පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් කල් තබා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර සිට, ඒ සම්බන්ධව නිසි පියවර ගත් බවට ප්‍රහාරයෙන් පසු පොලිස් ස්ථාන රැසක පොත්වල ව්‍යාජ සටහන් තබා ඇති බව අනාවරණය වී තිබේ.
පසුගිය සිකුරාදා (13) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කොටහේන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ පොලිස් පොත්වල ව්‍යාජ සටහන් තැබීමට තමාට සිදු වූයේ එවකට කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ බලපෑම් නිසා බවයි. තමා පොලිස් පොත්වල ඒ පරිද්දෙන් සටහන් තබා තිබේදැයි අප්‍රේල් 28 වැනිදා රාත්‍රී පොලිස් අධිකාරිවරයා පැමිණ පරීක්ෂා කළ බවද කොමිසම හමුවේ පැවසීය. පොලිස් අධිකාරිවරයා ඒ සඳහා පැමිණෙන බව කල් තියා දැනුම් දුන් බැවින් පාලන අංශයේ නිලධාරීන් මඟින් මේ පොත්පත් වෙනස් කළ බවද ඔහු කොමිසම හමුවේ පැවසීය. කොළඹ උතුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලට මේ නියෝගය දී තිබුණු බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිළුමිණ පළ කළ විශේෂාංග කිහිපයකදීම මේ පොලිස් වාර්තා වෙනස් කිරීම සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි.