ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු කෞතුකාගාර පාලක, ජේතවන කෞතුකාගාරය, බාහිර කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය මිිහින්තලේ
රාජ්‍ය ආයතන තුළ තම ඡායාරූපය ප්‍රදර්ශනය නොකොට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස නව ජනාධිපතිතුමන් විසින් පසුගියදා කරන ලද ඉල්ලීම කාගෙත් පැසසුමට ලක් විය. වරින් වර බලයට පත් වන රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කිරීමේ කාර්ය ඒ සමඟම අහෝසි වී රාජ්‍ය ලාංඡනයට ප්රමුඛත්වයක් ලැබිණි. එවන් පසුබිමක් හමුවේ අපගේ රාජ්‍ය ලාංඡනයේ ඓතිහාසික ගමන්මඟ පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ අරමුණු වේ.
රාජ්‍ය ලංඡනය වූ කලී අන්තර්ජාතික වශයෙන් රටක් හඳුනාගැනීමේ සංකේතයයි. අද ලොව සෑම රටකම පාහේ රාජ්‍ය ලාංඡනයක් ඇත. ඒ සෑම ලාංඡනයක්ම සැකසී ඇත්තේ එම රටේ අනන්‍යතාව මනාව සංකේතවත් වන නිර්මාණයකින් හෝ නිර්මාණ එකතුවකිනි. සියවස් ගණනාවක් මුළුල්ලේ එකම රාජ්‍ය ලාංඡනය භාවිතා වන රටවල් ද ඒ අතර වේ. එහෙත් කලක් යටත්විජිත වශයෙන් පැවති රටවල වත්මන් රාජ්‍ය ලාංඡන බොහෝමයක්ම නිදහස ලබාගත් පසුව නිර්මාණය කරන ලද ඒවා වේ.
සියවස් හතරකට අධික කාලයක් පෘතුගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී ජාතිකයන්ගේ යටත්විජිතයක් වී පැවති ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනයට ඇත්තේ වසර 30ක පමණ ඉතිහාසයකි. එහෙත් යටත්විජිත පාලන යුගවල ද එම පාලකයන් විසින් සිය මවු රටවල රාජ්‍ය ලාංඡනය හෝ ඔවුන් විසින් නිර්මාණය කරන ලද ලාංඡන භාවිතයට ගෙන ඇති බවට සාධක ඇත. යටත්විජිත යුගයට පෙර ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනුණු රාජ්‍ය ලාංඡන පිළිබඳ පැහැදිලි තොරතුරක් අනාවරණය කරගත නොහැකි වූවත් එවැන්නක් භාවිතයේ නොපැවතියේ යැයි සිතිය නොහැකිය.
අනාදිමත් කාලයක සිට සිංහ රූපය අපගේ ජාතික සංකේතයක් ලෙස භාවිතයට ගෙන තිබුණ ද, පැහැදිලි ලාංඡනයක් ලෙස එය භාවිතයට ගෙන ඇති බවට යම් ඉඟියක් හෝ ලැබෙන්නේ දැනට නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම්හි ත්රෝපන් කෞතුකාගාරයේ (Tropen Museum) ඇති 18 වන සියවසට අයත් කන්දඋඩරට මහවාසලින් නිකුත් කරන ලද තල්පතක කවරයේ යොදා ඇති නිල මුද්‍රාවෙනි. ශ්‍රී ලංකාව, ලන්දේසීන්ගේ යටත්විජිතයක් වී පැවති කාල පරිච්ඡේදයේ දී වුව සිංහල රජවරුන්ගේ ආධිපත්‍යය යටතේ පැවති කන්ද උඩරට පාලනයට අයත් එම නිල මුද්‍රාවෙන් සිංහල රජවරුන්ගේ රාජ්‍ය ලාංඡනයක සැකැස්ම පිළිබඳ අවබෝධයක් ලද හැකි වේ.
වටකුරු හැඩැති එම මුද්‍රාව වටා ගල් බිංදුව (එක පෙළට එකිනෙකට යා කොට ඇති වෘත්ත) රටාව සහිත බෝඩරයකි. ඊට ඇතුළතින් ලියවැල් රටාවකි. මධ්‍යයයේ මුඛයෙන් ලියවැලක් විහිදෙන ශෛලීගත සිංහ රුවකි. සිංහ රුවට ඉහළින් “මහවා” යන අක්ෂරද පහළින් “සල” යන අක්ෂරද දක්වා තිබේ. එනම් “මහ වාසල” යන්නයි.
16 වන සියවසේ දී ශ්‍රී ලංකාව පෘතුගීසීන්ගේ යටත්විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව ඔවුන් විසින් සිය මවු රට වූ පෘතුගාලයේ රාජ්‍ය ලාංඡනයම ශ්‍රී ලංකාව සඳහා ද භාවිතයට ගන්නා ලදී. පලිහක (Shield) හැඩයට නිර්මාණය වූ එම ලාංඡනය මුදුනේ (Crest) කුරුසිය සහිත ඔටුන්නක් විය. පලිහ වටා, බළකොටු 07ක් සංකේතවත් කර තිබූ අතර, මැද තවත් කුඩා පලිස් 05ක් දක්වා තිබේ. පිහිටි ගලක කෙටූ පෘතුගීසි ලාංඡනයක් කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානයේ (ජනාධිපති මන්දිරයට සමීපව) අදද දැකිය හැකි වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලන්දේසීන්ට යටත්ව පැවති 17 සහ 18 සියවස්වල දී මුල් වරට ශ්‍රී ලංකාවේ සමකාලීන අනන්‍යතාව සංකේතවත් වන පරිදි නිර්මාණය වූ රාජ්‍ය ලාංඡනයක් භාවිතයට ගෙන තිබේ. එහෙත් එය සුලභව භාවිතයට ගැනුණක් බවට සාධක නැත. සංකේතවලට වඩා තාත්ත්වික දර්ශනයක් පසුබිම් කරගත් එම ලාංඡනය ද පලිහක හැඩැතිය. ඒ මත කුරුසිය සහිත ඔටුන්නකි. පලිහ මධ්‍යයේ ඉදිරියට හැරී හොඬවැල මදක් ඔසවා සිටින හස්තියකි. හොඬවැලෙන් කොළ සහිත කුරුඳු වත්තක් දරා සිටින අතර හොඬවැල දෙපසින් තවත් කුඩා පලිස් දෙකක් එල්ලෙයි. එම පලිස් වලින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලන්දේසී බළකොටු 08ක් සංකේතවත් වෙයි.
එක් පලිහක් කොටස් 04 කට බැගින් බෙදූ ඒ ඒ බලකොටුවල ලාංඡන (Coats of arms) කුඩාවට නිරූපණය කර තිබේ. ඒ අනුව දකුණු පස පලිහෙන් කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන බළකොටු ද වම් පස පලිහෙන් ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව, කල්පිටිය යන බළකොටු ද සංකේතවත් වේ. හස්තියා ඉදිරියෙහි බිම කුරුඳු මිටි 03කි. පසුබිමේ කඳු වැටියක් සහ පොල් ගස් කීපයක් ද දැකිය හැකිය.
ලන්දේසීන් විසින් පොදුවේ ශ්‍රී ලංකාව සඳහා ඉහත ලාංඡනය භාවිතයට ගත් අතර ඒ වන විට පැවති ප්‍රධාන පරිපාලන ප්‍රදේශ හෙවත් දිසාවනි. (Commandements) තුන සඳහා සහ බළකොටු සඳහා ද වෙන් වෙන් වශයෙන් ලාංඡන භාවිතයේ පැවතිණි. දිසාවනි තුනේ ලාංඡන ද පලිස් හැඩයෙන්ම යුක්ත වූ අතර, ප්‍රධාන දිසාවනිය වූ කොළඹ ලාංඡනයේ පමණක් මුදුනේ ඔටුන්නක් දැකිය හැකි විය. සෙසු දිසාවනි දෙක වූ ගාල්ල සහ යාපනයේ ලාංඡනවල ඔටුන්න වෙනුවට යොදා තිබුණේ වෙනත් හිස් පලඳනාවකි. (Barred Helmut)
යථෝක්ත ලාංඡනවල සංකේත ඒ ඒ දිසාවනිවල අනන්‍යතාව ඉස්මතු වන අයුරින් නිර්මාණය කර තිබිණි. ඒ අනුව කොළඹ ලාංඡනය සඳහා අඹ ගසක්ද (ගෙඩි හට නොගන්නා අඹ ගසක් හේතුවෙන් කොළූ අඹ කොළඹ වී යැයි මතයකි. අඹ ගසින් එම මතය සංකේතවත් වේ.) යාපනය ලාංඡනය සඳහා තල් ගසක් ද ගාල්ල ලාංඡනය සඳහා ගල් පර්වතයක් මත සිටින කුකුළෙකු ද යොදා තිබිණි.
ලොරෙන්සෝද අල්මේදා ගාලු වරායට අහම්බෙන් ගොඩ බසින ලද්දේ උදෑසන කුකුළෙකු හඬලන ශබ්දයක් නාවිකයන්ට ඇසීම නිසා බව පැවසේ. එසේම ලතින් බසින් (Gallus) යනුවෙන්ද පෘතුගීසි බසින් (Galo) යනුවෙන්ද හැඳින්වෙන්නේ කුකුළාය. “ගාල්ල”යන්න එම වචන අනුව සැකසී ඇතැයි ද මතයකි. ඒ අනුව ගාල්ල ලාංඡනයට කුකුළා යොදාගෙන තිබේ.
බළකොටු සඳහා භාවිතයට ගැනුණු ලාංඡන ද පලිස් හැඩයෙන්ම යුක්ත වූවත් ඒවා හැඩයෙන් යටකී ලාංඡනවලට වඩා වෙනස් විය. එසේම ඒවායේ මුදුන්වල කිසිදු ලක්ෂණයක් (ශිඛාවක්/ Crest ) දැකිය නොහැකි විය. එම ලාංඡන සඳහා ද විවිධ රූප භාවිතයට ගෙන තිබූ අතර ඒවා ද එම ප්‍රදේශවල සමකාලීන අනන්‍යතාව පිළිබිඹු වන පරිදි යොදාගෙන ඇති බව පෙනෙයි.
ඒ අනුව ත්‍රිකුණාමලය ලාංඡනය සඳහා හෙල්ලක් අතින් ගත් සොල්දාදුවෙක් ද, මන්නාරම් ලාංඡනය සඳහා එම සමාන මල් ගස් තුනක්ද, මාතර ලාංඡනය සඳහා ලී පාලමක් (නිල්වලා ගඟ හරහා වූ) සහ වෙරළ ආරක්ෂක බළකොටු කුලුනක් (Martello) ද, මඩකලපුව ලාංඡනය සඳහා එක හා සමාන (ඉරිඟු) ගස් තුනක් ද, කල්පිටිය ලාංඡනය සඳහා රුවල් නැව් දෙකක් ද, හලාවත ලාංඡනය සඳහා රුවල් නැවක් ද, මීගමුව ලාංඡනය සඳහා බරණියක් ද, කොට්ටියාර් ලාංඡනය සඳහා පොල් ගසක් ද යොදාගෙන තිබිණි. කෙසේ වෙතත් කළුතර හා හංවැල්ල බළකොටුවල ලාංඡන පිළිබඳ තොරතුරක් අනාවරණය කරගත නොහැකි අතර කොළඹ නගරය සහ බළකොටුව සඳහා වෙනමම ලාංඡනයක් භාවිතයට ගැනිණි.
වටකුරු හැඩයක් ගත් කොළඹ නගරයේ සහ බලකොටුවේ ලාංඡනය වටා මුදුනේදී එකිනෙක ඡේදනය වන වී කරල් රටාවකි. මධ්‍යයේ පැත්තකට හැරී සිටින ඇතෙකි. ඇත් රුව මධ්‍යයේ වූ පලිහක “කොළ අඹ” ගසක් හා ඒ මත වූ කුරුල්ලෙකු ද නිරූපණය කර තිබේ. පලිහ මුදුනේ එක්සත් පෙරදිග ඉන්දීය සමාගම සංකේතවත් කරන ‘‘VOC’’ ලාංඡනය දක්වා තිබේ. ඇත් රුව පාමුල කුරුඳු මිටි දෙකකි.
කෙසේ වෙතත් ඕලන්ද යුගයේ දී ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රචලිතව පැවතියේ එක්සත් පෙරදිග ඉන්දීය සමාගමේ ‘VOC’ අක්ෂර සහිත ලාංඡනයයි. ‘VOC’ යනු “එක්සත් පෙරදිග ඉන්දීය සමාගම” යන්න අර්ථවත් වන ‘VEREENIDGE OOST-INDISCHE COMPAGNIE’ යන නාමයෙහි මුල් අක්ෂරය. අන් කවර ලාංඡනයක් භාවිතයේ පැවතිය ද ඕලන්ද යුගයේ අනන්‍යතාව සංකේතවත් කරන්නක් බවට පත් වී ඇත්තේ යථෝක්ත VOC ලාංඡනයයි.
ඕලන්ද යුගයෙන් අනතුරුව 1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ලෙස භාවිතයට ගන්නා ලද්දේ සිංහයා හා කඟවේනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක්ම එම ලාංඡනය භාවිතයට ගැනිණි. සමකාලීනව පහතරට ප්‍රදේශවල බොහෝ විහාරස්ථානවල තොරණවල ද එම ලාංඡනය මූර්තියට නැඟුණු අතර ප්‍රතිමාඝරවල මකර තොරණවලට යටින් (වික්ටෝරියා රැජිනගේ රුව සහිතව) සිතුවමටද නැඟිණි. (උදා: කරගම්පිටිය සුබෝධාරාමය, කතළුව පූර්වාරාමය)
1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසුව බ්‍රිතාන්‍ය ලාංඡනය වෙනුවට ශ්‍රී ලංකාව සඳහා නිර්මාණය කරන ලද නව රාජ්‍ය ලාංඡනයක් භාවිතයට ගැනිණි. එම ලාංඡනය මධ්‍යයේ කඩුවක් අතින් ගත් සිංහ රුවකි. එය වටා සරල පලාපෙති රටාවකි. මුදුනේ ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නට සමාන ඔටුන්නකි. ලාංඡනය පාමුල, ඇකිළිය හැකි ලියවිල්ලකි (Scroll). එහි මධ්‍යයේ “ලංකා” යන්නත්, දෙපසින් ‘Ceylon’ හා “ඉලංකයි” (දෙමළ බසින්) යන්නත් සඳහන් කර තිබේ. මෙම ලාංඡනය 1972 වර්ෂය තෙක්ම භාවිතයේ පැවතිණි.
1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ තැන් පටන් වර්තමාන රාජ්‍ය ලාංඡනය භාවිතයට එක් විය. සාකල්‍යයෙන්ම දේශීය අනන්‍යතාව සංකේතවත් වී ඇති මෙහි මධ්‍යයේ පෙර ලාංඡනයේ පරිද්දෙන්ම කඩුවක් අතින් ගත් සිංහ රුවකි. ඒ වටා පලාපෙති රටාවකි. ඊට පිටතින් වී කරල් දෙකකි. සිංහ රුවට පහළින් සෞභාග්‍ය සංකේතවත් කරන පුන්කලසකි. ඒ දෙපස හිරු හා සඳු නිර්මාණය කර තිබේ. ලාංඡනය මුදුනේ ධර්ම චක්රයකි.
මෙම ලාංඡනය නිර්මාණය කිරීම සඳහා එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ නිශ්ශංක විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණු අතර ඊට සෙනරත් පරණවිතාන, රොලන්ඩ් ද සිල්වා, එච්.ආර්. ප්‍රේමරත්න, මැකී රත්වත්ත, නන්දදේව විජේසේකර යන විද්වත්හු ඇතුළත් වූහ. එම කමිටුවේ උපදෙස් පරිදි වර්තමාන රාජ්‍ය ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රවීණ සැලසුම් ශිල්පියෙකු වූ එස්.එම්. සෙනවිරත්න මහතාටය.