මවුකිරි බොන අවදියේ සිටම අවධානයෙන් පසු වීම ඔටිසම් හඳුනා ගැනීමේ මඟයි | සිළුමිණ

මවුකිරි බොන අවදියේ සිටම අවධානයෙන් පසු වීම ඔටිසම් හඳුනා ගැනීමේ මඟයි

ඔටිසම් දරුවන්ගෙන් 31%කට බුද්ධි ඌනතා

මුල් අවදියේම රෝගය හඳුනාගැනීමෙන් සංකුලතා අවම කරයි

දරුවන් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාව 93:1ක්

වෛද්‍ය මනුරි චන්ද්‍රරත්න

ප්‍රජා ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී

රාගම ශික්ෂණ රෝහල

“ඔටිසම් යනු සංවර්ධන ඌනතා තත්ත්වයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. මෙලොව එළිය දුටු දා පටන් දරුවෙකුගෙන් දක්නට ලැබෙන උස් මහත්වීම්, බර වැඩිවීම ඇතුළු

ස්වාභාවික ශාරීරික වැඩීම “වර්ධනය” ලෙසින් හඳුන්වන අතර කුසලතා හෙවත් එක් එක් වයසට අනුරූප හැකියාවන් අත්පත් කර ගැනීම සංවර්ධනය ලෙසින් හඳුන්වයි. නමුත් ඔටිසම් දරුවන්ගේ කුසලතා සංවර්ධනයේ යම් ඌනතා සහ සංකුලතා දක්නට ලැබේ.

ඔටිසම් දරුවන්ගේ ඌනතා සහ සංකුලතා

සාමාන්‍ය දරුවෙකුගේ කුසලතා අතර බුද්ධිමය, සමාජීය, භාෂා කථන, දළ හා සියුම් චාලක කුසලතා ප්‍රධානය. සාමාන්‍යයෙන් චාලක කුසලතා යටතට ගැනෙන්නේ ශාරීරික ක්‍රියාකාරකම් හෙවත් ඔළුව කෙළින් තබා ගැනීම, ඉඳ ගැනීම, හිට ගැනීම වැනි කාර්යයන්ය. ඔටිසම් සහිත දරුවන් විශේෂයෙන්ම සාමාජ­ීය කුසලතා හා සන්නිවේදන කුසලතාවන්ගේ පසුගාමීත්වයක් දක්වයි. චාලක සහ අනෙක් සංවර්ධන කාණ්ඩවලද යම් වෙනස්කම් සමහර අවස්ථාවලදී දක්නට ලැබේ. උදාහරණ ලෙස ඇවිදීම ප්‍රමාද වීම, ඇඟිලි තුඩුවලින් ඇවිදීම වැනි දේ දැක්විය හැකිය. ඇතැම්විට ඔටිසම් ත්ත්ත්වය සහිත දරුවන් ළඟා කරගත් කුසලතා නැති වී යන අවස්ථාද දක්නට ලැබේ. ඔටිසම් සහිත දරුවන්ගෙන් 31%කට පමණ බුද්ධි ඌනතා (IQ <70) තිබිය හැකි අතර 44% පමණ සාමාන්‍ය හෝ ඊට වැඩි බුද්ධි මට්ටමක සිටියි. මීට අමතරව මෙම දරුවන්ගේ හැසිරීමෙහි යම් විෂමතා දැකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ට දැනෙන සංවේදනවල යම් වෙනස්කම් තිබීමයි.

මෙම කුසලතා සංවර්ධනයේදී පවතින ඌනතා ළදරුවියේදී හෝ මුල් ළමා වියේදී හඳුනා ගතහොත් එයින් ඇතිවිය හැකි අනාගත අහිතකර බලපෑම් යම් මට්ටමකට හෝ අවම කර ගැනීමේ හැකියාව ඇත. ළදරු අවදියේදී ඔටිසම් සහිත දරුවෙකු දක්වන සන්නිවේදන විෂමතා හඳුනා ගැනීමට අපට තරමක් අපහසු වුවද, සාමාන්‍ය දරුවෙකු කිරි උරා බොන විටදී මවගේ ඇස් දෙස බලා සිටීම, ප්‍රතිචාරාත්මක ලෙස සිනහ වීම වැනි චර්යාවන් හරහා මේ වෙනස්කම් දරුවා ඉතා කුඩා අවදියේදීම හඳුනාගත හැකිය.

යම් ළදරුවෙකු මවු කිරි බොන අවස්ථාවල මවගේ ඇස් දෙස නොබලන්නේ නම් ඒ පිළිබඳ වහා අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනාගතයේ ඇති විය හැකි අවදානම් තත්ත්වයන් අවම කරගත හැකිය.

ඔටිසම් සංඥා හඳුනාගැනීම

සාමාන්‍යයෙන් දරුවෙකු බහ තේරීම සිදු කරන්නේ වයස අවුරුද්දක් පමණ වන විටය. එම වයස් සීමාව යනු තේරුමක් සහිත වචනයක් පැවසීම සහ ක්‍රමයෙන් කතා කිරීම අරඹන වයසයි. නමුත් ඔටිසම් තත්ත්වය සහිත දරුවන් තේරුමක් සහිත වචන කතා කරනු දක්නට ලැබීම ඉතා අවම මට්ටමක පවතියි. විශේෂයෙන්ම ළදරුවෙකුට මාස 16 පමණ සපිරෙන විටත් තේරුමක් සහිත වචන උච්චාරණය කිරීම සිදු නොවන්නේනම් සහ වයස අවුරුදු 2 සපිරෙන විට වචන 2ක් එකතු කර කතා කිරීමේ හැකියාව නැමැති නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතුය.

ඔටිසම් සහිත දරුවන් තමාගේම ලොවක තනි වී සිටීමට ප්‍රිය කරන අතර තනිව සෙල්ලම් කිරීම, වැඩිහිටියන් සමඟ සබඳතා දැක්වීමට ප්‍රිය නොකිරීම, මුහුණ දෙස නොබැලීම, එකම ප්‍රතිචාරය නැවත නැවත දැක්වීම, නම කතා කළ විට ප්‍රතිචාර නොදැක්වීම වැනි හැසිරීම් රටා පෙන්නුම් කරති.

ඔටිසම් සඳහා ගොදුරු වීමට හේතු

නිශ්චිත එක් හේතුවක් පමණක් නොව හේතු රැසක එකතුවක් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමට බලපාන බව වෛද්‍යවරු පෙන්වා දෙති. මේ හේතු Risk factors හෙවත් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇති කරන කාරණාය. ඒ අතරින් ජානමය බලපෑම ප්‍රධාන වන අතර පාරිසරික බලපෑම්, උදාහරණයක් ලෙස නොමේරූ දරු උපත්, පියාගේ වයස වැඩිවීම, මව ගර්භිණී අවධියේදී ආසාදන ඇති වීම, පෝෂණ ඌනතා වැනි අයහපත් තත්ත්වයන් යටතේ ජීවත් වීමය.

ඔටිසම්වලට ගොදුරු වූවන් දෙදෙනකු විමර්ශනයට ලක් කළහොත් එ් දෙදෙනා පෙන්නුම් කරන හැසිරීම් හා ලක්ෂණ එකිනෙකට වෙනස්ය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ හැසිරීම් රටා සහ ලක්ෂණ පෙන්නුම් කරන නිසාම එය පරාසයික පැතිරුණු තත්ත්වයක් (Autism Spectrum Disorder) ලෙසින් හඳුන්වනු ලබයි. දැනට අප සතු දේශීය දත්ත වාර්තා අනාවරණය කරන පරිදි මෙරට දරුවන් ඔටිසම් තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාව 93ට 1ක් වන අතර වර්තමානයේ එය ඊටත් වඩා වැඩි අගයක් විය යුතු බව වෛද්‍ය අත්දැකීමයි. නමුත් ඔටිසම් පිළිබඳ මහජන දැනුවත්භාවය තවමත් සැලකිය යුතු මට්ටමක නැත.

Comments