ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයට නව ජනාධිපතිවරයකු පත් කරගැනීමට සුදුසු කාලය දැන් එළඹ තිබේ. අප මේ පසු කරමින් සිටින්නේ ඒ ජනාධිපතිවරණ උණුසුම තදින්ම දැනෙන කාල වකවානුවකි. ඒ අනුව ජනාධිපතිවරුන්ගේ නාමලේඛනයට අලුතින්ම එක් වන්නට සිටින අට වැනි ජනාධිපතිවරයා කවුරුන්ද යන්න දැනගැනීමට සියලු රටවැසියන් සිටින්නේ මහත් උනන්දුවකිනි. ජනාධිපතිවරණ ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව ඉදිරිපත් වන මෙවර ජනාධිපතිවරණය තවත් විශේෂ වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන්, ප්‍රධාන ලාංඡන දෙකෙන් කිසිදු අපේක්ෂකයකු තරග නොකිරීමයි.
මේ සියලු කරුණු පෙරදැරි කරගෙන පැවැත්වීමට සූදානමින් සිටින මෙවර ජනපතිවරණය පසුගිය වසරවල පැවති මැතිවරණ හා සැසඳීමේදී ප්‍රාදේශීය සභා මැතිවරණයකටත් වඩා ඉතා සාමකාමි මුහුණුවරක් ගන්නා බවද පෙනී යයි. සාමාන්‍යයෙන් මැතිවරණයකට ආසන්නම සති දෙක යනු මහත් කලබලකාරි ස්වරූපයක් ගන්නා, ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වන, පාර පුරා හන්දි ගානේ රොක් වෙමින් විවිධ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන, කොටින්ම කිව හොත් නිවෙසේ සිටින පස්-හය දෙනා අතරද වාද-විවාද, තර්ක-විතර්ක පොදිගැහෙන කාලයකි. එහෙත් පසුගිය මැතිවරණ හා සැසඳීමේදී මෙවර ජනපතිවරණය අතිශය සාමකාමීව පැවැත්වෙන බවක් පෙනී යයි. වෙනදා මැතිවරණවල පැවති කලබලකාරි බව, ප්‍රචණ්ඩකාරි බව, තර්ජන-ගර්ජන, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැනි දෑ මෙවර ඇත්තේම නැති තරම්ය.
තර්ජන-ගර්ජන නෑ
1982 ජනාධිපතිවරණයේ පටන් මැතිවරණ ගණනාවකට මුහුණ දුන් අප හැමදා ප්‍රාර්ථනා කළේ පිටරටවල මෙන් ඉතා සාමකාමිව, ඉතා සුහදශීලිව, මැතිවරණයක් තිබෙනවාද නැද්ද යන්න පවා නොදැනෙන තරමේ විනීතකමකින් අපේක්ෂකයන් තෝරාගන්නා කාලයක් එළැඹේවා කියාය. සියයට සියයක් ඒ තත්ත්වය නොතිබුණත්, මෙවර නම් එවන් සාමකාමි ජනාධිපතිවරණයකට මුහුණ දීමට තරම් ශ්‍රී ලංකාවාසි අපි සැම වාසනාවන්ත වී සිටිමු. පාරවල් ගානේ බැනර්, පෝස්ටර්, කටවුට්, හන්දි ගානේ පොලිතීන් කොඩි වැල් සැරසිලි දැන් ඇත්තේම නැති තරම්ය. තැන තැන පවත්වන පොකට් රැස්වීම් සහ “අර මැතිවරණ කාර්යාලයට පහර දී ඇත, මේ වැතිවරණ කාර්යාලයට පහර දී ඇත, අර අපේක්ෂකයාගේ පෝස්ටර් ගිනිබත් කර ඇත...” යනුවෙන් ප්‍රවෘත්ති වාර්තා වන්නේම නැති තරම්ය.
ගෝත්‍රිකයන් රැසක් මෙන් මෑතක් වන තුරුම ඡන්දයක් එන තුරු යකා නටන්නට බලා සිටි ලංකාවාසීන් එක්වරම මෙතරම් සාමකාමි වූයේ කෙසේද? ඔවුන් හිතා-මතාම තමන් තුළම හික්මීමක් ඇති කරගත්තාද? එසේත් නැති නම් අදාළ අපේක්ෂකයන් විසින් පාලනය කරනු ලැබුවාද? ආදි ප්‍රශ්න මේ දෙස උපේක්ෂාවෙන් බලා සිටින කාට වුවත් මතු වන්නට පිළිවන.
මැතිවරණ කොමිසමේ කෙළින් වැඩ
මෙවන් සාමකාමි මැතිවරණ සමයක් ලංකාවට දායාද කරන්නට බලපෑ එකම කාරණාව වන්නේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමයි. එහිදී මැතිවරණ කොමිෂන් සභාවත්, එහි සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීනුත් සිය රාජකාරිය තිතටම ඉටු කරමින් දැඩි ප්රතිපත්තියක සිටින නිසා අප හැමදාම ප්‍රාර්ථනා කළ ආකාරයේ ජනාධිපතිවරණයක අත්දැකීම් විඳගැනීමට මෙවර අපට හැකිව තිබේ. මේ සඳහා මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග රැසක් බලපා තිබෙන බව පැහැදිලි වේ.
මෙවර ජනාධිපතිවරණයේදී පොලිතීන් තහනම් කර තිබීම ඒ අතුරින් ඉතා ප්‍රගතශීලි පියවරකි. පෙර මැතිවරණවලදී ලංකාව පුරා මැතිවරණ කාර්යාල 12,000ක් පමණ ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබුණු අතර, ඒ සියල්ල පොලිතීන් සැරසිලි, කටවුට්, බැනර්, පෝස්ටර්වලින් වෙළාගත් විකාරරූපි ස්වරූපයකින් යුතු විය. එහෙත් මෙවර මැතිවරණ කාර්යාලවල එවැනි සැරසිලි තහනම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ මැතිවරණ කාර්යාලයක ප්‍රදර්ශනය කළ හැක්කේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කරන, වර්ග අඩි 20ක පුවරුවක් පමණක් බවයි. එය නම, සලකුණ, ඡායාරූපය සහිතව වර්ග අඩි 30ක ප්‍රමාණයට ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබේ. එමෙන්ම සෑම තැනකම කොඩි කණු සිටුවීමද මෙවර තහනම් කර ඇත. අවසර ලැබී ඇත්තේ එක් කාර්යාලයකට වර්ග අඩි 15ක කොඩි කණු 3ක් පමණක් සිටුවීමටය. මේ නීතියත් සමඟ සිගරට් කොටයක් වීසි කළත් දැවී හළු වී යන පොලිතීන් කාර්යාල නොවීමෙන් කාර්යාල ගිනි තැබීම්ද මෙවර වාර්තා වූයේ නැත. පෝස්ටර් තහනම තදින්ම ක්‍රියාත්මක කිරීම මෙවර ජනාධිපතිවරණයේ දක්නට ලැබෙන තවත් ප්රගතිශීලි තත්ත්වයකි. එබැවින් අත් වනමින්, දත් විරිත්තමින් දස අතම ලයිට් කණු, ගස් ගල් මත්තේ බැබළෙන අපේක්ෂක විප්‍රකාර මෙවර ඇත්තේම නැති තරම්ය.
පොලිතීන් නෑ - කටවුට් නෑ
තවත් නීතියක් වන්නේ ඡන්ද පත්‍රිකා බෙදීමට හෝ ගෙන් ගෙට ගොස් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී වාහන තිහ-හතළිහ යොදාගනිමින්, වාහනවල ඡායාරූප අලවාගෙන, බෑන්ඩ්-ට්‍රම්පට් වාදනය කරමින්, රතිඤ්ඤා දල්වමින් දැවැන්ත පෙළපාළි යෑම තහනම් කර තිබීමයි. එලෙස ගෙන් ගෙට යෑමට උපරිමව 11 දෙනකු පමණක් යොදාගැනීමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ. ඊට වැඩියෙන් එක් අයකු පැමිණියත් එය සලකන්නේ පෙළපාළියක් ලෙසිනි. එහිදී මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා ගොනු කර, නීතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී තිබේ.
ඡන්ද රැස්වීමක් පැවැත්වීමේදී නිශ්චිත භූමියෙන් පිටත ශබ්ද විකාශ යන්ත්‍ර යෙදීමටත් සැරසිලි කිරීමටත් මෙවර හැකියාව ලැබෙන්නේ නැත. පෙර මැතිවරණවලදී නම් කිලෝමීටරයක් පමණ දුරට ඒක් රැස්වීමක ගෝරනාඩුව පැතිරෙන අතර එහිදී ශබ්ද දූෂණ, පරිසර දූෂණ උපරිමව සිදු වූ බවද අපට සිහිපත් කළ හැකිය.
තවත් වැදගත් කරුණක් වන්නේ මෙවර ආගමික මධ්‍යස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල් මුල් කොටගනිමින් මැතිවරණ ව්‍යාපාර දියත් කිරීම තහනම් කර තිබීමයි. පෙර මැතිවරණවලදී ආගමික ස්ථානවල ඡන්ද ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම හේතුවෙන් බොහෝ ගැටලු මතු වූ ආකාරය අපට දැකගත හැකි විය. මේ නිසාම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම කියා සිටියේ මේ සියලු දේ තහනම් කරන බවත්, ඒවා උල්ලංඝනය කළ හොත් තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත්ය.
පාතාලෙන් ‘සපෝට්’ බෑ!
මේ සකලවිධ කරුණු සමඟින් මෙවර මැතිවරණයේ දරුණු ගති පහව ගොස් ඇති බවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට බොහෝ කාලයකට පෙර සිටම මැතිවරණ කොමිෂන් සභාව මෙවර ජනාධිපතිවරණය සාමකාමිව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියේය. එහිදී අවුරුදු ගණනාවක් මැතිවරණ කොමසාරිස් ලෙසත්, තවත් අවුරුදු කිහිපයක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙසත් ක්ෂේත්‍රයේ තෙම්පරාදු වී සිටින මහින්ද දේශප්‍රිය මහතා නොබියව සිය නීති ප්‍රකාශ එළිදක්වමින් ජනාධිපතිවරණය උපරිම සාධාරණව, ප්‍රචණ්ඩත්වයෙන් තොරව පැවැත්වීමට උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්න තිබේ. එපමණක් නොව, මෙවර තරග වදින අපේක්ෂකයන් සියලු දෙනාද මැතිවරණ කොමිසම නිර්දේශ කළ සියලු දේට ඇහුම්කන් දෙමින්, ඒවා පිළිපදිමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට එකඟ වීමද අප කාලයක් අපේක්ෂා කළ මෙවන් සාමකාමී මැතිවරණ කාලසීමාවක් එළැඹීමට උපකාරි වූ බව කිව යුතුමය.
එමෙන්ම පෙර පැවති සෑම මැතිවරණයකදීම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ පාතාලයට සම්බන්ධ වූවන් මැතිවරණවලට සහාය දීමට එක් එක් අපේක්ෂකයන් විසින් සම්බන්ධ කරගනු ලැබීම නිසාය. සෑම මැතිවරණයකදීම එක් මනුෂ්‍ය ඝාතනයක් හෝ කැපීම්-කෙටීම්, ගිනි තැබීම්, පහරදීම්, පැහැර ගැනීම් හෝ මොන යම් ආකාරයක හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ මැතිවරණ ඉතිහාසයකට උරුමකම් කියූ අප අද සිටින්නේ ඉතා සාමකාමි මැතිවරණ ව්‍යාපාරයන් දියත්වන සමයක වීම සතුටට කරුණකි. එසේ හැසිරුණු ගෝත්‍රිකයන් මහත්වරුන් කරන්නට මැතිවරණ කොමිසම හා ආරක්ෂක අංශද සිය දායකත්වය උපරිමයෙන් සැපයුවේය. මහින්ද දේශප්‍රිය මහතා 2015 ජනාධිපතිවරණයේදී පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට දණින් පහළට වෙඩි තැබීමට වුවද පසුබට නොවන්නැයි කියාය. එහිදී නීති උල්ලංඝනය වන අවස්ථා සොයා බලන්නට පොලීසිය පසුබට වුව හොත් පොලිස් ලොක්කන් වගකීම් බාර ගත යුතු බවට දේශප්‍රිය මහතා කළ ප්‍රකාශයත් සමඟ පොලීසියද මෙසේ තිතට තම රාජකාරිය ඉටු කිරීමට ඉදිරිපත්ව සිටියි.
මෙවර ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙ-තුන් දෙනාම පාතාලය හා මත්ද්‍රව්‍ය විවේචනය කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කර තිබීමද මෙහි තවත් සුබවාදි පැතිකඩක් නිරූපණය කරයි. මක් නිසාද යත්: පෙර කියූ පරිදිම කැපීම්-කෙටීම්, මිනීමැරුම් සියල්ලක්ම පාතාල ක්‍රියා හේතුවෙන් සිදු වීමත් ඒවාට අපේක්ෂකයන්ගේ සහාය ලැබීමත් නිසා පෙර මැතිවරණවලදී අවසන් කාලයේ ප්රචණ්ඩත්වය උග්‍ර අතට පත්ව තිබුණු බැවිනි.
නීතිය අතට අරන් නෑ
කෙසේ වෙතත් එදා හිතුමතේට බොහෝ දෙනා නීතිය අතට ගනිද්දී අද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වනවා හැරුණු කොට නීතිය අතට ගැනීමට කිසිවකු පෙලඹෙන්නේ නැති තරම් මැතිවරණය සාමකාමිය. විශේෂත්වය වන්නේ බොහෝ දෙනා වෙනදාට වඩා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි කිරීමට උනන්දුවක් දැක්වීමයි. ඒ අනුව බ්‍රහස්පතින්දා වන විට මැතිවරණ කොමිසමට පැමිණිලි 2,138ක්, පැෆ්රල් වෙත 301ක්, කැෆේ වෙත 532ක් ආදි වශයෙන් පැමිණිලි ලැබී තිබිණි. එහෙත් ඒවා දරුණු ගණයේ නීති උල්ලංඝනය වීම් පිළිබඳ පැමිණිලි නොවන බව දැනගන්නට තිබේ. බොහෝ ඒවා රාජ්‍ය ආයතනවල සිදු වන නීති උල්ලංඝනය වීම්ය.
මේ ආකාරයට සියලු අංශ පාලනය කරමින් මැතිවරණ කොමිසම කටයුතු කළද ඔවුන්ටද පාලනය කරගත නොහැකි වූයේ පෞද්ගලික මාධ්‍ය හැසිරීම පමණකි. දේශප්‍රිය මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ තනි හිමිකරුවන් වන පුවත්පත් හිමියන් සිය ධනය යොදා මුද්‍රණය කරන පුවත්පතකින් එවැනි ප්‍රචාර සිදු කළද මහජනයාගේ සංඛ්‍යාත භාවිත කරමින් ඉලෙක්ට්‍රොනික මධ්‍ය සිය මතය ප්‍රචාරය කරන මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටීම විශාල වරදක් බවයි. කැෆේ සංවිධානයද කියා සිටියේ ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5), (අ), (ආ), (ඇ), (ඊ) අනුව්‍යවස්ථාව යටතේ හඳුන්වා දී ඇති මේ මාධ්‍ය උපමාන උල්ලංඝනය සධාරණ මැතිවරණයකට බාධාවක් බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ ඇතැම් විද්යුත් මාධ්‍ය අසත්‍ය පුවත් වාර්තාකරණයට පවා පෙලඹී සිටින බවයි. එදා මැතිවරණ සමයේ ‘අලියා සිසිල් බීම’ දැන්වීම් පවා තහනම් කළ තත්ත්වයක් මත අද මෙලෙස මාධ්‍ය හැසිරීම කනගාටුවට කරුණකි.
ඉතින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති උපමාන 32 අනුව යමින් මාධ්‍ය ආයතන සිය දේශපාලන වැඩසටහන්, ප්‍රවෘත්ති විකාශ පවත්වනවා නම් නිවැරදි, සමතුලිත, අපක්ෂපාති තොරතුරු මහජනතාවට ලබා දෙමින් කළු ලකුණක් නැතිව මැතිවරණය අවසන් වන තෙක් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මේ සියලු කරුණු අකුරටම ඉටු කිරීමට මේ දෙසතියේදී වත් කටයුතු කරන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර තබන ලද පුරෝගාමි පියවර ඉදිරි මැතිවරණවලදී මීටත් වඩා හොඳින් අත්දකිමින් විශිෂ්ට මැතිවරණ ව්‍යාපාරයක් සතු රටක් බවට පත් වීමට අපට හැකියාව ලැබෙනු නිරනුමානය.