![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/11/29/silu-12-01-sandagomi.jpg?itok=1AUNLOE7)
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය කියන්නෙ ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මූලාරම්භයයි කියා හිතෙනවා.
ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොළඹ විශ්වවිද්‍යාලය සමඟ බැඳී පවතිනවා කියන කරුණ ඉතිහාසය විසින් සාක්ෂි සහිතව පෙන්වාදී ඇති සත්‍යයක්. කොළඹ විද්‍යාල මන්දිර ගොඩනැගිල්ලෙ පිහිටි යුනිවර්සිටි කොලිජියෙ (university college) තමයි සිංහල, පාලි, සංස්කෘත පිළිබඳ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ මුල්වරට ආරම්භ වෙන්නෙ. ඒ 1921 දි. ඊට පස්සෙ 1942 දි ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පස්සෙ සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන් ඉගැන්වීම සිදුවුණේ ප්‍රාචීන භාෂා අධ්‍යයන පීඨයෙ. 1943 දී තමයි ප්‍රථම වරට ලංකා විශ්වවිද්‍යාලයේ ස්වාධීන සිංහල අධ්‍යයන අංශයක් පිහිටුවීම සිදුවන්නෙ. එහිදි 1944 දි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්ය එම්.ඩී. රත්නසූරිය මහතා ප්‍රථම සිංහල මහාචාර්යවරයා වශයෙන් වැඩ බාර ගන්නවා. නමුත් 1951 දී ඔහුගෙ අභාවය සිදුවෙනවා. ඒ අතර මේ කාලයේදි කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියනවා. ඊට වසර කිහිපයකට පසු ස්වභාෂා අධ්‍යාපනය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙනවා. ඒ ශිෂ්‍ය ප්‍රජාවට විසඳුමක් හැටියට 1963 දී නැවත වරක් පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධව කොළඹ දෙවන ශාස්ත්‍ර පීඨයක් ආරම්භ වෙනවා. නමුත් 1967 දි කොළඹ විශ්වවිද්‍යාලය වෙනම පරිපාලනයකට යටත් වීමත් සමඟ ම සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය හා කොළඹ වශයෙන් දෙකක් බවට පත්වෙනවා. ඒ අනුව අප 2019 වසරේදී සමරන්නෙ 1944 දි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙ සිංහල අංශයක් හා සිංහල මහාචාර්ය පදවියක් පිහිටුවා වසර 75ක් පිරීමේ සංවත්සරයයි.
මේ ඉතිහාසය තුළ විද්‍යෝදය හා විද්‍යාලංකාර යන පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වී එ් ආයතනවල ද සිංහල අධ්‍යයනාංශ ස්ථාපිත වන ආකාරය දැන ගන්න පුළුවන්. ඒ වගේම යාපන විශ්වවිද්‍යාලයේ ද සිංහල මණ්ඩපයක් තිබුණා. 1978 දි රුහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පස්සෙ එහිද සිංහල අංශයක් ආරම්භ වුණා. ඒ නිසා වර්තමානයේ කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණු වශයෙන් සිංහල අධ්‍යයන අංශ පහක් මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ සංවත්සරය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ගැන පමණක් නෙමෙයි, අනිකුත් විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශයන්හි ඉතිහාසය හා ගමන්මග විමසා බලන්නත් මෙය හොඳ අවස්ථාවක් හැටියට යොදා ගන්න පුළුවන්. ඒ ඉතිහාසය, ඒ ශාස්ත්‍රීය අභිලාෂයන් පිළිබඳ නැවත විමසා බැලීමත් සිදු කරන්න පුළුවන්. එය සමාජ දේශපාලනිකව පමණක් නොවේ; මේ රටේ බුද්ධිමය ඉතිහාසය සටහන් කර තැබීමක් ලෙස හඳුනාගන්න පුළුවන්.
පේරාදෙණිය ඒකාලෝක කළ බොහෝ උගතුන් නිර්මාණය වුණේ කොළඹදි...
ඔව්. සිංහල සාහිත්‍යය පිළිබඳ කතා කරනකොට පේරාදෙණි විශ්වවිද්‍යාලය අමතක කිරීමේ හැකියාවක් නැහැ. නමුත් එහි ආරම්භය සිදුවන්නෙ කොළඹදි. ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යෑමෙන් පස්සෙ එහි ඇතිවුණු ඒ භාෂා සාහිත්‍ය ප්‍රබෝධයට මං පෑදූ ආචාර්යවරු බැලුවම ඔවුන් සියලු දෙනාම පාහේ කොළඹ ලංකා විශ්වවිද්‍යාලය බිහි කළ අය. සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි උගතුන් වගේම මුල් අවදියේ හිටපු ආචාර්යවරුන් වන ආනන්ද කුලසූරිය වැනි අය කොළඹ යුනිවර්සිටි කොලිජියෙ හිටපු අය. ඒ අය තමයි පසුව පේරාදෙණියෙ සිංහල අංශයේ පුරෝගාමි ආචාර්යවරු බවට පත්වුණේ. මේ සඳහා තව විශාල උගතුන් රාශියකගේ නාම ලේඛනයක් වුව දිය හැකියි.
යුනිවර්සිටි කොලිජිය 1921 දි ආරම්භ වෙන්නෙ ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධවයි. ඒ කාලෙ වෙනකොට බොහෝ දෙනකුට ශාස්ත්‍ර හැදෑරීම සඳහා ඉන්දියානු කලාපයෙ තිබුණ ආයතන දෙක වුණේ කල්කටා විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ පූනාහි පැවති ඩෙකෑන් විශ්වවිද්‍යාලයයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ලංකාවේ යුනිවර්සිටි කොලිජිය බිහිවුණේ. නමුත් එහි සිංහල භාෂාව නෙමේ ආරම්භ වුණේ. ප්‍රාචීන භාෂා, ඉන්දු ආර්ය භාෂා හැදෑරීමට බ්‍රිතාන්‍ය රජය වැඩි කැමැත්තක් දැක්වුවා. මේ කාලෙ සිංහල ශබ්දකෝෂයට උපදෙස් දීමට පැමිණි ගයිගර් ඉන්දු ආර්ය භාෂා විෂයෙහි අන්තර්ජාතික මට්ටමේ කීර්තියක් ලැබූ කෙනෙක්. මහාචාර්ය හෙට්ටිආරච්චි, ඩී.බී. ජයතිලක වැනි අය මේ කටයුතුවලට සම්බන්ධ වුණා. කෙසේ නමුත් 1943 - 44 වගේ කාලවලදි වෙනම සිංහල අංශයක අවශ්‍යතාව මතු වෙනවා. 1940 ගණන්වලදි කුමාරතුංග මුනිදාස සුබස සඟරාව මඟින් අයිවර් ජෙනිංග්ස්ට විවෘත ලිපියක් ලියනවා; ස්වාධීන සිංහල අංශයක් අවශ්‍යයි කියලා. නමුත් සිංහල විෂය සඳහා විශේෂ ඉල්ලුමක් හෝ සම්භාවනීය තත්වයක් ඒ කාලෙ තිබුණෙ නැහැ. මහාචාර්ය ගුණපාල මලලසේකර, සරච්චන්ද්‍ර වැනි අය ඒ පසුබිම පිළිබඳ නොයෙක්වර සඳහන් කර තිබෙනවා. 20 - 30 දශකය තුළ ඉන්දු ආර්ය භාෂා ගැන විශාල උනන්දුවක් ඇතිවෙලා තිබුණා. මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා හට ඩෙකෑන් කොලිජියෙන් ආචාර්ය උපාධිය පිරිනමන්නෙ ඉන්දු ආර්ය භාෂා පිළිබඳ ඉදිරිපත් කළ නිබන්ධනයකට. කෙසේ නමුත් ක්‍රමයෙන් සිංහල විෂය වෙනම විෂයයක් බවට පත්වුණා. නමුත් ලංකා විශ්වවිද්‍යාලයේ මුල් කාලෙ තිබුණෙ භාෂා අධ්‍යයනය පමණයි. නමුත් සරච්චන්ද්‍රයන්ගෙ සම්ප්‍රාප්තියත් සමඟ ම සිංහල සාහිත්‍යයට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. 40 දශකයේ තමයි ඔහු modern Sinhalese Fiction කියන කෘතිය ලියන්නෙ. ඒ අනුව නූතන සිංහල සාහිත්‍යය හැදෑරීමට ඔහුගෙන් අඩිතාලම වැටෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය බිහිවීමත් සමඟ ඇති වූ නව ශාස්ත්‍රීය ප්‍රවණතා කවරේද?
කොළඹ විශ්වවිද්‍යාලය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වීමෙන් අනතුරුව සිංහල අංශයේ ආරම්භක පීඨාධිපති හා මණ්ඩපාධිපති බවට පත්වෙන්නෙ මහාචාර්ය එම්.බී. ආරියපාලයන්. එතුමා හසළ අත්දැකීම් සම්භාරයක් තිබුණ කෙනෙක්. 1968 දී තමයි මුල්වරට ලංකාවේ විශ්වවිද්‍යාලයක වාග් විද්‍යා අංශයක් පිහිටුවන්නෙ. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ. එය ස්වාධීන අධ්‍යයන අංශයක් හැටියට බිහිවෙනවා. ඒ සඳහා මූලික වෙන්නෙ මහාචාචර්ය ජේ.බී. දිසානායක. එතැනදි තමයි ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් වෙනස් වෙලා නූතන වාග් විද්‍යාත්මක සිද්ධාන්ත මත භාෂාව දෙස බැලිය යුතුයි කියන කාරණය බිහිවෙන්නෙ. පේරාදෙණියෙදි ම.ව. සුගතපාල මහතා එහි මූලිකත්වය ගත්තත් කොළඹ විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව වෙනම අංශයක් හැටියට ආරම්භ වුණාට පස්සෙ තමයි එය ප්‍රචලිත වුණේ. මේ නිසා සිංහල භාෂාව පිළිබඳ විශේෂ උපාධිය හදාරන වගේම සිංහල භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථින් හට වාග් විද්‍යාව ඇසුරින් භාෂාව දෙස බලන්න අවස්ථාව ලැබුණා.
ප්‍රාචීන භාෂෝපකාර සමිතිය සමඟින් එක්වෙලා පැරණි ග්‍රන්ථ සංස්කරණය කිරීමට යොමුවීමත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය මඟින් ආරම්භ කරන ලද ඉතා වැදගත් ශාස්ත්‍රීය කටයුත්තක්. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, අමාවතුර, බුත්සරණ වැනි පැරණි කෘති විධිමත් ශාස්ත්‍රීය මූලධර්ම අනුව සංස්කරණය කිරිම දීර්ඝ කාලයක් තිස්සේ පටන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පුස්කොළ පිටපත් බලල ඒවා සංසන්දනය කරල තමයි මේ වැදගත් ශාස්ත්‍රීය කටයුත්ත සිදු කරන්නෙ. එහෙම කරලා පොත් කිහිපයක් පළ කරල තිබෙනවා. ආචාර්ය හොරණ වජිරඥාන හාමුදුරුවො, තෙරිපැහැ සෝමානන්ද හාමුදුරුවො වගෙ වෙනත් පඬිවරුන්ගේ සහාය ද මෙයට සම්බන්ධ කරගෙන තමයි මේ කාර්ය සිදු කළේ. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය මඟින් මෑතදී බුත්සරණ කෘතිය පළ කළා. මේ සියලු ම ශාස්ත්‍රීය කටයුතු සිදු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙ. ඒ සඳහා මහාචාර්ය එම්.බී. ආරියපාල මහතාගෙන් පසුවත් මහාචාර්ය හේමපාල විජයවර්ධන, මහාචාර්ය රෝහිනී පරණවිතාන, ආචාර්ය ආනන්ද තිස්සකුමාර, ප්‍රේමසිරි නාගසිංහ වගේ ආචාර්යවරු මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා.
වෙනත් ආයතන සමඟ ද සිංහල අංශයෙහි ඇති සම්බන්ධතාව විශාලයි.
ඔව්. චීන, ජපන්, ඉන්දීය විද්‍යාර්ථින් අපේ අංශය සමඟ සම්බන්ධයි. දැනටත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විදේශ සේවා නිලධාරීන් කිහිප දෙනෙක් සිංහල විෂය විදේශ භාෂාවක් හැටියට ඉගෙන ගන්නවා. චීනයෙ බෙයිජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින් සෑහෙන ප්‍රමාණයක් සිංහල විෂය හදාරලා තියෙනවා. මේ ආදි වශයෙන් විදේශ සම්බන්ධතා රාශියක් අපේ තිබෙනවා.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සමඟ අපේ තියෙන සම්බන්ධතාවද ඉතා සුවිශේෂියි. “ගුත්තිල ගීතය” පොතට වසර 75ක් සම්පූර්ණ වීම පාදක කොටගෙන පසුගිය වසරෙ අපි එය සැමරුවා. මේ අවුරුද්දේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් “ගම්පෙරලිය” කෘතියට වසර 75ක් පිරිම නිමිත්තෙන් විශේෂ දේශනයක් පැවැත්වුවා. මේවා සම්බන්ධව විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවුණත් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කෙරෙනවා.
ඒ අතර අප විසින් පවත්වාගෙන යනු ලබන සිංහල ශාස්ත්‍රපති පාඨමාලාව හා ඩිප්ලෝමා පාඨමාලාව ඉතාම සාර්ථකයි. අද බොහෝ පාසල්වල සිංහල විෂය උගන්වන ගුරුවරු තමන්ගේ උපාධියට සිංහල හදාරලා නැහැ. එවැනි අයට තමන්ගේ මුල් උපාධිය කුමක් වුවත් සිංහල භාෂාව පිළිබඳව මේ පාඨමාලා හරහා ප්‍රවීණත්වයක් ලබාගත හැකියි. ඒ අතරම මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට ක්ෂේත්‍ර චාරිකාවක් වශයෙන් අපි යන වාර්ෂික චාරිකාව ද ඉතා ම සාර්ථකයි. මේ වගේ වැඩකටයුතු රාශියක් ශාස්ත්‍රීය මට්ටමක තවමත් කෙරෙනවා. ඒ වගේම විවිධ සාහිත්‍ය නිර්මාණ තරග, නාට්‍ය උත්සව වැනි විවිධ සංස්කෘතිකාංග සංවිධානය වෙනවා. ඒ වගේම සිංහල අංශයේ ඉතා හොඳ විමර්ශන පුස්තකාලයක් තියෙනවා. එමගින් සලසන සේවය ද අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ.
රටක ප්‍රගමනයට භාෂා ශාස්ත්‍ර උපයෝගී වන්නේ කෙසේද?
රටක් දියුණු වෙනවා කියන්නෙ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් එහි ඇතිවන වර්ධනයටයි. ඒ අනුව රටක ආර්ථික සමෘද්ධිය ඇතිවන අතරෙම භාෂා ශාස්ත්‍ර පිළිබඳ දැනුම ද වර්ධනය විය යුතුයි. විශ්ව විද්‍යාලයකට වගකීමක් තියෙනවා ඒ තත්වයට මහජනතාව පෙළ ගැස්වීමට. මේ සඳහා ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමිය එහෙම නැත්නම් බංග්ලා ඇකඩමිය වගෙ සිංහල භාෂා ආයතනයක් පිහිටුවීමට හැකියාවක් තිබෙනවා නම් ඉතා හොඳයි. ඇත්තටම කියනවා නම් කිසියම් භාෂාවකට ඉල්ලුමක් තිබෙන්නෙ ඒ භාෂාව කතා කරන පිරිසගෙ තියෙන ආර්ථික හා දේශපාලන බලය මත. ඉංග්‍රිසි භාෂාව අද ව්‍යාප්ත වෙලා තිබෙන්නෙ ඒ නිසයි. භාෂාවක තියෙන නෛසර්ගික වටිනාකමකට වඩා අද වෙනකොට එය ආර්ථික හා දේශපාලන වටිනාකමකට පෙරළිල තිබෙනවා. චීනයේ බෙයිජිං විශ්වවිද්‍යාලෙ සිංහල උගන්වනවා. ඇයි එහෙම කරන්නෙ. මම අර කිව්ව සාධක නිසා. අද අපේ රටේ බොහෝ දෙනෙක් චීන භාෂාව ඉගෙන ගන්නවා. ඒකටත් හේතුව එයමයි. මීට කලකට පෙර වගේම අදත් ජපන් භාෂාව අපේ අය ඉගෙන ගන්නවා. එහෙම වෙන්න හේතුව එයට ආර්ථික වශයෙන් ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙන නිසා. ඒ අනුව රටක් දියුණු වෙනකොට විවිධ අංශ දියුණු කිරීම සඳහා භාෂා ශාස්ත්‍රවලින් ලැබෙන පිටුවහල ඉතා ඉහළයි. කලාපීය වශයෙන් අපි ටික ටික ඉදිරියට එනකොට සිංහල භාෂාවටත් මීට වඩා හොඳ ඉල්ලුමක් ඇතිවෙයි. අපි අපේ සිංහල අංශයට ආදායම් හොයාගන්නෙ විදේශීය ශිෂ්‍යයන්ට වගේම දේශීය ශිෂ්‍යයන්ට සිංහල උගන්වලා. සමහර අය සිංහල ඉගෙන ගන්නෙ ශාස්ත්‍රීය වුවමනාව සඳහාම නොවෙයි. වෙනත් වෙනත් හේතු සඳහා. එයින් පැහැදිලිව පෙනෙන්නෙ රටක ආර්ථික වර්ධනයට සමගාමීව භාෂා ශාස්ත්‍ර පිළිබඳ අවධානය ද වර්ධනය විය යුතුයි කියලා. ඒක විශ්වවිද්‍යාලයකට පැවරෙන සමාජ වගකීමක්. ඒ සමාජ වගකීමෙන් අපි දුරස්ථ වුනොත් කිසිදු රසඥතාවක් නොමැති භාෂා සාහිත්‍යයට ඇලුම් නොකරන හිස් මිනිසුන් ටිකක් පමණක් බිහි වෙයි. ඒ නිසා ලෝකයේ දියුණු රටවල පවා තවමත් භාෂා සාහිත්‍ය අධ්‍යයනයට පියවර ගන්නෙ. අපේ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය අවුරුදු 75ක් පුරා සිදු කළෙත් ඒ ශාස්ත්‍රීය හා සමාජ වගකීමයි.
සිංහල අධ්‍යයනාංශයේ 75 වන සංවත්සර වැඩසටහන් මාලාව
1944 වසරේ ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම වරට සිංහල අධ්‍යයනාංශයක් පිහිටුවා වසර 75ක් පිරීමේ සංවත්සරය සැමරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය 2019 දෙසැම්බර් 02 දින සිට 2019 දෙසැම්බර් 06 දින දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කොට ඇත. එම වැඩසටහන් මාලාව පහත පරිදි වේ.
2019 දෙසැම්බර් 02 සිංහල අධ්‍යයනාංශයේ සේවාර්ජිත මහාචාර්යවරුන්ගේ
සේවය ඇගයීමේ සම්මන්ත්‍රණය
2019 දෙසැම්බර් 03 සාහිත්‍ය සංකථන 2019, සංසාරණ්‍යයේ දඩයක්කාරයා
සිනමා දැක්ම හා විද්වත් කතිකාව
2019 දෙසැම්බර් 04 “සිංහල අධ්‍යයනාංශයට 75 වසරක්” කෘතිය එළි දැක්වීම
2019 දෙසැම්බර් 04 - 05 සිංහල අධ්‍යයන “එදා සහ අද හෙට” පර්යේෂණ සැසිය
2019 දෙසැම්බර් 04 - 05 පොත් ප්‍රදර්ශනය සහ සල්පිල
2019 දෙසැම්බර් 06 උපාධි අපේක්ෂක පර්යේෂණ සැසිය
සුලෝචන වික්‍රමසිංහ