සුළගේ ඔබට
තුරුලිය හඬ නඟන විට අතුරිකිලි නමා
මහ ගස් පවා මුලිනුපුටා බිමට දමා
යන විට සැඩ ගතිය පාමින් නොවී පමා
අවැඩක් මිසක ඉන් ඇති වන ඵලය කිමා
වැසි බර වළා කුළු ගෙන ගොස් ඉවත හෙළා
සමහර විටක මුළු ගුවනම සසල කළා
ගිඟුරුම් අකුණු හඬවල් සිව් දෙසට හෙළා
කිසිවක් නුදුටු ලෙස ගියෙ ඉදිරියම බලා
කොතැනක ඉදන් එනවද නැහැ දන්නේ
යන තැන ගැන ද කිසිවකු නැහැ විමසන්නේ
හොඳ හෝ නරක දෙක ගැන ඔභ නැත දන්නේ
කීවත් කිසි විටෙක නැහැ එය වැටහෙන්නේ
තිබෙන වාලුකාවේ දිගු පුලින තලා
ඔබගෙ ශක්තිය බලයෙන් කඳු ජනිත කළා
පැමිණිය මොහොතෙ සිට ඔභ මහ සයුර බලා
සයුරේ තිබෙන මහ ජල කඳ සලිත කළා
නිරතුරු වෙනස් වන ගති ඇති ඔභට හිමි
වරකදි සසල වෙමිවරකදි නිසල වෙමි
නිසසලවිටදි කිසිවෙකුටත් නොපෙනි ඉමි
ජීවන හුස්ම පොද ඔභ අප වෙතට දෙමි
එන බව නොදැනමය හිටි හැටියෙම ආවේ
සමහර වෙලාවට සැඩ ගතියකි පෑවේ
යනවුන් ඉදිරියට ආපසු නොම ආවේ
පෙන්වනු පිණිසමය ඇති එඩිතර බාවේ
ගුණදාස හේවාවසම්
----------------
කටු අකුලේ මලක් වගේ....
මං නැතිව වංකගිරියේ
උහුලන ගිනි බෝමා
පැටවුන්ට සිහිල සදලා
පුරහඳ සේ එබෙනා....
කටු අකුලේ මලක් වගේ
හිනාවෙයන් එතනා
මං තනිව විසල් නගරේ
පැක්ටරියේ මුර සේවේ....
හිත නැතිව මෙහේ ඉන්නේ
නයි පොළොං විස ද ඇත්තේ
තුංවේලම කන කඩයේ
‘මෙලෝරහක් ’නම් නැතියේ...
ණය පොත ඉතිරෙන යාමේ
කූඩැල්ලා කැෂියර් වේ
මං නැතිව ගංතුලානේ
උහුලන දුක බෝමා....
සුසුම මගේ දුක නිවනා
මඳ පවනක් වේවා
අහවරවී පිහාටු ටික
ගම රට පියාඹන්න බැරුවා
මාසේ දාදිය මුතු ඇට
එකතු කරල තැපෑලට ම දැම්මා
ජයන්ත ග. ජෝතියරත්න
----------------
සිහල නිජබිම රැකගනිමු
නැණස දල්වා සමබර සිතින් වරක් නොව දෙවරක් සිතා
මතක පිටුවල අඳුරු සෙවණැළි එදා වද දුන් හැටි සිතා
රටක හෙට ගැන බුදු දහම ගැන අවැසි රැකවරණය පතා
ඔබට ඇති වගකීම ඉටු කළ මැනවි නිවැරදි ලෙස සිතා
වැටී ඇති රට අගාධයකට හැම අතින් අඳුරේ ගිලී
මුදා ගන්නට ඔබත් කැප වී ගන්න පෙරමුණ නොපැකිලී
නොවී අවනත මුසා බස් ළඟ පක්‍ෂ දේශපාලනයෙන් මිදී
හුදී ජනසෙත නගාලන්නට ගසමු කතිරය නොව මැලී
එකම රට ලොව සිහල ජාතියෙ නිජබිමයි මේ ලක්බිම
උරුම කරගත් බොදු සිරිත් රැක ගන්න කැප වූ නිතරම
දිනුම පැරදුම නොවෙයි සාමය එකමුතුව විඳ ගන්න පුරුදුම
පිදුම දිවි හිමියෙන් වුවත් කම් නොවේ රැකගමු සිංහල නම
ජයසේන කොඩිතුවක්කු
------------------
නුඹ...
මන්දාරම් අහස තරමට
ඉකිබිඳ හඬන්නට සැරසෙන
ඇස් අඟ
මැවෙන නුඹ රුව
තවත් එක කවියක්
පදරුත් නොසෙවු...
ටිෂානි ශෂි කුමාරි
------------
ප්‍රේමය නම් ලද....
සුසුමකින් දඟ කරන කෙහෙරැළිය
මද අදුර මැද උවද
විදුලි එළි පරදවන
ඒ එළිය
කාන්දම් ඇස් වලය..!
අනවසර සිපගැනීමක උවද
ඉතා ඉමිහිරිකමක් ඇති වග
කියා දුන්නේ නුඹය..
අනෝරා වැහි අතරමැද වුවද
පිපාසිත හදකට
දයාවේ පිනි
පොදින් පොද ගෙන
පැන් පුරා දෙන සඳ
අනාරාධිත උවද
ඒ හැගුම
කොයිතරම් ගැඹුරුද
ප්‍රේමයයි නම් ලද...!!
චන්දිමා ලියන ආරච්චි .
------------
ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10