පසුගියදා ප්‍රවීණ මූර්ති ශිල්පි තිස්ස රණසිංහයෝ වසර 95ක් ආයු වළඳා ලන්ඩනයේදී දැයෙන් සමුගත්හ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
තිස්ස රණසිංහ 1925 මැයි 09 වනදා සඳලංකාවට කිට්ටුව ඇති කෘෂිකාර්මික ගමක් වන යෝගියාතේදී උපත ලැබූහ. පළමුවෙන් ම යෝගියාත සිංහල පාසලෙන් ද, යුද්ධ කාලයේදී මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලෙන් ද පසුව කොළඹ රාජකීය විදුහලෙන්ද ඉගෙනුම ලැබීය. ඔහුගේ පියා වූයේ සොලමන් රණසිංහ රාලහාමිය. මව නාරංගමුවේ සෝමා රණසිංහ ය. මව තිස්ස රණසිංහයන්ගේ හැකියාවන් මුල සිටම තේරුම් ගෙන සිටියාය.
පසුව මුලින්ම පේරාදෙණිය ගොවිකම් අභ්‍යාස විද්‍යාලයෙන් හා මහඉලුප්පල්ලමේ ගොවිපළේ සේවයට ගියේය. එයින් තිස්සට ද රටට ද සේවයක් නොවුණ නිසා තිස්ස කලකිරී ආණ්ඩුවේ රැකියාවෙන් අයින් විය.
පසුව චිත්‍ර කලාවට ඇති ආසාව නිසාම මොහු රජයේ කලායතනයට පැමිණ එහි අධිපති ජේ. ඩී. ඒ. පෙරේරා ශූරීන් හමු විය. පසුව චිත්‍ර ශිල්පීන් ඕනතරම් සිටිනවා ඔබ හොඳ මූර්ති ශිල්පියෙක් වෙන්න ඕනෑ. ජේ. ඩී. ඒ. කීවේය. පසුව මොහු ප්‍රවීණ මූර්ති ශිල්පිණී රතී ධනපාල මහත්මිය වෙත යොමුකරලීය. ඇය මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාල ශූරීන්ගේ බිරියයි.
තිස්ස රණසිංහයනට එතෙර ශිෂ්‍යත්වයක් හමු වුවත් නොයෙකුත් අයගේ කුහකකම් නිසා විවිධ අසාධාරණකම් සිදු වී එය අහෝසි විය. එයින් නොනැවතුණ තිස්ස අධෙර්යවත් නොවී 1954 දී එංගලන්තයට ගියේය.
ඔහුගේ වචනයෙන්ම ප්‍රකාශ කරනවා නම්,
මම මුලින් ම ඉගෙන ගත්තේ චෙල්සියා කලා පාසලේ (CHELSEA SCHOOL OF ART) 954 සිට 1954 සිට 1958 දක්වා කාලය තුළ එහි ඉගෙන ගත්හ. මොහුගේ චෙල්සියාවල ගුරුවරු වූයේ විලි ඩොකොප් (WILLI DOWKOP) හා මහාචාර්ය බර්නාඩ් මෙඩෝව් (BERNARD MEADOWS) යන අයයි. එයින් පසුව 1961 දී රාජකීය කලා පාසලේ (ROYAL COLLEGE OF ART) හි ඉගෙන ගත්තා. 1963 දක්වා ඉගෙන ගත් මොහුගේ මෙහි ගුරුවරු වූයේ ඇන්ජලෝනි (ANGELNI) සහෝදරයන් දෙදෙනා ඔවුන් ඉතාලි ජාතිකයන්.
වරෙක තිස්ස රණසිංහ යුනෙස්කෝව මඟින් ශිෂ්‍යත්වයක් ලැබ ඉතාලිය, ප්‍රංසය, ඕලන්දය, ජර්මනිය යන රටවල කලාගාර බලා දැනුම් සම්භාරයක් ලැබීමට තරම් වාසනාවන්ත විය.
1970 – 1971 වසර වල රජයේ කලායතනයේ විදුහල්පති වී සිටි තිස්ස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් නිසා කලකිරී නැවත ලන්ඩනය බලා ගියේය. කෙසේ හෝ නැවත 1972 වසරේ සිට රාජකීය කලා පාසලේ සහකාර ලෝහ ප්‍රතිමා වාත්තු කරන්නෙක් විදිහට සේවය කර 1991 විශ්‍රාම ගෙන ඇත. අවුරුදු 19ක් ඔහු එහි සේවය කර ඇත. මේ සේවය මොහුගෙන් වෙනම ශිෂ්‍ය ප්‍රජාවට ලැබුණා නම් මොනතරම් අගනේදැයි මට වරෙක සිතේ. මොහු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගේම පිළිරූ සෑදීමට වාසනාවන්ත විය.
මොහුගේ එක් මූර්තියක් ඉඟිනියාගල වැව් බැම්මේ ගලක් මත පිහිටා ඇති මහාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ උඩුකය මූර්තියයි. එයට අමතරව වැලිගම පසුවූ හමුවන මුහන්දිරම් සමරවීර මූර්තියද ඉතා අගනේ ය.
එයට අමතරව, පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ඩී. එස්. සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, සර් ඔලිවර් ගුණතිලක, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් යන අයෙග් ජීව ප්‍රමාණයේ මූර්ති තිස්ස රණසිංහයන් අතින් බිහි වූ උසස් නිර්මාණ වේ.
ඒ පිළිරූවලට අමතරව එච්. ඩබ්ලිව්. රූපසිංහ, රොම්ලස් සිල්වා, ඇතී බොතේජු, ජිනදාස විජේතුංග, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, අයිරාංගනී සේරසිංහ, ටිලිෂියා ගුණවර්ධන යන අයගේ උඩුකය මූර්තිද මොහු අතින් නිර්මාණය වූ ඉතා විශිෂ්ට ගණයේ මූර්ති වේ. ඒ වගේම මුල්ම සරසවි සම්මානය ද, රාජකීය විදුහලේ ලාංකේය නාට්‍ය වංශ කථාව දැක්වෙන මෙගාකොටා මූර්තියද, ගාලුමුවදොර හෝටලයේ ඇති මෙගාකොටා මූර්තිය මේ ශිල්පියාගේ අති විශිෂ්ට නිර්මාණ වේ.
පළමුවරට ශ්‍රී ලාංකිකයෙකුට මූර්ති ශිල්පයට සම්මානයක් හිමිවූයේ තිස්ස රණසිංහට ය. ඒ 1963 බ්‍රසීලයේ පැවති 7 වැනි සෝ පාඕලෝ (SAO PAOLO) නම් ද්වි වාර්ෂික ප්‍රදර්ශනයේදි මොහු ඉදිරිපත් කළ තපස (PENANCE) නම් මූර්තියටයි. මෙම තරගයට රටවල් 56ක ශිල්පීන් ඉදිරිපත් වු අතර අනිත් සම්මාන හිමි රටවල් වූයේ ස්විස්ටර්ලන්තය, චිලිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. ඒ වගේම මොහුගේ දුෂ්කර ක්‍රියාව මූර්තිය සෝමාවතී චෛත්‍යයේ නිකුත් කිරීම මොහු ලැබූ පුණ්‍යවන්ත ගෞරවයකි.
තිස්ස රණසිංහයන්ගේ නිර්මාණ දෙස බලද්දී ඔහුගේ නිර්මාණවලට වස්තුබීජ වනුයේ බෞද්ධ, හින්දු හා මිථ්‍යා සංකල්පයි.
ලංකාවේ ද විදේශ රටවලද ප්‍රදර්ශන රැසක් පවත්වා ඇති තිස්ස රණසිංහයන් පවසන්නේ අපේ රටේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවා ගල් විහාරයේ බුදු පිළිමේ නෙළූ ශිල්පියා වෙයි. අපි සාමාන්‍ය මිනිස්සු මම නිකම්ම නිකම් තිස්ස. ප්‍රසිද්ධියට අකැමැති මේ අපූර්ව චාම් පුද්ගලයා එසේ පවසා ඇත.
මෙවන් උසස් ගණයේ මානව ගුණාංග ඇති තිස්ස රණසිංහ ගුරු ඇදුරුන්ට නිවන් සුව පතමු.