කලාකරුවාගේ ප්‍රධානම කාර්යයක් වන්නේ අත්දැකීමට සජීවී බවක් ලබා දෙමින් එය පාඨක සිත් සතන්හි ආකර්ෂණීයත්වයට පත් කිරීම ය. සිත්තරුන්, මූර්ති ශිල්පීන්, වාස්තු විද්‍යාඥයන් වස්තුවලට යමක් කරයි; කවියා, නවකතාකරුවා හෝ කෙටිකතාකරුවා සිදුවීම්වලට යමක් කරයි. කෙසේ කොහොම කළත් කලාකරුවා කරන්නේ අපගේ ඇස නැවතීමට පොලඹවා බැලීම නම් ක්‍රියාවෙහි ප්‍රීතිය විඳින්නට සැලැස්වීමයි. සංගීතඥයා කරන්නේ අපගේ දෙසවන සවන්දීමට යොමු කිරීමයි. නවකතාකරුවා කුතූහලය හා විස්මය නිසා ලැබෙන නිර්ප්රායෝගික ප්‍රීතිය විඳින්නට මනසට ඉඩ සලසයි. පුටුව හිඳගන්නකුට සංඥාවක් පමණක් නොවී පවතින්නට; චිත්‍ර කලාවේදී ඉඩ සැලසෙයි. එහිදී පුටුව වර්ණ සහ ආකෘති සංකේන්ද්‍රණය වූ තැනක් බවටත්, සජීවිකරණයටත් ලක් වේ. පුටුව යන වස්තුව නියම ලෙස හඳුනා ගැනීමට නම් එය එහි උපයෝගිතා කාර්යයෙන් වෙන් කර ගත යුතුය. චිත්‍රයේදී පුටුව ප්‍රායෝගික වශයෙන් නොව පින්තූරමය වශයෙන් රසවත් වුව ද සංතෘප්තිකර වූ ද ; සිත් ගන්නා සුළු වූ ද දෙයක් බවට පත් වේ.
නිදර්ශනයක් ලෙස “මොනාලිසා” චිත්‍රය ගන්න. එය අප නරඹන්නේ අප අසලින් ගමන් කරන සුන්දර ස්ත්‍රියකගේ මුහුණ දෙස බලන ආකාරයෙන් නොවේ. අපි එහි චිත්රමය ශීල්පීය නිපුණතාව ගැන සවිඥානික ව, සාවධාන ව හා භාවාත්මක ව ඒ දෙස බලන්නෙමු. එවිට අප ඒ චිත්‍රය නරඹන්නේ ප්‍රාණවත් හා පරිසමාප්ත අර්ථයකින් යුතුව ය.
ඔබ දන්නවා ඇති, බොහෝ විට සමහර සිත්තරු චිත්රයක මළ ගිය ස්ථාන ගැන (Dead spots) කතා කරති. මනුෂ්‍ය අත්දැකීම්වල ද බොහෝ මළගිය ස්ථාන ඇත. කලාවෙන් කෙරෙන්නේ ඒ මළගිය ස්ථානවලට ප්‍රාණය දීමයි. සමස්ත ජීවිතය ම කලාවක් නම් දෛනික ජීවිතයේ අප කරන යම් යම් ක්‍රියාකාරකම් සඳහා සජීවී හා ආනන්දජනක බවක් ලබා දීම කලාවේ ස්වභාවයයි. එවිට ජීවත්වීම යන්නෙන් සෞන්දර්ය ආශ්වාදයක් පැන නඟිනු ඇත.
එහෙත් සමස්ත ජීවිතය ම කලාවක් කර ගත හැකිද? එය අප ඉදිරියේ හා කලාකරුවා ඉදිරියේ ඇති ගැටලුවයි. දාර්ශනිකයා, කවියා, නවකතාකරුවා සිතන්නේ ජීවිතය ම කලාවක් කියා ය. ඔහු හෝ ඇය ජීවත් වන්නේ එකී සිහිනයේ ය. ජීවිතයේ අප බොහෝ දේ කරන්නේ උපයෝගීතාව උදෙසා ය. අපි විවේකය බලාපොරොත්තුවෙන් වැඩ කරන අතර සන්සුන් බව පිණිස කලබලයෙන් දුවන්නන් වී ඇත්තේ ඒ නිසා ය. වැඩ යනු මිහිරි දෙයක් නොවේ. ඉලක්ක හඹා යෑම යනු සන්සුන් දෙයක් නොවේ. ආනන්දයක් විය හැකි ජීවිතය වෙත යථාර්ථාවාදය කඩාපාත් වීම කවියන් හා නවකතාකරුවන් නො ඉවසන්නේ ඒ නිසා ය.
මම එය ඔබට මෙසේ විස්තර කරන්නෙමි. ප්‍රායෝගික ජීවිතයේදී කලාකරුවන් යනු අසරණ පිරිසක් බව බොහෝ දෙනා පවසති. අපි ද එය අත්විඳ ඇත්තෙමු. ප්‍රායෝගික ජීවිතයේ ගැටලු කලාකරුවන්ට නීරස ය; පැටලිලි සහගත ය. ප්‍රායෝගික ජීවිතයේදී කලාකරුවා නිරන්තරයෙන් මෝඩ පහේ වැඩ කිරීම මේ කරුණු නිසා ඇති වන්නකි. කලාකරුවා ජීවත්වන මායාමය හා සුන්දර ජීවිතය ප්‍රායෝගික කලාවේදී ගෝචර නොවේ. මෙය කවීන්ට විශේෂයෙන් අදාළ ය. බොහෝ කවීන් රෝමාන්තිකවාදී සිහින දකින්නන් වී තියෙන්නේ ඔවුන්ගේ සිහින ලෝකයට යථාව දරාගත නොහැකි නිසා ය. කලාව පළා යෑමක් ලෙස අප දකින්නේ මේ නිර්මාණකරුවන් මායාමය ලෝකයක ජීවත්වීමට දක්වන බලවත් කැමැත්ත නිසා ය.
පලා යෑමේ අවසරය ලබන ප්‍රධාන කලා මාධ්‍ය නවකතාවයි. නවකතාවෙන් අප කවදාවත් අපට ප්‍රායෝගික ව ලැබේ යැයි සිතිය නොහැකි බොහෝ මාවත් ඔස්සේ පරිකල්පනීය ලෙස ගමන් කිරීමේ අවකාශයේ අපට උදා කර දෙයි. මා තවමත් රුසියාවේ සංචාරය කර නැත. එහෙත් රුසියාවේ අස්සක් මුල්ලක් නෑර මංමාවත් හි මම මනසෙන් ගමන් කර අැත්තෙමි; ස්ටෙප්ස් තණබිම් පුරා අශ්වයාගේ පිටේ නැඟී මා සුළගේ වේගයෙන් ගමන් කර ඇත්තෙමි. මේ සියල්ල ම ඒ ඒ නවකතාකරුවා විසින් අපට ලබාදෙන පරිකල්පනීය මායාමය ආශ්වාදය ය. ඒ කෘති රචනා කරන නිර්මාණකරුවෝ ද මනසින් මේ මාර්ග හා සිතිවිලි වෙත පලා යති.
සැබෑ ජීවිතයේදී අප නොදන්නා බොහෝ ඉසව් වෙත නිර්මාණකරුවා අප රැගෙන යයි. අතිමහත් වින්දනීය පරාසයන්ගෙන් යුතු කාමයෙහි මෙන්ම අති මහත් සංකීර්ණ සිතිවිලි දාමයන්හි පවා කලාකරුවෝ අප අතරමං කරති. රසය පිළිබඳ වින්දනීය පරාස මෙයින් ප්‍රධාන ය. මේ සියල්ල ඔස්සේ අප කරන්නේ අපගේ සැබෑ ජීවිතයෙන් පළා යෑමකි; සිහින ලෝකයේ සැරිසැරීමකි.
කලාව නිසා ප්‍රකෘතිය ලබන්නේ ලලාසාවන්ගේ උමතු අවස්ථා පමණක් යැයි කියන්නට හැකියාවක් නැත. අපගේ ප්‍රායෝගික අත්දැකීම් නිසා අපට කියා ගන්නට නොහැකි වන හා ප්‍රායෝගික ජීවිතයේ කාර්ය බහුලත්වය නිසා නිරීක්ෂණය කිරීමට අපහසු භාවවල සියුම් ඉඟි අරුත් ද; සිතිවිලි වල ඉසියුම් කම ද කලාවෙන් ප්‍රකාශය වේ. මේ සියලු හේතු නිසා රසිකයාට කලාව යනු ජීවිතය වෙතින් සිත්ගන්නා සුළු පලා යෑමකි. ඒ පලා යෑම ජීවිතය වැඩ හොඳින් පැහැදිලි කිරීම ද, තීව්ර කිරීම ද, අර්ථකථනය කිරීම ද කරන්නේ ය.
අප මේ පලා යෑම් ගැන සවිඥානික විය යුත්තේ නිර්මාණකරණයේ රන්සුනු සොයා යෑමට නම් මේ තත්ත්ව දෙක ම නිවැරදි ව අවබෝධ කර ගත යුතු නිසා ය. පලා යෑම සුන්දර නිර්මාණයක් කර ගැනීම ඔබ සතු කාර්යයක් වන්නේ ඒ නිසා ය.
නිදහසේ වැවෙන කැලය සුන්දර ය. එහෙත් එය බුද්ධිමත් ලෙස පාලනය කිරීමෙන් ඒ සුන්දරත්වය නොනසා උද්‍යානයක් බවට පත් කළ හැකි බව ඔබ දන්නවා නිසැක ය.