
1995 ඔක්තෝම්බර් 20 වැනිදා දිනමිණේ රාත්‍රී සේවය නිම වී රාත්‍රී 12.45 ට පමණ මා නිවසට පැමිණියා පමණි. එකවරම ඩාං... ඩෝං... ඩීන්... යන විශාල බෝම්බ හඬ නංවමින් මුළු කොළඹ දිස්ත්‍රික්කයේ ම නිදා සිටි මිනිසුන් අවදිකර භීතියට පත්කරමින් අලුයම 4.30 පමණ වනතුරු ඇසුණේ මහා බෝම්බ හඬකි. එවකට රූපවාහිනී නාලිකාවල Breaking News නැත. ජංගම දුරකථන ද ඇත්තේ ඉතාමත් අතළොස්සකි. අලුයම 1.00 ට පමණ බෝම්බ හඬත් සමඟම මා නිවසින් එළියට විත් අහස දෙස බලන විට එය රතු පැහැයෙන් ගිනියම් වී තිබිණි. ඒ සමඟම කොටිකාවත්තේ සිටි අපට දැඩි භූමිතෙල් ගඳක් ද දැනෙන්නට විය.
ආරක්ෂක සහ පොලිස් ප්‍රවෘත්ති ආවරණය කළ මා අනුමාන කළේ කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල කරනවා ඇත කියා ය. අනුමානය හරියට හරි ය. රාත්‍රී ලේක්හවුසියේ විදේශ ප්‍රවෘත්ති අංශයට ඇමතුමක් දී රොයිටර් සහ ඒ.එෆ්.පී. ප්‍රවෘත්ති වාර්තාවලින් එය සනාථ කර ගත්තෙමි. මම කොලොන්නාව තෙල්ටැංකි සංකීර්ණය අසලින් පැමිණියේ රාත්‍රි 12.30 ට පමණ ය. ප්‍රහාරය ආරම්භ වී තිබෙන්නේ රාත්‍රි 12.45 ට පමණය. මරාගෙන මැරෙන කළු කොටි ආර්.පී.ජී. සහ මෝටාර් ප්‍රහාර එල්ල කරමින් තිබිණි.
බෝම්බ භීතියෙන් කොළඹ ජනතාව නිවෙස්වලට එක්වෙද්දී නොබියව, එඩිතරව මඟ සිටි ආරක්ෂක අංශ රැකවලුන් සමඟ ගැටෙමින් නිර්භීත කාන්තාවක් කොලොන්නාවට පැමිණියේ මාළිගාවත්ත නිවාස සංකීර්ණය දෙසිනි. ඇය නමින් කමනි අල්විස් ය. එවකට දිනමිණ පුවත්පතේ ආරක්ෂක සහ පොලිස් වාර්තාකරණයේ යෙදුණු කමනි පැමිණියේ සිය දයාබර සැමියා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් දයා අල්විස් මහතාත්, එවකට ලේක්හවුසියේ සිටි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පි බර්ටි මෙන්ඩිස් මහතාත් සමඟිනි.
කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයේ ගේට්ටුව අසලට ම පැමිණි කමනි ඇතුළු පිරිස කොටින්ගේත් ආරක්ෂක හමුදාවේත් වෙඩි වරුසාවට මැදි විය. මේ අය අතර තවත් දේශීය සහ විදේශීය මාධ්‍යවේදීහු අතළොස්සක් ද වූහ. පණ බේරාගැනීම සඳහා මාර්ගය අයිනේ වූ කොන්ක්‍රීට් කණු සහ බෝක්කු යට රිංගමින් පැය තුනක් පමණ කමනි ඇතුළු පිරිස එතැන සිදු වූ දෙය සියසින් දැක ගනිමින් දිනමිණ පුවත්පතේ සිය පාඨකයන් වෙනුවෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැළෙන්නට සමත් වූවා ය.
කමනි එතැනට ගියේ එවකට දිනමිණ ප්‍රවෘත්ති කර්තෘවරයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා ඇතුළු කර්තෘවරුන්ගේ ක්ෂණික දැනුම්දීම මත ය. ඒ ප්‍රහාරයෙන් ප්‍රදේශවාසීන් 22 ක් සහ ත්රස්තවාදීන් සිව්දෙනෙක් මිය ගියහ.
තමනට පැවරෙන ඕනෑම රාජකාරියක් ඕනෑම මකර කටකට ගොස් කෙසේ හෝ දිනමිණ පුවත්පත වෙනුවෙන් වාර්තාකරණයේ යෙදීමට කමනීට තිබුණේ පුදුම හැකියාවකි. කමනීට රාජකාරිය දේවකාරියකටත් වඩා ලොකු විය.
එවකට යුද සමයේ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතා උතුරු නැගෙනහිර සටන් බිමට ගිය බොහෝ චාරිකාවලට කමනී ද එක්වී වාර්තාකරණයේ යෙදුණා ය. රාජකාරියේදී කමනී අල්විස් කිසිවිටෙකත් තම පෞද්ගලික ආරක්ෂාව හෝ ජීවිතය ගැන සිතුවේ නැත. වෙලාවකට ආහාර ගත්තේ ද නැත. බොහෝ අවස්ථාවවල ඇයගේ දහවල් ආහාරය වූයේ විස්කෝතු ය. ඇය ගිය මාධ්‍ය ආවරණයේ කතාව වටිනාකම අනුව කතා තුන හතරකට කඩා ලිවීමට ඇය කටයුතු කළ අතර කතා ටික ලියා අවසන් වන විට බොහෝ විට ලේක්හවුස් කැන්ටිම වසා තිබිණි. එවිට ඇය කුමක් හෝ සුළු ආහාරයකින් සෑහීමකට පත්වූවාය. ඒත් කමනීගේ කතාව බොහෝ දුරට පුවත්පතේ ප්‍රධාන පුවත හෝ උප ප්‍රධාන පුවතක් විය. ඇයට එය මහත් සතුටකි.
1990 දශකයේ මුල් බාගයේ කමනී අල්විස් නමැති ප්‍රවීණ දක්ෂ මාධ්‍යවේදිනිය ලේක්හවුසියට පැමිණියත් කමනීගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වී ඇත්තේ ටයිම්ස් ආයතනයෙන් පළකළ පැරැණි ලංකාදීප පුවත්පතිනි. ලංකාදීපයේදී කමනි සේනානායක නමැති තරුණ රූමත් මාධ්‍යවේදිනියට සුනිල් දයා අල්විස් නමැති මාධ්‍යවේදියා හමු වී ඇත. දෙදෙනා අතර ප්‍රේමණීය විවාහයක් සිදුවිය. ඒ විවාහයෙන් ගීතක රවිඳු අල්විස් නමැති පුතකු සහ සුචිනි අල්විස් නමැති දියණියකගේ මාපියන් වූ කමනී - සුනිල් යුවළ ම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණහ.
වර්ෂ 1991 දී පමණ ලේක්හවුසියේ ජනතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් වූ කමනි එහිදී විශේෂයෙන් කොළඹ මහනගර සභාවේ ප්‍රවෘත්ති සහ පොලිස් ප්‍රවෘත්ති ආවරණය කළා ය. ඉන්පසු කමනීගේ හැකියාව සැලකිල්ලට ගෙන එවකට දිනමිණ ප්‍රධානීන්ගෙන් දිනමිණට එන ලෙස කමනීට ආරාධනාවක් ලැබිණි.
ඒ අනුව ඇය දිනමිණ වෙනුවෙන් දශක දෙකකට අධික කාලයක් සේවය කළ අතර පසුව ඇය වෙනත් කුඩා පුවත්පත්වලට දඬුවම් මාරුවීම් ලැබ විශ්‍රාම ගියාය. පසුව කමනි අල්විස් නැවතත් 2015 වසරේ සිට මිය යන මොහොත දක්වා ම දිනමිණ වෙනුවෙන් ඉතාමත් අනභිභවනීය විශිෂ්ට සේවාවක නිරත වූවා ය. කමනීගේ කැපවීම, වගකීම සහ සත්‍ය සෙවීමට ඇති උවමනාව නවක මාධ්‍යවේදීන්ටත්, මාධ්යවේදිනියන්ටත් මහඟු ආදර්ශයකි. කමනී අල්විස් කිසිවිටෙකත් කරුණු පටිගත කිරීමක් කළේ නැත. කරුණු පොතේ සහ හිතේ සටහන් කරගැනීම සිදුකර කර්තෘ මණ්ඩලයට පැමිණ හැකි ඉක්මනින් කතාව ලියාදීමට උත්සුක වූවා ය. මාධ්‍ය ආවරණ සඳහා යන අවස්ථාවලදී කලට වේලාවට අවශ්‍ය ස්ථානයට කඩිනමින් යෑමට ඇයට අවශ්‍ය වූ අතර ඇතැම්විට ඇයත් සමඟ යන ගමන්වලට පමාවී පැමිණෙන නවක මාධ්‍යවේදීන් සහ මාධ්යවේදිනියෝත්, වෙනත් පුවත්පත්වල අයත් ඇයගෙන් බැනුම් ඇසූ අවස්ථාද ඇත. එසේ කරනුයේ රාජකාරියේ වගකීම ඇයට මහමෙරකටත් වඩා වටිනා බැවිනි. කමනී කිසිවිටෙකවත් ඕනෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට හෝ දේශපාලනඥයකුට “සර්” කිව්වෙ නැත. තනතුරෙන් ආමන්ත්‍රණය කිරීමට වගබලා ගත්තා ය.
සිකුරාදා දිනවල සවස්වරුවේදී සිදු කළ බොහෝ මාධ්‍ය ආවරණවල කතා පසුදින පුවත්පතට ගැනීමට නොහැකි බැවින් කමනී තම වගකීම අකුරට ම ඉටුකරමින් ඒ කතා සියල්ල ම සඳුදා පත්‍රයට ගැනීමට හැකිවන පරිද්දෙන් ඉරිදා උදේ වරුවේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සේවය කරන මා හට ලැබීමට සලස්වයි. කමනී ම මුදල් වියදම් කර ත්‍රිරෝද රථයකින් මාගේ නිවසට පැමිණ කතා ලබාදෙන අතර සමහර දිනවලදී රියැදුරන් අත ඒ කතා එවීම සිදුකරයි. මෙය මට ද පුදුමයකි. කමනීට ඇති උනන්දුව වෙනත් කිසිම මාධ්‍යවේදියකුට හෝ මාධ්‍යවේදිනියකට නැති තරම් ය. කලට වේලාවට ප්‍රවෘත්තිය පළ කරවා ගැනීම ඇයගේ එකම අපේක්ෂාවයි.
කමනී ඉතා ප්‍රතිපත්තිගරුකව ස්වකීය දේශපාලන පක්ෂයේ කටයුතුවලට දිවිහිමියෙන්ම කැපවී කටයුතු කළ අතර ඇයගේ ප්‍රියතම පාට වූයේ ද ඒ දේශපාලන පක්ෂයේ පාටයි. ඇය එම පක්ෂයේ පාටින් යුත් ඔසරියකින් සැරසී සේවයට පැමිණියා ය.
කමනී අල්විස් තම දරු දෙදෙනාටත්, ස්වකීය සැමියා වූ අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් දයා අල්විස් මහතාටත් දැඩිසේ ආදරය කළ අතර ඔවුන් වෙනුවෙන්ද සිය යුතුකම අකුරටම ඉටුකළා ය. විශේෂයෙන් අසනීපයෙන් පසුවන සුනිල් අයියාව ඉතාමත් ආදරයෙන් ඇය රැකබලා ගත්තාය.
දිනමිණ කර්තෘ මණ්ඩලයේ වැඩිහිටියකුගේ භූමිකාව අපූරුවට ප්‍රදර්ශනය කළ කමනී සියලු දෙනාගේ මඟුල්, ඉලව් මරණ ආදියටද සහභාගි වූයේ ඉතාමත් කැමැත්තෙනි.
බුදු වදනට අනුවත්, අනෙකුත් ආගම්වලට අනුවත් මරණය නියතයි. ජීවිතය අනියතයි යන්න අප දැනගෙන සිටියත් අප අතර සිටින අපට ළෙන්ගතු, රටට ළෙන්ගතු අයකුගේ හදිසි වියෝවත් පාඩුවත් අපට දරාගත නොහැකිය. කමනී අල්විස් නමැති සේවයට ම කැපවූ ක්‍රියාශීලී , නිර්භීත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ වියෝව දිනමිණ කර්තෘ මණ්ඩලයට මෙන්ම මෙරට සමස්ත පත්තර කලාවටම ඇති වූ දැවැන්ත හිඩැසකි; පාඩුවකි. කමනී අල්විස් සොහොයුරිය ඔබට නිවන්සුව!