
මුදල් කොල්ලකෑම් සිද්ධි රැසකටම විදේශිකයන් සම්බන්ධ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා විණි. බැංකු ටෙලර් මැෂින්වලින් මෙන්ම සමාජ මාධ්‍ය උපයෝගී කොට විශේෂයෙන්ම කාන්තාවන් දැලේ දමා මුදල් කොල්ලකෑම් බොහොමයක්ම වී ඇති බව පොලිසිය කියයි.
සමාජ මාධ්‍ය ඔස්සේ නයිජීරියා ජාතිකයන් පිරිසක් විසින් සිදු කරන ලද වංචාවක් ගැන බුද්ධි තොරතුරු රැස් කර තිබුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයයි. එකී බුද්ධි තොරතුරුවලින් කියැවුණේ නීති විරෝධි අන්දමින් මෙරට රැඳී සිටින නයිජීරියා ජාතික පිරිසක් ජනතාව රවටා මුදල් කොල්ල කන බවටයි. එම තොරතුරු රැස් කළ බුද්ධි නිලධාරියෙක් කීවේ,
“ඒ නයිජීරියා පිරිස වැඩිපුරම රවටාගන්නේ කාන්තාවෝ. දහවල් කාලයේ ස්වාමියා, දරුවන් නිවෙසෙන් බැහැරව සිටියදී නිවෙස්වල තනි වන කාන්තාවන් නොයෙක් සමාජ මාධ්‍යයන්හි සැරිසරනවා... එවැනි අය ඉතාම උපක්රමික ලෙස මේ පිරිස් තමන්ගේ වංචාවට හසු කරගන්නවා“
ඒ වංචාව ගැන විමර්ශන බාර කෙරුණේ පොලිස් අධිකාරි විදුර පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයටයි. එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන බාර කෙරුණේ උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාරයි. මුල්ම බුද්ධි තොරතුරෙන් කියැවුණේ වීසා නැතිව බොරලැස්ගමුව ප්‍රදේශයේ රැඳී සිටින නයිජීරියා ජාතිකයකු ගැනය.
ඒ අනුව පසුගියදා 36 හැවිරිදි වියේ පසු වූ නයිජීරියා ජාතික එම්බුවා ඔගස්ටීනි අත්අඩංගුවට ගැනුණේ බොරලැස්ගමුව ප්‍රධාන පෙළේ බැංකුවක් අසල ඒටීඑම් කුටියකින් මුදල් ගැනීමට පැමිණි මොහොතකයි. ඔහු මෙරට රැඳී සිට ඇත්තෙ අනන්‍යතාව තහවුරු කිරීමට කිසිදු ලියවිල්ලක්ද නැතිවය. ඔහු සිංහල බස මනා ලෙස හැසිරවීමටද දත් අයෙකි. ඔහුගේ සිංහල බස හැසිරවීමද සිත් ඇදගන්නාසුලු විලාසයකින් යුක්ත බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීවේය.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට ලැබුණු තවත් බුද්ධි තොරතුරක කියැවුණේ, දෙහිවල ප්‍රදේශයේද එවැනිම පිරිසක් රැඳී සිටින බවයි.
එදිනම සවස ක්‍රියාත්මක වූ රුක්ෂාන් බණ්ඩාර උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම දෙහිවල ගුවන් පාලම අසල රැඳී සිටි තවත් නයිජීරියා ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ද මෙරට රැඳි සිටියේ නීති විරෝධි ලෙසිනි.
දෙහිවලදී අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකුට, මෙවැනිම ආකාරයේ වංචාවක් පිළිබඳ කොළඹ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන බවටද පොලිසියට අනාවරණය විය .
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් තිදෙනා එකිනෙකාට නොහඳුනන ලෙසට හැසිරුණත් පොලිසිය අනාවරණය කරගත්තෙ ඔවුන් කුළුපග මිතුරන් බවටයි. ඔවුන්ගේ සැලැසුම රට රටවලට ගොස් මුදල් වංචා කිරීමය. එහිදී ලංකාව වැනි රටවල් මොවුන් තෝරාගෙන ඇත්තෙ අපරාධයකට, වංචාවකට හසුවූ පසු අධිකරණ කටයුතු අවසන් වන තෙක් මෙරටින් නොයවා තබාගන්නා නිසායි.
ඒ අනුව බොරලැස්ගමුවේදී අත්අඩංගුවට පත් වූ නයිජීරියානුවා මිරිහානේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය අයෙකි. එම රැඳවුම් මධ්‍යස්ථානයේ විධිමත් ආරක්ෂාවක් තිබී නැත. පොලිසිය පවසන්නෙ එම ස්ථානයේ ආරක්ෂාව ගැන බලධාරින් මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි.
මේ කළු ජාතිකයන් පිරිස කර ඇති බවට සැලවෙන වංචාව මෙසේ ය.
ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් කාන්තාවන් හඳුනාගෙන මුලින් හිතවත්කමක් ගොඩ නඟාගනිති.
“මම නයිජීරියාවේ විශාල කොම්පැනියක අයිතිකාරයෙක්... මට විශාල දේපළක් තියෙනවා... ළඟදීම මං ලංකාවට පැමිණ ඔයා මැරි කරනවා. මම ලංකාවට ආවට පස්සෙ වියදම් කරන්න ඔයාගේ නමින් ගිණුමක් ආරම්භ කරන්න. ඒ ගිණුමට ඒටීඑම් කාඩ්පතකුත් ගන්න. ඒ ගිණුමට මම සල්ලිත් දාන්නම්. ඔයාගේ නමින් මගේ පාවිච්චියට දුරකතන සිම්පතකුත් අරන් දෙන්න. මං ලංකාවට එනකල් ඔය හැම දෙයක්ම ලංකාවේ ඉන්න මගේ නියෝජිතයාට දෙන්න. මං එයාව එවන්නම් ඔයා හමුවෙන්න... “
හැබැයින් නොදුටු එම පුද්ගලයාගේ කීම මත ඔහුගේ නියෝජිතයා ලෙස පැමිණෙන තැනැත්තාට ඇය විවෘත කළ ගිණුමේ ඒටීඑම් කාඩ්පත සහ දුරකථන සිම්පත ලබාදෙයි. පොලිසියට අනාවරණය වන්නෙ කෝටිපතියාත්, නියෝජිතයාත් එකම පුද්ගලයකු බවයි.
පසුව එම නයිජිරියානුවා බැංකු ගිණුම මෙන්ම දුරකථන සිම්පතද භාවිත කරමින් සමාජ ජාලා දුරකතන මාධ්‍ය ඔස්සේ පණිවිඩ, ඊමේල් මෙන්ම දුරකතන පණිවිඩද මෙරට ඇතැම් දෙනාට යවමින් සඳහන් කරන්නෙ,
“මං අහවල් කොම්පැනියෙන් කතා කරන්නෙ... ඔයාට ලක්ෂ ගාණක දිනුමක් ඇදිලා තියෙනවා...නැති නම් ඔයාට ත්‍යාගයක් එවලා තියෙනවා... අහවල් තැන තියෙන්නෙ... ඒක ඔයාට ලැබෙන්න සලස්වන්නනම්... හැබැයි අපට මුදලක් එවන්න ඕනෙ... “වැනි ප්රකාශයි.
පසුව ඔහු මෙරට කාන්තාවගෙන් ලබාගත් ගිණුම් අංකය එකී උපක්රමයට කොටු කරගන්නා පුද්ගලයාට ලබා දෙයි. එසේ ඔහු තව තවත් අයට පවසන්නෙ,
“ඔයාට තෑග්ගක් එවලා තියෙනවා... පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙනවා... ඒක මං මේ කියන ගිණුමට දාන්න.... එතකොට අපට තෑග්ග ගෙදරටම එවන්න පුළුවන්.“
එසේ මෙරට ජනයා රවටා ලක්ෂ ගානක මුදලක් කොල්ල කෑමට නයිජීරියා ජාතිකයන් යැවූ අන්තර්ජාල පණිවිඩවල බුද්ධි තොරතුර ලැබුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයටයි.
ලංකාවේ සැරිසරන නයිජිරියානුවන් හැටකට වැඩි පිරිසක් කලෙක සිටම මෙරට රැඳී සිටිමින් එකී වංචාව කරන බවට අනාවරණය වේ. ඕනෑම කෙනකුට රැවටිය හැකි කිසිවක් සොයා නොබලන කාන්තාවන් රවටාගෙන එකී නයිජීරියානුවන් ලක්ෂ ගණනක මුදලක් වංචා කර ඇති බවටද සැලවේ. ඔවුන්ගේ 'ගැටය'ට හසු වූ පිරිස කොතෙක්ද යන්න අනාවරණය වී නැත. ඒ වංචාවට හසුවූ සමහරු අවමානය සහ ලජ්ජාව නිසා ඒ ගැන පොලිසියට හෝ කිසිවෙකුට හෙළි කිරීමට මැළි වෙති.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ එවැනි වංචාවකට හසු වී තිබේ නම් ළඟම තිබෙන පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසටයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ ජනතාව රවටා මුදල් වංචා කිරීමේ සිද්ධි වාර්තා වී ඇති බවටය. වංචාකරුවන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සෙ කලෙක සිට ඇසුරුකර හිතවත්කම් ගොඩනඟාගෙන පසුව, විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග ජයග්‍රහණ කර ඇති බවට හෝ , රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබා දෙන බවට හෝ විදේශිකයන් බව හඟවමින් ඔවුන් සතු විශාල මුදල් සම්බාරයක් ලංකාවේ ආයෝජනය කිරීමට සහාය ඉල්ලමින් හෝ ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ඔබේ නමට ලැබී ඇති බවට හෝ දන්වමින් මෙරට ජනයාගෙන් මුදල් කොල්ල කන බවයි.
බස්නාහිර දකුණ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි විදුර ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ඩී. කවිෂ්ක, සාජන්වරුන් වන (59951) සුනිල්, (40248) ප්‍රසන්න, (33118) කීරගල, කොස්තාපල්වරුන් වන (48614) උපුල්, (77688) අමිල, (38666) බස්නායක, (54395) විෂ්ණු සහ (46658) ජයතිලක පරීක්ෂණවලට එක්වූහ.