ඉන්ද්‍රජාලිකයෝ | Page 4 | සිළුමිණ

ඉන්ද්‍රජාලිකයෝ

දේශපාලකයො පාකිස්ථානෙ ඉන්දියාවෙන් වෙන්කෙරුවට පස්සෙ හුඟක් දේවල් ඉන්දියාවට නැති උණා. එහෙම නැතිවෙච්ච එක දෙයක් තමයි මැජික්.

මං පුංචි කාලෙ ඉන්දියාවෙ හැම වීදියක්ම වාගෙ මැජික්කාරයන්ගෙන් පිරිල තිබුණ. ඒ මැජික්කාරයො ඒ මැජික් කොහොම කෙරුවද කියල අද උණත් මට හිතාගන්ඩ බෑ. ඇත්තටම මැජික් කියන්නෙ ඇස් බැන්දුම්. හාස්කම් හෙම නෙමේ. මැජික්කාරයො උණත් කිව්වෙ නෑ තමුං කරන්නෙ හාස්කම් කියල. ඒ මැජික්කාරයො හරිම චාම් මිනිස්සු. දුප්පත්තු. හැබැයි ඒ ගොල්ලො පෙන්නපු මැජික් නං හාස්කම් වගේම තමයි.

ඔන්න එක්තරා මැජික්කාරයෙක් කවුරුත් වටවෙලා බලං ඉන්දැද්දිම බිම වළක් හාරල අඟල් හයක් විතර උස පුංචි අඹ පැළයක් වළ ඇතුළෙ හිටෝනව. ඉන් පස්සෙ ඒක නොපෙනෙන්ඩ වහල අපට නොතේරෙන මොකක්දෝ මන්තරයක් ජප කරනව. ඒකෙං කියන්ඩ හදන්නෙ මන්තරයයි, මැජිකකාරයයි, අඹ පැළෙයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනව කියන එක වෙන්ඩ ඕනැ. මන්තරේ ජප කෙරුවට පස්සෙ ඔන්න මැජික්කාරය අර වැස්ම අයින් කරනව. හරි පුදුමයි! අර පුංචි අඹ පැළේ ඉදිච්චි අඹ ගෙඩි හැදිල! ‘හොඳට ළංවෙලා බලන්ඩ. මේව ඇත්ත අඹද, නැනැත්තං ගැටගහපු අඹද කියල’ මැජික්කාරය කියනව. අපි ළංවෙලා බලනව. ගැටගහපු අඹ නෙමේ. ගහේම ඉදිච්ච අඹ! මැජික්කාරය අඹයක් දෙකක් ගහෙං කඩල කෑලි කපල අපිට දෙනව. ඒව කාපු මිනිස්සු මෙහෙම කියනව ‘අපි මේ වගේ රස අඹ කවදාවත් කාල නෑ!’

තවත් මැජික්කාරයෙක් ලොකු වානෙ බෝල කටිං එළියට ගන්නව. සමහර ඒව කටිං ගන්ඩත් බැරි තරමට ලොකුයි. ඒව කොච්චර බරද කිව්වොත් මැජික්කාරය කටිං බිමට දාද්දි දොහ් ගාල බිම එරිලත් යනව. ඊළඟට මැජික්කාරය ඊටත් වඩා ලොකු වානෙ බෝලයක් එළියට ගන්ඩ පටං ගන්නව. පාපන්දුවක් තරං ලොකු වානෙ බෝලයක් කටිං එළියට දාන මැජික්කාරය ‘ පුළුවන්නං උස්සල බලන්ඩ’ කියල කියනව. මිනිස්සු උස්සන්ඩ හැදුවට බෑ. හරිම බරයි. ඔන්න තව වානෙ බෝලයක් මැජික්කාරයගෙ බඩෙං උගුරට ඇවිත් හිර වෙනව. මැජික්කාරයගෙ උඩු කය නිරුවත්. ඒ හින්ද වානෙ බෝලෙ උගුරෙ හිරවෙලා තියෙන හැටි පේනව. ඒක අල්ලල බලන්ඩ කියල මැජික්කාරය අතිං කියනව. අල්ලනකොට එතන තද බෝලයක් තියෙනව කියල දැනෙනව. උගුරෙ හිරවෙච්ච බෝලෙ කටින් එළියට දාගන්ඩ බැරුව මැජික්කාරය දඟලනව. ඒක එළියට ගන්ඩ කියල මිනිහ මිනිස්සුන්ට අතිං කියනව. මිනිස්සු ඒක ගන්නකොට මැජික්කාරය වේදනාවට අඬනව. පුදුමෙ කියන්නෙ බෝලෙ කටින් ගන්ඩ හදනකොට ඒක තවත් ලොකුවෙන එකයි. කොහොම හරි මිනිස්සු මහන්සිවෙලා බෝලෙ අමාරුවෙං උඩට ගන්නකොටම දොහ් ගාල බිමට වැටෙනව. මැජික්කාරය ඒ වගේ බෝල දුසිමක් විතර එළියට දානව. දුසිමක් තියා එකක් උණත් බඩක තියෙන්නෙ කොහොමද කියල පුදුමත් හිතෙනව.

ඉතිං මේ ඔක්කොම මැජික්කාරයො මහමදිකයො. මැජික් රස්සාව ඒ හැටි වාසිදායක එකකුත් නෙමේ. පාකිස්ථානෙ ඉන්දියාවෙන් වෙන් කෙරුණට පස්සෙ මැජික්කාරයො හැමෝම වගේ පාකිස්ථානෙට ගියා. ඒ මිනිස්සු ඉන්දියාවට ඇවිත් හිටියෙ පක්තූනිස්ථානය, ඇෆ්ගනිස්ථානය වගේ ඈත පැතිවල ඉඳල. පාකිස්ථානෙ බෙදුණට පස්සෙ පාරවල් වැහුණ. ඉස්සර වෙළඳ පොළවල් ළඟ, වීදිවල, ඉස්කෝල ළඟ වගේ සෙනඟ රැස් කර ගන්ඩ පුළුවං තැන්වල හිටපු මැජික්කාරයො දැන් නෑ.

මැජික්කාරයෙක් අපේ ඉස්කෝලෙටත් ආව. ඒකෙ ළමයි දාහක් විතරයි ගුරුවරු පනහක් විතරයි හිටිය. විදුහල්පති විiාවට පශ්චාද් උපාධියක් තිබිච්ච කෙනෙක්. විදුහල්පති මැජික්කාරයව එළෝගත්ත. ඒත් මං ‘ඔයා පොඞ්ඩක් ඔහොම ඉන්ඩකො’ කියල මැජික්කාරය නවත්තගෙන ඉස්කෝලෙ වෙලාවෙං පස්සෙ කැමති අයට මැජික් බලන්ඩ විදුහල්පති කැමති කරව ගත්ත.

මැජික්කාරය හිටියෙ දඟර ගැහිච්ච ලොකු කඹයක් උරඉස්සෙ දාගෙන. ඒක සාමාන්‍ය එකක්. මිනිහ ඒක අතට අරං දිගෑරල උඩට විසි කෙරුව. උඩට විසිවෙච්ච කඹේ ඉහළ කෙරවල අපිට පේන්නෙ නැතුව ගියා.

මැජික්කාරයො තමංගෙ උදව්කාරය හැටියට පොඩි කොලුවෙක් එක්කගෙන එනව. ඉතිං මේ මැජික්කාරයත් තමංගෙ කොලුවට කතා කරල උඩට යන්ඩ ලෑස්තිද කියල ඇහුව. ඔව් ගුරුන්නාන්සෙ කියල කියපු කොලුව කඹේ දිගේ අහසට නගින්ඩ පටන් ගත්ත. එහෙම ගිය කොලුව එක්තරා තැනකදි නැතුව ගියා. ඒ වෙලාවෙ මැජික්කාරය ‘ මං කොලුවව කෑලිවලට කපල බිමට බාන්නං’ කියල අපිට කිව්ව.

‘තමුසෙ මාව කරදරේ දාන්ඩද හදන්නෙ? පොලිසියට එන්ඩ කියන්ඩද කොලුවව කපන හැටි බලන්ඩ!’ විදුහල්පතිට කේන්ති ගියා. ‘මේක මැජික් එකක්නෙ සර්. මං මෙයාගෙ මැජික් දැකල තියෙනව. හැබැයි මේ මැජික් එකනං දැකල නෑ’ මං විදුහල්පතිට කිව්ව.

මැජික්කාරය පිහියක් අහසට විසිකෙරුව. කොලුවගෙ කකුලක් බිමට වැටුණ. කවුරුත් හුස්ම නාල්ල ගල් ගැහිල බලාගෙන ඉඳිද්දි මැජික්කාරය පිහි ගොඩක් අහසට විසිකරන්ඩ පටං ගත්තම කොලුවගෙ ඊළඟ කකුලයි අතකුයි ඊළඟ අතයි බිමට වැටුණ. හැබැයි ලේ ආවෙ නෑ. ඒ විතරක් නෙමේ කොලුව මැජික්කාරය කියන හැම දේම කරන්ඩත් පටං ගත්ත. ඊළඟට කොලුවගෙ කඳත් බිමට වැටුණ. ඔළුව විතරයි ඉතුරු උණේ

විදුහල්පති කේන්තියෙං කෑගහද්දි මැජික්කාරයත් අහසට කෑගැහුව. ‘කොලුවො, දැං උඹේ ඔළුව විතරයි උඩ තියෙන්නෙ. ඒක බිමට දාපං!’ එතකොට ඔළුව රෝල් වෙවී බිමට වැටුණ. ඊට පස්සෙ මැජික්කාරය කෑලි ටික එකතු කරල කොලුවව හැදුව. කොලුව නැගිටල ලට්ට ලොට්ට එකතු කරන්ඩ පටං ගත්ත.

‘කඹේ කෝ? මං ඒක ආපහු අදින්ඩද?’ කොලුව ඇහුව. මැජික්කාරය ‘ ඇදපං’ කිව්ව. කොලුව කඹේ බිමට ඇදල අරගන්න ගමං ඒක අකුළන්ඩ පටං ගත්ත.

මෙන්න මේ ඉන්ද්‍රජාලික සම්පත තමයි ඉන්දියාවට අහිමි උණේ.

ලබන සතියට

Comments