ප්‍රවීණ මාධ්‍යවේදියකු වන චන්දන විජේකෝන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පොතපත ඇතුළු විවිධ පොත් රචනා කරන ලේඛකයෙකි. පාකිස්තානය යන රට බිහි කිරීමට පුරෝගාමී වූ පාකිස්තානයේ පියා ලෙස විරුදාවලිය ලැබ සිටින අලි ජින්නාගේ අපදානය ඇසුරෙන් රචිත “අලි ජින්නා” ඔහුගේ අලුත්ම කෘතියයි. මේ සංලාපය චන්දන විජේකෝන් සමඟ කරනු ලැබුවේ ඔහුගේ අලුත්ම කෘතිය නිමිති කර ගනිමිනි.
පාකිස්තානයේ නිර්මාතෘ අලි ජින්නාගේ චරිතය ඇසුරෙන් පොතක් රචනා කිරීමට හිතුවේ ඇයි ?
මොහොමඩ් අලි ජින්නා කියන චරිතය ඉන්දියාවේ මහත්මා ගාන්ධි වාගේ පාකිස්තාන ජනතාව අතර ජනාදරයට පාත්‍ර වූ චරිතයක්. ඉන්දියාවේ නිදහස් සටනට මහත්මා ගාන්ධිතුමා කැප වුණ වගේම මුස්ලිම් ජාතිය වෙනුවෙන් කැප වෙලා ඉන්දියාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා ක්‍රියා කළ චරිතයක් තමයි අලි ජින්නා කියන්නේ. ඒ අතරවාරයේදී මට තුන් වරක් පාකිස්තානයට යෑමට අවස්ථාව ලැබුණා. ඒ හැම අවස්ථාවකදීම පාකිස්තානයේ අලි ජින්නාට තියෙන ගෞරවය, ඔහු උදෙසා ඉදි කර ඇති කෞතුකාගාර ස්මාරක මට දැක ගැනීමට පුළුවන් වුණා. ඊට පසුවයි මට අලි ජින්නා ගැන ලිව්වොත් හොඳයි කියලා හිතුණේ. අනික අලි ජින්නා ගැන ඉංග්‍රීසි උර්දු ඇතුළු විවිධ භාෂාවලින් පොතපත රචනා වී තිබුණාට සිංහලෙන් ලියැවිලා නැහැ. ඒ නිසා මම හිතුවා අලි ජින්නා ගැන සිංහලෙන් පොතක් ලිව්වොත් හොඳයි කියලා.
ලොව ප්‍රකට නායකයන් අතර අලි ජින්නාට හිමි ස්ථානය ඔබ දකින්නේ කොයි ආකාරයටද?
ලෝකයේ විවිධ රටවල් ගොඩ නැඟු නායකයෝ ඉන්නවා. මහා භාරතයේ ඉපදී හැදී වැඩුණු අලි ජින්නාට ඉන්දීය නිදහස් අරගලයෙන් පසුව අගමැතිකම ගන්න කිව්වා. ඒත් ඔහු මුස්ලිම්වරුන්ට ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා අගමැති තනතුර ප්‍රතික්ෂේප කරලා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කැප වුණා. ඔහුගේ කැපවීම නිසාම ඉන්දියාවට නිදහස ලැබෙන අවස්ථාව උදා වන විට පාකිස්තානය දිනා ගන්න ඔහුට හැකි වුණා. පාකිස්තානයේ මූලික බීජය තැන්පත් කළේ අලි ජින්නා. ඔහු අවිහිංසාවාදි නායකයෙක් හැටියට තමයි ලෝකයා සලකන්නේ. ශියා, සුන්නි යන ජන වර්ග බෙදීමක් ඔහුට තිබුණේ නැහැ. ඔහු සෑම මුස්ලිම් ජාතිකයකුට ම එක වගේ සැලකුවා. ඒ නිසා පිරිසිදු නායකයෙක් අහිංසාවාදි නායකයකු හැටියටයි ලෝකයා අලි ජින්නාව පිළිගන්නේ. පාකිස්තානයේ පියා යන විරුදාවලියෙන් ඔහුව හඳුන්වන්නෙත් ඒ නිසයි. අලි ජින්නා ඉන්දියාවෙන් කොටසක් පකිස්තානය ලෙස වෙනම තහවුරු කර ගත්තත් ඉන්දියාව කිසිම විටෙක අලි ජින්නා සමඟ තරහ වුණේ නැහැ. මහත්මා ගාන්ධි සහ ශ්‍රී නේරු යන ඉන්දීය නායකයන් පවා ඔහු අගය කළා.
අලි ජින්නා ගැන නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ඔබ මූලාශ්‍රය සපයා ගත්තේ මොන ආකාරයට ද?
මම අලි ජින්නා ගැන පොතක් ලියන්න කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක මා හිතවත් කර්නල් මුහම්මද් රජිල් ඉර්ෂාඩ් ඛාන් මහතා සහ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් මුහම්මද් ඩාවුඩ් එතිෂාම් මහතාට දැනුම් දුන් පසුව ඔවුන් මට අවශ්‍ය ශාස්ත්‍රීය ලේඛන සහ පොත්පත් ලබා දුන්නා. අලි ජින්නා කෞතුකාගාරය පරිශීලනය කරන්න මට අවස්ථාව සලසා දුන්නා. ඒ ආකාරයට රැස් කරගත් තොරතුරු නැවත නැවත කියවා නිවැරදි බව තහවුරු කරගෙන තමයි මම මේ පොත ලිව්වේ. පොත ලියලා අවුරුදු 3ක් විතර මුද්‍රණය නොකර තබාගෙන කීප වතාවක් සංස්කරණය කරලා තමයි මෙය ප්‍රකාශයට පත් කළේ.
මෙම පොතේ අලි ජින්නාගේ දුර්ලභ ඡායාරූප අන්තර්ගත වී තිබෙනවා. ඒවා ඔබ ලබා ගත්තේ කොහොමද?
ඒවා පාකිස්තානයේ අලි ජින්නා කෞතුකාගාරයෙන් ගත්තා. සමහර ඡායාරූප අලි ජින්නා ගැන ප්‍රකාශයට පත් කළ පොත්වලින් අවසර ඇතිව උපුටා ගත්තා.
ශ්‍රේෂ්ඨ නායකයකු වන අලි ජින්නාගේ චරිතය ඔබ පිටු 80කට ලඝු කළේ ඇයි?
මම මේ පොත රචනා කළේ අලි ජින්නා ගැන මූලික අවබෝධයක් ලබා දීමට පමණයි. ඒ නිසා මම මෙය ඉතා සරලව, කෙටියෙන් රචනා කළා. මේ පොත ලොකුවට ලියනවා නම් ඉන්දීය - පාකිස්තාන අර්බුදය ගැන ලියන්න වෙනවා. එවිට එය දේශපාලන ස්වරූපයක් ගන්නවා. ඒ විදිහට දේශපාලනය සම්බන්ධයෙන් ලියන විට ගැඹුරට ලිවිය යුතු වෙනවා. අනික දේශපාලන කතා පාඨකයාට කොයි තරම් ගෝචර වේවිද කියලා කියන්න බැහැනේ. ලෝ ප්‍රකට නායකයකු ගැන ලියන විට පාලනයකින් ලියන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා.
ඔබ මීට පෙර පළ කර තිබෙන පොත් අතර පාකිස්තානය සමඟ බැඳුණු පොත් කීපයක් තිබෙනවා. ඔබ පකිස්තානයට විශේෂයෙන් ඇලුම් කරන්නෙක්ද?
පාකිස්තානයේ ඉස්ලාම් ජනරජයෙන් මට එරට සංචාරය සඳහා ගමන් වාර 3ක් ලබා දුන්නා. මොකද මම ගන්ධාර පිළිම කලාව ගැන ලිපියක් ලිව්වා. ඒ ලිපිය නිසයි මට සංචාරයට ආරාධනා ලැබුණේ. මම පළමුවෙන්ම 2008 දී ගියේ නිල සම්බන්ධතාවක් නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගන්ධාර දේශයේ තිබූ නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් තවමත් පකිස්තානයේ තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය එය සංරක්ෂණය කරනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමටයි මම ප්‍රථම වතාවට පාකිස්තානයට ගියේ. ඉන්දියාව බෙදිලා දැන් පාකිස්තානයට ඒවා අයිති වුණාට බුද්ධ කාලයේ මේ සේරම අයිති වුණේ ඉන්දියාවට. ඒ සංචාරයේදී පාකිස්තානයේ පුරාවිද්‍යා කොමසාරිස් භාතිව මට ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඔහු මට පාකිස්තානයේ පුරාවිද්‍යාව ගැන ලියපු පොතක් දුන්නා. ඒ පොත මම “ලාහෝර් බලකොටුව” නමින් පරිවර්තනය කළා. ඊට පසුව මම දෙවැනි වතාවටත් පාකිස්තානයට ගියේ එම අධ්‍යයන කටයුතුවලට. 2013 දී තුන්වැනි වතාවට ගිහින් ඒ අධ්‍යයනයේ අවසාන කටයුතු කළා. ඊට පසුව මම ඒ චාරිකාව ඇසුරෙන් “අසිරිමත් ගන්ධාර” කියලා පොතක් ලියා පළ කළා. මගේ සංචාරය නිසයි මම පකිස්තානය සමඟ බැඳුණු පොත් රචනා කළේ.
අලි ජින්නා කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හුඟක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. විශේෂයෙන් පාසල් දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ පොත සුසර ප්‍රකාශකයන් ප්‍රකාශයට පත් කළේ සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන. පොත් ප්‍රදර්ශනයේදී පොත හොඳින් අලෙවි වුණ බව මට ප්‍රකාශකයන්ගෙන් දැනගන්න ලැබුණා.
ඔෙබ් ලේඛන කලාවේ ඉදිරි කටයුතු මොනවාද?
මේ දිනවල ජනමාධ්‍ය පදනම් කරගෙන ශාස්ත්‍රීය මට්ටමේ පොතක් ලියාගෙන යනවා. උඩකැන්දවල සරණංකර හිමිගේ ලාංකික වාමාංශික සන්නිවේදනයේ භූමිකාව ගැන පොතක් රචනා කර තිබෙනවා. තව සේද මාවතෙන් ගන්ධාරයට කියලා පොතක් ලියලා මුදුණය කිරීමේ පූර්ව කටයුතු සිදු කරගෙන යනවා. මේ වන විට මම පොත් 7ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.