශ්‍ය සෙවණ කළමනාකරණය සත්වෝද්‍යානය විසින් සකසා දිය යුතුය. එහෙත් එසේ නොතිබූ අවස්ථා රැසක් නිරීක්ෂණය විය.
ආහාර දී ඇත්තේ නියමිත ප්‍රමාණයට සියයට 35ක් අඩුවෙන්
මෙම සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් කිසිම ආයතනයක සත්වයන් පිළිබඳව පර්යේෂණ සිදු නොවී තිබිණි. සත්ව චර්යා පිළිබඳව පර්යේෂණ රැසකට මෙහි ඉඩ ප්‍රස්ථා තිබිණි. 2017 වර්ෂයේ දී ලෝක සත්ත්ව කලාපය, අලි කලාපය යන සත්ව කලාප දෙකක සතුන් සඳහා ආහාර සැපයුම්වල හිඟ ප්‍රමාණයන් වාර්තා වී තිබූ අතර 2017 වර්ෂයේ දෙසැම්බර් 01 සිට 08 දක්වා කාල සීමාව තුළ අඛණ්ඩව ඇණවුම් කළ සමස්ත ආහාර ප්‍රමාණය කිලෝග්රෑම් 11,664 ක් වූ අතර සපයා තිබූ ප්‍රමාණය කිලෝග්රෑම් 8,805 ක් වූයෙන් අඩුවෙන් සැපයූ ප්‍රමාණය ක්ලෝග්රෑම් 2,859 ක් විය. අඩුවෙන් සැපයූ ආහාර ප්‍රමාණය සපයා ගැනීම සඳහා විකල්ප ක්‍රමයක් අනුගමනය කර නොතිබූ බවත්, සතුන්ට අඩු ආහාරයන් සැපයීමෙන් අවශ්‍ය පෝෂණය නොලැබෙන බවත් නිරීක්ෂණය විය.
අලි ඇතුන්ට දෛනිකව ආහාර සැපයීමේදී පශු වෛද්‍ය විසින් සතුන්ගේ පෝෂණ අවශ්‍යතා පරිදි ආහාර වට්ටෝරු සකස් කර, පිටතින් ආහාර ලබා ගන්නා අතර ඒ සඳහා බාහිර සැපයුම්කරුවන් තෝරාගනු ලැබේ. වට්ටෝරු ලේඛනයට අනුව දිනකට ආහාර වර්ග 06 ක් පමණ ඇණවුම් කරනු ලබන අතර එසේ වුවත් විගණන පරීක්ෂණයට අනුව දිනකට වට්ටෝරුවේ සඳහන් ආහාර වර්ග 5 – 2 දක්වා ප්‍රමාණයක් සැපයීම් නොකර ඇති බව නිරීක්ෂණය කරනු ලැබේ. 2018 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස 04 ක කාලය තුළ දින 22 කාලයක් සැපයීම් නොකර තිබුණ.
සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ස්ථානගත කර සිටින ප්‍රධාන සථානයක් ලෙස පින්නවල අලි අනාථාගාරය හැඳින්විය හැකි අතර දැනට එහි සතුන් 88ක සංඛ්‍යාවක් සිටිති. මෙහි අලි ඇතුන්ට ආහාර ලබාදීම සම්බන්ධ ගැටලු රැසක් තිබිණි.
මරේ ඊ ෆවුලර් සහ සුසාන් කේ මිකෝටාගේ අලින්ගේ ජීව විද්‍යාව, ඖෂධ සහ සැත්කම් සම්බන්ධ ග්‍රන්ථයෙහි 5 වැනි පරිච්ජේදය අනුව අලින්ට ආහාර ලබාදීමේදී ආහාර මූත්‍ර හා මලපහ සමඟ මිශ්‍ර නොවන සේ උස් ස්ථානයක තැබිය යුතු ය. එසේ ම සාමාන්‍යයෙන් අලියෙකුට තම බර ප්‍රමාණයෙන් සියයට 9ක ප්‍රමාණයකට සරිලන සේ ආහාර ලබා දිය යුතු ය. අලි මඩුවක අලින් කිහිපදෙනෙකු ආසන්නව බැඳ ආහාර මැනීමකින් තොරව ලබාදීම සිදුවන බැවින් එක් එක් සතාට අවශ්‍ය ආහාර ප්‍රමාණය නියමිත ලෙස නොලැබෙන බවත් ආහාර මලපහ සහ මුත්‍රා සමඟ මිශ්‍රව තිබූ බව නිරීක්ෂණය විය.
සත්ත්වෝද්‍යානයේ සිටින අලින්ට කෑම ලබාදීමේදී එසේ බර අනුව කෑම ලබාදී නැති බව නිරීක්ෂණය විය.
මරේ ඊ ෆවුලර් සහ සුසාන් කේ මිකෝටාගේ අලින්ගේ ජීව විද්‍යාව, ඖෂධ සහ සැත්කම් සම්බන්ධ ග්‍රන්ථයෙහි 5 වැනි පරිච්ඡේදය අනුව සාමාන්‍යයෙන් අලියෙකුට දිනකට වතුර ලීටර් 200ක් පමණක් අවශ්‍යවන අතර ජලය බීම සඳහා පොළොව මට්ටමේ සිට අඩි 2ක් පමණ උසකින් ජල බඳුන සැකසිය යුතුවේ. එසේ ම එකවරකදී හොඬය පුරවා ගත හැකි වන පරිදි එම ජල බඳුන ලීටර් 7.6ක පමණ ධාරිතාවයකින් යුක්ත විය යුතු වේ. තවද එය තප්පර 30ක කාලයකදී ස්වංක්‍රීයව පිරෙන සේ සකස් කළ යුතු වේ. එසේ වුවත් දෙහිවල සත්ත්වෝද්‍යානයේ වෙසෙන අලින් සඳහා ඉඳිකර තිබූ බඳුන් ස්වයංක්‍රීයව පිරෙන සේ සකස් කර නොතිබුණි.
පින්නවල අලි අනාථාගාරයේ සතුන්ට නිදහසේ සිටීමට අක්කර 15ක් පමණ වෙන්කර තිබුණ ද, මද කිපුණ හා හීලෑ නොවූ අලි ගැට ගසා තැබීම හේතුවෙන් අනෙක් අලින්ට නිදහසේ සිටීමට හැකි බිම් ප්‍රමාණය අක්කර 9ක් පමණක් වන බව 2018 මැයි 16 වැනි දින කරන ලද භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින්ගෙන් 19 දෙනෙකු අධිකරණ නියෝග මත රදවා සිටින අලින්වේ. මෙම අලින් හීලෑ නොවූ හා සැර අලින් වන නිසා අලි අනාථාගාරයේ සිටින ඇත්ගොව්වන් 77 දෙනාගෙන් වැඩි පිරිසක් මෙම අලින් රැක බලා ගැනීමට යෙදවීමට සිදුව තිබේ. මේ හේතුවෙන් පින්නවල අලි අනාථාගාරය සතු අලින්ගෙන් සුබසාධන කටයුතුවලට ප්‍රමුඛතාව දීම අඩුවීම හේතුවෙන් එම සතුන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා නිදහස කෙරේ එමඟින් අහිතකර බලපෑම් ඇති විය හැක.
දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට නැවුම්, පෝෂ්‍යදායි, ගුණාත්මක ආහාර ලබාදීමේ අරමුණින් 1997 වර්ෂයේදී ආරම්භ කළ සත්ව ආහාර ගොවිපොළ අක්කර 15 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
දෙහිවල සත්ත්වෝද්‍යානයට අවශ්‍ය ආහාර වර්ග 28 ක් ගෝනපොළ ගොවිපළ මඟින් සැපයීම් කළ යුතු ය. එහෙත් තණකොළ, කංකුං සහ උක්ගස් යන ආහාර වර්ග හැරුණු විට අනෙකුත් ආහාරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විගණන කාල පරිච්ඡේදයන්ට අදාළව ගෝනපොළ ගොවිපළ මඟින් සපයා ගැනීමට අපොහොසත් වී තිබුණි.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන්ට නැවුම්, පෝෂ්‍යදායි, ගුණාත්මක ආහාර ලබාදීම සඳහා බාහිර සැපයුම්කරුවන්ගෙන් ආහාර වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම වෙනුවට වගා කරන බෝග ප්‍රමාණය වැඩි කළ යුතු විය. එහෙත් ආයතනය විසින් 2016 සිට 2020 කාල සීමාව සඳහා සකස්කර තිබූ සංයුක්ත සැලැස්ම තුළ ගෝනපොළ ගොවිපොළ සංවර්ධනය කිරීම හෝ වෙනත් විකල්ප සත්ව ආහාර වගා කිරීම පිළිබඳව අවධානය යොමු කර නොතිබුණි.
සත්ත්වෝද්‍යානයේ සේවකයන් රාජකාරියේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වීමකින් ඔහුට හා ඔවුන්ගේ පවුල්වලට සිදුවන ආර්ථික අපහසුතා සහ අතිරේක වියදම් පියවාගැනීමට ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල මඟින් ක්‍රියාත්මක කර තිබේ. එම වන්දි මුදල් කාලීනව සංශෝධනය වී නොමැති බව නිරීක්ෂණය විය.
සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය වන පක්ෂීන්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන එම අවශ්‍යතාවය අනුව පක්ෂීන් බිහි කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආයතනය සතුව නොමැති බව නිරීක්ෂණය විය.
මෙම විගණන පරීක්ෂණය මඟින් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ දියුණුවට, සත්ත්ව සංරක්ෂණයට හා එහි සුබසාධනය සඳහා ගතයුතු නිර්දේශ රැසක් ද යෝජනා කර තිබිණ.
මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා
- ඉඩම් පරිසර හා වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන
“මේ විගණක වාර්තාවෙන් දැක්වෙන කරුණු ඉතා වැදගත්. ඒ අනුව මම සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අඩුපාඩු පිළිබඳව සොයා බලනවා. ඒවා පිළිබඳ අවශ්‍ය පියවර ගන්න නිලධාරින්ට උපදෙස් දෙනවා. පින්නවල සිටින නඩු අලි පිළිබඳත් සාකච්ඡා කර පියවරක් ගන්නවා. සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ කටයුතු මීට වඩා විධිමත් කිරීමට සත්ත්ව සංරක්ෂණයට විශේෂයෙන් සතුන්ගේ ආහාර ඖෂධ හරියට ලබාදීමට අපි කටයුතු කරනවා. සතුන් මැරෙන සංඛ්‍යාව අඩු කිරීමට තවත් පශු වෛද්‍යවරු වැඩි කරන්නත් අපේක්ෂා කරනවා.” ඇමැතිවරයා පවසයි.
විගණක වාර්තාවෙන් පෙන්වූ අඩුපාඩු සකසමින් සිටිනවා
- සත්ත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ
මේ පිළිබඳව කරුණු දැක්වූ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවේ සතුන් වත්තේ සත්ත්ව මරණ ගණන අනෙක් රටවල් පිළිබඳව සලකා බලන විට ප්‍රතිශතයක් ලෙස අඩු බවයි. ඔය සත්ත්ව මරණ වැඩිපුර වූයේ මගේ කාලේ නෙමෙයි. 2014 දි විතර. මම පත්වුණේ 2015 දි. කෑම ලබාදීම, කූඩුවල අඩුපාඩු, පින්නවල අලි ගැටලුව, සෆාරි උද්‍යානයේ අඩුපාඩු ආදිය සකස් කරමින් පවතිනවා. “ලස්සනම සත්ත්ව සංරක්ෂණය කරන සතුන් වත්තක් ලෙස අපි දෙහිවල දියුණු කර තිබෙනවා. ඒ අලුත් සතුන් වත්ත බලන්න එන්න“ මල්සිංහ මහත්මිය පවසයි.