මෙවර ජනාධිපතිවරණය කරළියට ආවේ ම බොහෝ වෙනස්කම් ඇති කරමිනි. දේශපාලන ක්ෂේත්රය තුළ ක්රමයේ වෙනසක් (system change) පිළිබඳ ව කතාබහක් ගොඩනැඟී තිබුණු පරිසරයක් තුළ මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වන විට ද ඒ කතාබහට පිටස්තර ව ක්රමයේ වෙනසක් සඳහා සමාජය සූදානම් වෙමින් සිටියේ ය. සාම්ප්‍රදායික දේශපාලන විද්වතුන්ගේ සිස්ටම් චේන්ජ් දැක්මේ වපසරියෙන් ඔබ්බට ගිය ඒ වෙනස සාම්ප්‍රදායික දේශපාලන විද්වතුන්ගේ අවධානයට යොමු වූයේ නැත. එහෙත් රට ම රටේ සමස්ත ජනතාව ම ක්රමයේ වෙනසක් ප්‍රාර්ථනා කරමින් සිටියෝ ය.
1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබූ දා සිට වසර 70කටත් අධික කාලයක් තිස්සේ අඩු වැඩි වශයෙන් වෙනස් වෙමින් ආ අපේ රට 1977 දී යළි යටත්විජිතයක් බවට පත් කරමින් ඇති වූ දේශපාලන විකෘතියේ වේදනාත්මක ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටියේ ය. 2015 ඉතා ම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් මඟින් බලයට පත් කරන ලද ඊනියා යහපාලන ආණ්ඩුව ඉතා ම සූක්ෂ්ම ව සහ දැනුම්වත් ව රට යළි යටත්විජිතයක් බවට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරන්නට පටන් ගත්තේ ය. එහි ප්‍රතිඵල ඉතා භයංකර වූ අතර රටේ සමස්ත ව්‍යූහය ම අමෙරිකානු අධිරාජ්‍යවාදී වුවමනාවන්ට සරිලන පරිදි වේගයෙන් වෙනස් වෙමින් තිබිණි. මෙවර ජනාධිපතිවරණය කරළියට ආවේ තත්වය මෙසේ තිබිය දී ය.
ආරම්භයේ සිට ම එය ක්රමයේ වෙනසක ලකුණු පහළ කළේ ය. ඊට කලින් පැවැති ජනාධිපතිවරණ සියල්ලට වඩා මෙවර වෙනසක් ඇති බව රටට ම පෙනිණි. ඒ වෙනස විවෘත සමාජයට දකින්නට ලැබුණු පළමු අවස්ථාව වූයේ නාම යෝජනා දුන් අපේක්ෂකයන්ගේ ලැයිස්තුවයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතර බලයේ සිටින හෝ හිටපු හෝ ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් හෝ විපක්ෂ නායකවරු නොවූහ. ප්‍රධාන අපේක්ෂකයන් යැයි සැලකිය හැකි වූ තිදෙනා ම පළමු වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අය වූ අතරින් දෙදෙනෙක් දසක දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ පළපුරුදු දේශපාලනඥයන් වූ අතර හිටපු ජනාධිපතිවරයකුගේ පුත්‍රයා වූ ඉන් එක් අයෙක් වර්තමාන ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ද, ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ද විය. අනෙක් අපේක්ෂකයා ඔහු නියෝජනය කළ පක්ෂයේ නායකයා විය.
ප්‍රධාන අපේක්ෂකයෝ තිදෙනා
ප්‍රධාන අපේක්ෂකයන් අතර සිටි තුන් වැන්නා දේශපාලනයට නවකයෙක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාර්ලිමේන්තු දේශපාලනයට නවකයකු වූ ඔහු අඩු ම වශයෙන් ප්‍රාදේශීය සභාවක වත් මන්ත්‍රීවරයකු වී නොසිටි අතර කිසි දාක මැතිවරණයකට තරග කර තිබුණේ ද නැත. ඔහු හිටපු රාජ්‍ය සේවකයකු හා රාජ්‍ය නිලධාරියෙක් විය. අවුරුදු විස්සකට අධික හමුදා සේවයේ විශිෂ්ට සේවා වාර්තාවක් ඔහු සතු වූ අතර, අවරුදු දහයකට ආසන්න කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස ඔහු කටයුතු කර තිබුණේ ය. ඒ අවරුදු දහයකට ආසන්න කාලයේ පළමු අවුරුදු පහේ දී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු අපේ රට වෙළාගෙන තිබූ කුරිරු යුද්ධය නිමා කර සමස්ත දේශයේ ම ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්නට පුරෝගාමී නායකත්වය දුන් අනභිබවනීය රාජ්‍ය නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වී සිටියේ ය. ඔහුගේ දෙවැනි ධූර කාලය තුළ දී නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස ද කටයුතු කරමින් කොළඹ නගරය ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන නගර අතරින් පළමු වැන්න බවට පත් කරන්නට ඔහුට හැකි වී තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ නම් වූ ඒ දේශපාලන නවකයා තමන්ට ලේසියෙන් ම පරාජය කළ හැකි පුද්ගලයා යැයි අනික් අපේක්ෂකයෝ දෙදෙනා ම ප්‍රසිද්ධියේ කියා සිටියෝ ය. ඔහු දේශපාලන නවකයකු වීම නිසාත් තම තමන්ගෙ කඳවුරු විසින් ඔහුගේ නම ඉදිරියේ ගොනු කර තිබූ චෝදනා ගොන්නක් නිසාත් ඔහු ඉතා පහසුවෙන් පරාජය කළ හැකි වනු ඇතැයි ඔවුන් ගණන් බලන්නට ඇති බව සිතිය හැකි ය. එහෙත් ඒ නවකයා සතු වූ විශිෂ්ට සේවා වාර්තාව සහ ඒ ඔස්සේ රටේ ජනතාවගේ හදවත් තුළ ගොඩනැඟී තිබුණු ඔහුගේ දැවැන්ත ප්‍රතිරූපය ඔවුහු දෙදෙනා ම නොසලකා හැරියෝ ය. ඔවුන් දෙදෙනා එනම් යූඇන්පියේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක තමන්ගේ අනිකා හෙවත් පොදු සතුරා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරා ගෙන තිබිණි. එහෙත් ගෝඨාභය ජනාධිපතිවරණ සටන ආරම්භ කරන විටත් සිටියේ ඔවුන් දෙදෙනාට ම ළඟා විය නොහැකි තරම් ඉදිරියෙනි.
දේශපාලන නවකයා
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටියේ තම විශිෂ්ට සේවා වාර්තාව නිසා පමණක් ම නොවේ. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වැඩි ම උගත්කමක් තිබූ අපේක්ෂකයා ද විය. පාකිස්තානයේ, ඉන්දියාවේ සහ අමෙරිකාවේ සිය විෂයානුබද්ධ පාඨමාලා රැසක් හදාරා තිබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධිධාරියෙක් ද වූයේ ය. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොවූ අයකු බව ඒ වන විටත් අනාවරණය වී තිබිණි. ඔවුන් තිදෙනා අතරින් අවම වශයෙන් රැකියාවක් හෝ කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ පමණි. පැවැති ආණ්ඩුවේ ප්‍රබල ම ඇමැතිවරයකු වූ සජිත් ප්‍රේමදාස මහජන මුදල් කෝටි ගණනින් වැය කර රට පුරා දැවැන්ත ප්‍රචාරයක් දෙමින් පවත්වා ගෙන ගිය නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පුස්සක් බව ඔහු නාම යෝජනා දෙන්නටත් පෙර රට හමුවේ අනාවරණය වී තිබුණේ ය. ඔහු සිය පියාණන් වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කියමින් රට පුරා ගිය නමුත් ඒ පියාණන්ගේ ඉතිහාසය මේ රට අමු සොහොනක් බවට පත් කළ අඳුරු භීෂණ යුගයක් බව ජනතාවගේ මතකයේ තිබිණි.
අපේක්ෂකයන් තිදෙනා අතර තුන්වැන්නා වූ අනුර කුමාර දිසානායක මේ මහ පොළොවේ යථාර්ථයෙන් බොහෝ ඈතින් ඇති අහසේ ලඹ දෙන සමාජයක් ගැන කියමින් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන ගියේ ය. එහෙත් ඔහු තමා වටා ගොනු කර ගෙන සිටි ඊනියා සිවිල් සමාජ බලවේග වෙනුවෙන් සිය පක්ෂයේ ඉතිහාසයෙන් උපන් පක්ෂ අනන්‍යතාව බිලි දී එක්තරා ලුම්පන් ප්රතිරූපයකට ආරූඪ වී සිටි බව ඔහුට නොතේරුණා විය හැකි ය. එහෙත් ඒ පක්ෂයේ ඉතිහාසයත් පක්ෂයේ පදනමත් දන්නා සියලු දෙනා ඔහු ඒ විසුළුකාරී ස්වාභාවය දැක්කෝ ය. සමාජය ඔහු දුටුවේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස නොව යූඇන්පියේ සහායක කණ්ඩායමක නියෝජිතයා ලෙසිනි. දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාසට දෙන්නැයි තමා හෝ තම සන්ධානය කියන්නේ නැතැයි ඔහු රටේ ජනාතවට කියන විට මුල් වටයේ දී ඔහුගේ කඳවුරේ ඇතැමුන් එසේ කී බව ජනතාවට අමතක වී ඇතැයි ඔහු සිතුවා විය හැකි ය. එහෙත් ඒ වන විට පෙරහැර ගොස් තිබුණේ ය.
කඳවුරු දෙකක සටනක්
මෙවර ජනාධිපතිවරණ සටන ඉතා ම පැහැදිලි ලෙස කඳවුරු දෙකකට බෙදී තිබිණි. ඒ කඳවුරු දෙක හොරුන්ගේ කඳවුර සහ හොරුන් නොවන කඳවුර යනුවෙන් අනුර කුමාර දිසානායක විග්රහ කළේ සිය පැරැණි දේශපාලන න්‍යාය වූ මාක්ස්වාදය අනුව ද නැත්නම් අලුත් න්‍යාය වන සමාජ ප්රජාතන්ත්රවාදය අනුව දැයි ඔහු පැහැදිලි කළේ නැත. ඇත්ත වශයෙන් ම මෙවර ජනාධිපතිවරණය පැහැදිලි කඳවුරු දෙකක් අතර සටනක් විය. ඒ කඳවුරු දෙක ජාතික කඳවුර සහ විජාතික කඳවුර බව අනුරටත් සජිත්ටත් නොතේරුණාට නැත්නම් නොතේරුණා වගේ හිටියාට මුළු රට ම දැන සිටියේ ය. ඒ කඳවුරු දෙක නිර්මාණය කරන ලද්දේ අන් කිසිවකු නොව 2015 බලයට ආ යහපාලන ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැති රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ ගජමිතුරු කණ්ඩායම ද ඉතා පැහැදිලි ලෙස ම මේ රට විජාතිකකරණයට ගොදුරු කරමින් සිටියෝ ය. එක් අතකින් අමෙරිකාව සහ බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වෙමින් සිටි ආණ්ඩුව අනික් අතින් මේ රටේ සමාජ සංස්කෘතික හර පද්ධතියට එරෙහි ව සංවිධානාත්මක ව ක්‍රියාත්මක වෙමින් සිටියේ ය.
මේ සියල්ල සිදු වූයේ රටේ ජනතාවගේ කැමැත්තට, අභිලාෂයන්ට සහ චින්තනයට එරෙහි ව බව ආණ්ඩුවේ නායක කාරකාදීන් මෙන් ම ඔවුන්ගේ පරිවාර බලවේග ද දැන සිටියේ ය. ආණ්ඩුව පරගැති කණ්ඩායමක් විසින් මෙහෙයවමින් සිටි නමුත් ඒ තුළ සිටි ජාතික යැයි කියා ගත් කිසිදු නායකයකු ඊට එරෙහි වූයේ නැත. වැදගත් ම කාරණය වූයේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මේ සියල්ල හමුවේ නිෂ්ක්‍රීය භූමිකාවක් රඟදක්වමින් සිටීමයි. සජිත් ප්‍රේමදාස ගෙවීගිය අවුරුදු හතරක කාලයේ දී ජාතික වශයෙන් වැදගත් කිසි දු කාරණයක දී වචනයක් වත් නොකී, එවැනි අවස්ථා මඟහැර සිටි පුද්ගලයකු වීමයි. ඔහු සෑම විට ම තමා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමාගේ දේශපාලන හිතවතුන්ට නිවාස ණය දීම, යූඇන්පී පවුල්වල දරුවන්ට ව්‍යාජ රැකියා පත්වීම් ලබා දීම ආදී අතිශයින් ම සිල්ලර දේශපාලන ව්‍යපෘතියක නියැළී සිටියේ ය. ඔහු කිසි දු අවස්ථාවක ජාතික නායකයකුගේ ලක්ෂණ පෙන්නුම් කළේ නැත.
ජනාධිපතිවරණය මුළුමනින් ම ජාතික හා විජාතික කඳවුරු දෙකේ සටනක් වූ නමුත් යූඇන්පී අපේක්ෂකයා එ් බවවත් දැන සිටියේ දැයි සැක සහිත ය. ජාතික කඳවුරේ ප්‍රශ්න ගැන එහි අභිලාෂයන් ගැන ඔහු සිය වේදිකා මත දී කතා කළේ ද තමාගේ සුපුරුදු සිල්ලර ආකල්පයෙනි. ඔහුට ඒවා ගැන හැඟීමක් තබා දැනීමක් වත් අවබෝධයක් වත් තිබුණේ නැත. එහෙත් ඔහුගේ පිටුපසින් විජාතික කඳවුර අවි අමෝරා ගෙන සටනට අවතීර්ණ වී සිටියේ ය. ඔවුන්ගේ න්‍යාය පත්‍රය අදෘශ්‍යමාන ව ක්‍රියාත්මක වෙමින් තිබුණේ ය. අවසාන මෙහොතේ දෙමළ ජාතික සන්ධානය තමන්ට සහයෝගය දෙන්නට තීරණය කළ අවස්ථාවේ දී වත් ඔහු ඒ ගැන යථාවාදී ව දකින්නට සමත් වූයේ නැත. ඔහුට දෙමළ ඡන්ද ටික එකතු කර දෙන මුවාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේත් ඔවුන්ගේ කඳවුරේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටියේ ය. සජිත් ඒ කිසිවක් නොදැන දෙමළ ඡන්ද ඔස්සේ තමාගේ ජනාධිපති සිහිනය සැබෑ වන බව විස්වාස කළා විය හැකි ය. මෙවර ජනාධිපතිවරණයේ දී දෙමළ හා මුස්ලිම් ඡන්ද තීරණාත්මක සාධකය නොවන බව ඔහු නොදැන සිටියාට ඔහුගේ පක්ෂයේ නායකයා වූ අගමැති රනිල් වික්‍රමසිංහ දැන සිටියේ ය. ඒ නිසා ම සජිත් පරදින බව ද රනිල් දැන සිටියේ ය. එහෙත් රනිල්ට එය ප්‍රශ්නයක් නොවූ අතර සිය දේශපාලන ළැදියාව අනුව අවසන් මොහොතේත් කටයුතු කරන්නට ලැබීම ගැන ඔහු තෘප්තිමත් වූ බවට සැකයක් නැත.
ඔවුන්ගේ කඳවුරේ තත්ත්වය එසේ වෙද්දී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ සිය දැක්ම සහ වැඩපිළිවෙළ ගැන ජනතාව හමුවේ විස්තර කරමින් සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ගෙන යමින් සිටියේ ය. ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කැපී පෙනෙන වෘත්තීය මට්ටමේ එකක් විය. පෝස්ටර්, බැනර්, පොලිතීන් ඒ ඡන්ද ව්‍යාපාරයේ නොවී ය. ඉඳහිට ප්‍රාදේශිය මට්ටමේ රැස්වීමක දෙකක එවැනි දෙයක් දක්නට ලැබුණ ද ඒ බව දැන ගත් වහා ම ඒවා නවත්වන්නට ඔහු කටයුතු කළේ ය. ඔහුගේ කතාවල ප්‍රතිවාදී අපේක්ෂකයාට එල්ල කෙරුණු අපහාස උපහාස හෙළාදැකීම් නොවී ය. සිය ස්ථාවරය ඉතා පැහැදිලි ව ජනතාව හමුවේ කියා සිටි ඔහු ක්‍රියාවෙන් එය සනාථ කරමින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ ය.
අභියෝගය
ජනාධිපතිවරණ ප්‍රතිඵලය රට ම කලින් දැන සිටි එකක් විය. ගෝඨාභය රාජපක්ෂ රටේ අති බහුතර ජනතාවගේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පසුගිය සඳුදා දිවුරුම් දුන්නේ ය. එය කිසිවකුටත් වැළැක්විය නොහැකි ව තිබූ අනිවාර්යයක් විය. එහෙත් ඒ ප්‍රතිඵලයත් සමඟ පැහැදිලි ව පෙනෙන බරපතළ අනතුරක සේයාවක් දකින්නට තිබේ. නව ජනාධිපතිවරයා සිය තනතුරෙහි දිවුරුම් දී කළ කතාවේ දී ම ඒ අනතුර ගැන කතා කළේ ය. සමස්තයක් ලෙස ගත් කල රටේ දෙමළ හා මුස්ලිම් ජනතාවගන් බහුතරය ඡන්දය දී ඇත්තේ ඔහුට විරුද්ධ ව ය. ඔහුට විරුද්ධ ව ඡන්දය දීමෙන් අදහස් වන්නේ රටේ බහුතර ජනතා අභිලාෂයන්ට විරුද්ධ ව ඒ ජනතාවගේ මතය ප්‍රකාශ වී ඇති බව ය.
උතුරේ දෙමළ ජනතාව බෙදුම්වාදී දේශපාලන නායකයන් විසින් අවභාවිත කරමින් සිටින්නේ අද ඊයේ සිට නොවේ. එය දිගුකාලීන දුෂ්ට දේශපාලන ව්‍යාපාරයකි. එය රටට ම අහිතකර බව පැහැදිලි කරන්නට ඉතිහාසයෙන් ඕනෑ තරම් උදාහරණ ගත හැකි ය. එහෙත් දැන් අප මුහුණ දී සිටින අභියෝගය එය නොවේ. රට උදෙසා රටේ අනාගතය උදෙසා නව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රටේ සමස්ත ජනතාවගේ දායකත්වය ලබා ගන්නේ කෙසේ ද යන්නයි.
රට වෙනස් කළ හැකි නායකයා
තමාට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ ජනාධිපතිවරයා තමා බව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය මංගල කතාවේ දී ඉතා පැහැදිලි ව ප්‍රකාශ කළේ ය. සැබැවින් ම අපේ රටේ ජාතික සංවර්ධනය උදෙසා ක්‍රියාකාරී දායකත්වය ලබා ගත යුතු දෙමළ සහ මුස්ලිම් ජනතාව දිනා ගැනීම නව ජනාධිපතිවරයා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් වෙයි. ඔහු ඊට කැප වන්නට සූදානම් බව ඔහුගේ කතාවේ දී කී දේවලින් පෙනෙන්නට තිබේ. සැබැවින් ම එය එසේ විය යුතු ය. ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගවලට රටේ බහුතර ජනතාවගේ කොන්දේසි විරහිත සහයෝගය ලැබිය යුතුව තිබේ.
අපි රටක් ලෙස කාලකන්නි බෙදුම්වාදය වෙනුවෙන් බොහෝ වන්දි ගෙවා ඇත්තෙමු. ඊට එක් හේතුවක් වූයේ අපේ රටේ කලින් කල බිහි වූ නායකයන් අනුගමනය කළ ප්රතිපත්තිවල තිබූ දුර්වලතා ය. බලය ලබා ගැනීම සඳහාත් ලබා ගත් බලය ආරක්ෂා කර ගැනීම සඳහාත් කල්ලි කණ්ඩායම්වලට දේශපාලන හා ආර්ථික වශයෙන් කප්පම්, දොළ පිදේනි, වරදාන දෙන්නට පසුගිය කාලයේ හිටපු සෑම නායකයකුට ම පාහේ සිදු විය. එය වෙනස් කළ යුතු ය. නව ජනාධිපතිවයාට ඒ ගැන ඉතා පැහැදිලි දැකමක් තිබෙන බව ඔහුගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ දී ම ප්රත්යක්ෂ කර පෙන්වූයේ ය. කිසිදු බෙදුම්වාදී දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ තමාගේ කඳවුරට වද්දා නොගැනීමට ඔහු පියවර ගත්තේ ය. ඔහුගේ ජය තහවුරු කරන්නට එක් ප්‍රධාන සාධකයක් වූයේ ඔහුගේ ඒ තීරණයයි.
දැන් ඔහු මේ රටේ ජනාධිපතිවරයා ය. ඔහු මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භයේ දීම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කර පෙන්වූයේ ය. ඔහු ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් දා පටන් කටයුතු කරමින් සිටින ආකාරයෙන් ද පෙන්වමින් සිටින්නේ ක්‍රමය වෙනස් කිරීමට තමාගේ ඇති අවංක අභිලාෂය හා සූදානමයි. සැබැවින් ම ඔහු මේ රට වෙනස් කරන නායකයා වනු ඇතැයි ඔහුට ඡන්දය දුන් ජනතාව මෙන් ම නොදුන් ජනතාව ද විශ්්වාස කරන බවට සැකයක් නැත. විසිඑක් වැනි සියවස තුළ ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැඟී සිටින ශ්‍රී ලාංකිකයා නිර්මාණය කිරීම නව ජනාධිපතිවරයාගේ ඒකායන කාර්යභාරයයි.