ගාල්ලේ මහි­න්ද­යට ගිය ජය­කොඩි පිය­තුමෝ එහිදී ‘කදුරු ගස් ගල­ව­න්නට’ කතා ­ක­රති ! | සිළුමිණ

ගාල්ලේ මහි­න්ද­යට ගිය ජය­කොඩි පිය­තුමෝ එහිදී ‘කදුරු ගස් ගල­ව­න්නට’ කතා ­ක­රති !

 

වර්ෂ 1902 ජූනි 3 වැනිදා දන්කොටුවේදී මෙලොව එළිය දුටු ගරු මර්සලින් ජයකොඩි පියතුමෝ ස්වර්ගස්ථ වූයේ වර්ෂ 96ක් ආයුවලඳා වර්ෂ 1998 ජනවාරි 15 වැනිදාය. වර්ෂ 1928 ජූනි 2 වැනිදා රුහුණේ තංගල්ලේ පල්ලික්තුඩාවේදී උපත ලද මහාචාර්ය විනී විතාරණ සූරීන් අභාවයට පත්වූයේ මේ නොබෝදා වර්ෂ 91ක් ආයුවලඳා - වර්ෂ 2019 දෙසැම්බර් 2 වැනිදාය.

තම උපන් රට, ජාතිය, භාෂාව හා තම තමන්ගේ ආගම් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකර ඉකුත්වූ මේ පාර පුරුෂයන් දෙදෙනාගේම නම් ගම් හා උපත විපත ගැන නම්කර ලිපියක් ලියන්නට පෑන මෙහෙයවූයේ එ් දෙදෙනාම සහභාගි වූ කිසියම් සාහිත්‍ය මෙහෙවරක් පිළිබඳව මෑත අතීත සිද්ධියක් ඉස්මතුකර දක්වනු පිණිසය.

වර්ෂ 1983 දී පිලිපීන‍ෙය් මැනිලානුවර මැග්සයිසධි මධ්‍යස්ථානයේදී ගරු මර්සලින් ජයකොඩි පියතුමෝ එ් වර්ෂයේ ත්‍යාග සම්මානයෙන් පිදුම් ලැබූහ. ඉන්පසුව එතුමා සියරටට සැපක් වූවායින් අනතුරුව එතුමන් ප්‍රථමයෙන් ම පිළිගැනීමේ ප්‍රධාන අවස්ථාව ලබාගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාල‍ය ය. ආරාධනය කරන ලද්දේ ගරු පියතුමන් උපන් මාසයේදීම උත්පත්තිය ලැබූ මහාචාර්ය විනී විතාරණ සූරීන් විසිනි.

මහ ඉහළින්ම එතුමන් මේ ඇසුරට පිළිගැනෙන බව කියාපෑමේ දේශන කිහිපයකින් පසුව ගරු මර්සලින් ජයකොඩි පියතුමාට සිය කතාව සඳහා වාරය එළැඹිණි.

එතුමෝ නැගිට මයික්‍රෆෝනය අසලට පැමිණ මෙහි සභා ගැබ දෙස නෙත් යොමුකර මහා සංඝරත්නය ඇතුළු සියල්ලන්ගෙන්ම අවසර ගත්හ. ඉන් අනතුරුව එතුමෝ,

“මම අද මෙහි ආවේ කදුරු ගස් ගලවන්නයි” යනුවෙන් කියා සිටියහ. ඉන් පසුව ස්වල්ප වේලාවක් නිශ්ශබ්දව එතුමෝ සභා ගැබ දෙස නෙත් යොමුකර සිටියහ.

එ් වචන කිහිපය එතැන වැඩසිටි පැවිදි ගිහි සැම දෙනාට ම පාහේ ප්‍රශ්නයක් ම විය. එහෙත් සුළු වේලාවක නිශ්ශබ්දතාවකින් පසු පියතුමෝ යළි සභාව ඇමතූහ.

“ඔව්. අද මා මෙහි ආවේ කදුරු ගස් ගලවන්නයි. එදා ඔබ අපට කදුරු - අපි ඔබට කදුරු. මින් පස්සේ අපි ඒ කදුරු ගස් ගලවා දමා බොදුනු කිතුනු ලෙස ආගම් භේදයක් නැතිව කටයුතු කරමු. ඒ වෙනුවෙන් මා කවි ලියලත් තියෙනවා. ගීත ලියලත් තියෙනවා. බර බර කාලෙට නොව සරල සුමඟ අයුරින් කරුණු හදලා ලිපි ලියලත් තියෙනවා. අනන්ත දේශනා කතා කරලත් තියෙනවා. දැන් ඉතින් මතුවට අපි දෙගොල්ලම එක්සත්ව - එකමුතු වෙලා කටයුතු කරමු. එතකොට තමා රටක් - ආගමක් - භාෂාවක් - ජාතියක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ.

ඒ ගමන්ම මම මේ ලබපු අන්තර්ජාතික සම්මානයේදී සිදුවූ යමක් කියන්නත් ඕනෑ. පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණු රැමොක් මැග්සධිසාධි තුමන් අනුස්මරණය කෙරෙන්නට පිදෙන ‍එ් සම්මානය සම්මාන ලාභියකුට පිරිනැමුණට පසුව ඔහුට තමන් කළ කටයුතු ගැන විනාඩි පහක කෙටි කතාවක් සභාව අමතා කරන්නට අවස්ථාව ලැබෙනවා. එවේලේ මට පෙර සම්මාන ලැබූ කිහිපදෙනකුම තමනට මේ සම්මානය ලබන්නට හේතුවන්නට මේ මේ දේවල් කළා ය; එයින් තම රටට ජනතාවට මේ මේ අන්දමින් සෙත - යහපත සැලසුණාය කියලා විනාඩි පහක් ඉකුත් වනතරමට කියාගෙන ගියා.

එය එහෙම වුණත් මට මගේ අවස්ථාව ලැබු‍ණුවිටදී එම එම සභාව අමතා කිසා සිටියා. “මට මෙම ගරු සම්මානය ලබන්නට ඒ තරම්ම දෙයක් කරලා නැහැ. මම මගේ රටේ ජනතාව අතර සාමය - සමාදානය, ආදරය, කරුණාව, සතුට, සම්පත ඇති කෙරෙන ලෙස කවි කීපයක් ලියලා තියෙනවා. ඒක මගේ රටේ ජනතාවට පමණක් නොව ලෝක ජනතාවගේ හදවත්වලටත් දැනුණයි කියා මා හිතනවා. මා කළ දේ එච්චරයි කියා එම විනාඩි පහෙනුත් බාගයකටත් වඩා අඩුවෙන් ගෙන කියා යළි වාඩිවුණා.

මා හිතනවා එවේලේ අනෙක් අය පූචානම අනුව හෝ වේවා ඇත්තම ලෙස හෝ වේවා කී දේවල්වලටත් වඩා මම එ් කාලයෙන් ස්වල්පයක් ගෙන කී වචන කීපය කාගේත් සිත්වලට වැදුණයි කියලා.

මොකද මම එහෙම කියන්නෙ, සම්මාන ප්‍රදානයෙන් පසුව සභාව ඇමැතූ එහි ප්‍රධානී පිලිපීනයේ අග්‍ර විනිශ්චයකාරතුමා තම කතාව කළේ මම කී වචන කිහිපය මූලික කරගෙනයි.

“‍අපේ සම්මානලාභී ලංකාවේ ජයකොඩි පියතුමා මෙතැනදී කීවා මෙන් මනරම් දෙයක් කරලා නැහැ, ම‍ගේ රටේ සාමය - සමාදානය - එකමුතුව වෙනුවෙන් කවි කීපයක් පමණයි ලියලා තියෙන්නෙ කියලා. ඒක හරි වැදගත්වූ ප්‍රකාශයක් ලෙස මම අගය කරනවා. කවියකුට තම කවි පදමාලාවන්ගෙන් පුළුවන් ලෝකයක් ම සනසන්න. එ් සිතිවිලිවලින් ලෝක සාමය ඇතිකරලා ලොව ජනතාවට සැනසීම ලබාදෙන්න පුළුවන්. එතුමාගේ එ් ප්‍රකාශය අප කාගේත් ගෞරවයට ලක්විය යුතුයි” කියලා මම අග්‍ර විනිශ්චයකාරතුමා කළ ප්‍රකාශය නිසාම වැඩිදෙනකු මා වෙත සිය සැලකිල්ල යොමු කළ බව දක්නට ලැබුණා.

මේ සමඟම මට එහිදී මුහුණ දෙන්නට ලැබුණු තවත් එක් සිද්ධියක් ගැන කියන්න පුළුවන්. මා එ් ස්ථානයට මගේ සම්මානය ලස්සනට ගිය අවස්ථාවේදී විශේෂයෙන් ම පිලිපීනය ප්‍රධාන වශයෙන්ම කතෝලික ධර්මය අදහන රටක් නිසාම එහි සිටි පූජකතුමන්ලා කිහිපදෙනකු මා සමඟ සුහද සම්මුඛ සාකච්ඡාවක් කරන්න ඉඩ සලසා ගත්තා. මමත් කැමැති වෙලා ඔවුනට මුහුණ දුන්නා. “ඔබතුමන්ගේ මේ දීර්ඝකාලීන පූජක මෙහෙවර යුගය තුළ කොතරම් ප්‍රමාණයක් ජනයා කතෝලික ආගමට හරවාගෙන තියෙනවා ද?” කියා මගෙන් විමසුවා. “එක්කෙනෙක්වත් මම මගේ ආගමට හරවාගත්තේ නෑ” කියලා මා ගත්කටට ම කීවා. ඔවුන් කිහිපදෙනාගේම ඇස් විමතියෙන් උඩගිය බව මට පෙනුණා.

මා කිසි දවසක බොරු කරලා - බොරු කියලා නැති නිසා මම ඇත්තම කියා සිටියා. ඒ ගමන් ම මම කතාවක් කීවා.

“මා කළේ මා ගැන විශ්වාසයෙන් යුතුව මා හමුවන සැම දෙනකුගේම සිත්වල තිබෙන පහන දල්වන එක විතරයි. මා එය අපූරුවට - සාර්ථකව කළා. ඉන්පසුව ඔවුන් තම තමන්ගේ ආගම ධර්මය අදහාගනිමින්ම අනෙක් අය සිටින ලෝකය දෙස විවෘතව බලන්නත් පුරුදු වුණා.”

මා කවදත් කියන - ලියන එක් අදහසක් තිබෙනවා. එය නම් “අපි ඉන්නෙ අපි වෙනුවෙන් නෙමේ අනුන් වෙනුවෙන්ය” කියන එක. ඒකම කැටිකරලා තමයි අපේ බුදුන්වහන්සේත් දේශනා කළේ. අපේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් දේශනා කළේ, අපි ඒ අර්ථය ජීවිතයට අර්ථවත් කර ගනිමින් සාමය, සමාදානය සහජීවනය, සතුට පිරි ලෝකයක් සාදා ගනිමු. එම කටයුත්තට මේ සියල්ලනටම තෙරුවන් සරණ ලැබේවා - දෙවිපිහිට ලැබේවා” එදා එවේලේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සභා ශාලාවේදී ගරු මර්සලින් ජයකොඩි පියතුමා සිය දේශනය අවසන් කළ විටදී විනාඩි ගණනාවක් ගතවනතෙක්ම අත්පොළසන් නාදය රැව්පිළිරැව් දෙන්නට විය.

Comments