චිත්‍රපට විචාරයට නව අරුතක් දුන් නාලන්දේ ‘රෙජී සර්’ | සිළුමිණ

චිත්‍රපට විචාරයට නව අරුතක් දුන් නාලන්දේ ‘රෙජී සර්’

සතියේ පාසල් යන දිනවල උදේ පහයි විස්සට මීගමුවේ කොච්චිකඩේ දුම්රිය පොළෙන් පිටත් වන කෝච්චිය විත් නතර කළ විට මරදාන දුම්රිය‍ පොළ අසල සිටින්නකුට කෝච්චි අඟුරු කෑල්ලක් හැරෙන්නට වෙනත් කුණු බින්දුවක් නැති ජාතික ඇඳුමින් සැරසුණු මහතකු නිතර කටේ තැළෙන සුරුට්ටුවක් උරමින් පිට වී යනු නොවරැදීම දක්නට ලැබෙයි. අප මේ කතා කරන්නේ මීට වසර 50කට පමණ පෙර දසුනකි.

කළු හම් බෑගයක් අතැතිව ඉක්මන් ගමනින් කොළඹ නාලන්ද විද්‍යාලයට යන ඔහුට හමු වන සිසුහු “ගුඩ් මෝනිං සර්” යි අමතති. ගුරුවරයෙක් නම් “ආයුබෝවන් රෙජී මහත්තයා” යයි කියයි. ඔහු ප්‍රතිඋත්තර දෙමින් දෙනෝ දහක් මිනිසුන් අතර හැප්පි හැප්පී පයින් ම නාලන්දය වෙත පිය නඟන්නේ සිනහ රැඳුණු මුහුණකිනි. මේ ගුරුවරයා ලංකාවේ සිටි හොඳම චිත්‍රපට විචාරකයකු බව දන්නේ කීයෙන් කීදෙනා ද?

50 සිට 70 දශකය දක්වා මේ රටේ චිත්‍රපට කලාව බුද්ධිමත් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් ව චිත්‍රපට විචාරකයන් අතර මුල් තැනක වැජඹුණු, එහෙත් ප්‍රසිද්ධියට අකමැති, නිර්ව්‍යාජ ගැමියකු වූ රෙජී රණසිංහ මහතා ගැන ය. පනහ දශකයේ “සංස්කෘති” සඟරාවෙන් කළ සිනමා විචාර සිනමා රසිකයාගේ හරවත් රසවින්දනයට පදනම දැමූ විචාරකයා ඔහු ය. නිර්මාණාත්මක කෙටිකතා මෙන් ම විශිෂ්ට පරිවර්තන හා පරිවර්තන කෙටි කතා ලියූ ලේඛකයා රෙජී රණසිංහ ය.

1953 වසරේ ආරම්භ කළ “සංස්කෘති” සඟරාවේ කළමනාකාර සංස්කාරක අමරදාස වීරසිංහ ලියූ සටහනකි මේ.

“පටන් ගැන්මෙහි දී ‍මම ඒ කාලයේ සිනමාහල්වල පෙන්වූ චිත්‍රපට කිහිපයක් (එදා රෑ, ප්‍රේම තරගය, සරදියෙල්, අහංකාර ස්ත්‍රී) බැලුවෙමි. එහෙත් ක්‍රමයෙන් ඒවා බැලීමේදී චිත්‍රපටය අවසන් වන තුරු ආසනයේ රැඳී සිටම මට අසීරු කාරියක් විය. “සංස්කෘති” සඟරාවේ භාග්‍යයකට රෙජී රණසිංහ නම් තරුණයෙක් මේ කටයුත්ත බාර ගත්තේ ය. ආධුනික ලේඛකයකු ලෙස පටන් ගත් ඔහු නොබෝ කලකින් ප්‍රවීණයකුගේ තත්ත්වයට එළඹුණේය.”

මේ අනුව එතෙක් “සංස්කෘති” සඟරාවට චිත්‍රපට විචාර ලියූ අමරදාස වීරසිංහ හා ගණනාථ ඔබේසේකරට පසු රෙජී රණසිංහට චිත්‍රපට විචාර ලිවීමට පැවරෙයි. රෙජී රණසිංහ තරුණයා අමරදාස වීරසිංහට හඳුන්වා දෙන ලද්දේ පද්ම හර්ෂ කුරණගේ (විශිෂ්ට පරිවර්තක) විසිනි. එවකට යටියන්තොට ශාන්ත ගේබ්‍රියෙල් විද්‍යාලයේ ආචාර්යවරයකුව සිටි පද්ම හර්ෂ කුරණගේ ඉන් අස් වී බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමා සමඟ එකට ඉංග්‍රීසි පුහුණු ගු‍රුවරයකු ලෙස ඉගෙනුම ලැබූ රෙජී රණසිංහත් සමඟ අමරදාස වීරසිංහ හමු වී ඇත්තේ.

රෙජී රණසිංහ විසින් “සංස්කෘති” සඟරාවට ලියූ චිත්‍රපට විචාරයට හසු වූ චිත්‍රපට අතර දෙයියන්නේ රටේ, ක්වායි ග‍ඟේ පාලම, දෛවයෝගය, සන්දේශය, පාතර් පංචාලි, වෙයි. “වචනය නිසා පිරිහුණු සිංහල චිත්‍රපටය”, “සිංහල චිත්‍රපටයට සින්දු අවශ්‍යද”, චිත්‍රපටයේ කලාත්මක වර්ධනය, “සිංහල චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරුන් වෙතයි”, “සත්‍යජිත් රායි සමඟ සාකච්ඡාවක්” යන “සංස්කෘති” සඟරාවට ලියූ ලිපි මෙන් ම, “සරසවිය” පුවත්පතට සතිපතා ලියූ “නිමවන්නා දකින නිමැවුම” විශේෂාංගයෙන් හඳුන්වා දුන් බර්ග්මාන්, ටෲෆෝ, ලීන්, ඩිසිකා, ඇන්ටෝනියෝනි, රායි, චැප්ලින් යන විශිෂ්ට චිත්‍රපට කලාකරුවන් ගැන ලියූ ලිපි විදග්ධ සිනමා රසිකයා ප්‍රශංසාව හිමි වූහ. 1961 රෙජී රණසිංහ සංස්කරණය කළ “සංස්කෘති චිත්‍රපට‍ අංකය” වඩාත් කැපී පෙනෙන සඟරාවකි.

දොන් රෙජිනෝල්ඩ් රණසිංහ 1931 ජනවාරි 23 වෙනිදා කටානේ ඇත්ගාලේ පිටිසර ගමක උපන්නේ ය. දාගොන්නේ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙකු ලෙස සමත්ව, ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයකු ලෙස සේවයට බැඳී ඇත. සාහිත්‍ය කලාව හා සිනමාව ගැන උනන්දුවක් ඔහු තුළ ඇති වන්නේ ගුරු මණ්ඩලයේ සිටි බෙනඩික්ට් දොඩම්පෙගම හා අජිත් තිලකසේන ඇසුරෙනි. බෙනඩික්ට් දොඩම්පෙගම හා එක්ව රෙජී “රාෂොමෝන් හා වෙනත් කෙටිකතා” නමින් විදේශීය කෙටිකතා පරිවර්තන කෘතියක්ද පළ කළේය. “සංස්කෘති” සඟරාවේ සංස්කාරකවරයා ලෙස ඔහු විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කර ඇත.

ග්‍රෑන්ඩ්පාස් හී සාන්ත ජෝසප් විද්‍යාලයේ රෙජී රණසිංහයන් ගුරුවරයකුව සිටි කාලයේ 1954 දී ඔහුගෙන් ඉගෙනගත් පසුව ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, කලා ආචාර්යවරයකු, පසුතල නිර්මාණ ශිල්පියකු වූ එඩ්විඩ් පීටර්සන් තම අතීත මතකය අවදි කරමින් අපට මෙසේ කීවේය.

“රෙජී සර් අපේ ප්‍රියතම ගුරුවරයා. හතරවැනි පන්තියේ අපි ඉගෙන ගන්නා කාලයේ අපේ පන්ති භාර ගුරුවරයා රෙජී සර්. සාහිත්‍යය, ගණිතය වගෙම චිත්‍රත් අපිට ඉ‍ගැන්නුවා. සර් තරම් ජාතික ඇඳුමට ඒ තරම් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් මම අද වන තුරු දැකල නෑ. ඒ කාලේ සර්ට හොඳට වැඩුණු කොණ්ඩයක් තිබුණා. ඔහුගේ ජාතික ඇඳුම සුදු ම සුදුයි. චිත්‍ර අඳින්නත් සර් දක්ෂයා. සර් ඇඳපු චිත්‍රයක් මට තෑගි කළා. මම ඒ චිත්‍රය තවමත් සුරැකිව තබා ගෙන තියෙනවා. අපි පොත් කියවන්න, සෞන්දර්ය අගය කරන්න ඉගෙන ගත්තේ සර්ට පින් සිද්ධ වෙන්න.”

රෙජී රණසිංහයන් කියා ඇත්තේ (මීට වසර 1962 දී) සිංහල චිත්‍රපට නරඹන්නෝ චිත්‍රපට ලෝලයන් මිස රසිකයෝ නොවන බව ය. අපේ රටේ චිත්‍රපට රසිකයන් නොසිටි හෙයින් එකල මෙහි ප්‍රදර්ශනය වූ ශ්‍රේෂ්ඨ චිත්‍රපට දෙකක් වූ සත්‍යජිත් රායි ගේ “පාතර් පංචාලී” හා ඉන්මාර්ග් බග්මාන්ගේ “වයිල්ඩ් ස්ට්‍රෝබරීස්” අසාර්ථක වෙළඳ භාණ්ඩ වූ බව ය. “පාතර් පංචාලි උසස් චිත්‍රපටයකියි විචාරක‍යෝ හඬගෑවත් ‍එය තිරගත වී ඇත්තේ සතියක් හෝ දෙකක් පමණක් බවය. “සුන්දර බිරිඳ” චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සියවන දවස ඉක්මවා ලීමේ ප්‍රීතිය අරභයා උත්සවයක් පැවැත් වූ බව ය.

රෙජී රණසිංහයන් මීට වසර 50කට එපිට පළ කළ මේ අදහස්වල සදාතනික ස්වභායක් දක්නට ලැබෙයි. රණසිංහයන් නිරතුරුව සිනමා රසිකයා ගැන නිරතුරුව කතා කළේය. “චිත්‍රපටයට රසික රුකුල”, සිනමා ලෝලීන්ගේ සාහිත්‍යය” “සිනමා බලපෑම” වැනි ලිපි මෙයට සාධකය. ඔහු ලියූ එවැනි ලිපියක් අවසන් කර ඇත්තේ මෙසේය.

“මම කුඩා කාලේ හැදුණෙ සීයා ගාව. මේ සීය චෙකොෆ් ගේ සීයා වගෙ මට හරියට වධ දුන්නා. මට ඉගෙන ගන්න බැරිව ගියා. සීයා ධනවතෙක්; එහෙත් ලෝබයෙක්. මම ගෙදරින් පැන ගියා. අපේ පවුලේ හතර දෙනයි. හතර දෙනාම ගුරුවරු. කටාන ඇත්ගාලේ බැසිල් රණසිංහ මගේ එක් සහෝදරයෙක්. පසන් ගී රචනයට දක්ෂ ඔහු සංගීත ගුරුවරයෙක්. මගේ තාත්තා ශේක්ස්පියර්ගේ නාට්‍යවල පාඨ කට පාඩමින් කියලා රඟපාලා අපට පෙන්වනවා. තාත්තාගේ ආභාසය නිසා මම නාට්‍ය ලියන්න පෙලඹුණා. මම බොහොම කුඩා කාලයේ සිට ම පොත් කියවන්න පුරුදු වුණේ.” “කැලෑහඳ” නවකතාවට මම කොච්චර හිත වැටුණ ද කිව්වොත් ඒ වගෙ නවකතාවක් ලිව්වා. ඊට පස්සේ ඒ නවකතාව ගැන ලැජ්ජා හිතිලා විසි කළා. වෙ.වි. අභය ගුණවර්ධන සංස්කරණය කළ “පෙරමුණ” පත්‍රයට මම ලිව්වා. “තාගෝර් ගේ “මනමාලී” කියන කතාවේ අනුවර්තනයක් ලියලා යැව්වා. ඒක පළ වුණා. මගේ ලේඛන කලාවේ උපත එතැන.”

එදා නාලන්දයේ සිංහල ගුරුවරයා වූ රෙජී රණසිංහ ගේ පන්තියට සිසුහු ප්‍රිය කළහ. ඔහු ගුත්තිලය, උම්මග්ග ජාතකය ඉගැන්න‍ුවේ ඒවායේ ඇතැම් කොටස් නාට්‍යයක මෙන් රඟපාමින් ලු. “රෙජී සර්” යන ආදරණීය නාමයෙන් හැඳින්වූ නාලන්දයේ ප්‍රාථමික අංශයේ ප්‍රධානියා වූ ඔහුගේ සිංහල පන්තියෙන් ඉගෙනගත් අය අතර අසංග ගුරුසිංහ, රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, අනුර රණසිංහ, තිලංග සුමතිපාල, ලලිත් කළුපෙරුම, හේමසිරි ප්‍රනාන්දු, ලෙස්ලි නාරංගොඩ, දේවක මහානාම, සනත් කළුපෙරුම ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් ද ප්‍රසන්න ගුණසේන (අදද වෛද්‍යවරයෙකි) ආදිහු වෙති.

මා විසින් රෙජී රණසිංහයන් ගැන ලියූ ලිපියක් “නවයුගය” පුත්පතේ පළ වූ පසු කැනඩාවේ යෝක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට ලියා එවා තිබුණි. නාලන්දයේ දී රණසිංහ සර්ගෙන් ඉගෙන ගත් වෛද්‍ය රුවන් මෙසේ ලියා තිබිණි.

රෙජී රණසිංහ යනු ගුරුවරයකු පමණක් නොව සුප්‍රකට විචාරකයකු බව නාලන්දාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. ඔහු ගේ ගැඹුරු දැනුම පිළිබඳ මට යම් වගකීමක් ලැබුණේ පාසලින් අස් වී බොහෝ කාලයකට පසුව ය. ඒ කාලයේ මා සේවය කළේ උතුරු කොළඹ මහ රෝහලේ ය. වරක් රෝහලට පැමිණි පොත් වෙළෙන්දෙකුගෙන් පොත් කීපයක් මම මිලට ගත්තෙමි. ඉන් එක් පොතක් මගේ සිත් ගත්තේ ය. මේ පොතේ කතුවරයා ගැන සොයා බැලීමේදී මට පෙනී ගියේ කතුවරයා නාලන්දාවේ අපේ රෙජී රණසිංහ සර් බව ය. නමුත් ඒ කාලයේ අපට ඔහුගේ සුවිසල් දැනුම ගැන කිසිදු අවබෝධයක් නොවීය. අද දිනයේ මා සිතන්නේ ඔහුගේ දැනුම, නිර්ව්‍යාජ බව, චාම් බව, හෘදයංගම බව කැටි කළ පෞරුෂත්වයේ පරාවර්තනය බවයි.

ඔහු ප්ලේන් ටී බීමට ප්‍රිය කළේය. විවේක කාලයේ දි රෙජී සර් කැන්ටිමට ගොස් වඩයක් කමින් ප්ලේන් ටී බොන හැටි දැනුදු මැවී පෙනේ. අද රෙජී සර් ජීවතුන් අතර නැත. රෙජී රණසිංහලා නැති ලංකාව අද බුද්ධිමතුන් ගේ කාන්තාරයක් බවට පත්ව ඇත. එකල රෙජී සර්ලා විශ්ව සාහිත්‍යය, විශ්ව සිනමාව ගැන ලියා උසස් රසාස්වාදනයකට හුරු කළ ලාංකීකයන් ගේ පරම්පරාව වෙනුවට අද ඉන්නේ මෙගා ටෙලි හා සුපර් ස්ටාර් සංස්කෘතිය හරහා බිහි වූ බුද්ධිමය වශයෙන් ආබාධිත වූ පරම්පරාවකි. එවැනි පරම්පරාවක් සබුද්ධික කිරීම සඳහා රෙජී රණසිංහ වැන්නවුන් මේ ගර්හිත සමාජයේ යළි පහළ වන්නේ නම් මැනවි.”

තම පන්ති කාමරයේ පුංචි පුස්තකාලයක් පවත්වාගෙන තම සිසුන්ට කියවීම පුරුදු කළ රෙජී සර් ඔවුන්ගේ රස වින්දනය පෝෂණය කළේය. ඒ අතර නිහඬව සිට ඔහු පොදුවේ සිනමා රසිකයාගේ රසඥතාවයේ නිම් වළලු පුළුල් කළේය. වරක් චිත්‍රපට මාධ්‍ය (1966) සඟරාවට රෙජී රණසිංහයන් ලියූ “සිනමාවේ නිදහස” ලිපියෙන් මෙසේ අදහස් දක්වා තිබුණි.

“නව සිනමාවේ නව පරමාර්ථ මොනවා ද? ක්වෝ වාඩිස් චිත්‍රපටය “වයිල්ඩ් ‍ස්ට්‍රෝබෙරීස්” චිත්‍රපටය සමඟ ද “චන්ද්‍රලේඛා” චිත්‍රපටය “ජල්සඝර්” චිත්‍රපටය සමඟ ද සැසදීමෙන් මේ නව පරමාර්ථ දත හැකි ය. මෙය වෙනත් අන්දමකින් දක්වතොත් ක්වෝ වාඩිස් නරඹන්නා විනෝද ජනක සිහින දකින්නෙකි. “වයිල්ඩ් ස්ට්‍රෝබෙරීස් නරඹන්නා සත්‍යය දැකීමට තැත් කරන්නෙකි. වර්තමාන ජීවන සිද්ධිවල පොත්ත විනිවිද ඒවායේ ඇතුළත යථා ස්වරූපය දකින්වත් ඒ ගැන තමන්ම ඍජුව හඟන්නටත් නරඹන්නාට ඉඩ පෑදීම වර්තමාන සිනමා කලාකරුවන්ගේ කාරිය වී තිබේ. වර්තමාන උසස් චිත්‍රපටවල දක්නට ලැබෙන බෙහෙවින් පොදු ලක්ණයක් වෙයි. එනම් ඒවා හැම එකක ම නිරූපණය කර ඇති චරිත “ඇලඩින්ලාගේ” නොව “රොබින්සන් කෲසෝලාගේ” බව ය. “වයිල්ඩ් ස්ට්‍රෝබෙරීස්” හි එන ඊශාක් ද “ජීවන සටනේ අවසාන මොහොතේ” හි එන මිෂෙල් ද “මේ මිහිරි ජීවිතයෙහි” එන මාර්සෙල්ලෝ ද “ඔපු සංසාර්” හි එන ඔපු ද පුදුම සහගත අනුභාවයෙන් හිතෙන දේ කොට අන්තිමේ ජීවිතය සදහටම සැපවත් කර ගත් ඇලඩින්ලා නොවේ. පාළු දූපත්වල තනි වූ රොබින්සන් කෲසෝලා ය. ඔවුහු මරුකතරක තනිවූවකුටත් වඩා හුදකලාභාවයකින් ජනාකීර්ණ සමාජයේ වෙසෙති.”

සිංහල සිනමාවට වසර 22ක් සපිරීම වෙනුවෙන් ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය ප්‍රකාශයට පත් “දෙවිසි වසරක සිංහල චිත්‍රපට” යන ප්‍රකාශනය සකස් කළේ රෙජී රණසිංහ, ලෙස්ලි බොතේජු සහ තිස්ස අබේසේකර විසිනි. 1964 වසරේ ප්‍රථම සරසවි සිනමා උලෙළ වෙනුවෙන් නිකුත් කළ ඩයස් ගුණරත්න සංස්කරණය කළ “සරසවි සිනාම” සඟරාවට “එතෙක් මෙතෙක් රිදී වලා: මඟක් මෙසේ සකස් වෙලා” නම් කෙටි ලිපිය රෙජී රණසිංහ සිංහල සිනමාවේ (1947 - 1964) දහ හත් වසර ගැන ලියූ අගනා විවරණිකාවකි.

උසස් කලාත්මක චිත්‍රපටයක කරුණු තුනක් ගැබ් විය යුතු යයි රෙජී රණසිංහ‍යෝ “සංස්කෘති” සඟරාවකට ලියා තිබිණි.

“චිත්‍රපටය කලාවකි. උසස් කලාත්මක චිත්‍රපටයක කරුණු තුනක් ගැබ් විය යුතුය. (1) විනෝදය (2) ජාත්‍යන්තර භාවය (3) භාවමය හා බුද්ධිමය වින්දනයකින් පැන නගින අධ්‍යාත්මික සන්තුෂ්ටියයි. මේවායින් තොර චිත්‍රපටය උසස් නොවේ යනු මගේ වැටහීමයි. සමහර රටවල නිපදවන ලද උසස් චිත්‍රපට ගෙන පරීක්ෂාවෙන් නැරඹුවොත් ඒවා යට කී කරුණු තුනෙන් පරිපූර්ණ බව පෙනී යයි. හැම කලාවකට ම මූල ධර්මයයක් වූ තෝරා ගැනීම හෙවත් ‍ඖචිත්‍යය චිත්‍රපටයේ බොහෝ සෙයින් ක්‍රියාත්මක වේ. කිසියම් කථා පුවත මුල සිට අග දක්වා චිත්‍රපටයට නොගනියි. ඔහු ඒ කතා පුවත තමාගේ ප්‍රතිභානය නමැති කෝවේ දමා උණු කොට අවශ්‍ය දේ පමණක් ගනියි. අනතුරුව එය දක්ෂ නළු නිළියන් ලවා ක්‍රියාවට නඟා ඒ ක්‍රියාවන් මගින් නරඹන්නා තුළ භාව උපදවා ඔහුට භාවමය (ආධ්‍යාත්මික) තෘප්තියක් ලබා දෙයි.”

රෙජී රණසිංහ අපූර්ව විචාරකයෙකි. ඔහු වරක් චිත්‍රපට විචාරක තිස්ස ප්‍රේමසිරිට පවසා තිබුණේ හොඳ චිත්‍රපටය විචාරකයාට අභියෝග බව ය. විශේෂයෙන් ම හොඳ සිනමා කෘතියක් නරඹනවා කියන්නේ විචාරකයා පැහැදිලිව ම අභියෝගයකට මුහුණ දීමක් බව ය.

‍ෙම් විචාරකයාට පිරිනැමී ඇති එකම සම්මානය පිළිගැන්වී ඇත්තේ 1985 ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික කතෝලික සිනමා පර්ෂදය විසිනි. එදා එහි අධ්‍යක්ෂව සිටි ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා විචාරක කලාව හා සිනමා සාහිත්‍යය ගැන පිරිනැමීමට සුදුස්සන් තෝරා ගැනීම නාම යෝජනා කරන මෙන් මගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ ය. ඒ සඳහා මගේ නිර්දේශිත නාම වූයේ රෙජී රණසිංහ, බෙනඩික්ට් දොඩම්පෙගම හා ආතර් යු. අමරසේන යන නම් තුන ය. එය ඵල දැරීම ගැන මම අද සතුටුවෙම.”

රෙජී රණසිංහයන් අවසන් වරට ලියූ සිනමා ලිපිය පළ වූයේ අපගේ ඉල්ලීම පරිදි 2000 වසරේ අප්‍රේල් 24 වෙනිදා “ලක්බිම” පත්‍රයටය. විශේෂ ඔස්කා සම්මානයකින් පුදලද “අයෝමය සිනමා‍වේදි : ආන්දො වහිඩා නම් පෝලන්ත සිනමාකරුවා ගැනය. නිර්මාණාත්මක කෙටිකතා මෙන්ම විදේශීය කෙටිකතා රැසක් පරිවර්තනය කළ රෙජී රණසිංහයන් අවසාන කාලය ගත කළේ තම ගෙවත්තේ වැඩ කරමිනි. ඔහු ලියූ චිත්‍රපට තිර නාටකයක අඩක් මට කියවීමට භාග්‍ය ලැබිණ. ඉතිරි අඩ නිම කිරීමට පෙර 2004 පෙබරවාරි ජීවිතයෙන් සමු ගත්තේය.

වාද්දුවේ චාලට් ද සිල්වා (රණසිංහ) මහත්මියගේ දයාබර සැමියා වූ රෙජී රණසිංහයන්ට දරුවෝ තිදෙනෙකි. හරේන්ද්‍ර රණසිංහ සිංගර් සමාගමේ විධායක නිලධාරියකුව සිට විශ්‍රාම ගෙන රත්නපු‍රයේ පදිංචිව සිටී. ඊළඟ දියණිය සමන්ද්‍රා රණසිංහ මහරගම අපේක්ෂා රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනියකි. බාල දියණිය චාමලී රණසිංහ ය.

 

ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්

Comments