කටු­වා­පි­ටියේ නත්තල | Page 2 | සිළුමිණ

කටු­වා­පි­ටියේ නත්තල

“දු‍වේ නැගිටින්න පූජාවට යන්න” නැන්දාගේ ඇමතීමට සුවිමාලී අවදි වූවේ උදාසීන ගතියකිනි.

ඇය මෙවන් විටෙක අම්මාගේ කටහඬ අහන්න බලාපොරොත්තු වුණත් ඒ කතා කරන්නේ නැන්දා ය. දෑස පිසදමමින් නැගිටගත් ළමයාට කටුවාපිටිය පල්ලියේ, මැදියම් රැයේ දේව මෙහෙයට නාදවන පළමු සීනු හඬ අසෙයි. නිදා සිටි කාමරයේ දැල්වෙන අඩු ආලෝක විදුලි පහනින් නිකුත් වන මද ආලෝකයෙන් කොටු වී සිටින පුංචි කාමරයේ බිත්ති හතර පෙනෙයි.

පහු වී ගිය අවුරුද්දේ තමන් මැදියම් රෑ දේව මෙහෙයට ගිය අන්දම ඇයට මතක් වෙයි. එදා සිටියේ පල්ලියට සමීප අන් ගෙදරක ය. සාලයේ පුංචි සුරුවම් කට්ටලය තැබූ ගවලෙන පිළියෙල කර තිබිණි. ඉස්තෝප්පු කෑල්ලේ නත්තල් ගසය.

නැන්දාගෙ ගෙදර ඒ මොකවත් නැත. ගිය වසරේ සිටි මාමත් සමන්ත අයියත් දෙන්නා ද මේ ගෙදර නැත. ඔවුන්ට සිදු වුණේද සුවිමාලිගේ දෙමවුපියන්ටත් පුංචි මල්ලිටත් සිදු වුණ දෙයම ය. පසුගිය දාක පූජාවට ගිය ඔවුන් දේවස්ථානයේ සිදු වූ හදිසි කඩාවැටීමක් බඳු සිදුවීමකින්, තවත් පිරිසක් සමඟ, ඊට ගොදුරු වූහ. ඇය එදින පල්ලි නොගියේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි නිසා ය. නැන්දා ද අහඹුවකින් මෙන් එදා ගෙදර නතරව සිටි‍යා ය. එහෙත් එය දැන් වාසනාවක් ලෙසින් නොපෙනෙයි. තමන් ද ඔවුන් සමඟ ම එදා විනාශ වී ගියා නම් මීට වඩා හොඳ ය. සුවිමාලි මෙන්ම නැන්දා ද දැන් එක ලෙසින් ම අසරණව සිටිති. ඇයගේ ජීවන ඉපැයුම වී ඇත්තේ පුංචි ඉඩම් කෑල්ලේ පොල් පලදාවෙන් ලැබෙන මුදල ය.

“දුවේ එන්න මූණ සෝදගෙන ලෑස්ති වෙන්න.” නැන්දා යළිත් කිවේය. සුවිමාලි ඇවිත් මූණ සෝදා සූදානම් වූවාය. ඇය ඇඳගත් ගවුම අම්මා අරන් දුන්නේ අට අවුරුදු උපන් දවසටය. මිරිවැඩි සඟළ තාත්තා ගෙනැවිත් දී තිබිණි. ළමයා දීර්ඝ සුසුමක් හෙළුවා ය. එහෙත් ළය සැහැල්ලු වුණේ නැත. ළමයා දෙස නැන්දා මොහොතක් බලා සිටියාය. එකිනෙකාගේ දුක අනිකාට තේරෙයි.

“අපි යමු දුවේ....” ළමයා ඉස්සර කරගෙන ගෙයින් පිටතට ආ ඇය දොර අගුළු ලා මිදුලට බැස්සා ය.

අහසේ තැනින් තැන තරු පායා ඇතත් අඳුරු වලාකුළු පාවෙමින් තිබිණි. පාරවල් දිගේ පහන් කණු විදුලි ආලෝක දැල්වී තිබුණෙන් පරිසරය එතරම් අඳුරු නැත. එහෙත් වෙනත් නත්තල් දවස් වලදී මෙන් ගෙවල් ඉදිරිපිට දැල්වෙන පාට විදුලි වැල් මෙදා දකින්නට නැත. පසුගිය වසරේ ගෙවල්වල රෙඩියෝවලින් මෙන්ම රූපවාහිනී යන්ත්‍රවලින් අසන්නට ලැබුණ නත්තල් ගී ඝෝෂාව අද නැත. දෙතුන් පළකින් පමණක් මලානික ගී රාවයක් ඇසෙන නොඇසෙන ගානට නැගෙන්නට විය. ඒ නත්තල් ගීත කුමන ඒවාදැයි හඳුනා ගන්න බැරි තරම් හෙමින් නැඟී එයි.

ඔවුන් අතුරු පාරෙන් හැරී කෙළින්ම වැටී ඇති මාවත දිගේ ඇවිදගෙන යන්නට වුහ. මාවත ඉස්සර මෙන් ප්‍රබෝධවත් නැත. පල්ලිය පැත්තට හෙමින් සීරුවේ ඇවිදගෙන යන අයකු දෙන්නකු අතර මගදී හමු වුණත් ඔවුන් අතරද ඇත්තේ උදාසීන බවකි.

දේවස්ථාන මිදුලේ තැනින් තැන දෙතුන් දෙනා එකතුව කතාබහේ යෙදී සිටිති. එහෙත් එය සතුටු සාමිච්චියක් නොවීය. පැමිණ සිටින අයද වෙනදා මෙන් අලුත් මෝස්තර ඇඳුමින් සැරසී සිටියේ නැත.

පල්ලියේද වෙනදා මෙන් සැරසිලි නොවීය. කාරොල් ගී හඬ ගොලුවෙලාය. පැමිණි පිරිස අතරද වෙනදා මෙන් සිනාවෙන් පිරි සතුටු සාමිච්චී නැත.

සුවිමාලි නැන්දා සමඟින් පල්ලිය තුළට ගොස් අසුන් ගත්තීය. ඇයට නිදිමත ගතියක් දැනෙන්ට වූවේ උදාසීනත්වය නිසා ය. බැංකුවේ ඉඳගත් ඇය ඉදිරියට හිස නැඹුරු කර තබාගෙන නිද්දට වැටුණා ය. ඇය එසේ සිටීම හොඳ යැයි නැන්දාට සිතුණේ පහුගිය දේවල් මතක්වීම නොමනා බැවිනි.

සුවිමාලිට හැඟී යන්නේ තමා මෙතෙක් වේලා තරමක තෝන්තුවා ගතියකින් මෙන් සිට හදිසියේ අවදි වුවාක් මෙනි. එවිට ඇය දුටුවේ කවදාවත් නැති තරම් ලස්සනකට පල්ලිය සරසා ඇති අන්දම ය. තමා මෙය කලින් නොදුටුවේ මන්දැයි ඇයට සිතෙයි. ඒ උදාසීනව නිදි බරව සිටි නිසා වෙන්නට ඇතිය. ඇය ඇස් පිසදා වටපිට බැලුවාය. අසලින්ම ඉන්නේ අම්මාය. ඇගේ උකුළ මත පුංචි මල්ලී නිදයි.

“කෝ තාත්ත.” ඇය ඇසුවාය

“අර ඉන්නෙ.” අම්මා පිටුපස පෙන්නුවාය.

තාත්තා බංකු පෙළට පිටුපසින් සිටගෙන හිඳියි. ඔහු ඇඳගෙන ඉන්නේ ගිය වසරේ ඇන්ද ළා නිල් ඉරි වැටුණ අත්දිග ෂර්ට් එකම ය. එහෙත් තාත්තා වෙනදාට වඩා කඩවසම් ය. සිව්මාලිට තාත්තා වෙත යන්නට සිතෙයි. එහෙත් ඒ සමගම මෙහෙය ආරම්භ වුණේය.

සුවාමි නත්තල් දේව මෙහෙය පවත්වාගෙනයයි. ගීතිකා කණ්ඩායම වරින් වර ගායනයේ යෙදෙයි. නත්තල උදාවෙන්නත් ප්‍රථමයෙන් ඈත පැතිවලින් තැනින් තැන රතිඤ්ඤා පුපුරන හඬ ඇසෙයි. සුවාමි අපුරු දේශනාවක් ද කළේය. ඉන් කියැවුණේ ශුද්ධ පවුළක් වශයෙන් ජීවත් වීමේ ඇති වටිනාකමයි. සුවිමාලි අම්මාට හේතුවීගෙන පූජාව අසයි. අම්මාගේ උණුසුම නිසා ඇයට හීතලක් දැනුණේ ද නැත.

දේව මෙහෙයට ගත වන කාලය දිග වැඩිදැයි ඇයට සිතෙයි. ගෙදර ගිය විගසින් තමාටත් මල්ලීටත් නත්තල් තෑගි ලැබෙන බව ඇය දනියි. එපමණක් නොව කේක් කපා කෝපි බොන්නත් පුළුවන. මල්ලීට නම් අම්මාගේ උකුල මත හොඳටම නින්ද ගිහින්ය.

තාත්තා අද උදේ නත්තල් ගස සකස් කළ විදිහ ඇයට අලුතින් මතක් වන්නට විය. මෙවර සෑදු නත්තල් ගස ඉස්සර හැදු ඒවාටත් වඩා ලස්සන ය. තාත්තා උදේ පාන්දරින්ම කඩ වීදියට ගොස් සයිප්‍රස් අත්තක් රැගෙන ආවේ. එය සිටවීමට කලින්ම පෝච්චියක් පිළියෙල කර තිබුණේ අම්මා ය. නත්තල් ගස සාදන විට වඩාත් උපකාරි වූවේ සුවිමාලී ය. මල්ලී පසෙකට වී බලා‍සිටියා පමණි. යමක් කිරිමට තරම් තවමත් මල්ලී කුඩා වැඩි ය. නොයෙක් අන්දමින් සැරසිලි කළ නත්තල් ගසේ පාට පාට පුංචි විදුලි බුබුළු වැල් ද පටලවන ලදී.

ගවලෙන හදන්න පටන් ගත්තේ සවස ය. පුංචි මේසයක් මත ඉටි කොළ එලා ඒ මත තණ පිඩැලි අල්ලා ගවලෙන් බිම සකස් කර ගන්නා ලදි. පිදුරු සෙවිලි කළ පුංචි ගවලෙන් ආකෘතියක් තණ පිඩැලි උඩින් තබා රූප කීපය පිළිවෙළට ඒ ඒ ස්ථානවල හිඳුවන ලදි. ඊට අමතරව ගෙයි කීප පළකම බැලුම් බෝලද පුම්බා එල්ලා තිබිණි. දේව මෙහෙය අවසාන වී ඇති බව සුවිමාලිට තේරුම් ගියේ උරහිසෙන් අල්ලා සොලවා නැන්දා විසින් අවදි කරනු ලැබ විනාඩියක් පමණ පසු වූ විට ය. ඇය කිසිවක් තේරුම් ගත නොහැකිවාක් මෙන් වටපිට බැලුවාය. අම්මයි තාත්තයි පෙනෙන්න නැත. කෙසේ වුවත් තමන් ඉන්නේ පල්ලියේ බව තේරුම් ගියේය.

“මොකද දුවේ?” නැන්දා අසයි

‘අම්මයි තාත්තායි කොහෙදැයි’ ඇයට ඇසෙන්නට ගිය තරම්ය. ඇය තවතවත් වටපිට විමසා බැලුවා ය. තමා කලින් දුටු තරම් පල්ලිය තුළ සුන්දරත්වයක් නැත. තැනක හරිගස්සා තිබුණ ගවලෙන වෙතට පල්ලියෙන් පිටතටත් ඇදෙන සැදැහැවතුන්ගේ මුහුණු නත්තල ප්‍රීතියෙන් ඔද වැටී නැත. බොහෝ අය නිහඬ ය. සමහරුන්ගේ මුහුණුවල රැඳී ඇත්තේ පාස්කු දේව මෙහෙයකට සහභාගි වුවාක් බඳු විලාසයකි. වෙනදා වූ නත්තල් ශුභ පැතිමේ ඝෝෂාව යන්තාක් කෙඳුරුමක් බවට පත් වී තිබේ. සුවිමාලි දෙස ද කීපදෙනෙක් අනුකම්පාවෙන් බැලුවෝ ය.

නැන්දා ඇය ගවලෙන වෙත කැඳවාගෙන ගියේ සිත සන්සුන් කෙරවීමට ය. ගවලෙන වෙනදා මෙන් නොවන බව ළමයා දුටුවා ය. එය පසුගිය අවුරුද්දේ තරමට සුන්දර සංකීර්ණත්වයකින් යුතු නොවීය. පසෙකින් දල්වා ඇති විදුලි බුබුළකින් ඊට ආ‍ලෝකය වැටී ඇත. සුවිමාලිට පෙනෙන්නේ එහි තබා ඇති සුරුවම් ඔහේ බලාගත් අතේ බලාගෙන ඉන්නා වාගේය.

“අපි යමු නැන්දෙ” ඇය කීවාය.

ඇගේ අතකින් අල්ලාගත් නැන්දා පල්ලියෙන් පිටතට ආවාය.

වහින්න වගෙයි, අපි ඉක්මනින් ගෙදර යමුයි කීවේ නැන්දා ය.

සුවිමාලි අහස දෙස බැලුවාය. අහසේ අඳුරු වලා තට්ටුවක් වර්ධනය වීගෙන එයි. වෙනදා අහල පහළින් ඇසෙන රතිඤ්ඤා අද ගොළුව ඇත. ඉඳහිට බොහෝ ඈත තැනකින් එකක් දෙකක් ඇසුණත් එයිනිදු ඇඟවෙන්නේම පාළු ගතියකි. අතින් අල්ලාගෙන සිටින නැද්දා සමඟ ළමයා ඉදිරියට පා ඔසවන්න වූවාය. එහෙත් ගිය වසරේ මෙන් නත්තල් පූජාවට සහභාගී වී මේ යන්නේ තමන්ගේම පුරුදු නිවහනට නොවේය. මද දුරක් ඇවිදගෙන ගිය ඔවුහු පටු පාරට හැරුණෝය.

 

Comments