- පැය හතරේ ගමනට දැන් පැය දෙකයි
- දැන් මගීන් සියයකට එකවර සුවපහසුවෙන් යා හැකි ගමනක්
දුපතක වෙසෙන මිනිසුන් ගෙවන ජීවිතයේ දුෂ්කරතාව අත්විඳීමට නම් කිසියම් දූපතකට ගොස් දිනයක් දෙකක් ගත කරන්නටම සිදු වෙයි. වරක් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට යෑමට ලැබුණේ යාපනයේ බෝට්ටු හිමියන්ගේ සංගමයේ කන්දයියාගේ බෝට්ටුවයි. උදෑසන හතට බෝට්ටුව එදා පිටත් වූයේ යාපනයේ කූරිකඩ්ඩුවාන් ජැටියෙනි.
මඳ වේලාවකට පසුව මුහුද අවට සිරියාව බලන්නට මම බෝට්ටුවේ වහලය මතට නැඟුණෙමි. අව් රශ්මියට ලේන්සුවක් ඔළුවේ දමාගෙන එය එක් අතකින් අල්ලාගෙන සිටි පුද්ගලයා බෝට්ටුවේ සිටි අනෙක් මඟීන්ට වඩා පිළිවෙළකට ඇඳ පැලැඳ සිටියේය.
කමිසයේ උඩ සාක්කුවේ නිල් පාට මෙන්ම රතු පාට පෑනක්ද තිබූ නිසා ඔහු පොලිස් නිලධාරියෙකු විය හැකි යැයි මුලින් සිතිණි. මම ඔහු සමඟ කතා කළෙමි.
“මම ඩෙල්ෆ්ට් දුපතේ ඉස්කෝලේ ප්‍රින්සිල්. මගේ නම එස්.මරියනායගම්. ගම යාපනයේ වේලනෙයි. මට ඩෙල්ෆ්ට් දූපතේ ඉන්න තැනක් නෑ. ඒක නිසා මම හැමදාම උදේ බෝට්ටුවෙන් වැඩට යනවා. බෝට්ටුව උදේ හතට පිටත් වුණා. ඩෙල්ෆ්ට් ජැටියට යන කොට උදේ දහයහමාර වෙනවා. ඉස්කෝලෙට යනකොට එකොළහ විතර වෙනවා. හවස තුනට ආයෙත් මේ බෝට්ටුවෙන්ම ආපහු එනවා. ගෙදර යනකොට රෑ හතහමාර වෙනවා.
අර ඉස්සරහා ඉඳගෙන යන කෙනා ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන්නේ. යාපනයේ ඉදලා ඩෙල්ෆ්ට් දූපතට හැමදාම වැඩට යන එන අය ඉන්නවා. මාරු වීම් ඉල්ලුවට දෙන්නෙත් නෑ. එහෙ ඉන්න පහසුකම් ඇත්තෙත් නෑ, එහෙ වතුර කොහෙත්ම බොන්න බෑ. අපි මෙහෙම ගියා කියලා අපේ ඉහළ නිලධාරීන්ට අපි වෙනුවෙන් කරන්න දේකුත් නැහැ. මේක දැන් අපේ ජීවිතේ“
ඩෙල්ෆ්ට් දූපතට
යාපනයට ඈතින්ම පිහිටි දූපත් වන්නේ එළුවතීව් ඩෙල්ෆ්ට් හා අනලතිව්ය. ඒ දූපත්වල ජනතාව වාසය කරන නිසා රාජ්‍ය ආයතන පාසල් ඇතුළු සියල්ලම ක්‍රියාත්මක වෙයි. නමුත් බෝට්ටු සේවය ආරම්භ වන්නේ උදෑසන හතෙන් පසුව හා සවස හය අතර පමණක් වීම නිසා යාපනයේ සිට අවට දූපත්වල සේවයට යන සියලු දෙනාට ඉටු කිරීමට සිදු වී ඇත්තේ විදුහල්පති එස්.මරියනායගම් මහතා කී අන්දමට වේලාවක් කලාවක් නැති රජයේ සේවයකි.
ඩෙල්ෆ්ට් දූපතේ සිට ආපසු පැමිණෙන දිනයේදී මාහට ඒමට ලැබුණේ නාවික හමුදාවේ වෝටර් ජෙට් වර්ගයේ බෝට්ටුවකි. කන්දයියාගේ බෝට්ටුව යාපනයේ කුරීකඩ්ඩුවාන් සිට ඩෙල්ෆ්ට් දූපතට යෑමට පැය තුනහමාරක්ම මරහඬ දෙමින් මහ මුහුදේ කූඹියෙකුගේ වේගයෙන් ගමන් කළත් නාවික හමුදාවේ වෝටර් ජෙට් යානයට ගත වූයේ විනාඩි කීපයක් පමණි.
එදා මගේ කල්පනාවට ආවේ මේ දූපතට යන එන අයට අධි වේගයෙන් ගමන් කළ හැකි යාත්‍රා සේවයක් තිබේ නම් එය කොතරම් වටින්නේද යන කාරණයයි. හදිසියේ දූපත් වැසියෙකුට ලෙඩක් දුකක් වුවහොත් ඔවුන්ට ඇත්තේ ඉතාම සීමිත පහසුකම් ඇති දූපතේ පිහිටි මූලික රෝහල පමණකි. යාපනයට පැමිණීමට අවශ්‍ය නම් මහ රෑ එය කිසි විටකත් සිදු නොවේ. එවැනි අවස්ථාවක ඇත්තේ නාවික හමුදාවේ පිහිට පමණකි.
මේ ප්‍රශ්නය උතුරු පළාත් සභාවේ එවකට සිටි සෞඛ්‍ය ඇමති පී.සත්‍යලිංගම් මහතා තේරුම්ගෙන දූපත්වාසීන් වෙනුවෙන් අධිවේගී ගිලන් බෝට්ටු සේවයක් ආරම්භ කෙළේය. පසු කාලයේදී එම යාත්‍රාව මුහුදු බත් වීමත් සමඟම ගිලන් බෝට්ටු සේවය නතර විණි.
යාපනයේ ඉතා ඈතින්ම පිහිටි එළුවතීව් ,ඩෙල්ෆ්ට් හා අනලතිව් දූපත් කරා යෑමට 'එළුතාරකී' නමැති නැව ලැබෙන්නේ පසුගිය සතියේදීය. ඒ නැව් සේවය මීට පෙර ආරම්භ වූවත් එය ඉතා කෙටි කාලයකින්ම නතර වූයේ යාත්‍රාව හදිසියේ ක්‍රියා විරහිත වීම නිසාය.
පසුව රුපියල් මිලියන 137ක වියදමකින් කොළඹ නැව් තටාකාංගණයේදී නිපදවූ යාත්‍රාවක් මඟී සේවය සඳහා එක් කොට තිබේ.
නාවික හමුදාව වෙත බාර කෙරුණු එම 'එළුතාරකී' නෞකාව නාවික හමුදාව විසින් යාපනය දිසාපති කාර්යාලය වෙත බාර දෙන ලදී. උතුරු පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් එම නෞකාව කයිට්ස් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත බාර දීමෙන් පසුව මඟී සේවය සඳහා එක් කර තිබේ.
කයිට්ස් ප්‍රාදේශීය ලේකම් මංජුලාදේවී සදීසන් මහත්මිය කියා සිටියේ කාලාන්තරයක් තිස්සේ ගමනා ගමන පහසුකම් සඳහා දැඩි දුෂ්කරතාවක පසු වූ දූපත් වැසියන්ට මේ නැව් සේවාව විශාල පහසුවක් බවයි.
'මේ දූපත්වල වැසියන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ අතරේ ඔවුන්ගේ ගමනා ගමන කටයුතු සඳහා සුදුසු යාත්‍රාවක් නොතිබීම නිසා ඔවුන් තවත් පීඩාවට පත් වෙලා ජීවත් වුණා. මේ ගමන් සඳහා ඔවුන්ට ගත වන කාලය පැය තුනකට හතරකට වඩා වැඩියි. ඔවුන්ට ඕනෑ වේලාවට ගමන් පහසුකම් නැහැ.
ආරක්ෂාකාරී ගමනක්
මෙතෙක් තිබුණු යාත්‍රාව මඟීන් ප්‍රවාහනය කිරීම සඳහා වෙන්වූ එකක් නොවෙයි. ඒ යාත්‍රාවල යන මිනිසුන්ට අව්වෙන් වැස්සෙන් පීඩා තිබුණා. හරිහමන් ආවරණයක් නෑ. බෝට්ටු අඩු නිසා සමහර වේලාවට ඔරොත්තු නොදෙන අන්දමින් මඟීන් පටවනවා. කාලයක් තිස්සේ හරිහමන් ප්‍රවාහන සේවාවක් නැතිව දුක් වින්ද දූපත් වාසීන්ට කරදරයකින් තොරව ඉතාම ආරක්ෂාකාරීව ගමන් කිරීමට යාත්‍රා දෙකක් තිබෙනවා.
ඩෙල්ෆ්ට් දූපතට යන වැසියන්ට 'වඩතාරකී' කියලා යාත්‍රාවක් ද තිබෙනවා. ඒ යාත්‍රා දෙකම ධාවනය වන්නේ නාවික හමුදාවේ අධික්ෂණය මතයි. මඟීන්ට හොද ආරක්ෂාවක් තියෙනවා. ඒ බව නාවික හමුදාව සහතික කරලා තියනවා. 'එළුතාරකෙයි' නැව සම්පුර්ණයෙන්ම වායු සමීකරණය කරලා. ඉතාම සුවපහසු ආසන සවි කර තිබෙනවා. මඟීන් සීයකට ඉතාම පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේ නැව කලින් තිබූ යාත්‍රාවලට වඩා දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනවා. මේ නිසා දූපත් වැසියන්ගේ කාලයෙන් වැඩි කොටසක් ඔවුන්ට ඉතුරු වෙනවා. යාපනයේ ගොඩබිම් පළාත්වල විශාල පිරිසක් මේ දූපත්වල රැකියා සඳහා දිනපතාම ගමන් කරනවා. .ඒ වගේම දූපත්වල තිබෙන රජයේ කාර්යාල පාසල් නියමිත වේලාවට පවත්වා ගෙන යෑමටත් මේ නැව් සේවාව උපකාරී වී තිබෙනවා'
ප්‍රාදේශීය ලේකම්වරිය එසේ කි විට මට යළිත් මතක් වූයේ ඩෙල්ෆ්ට් දූපත් ඉස්කෝලේ විදුහල්පතිවරයාගේ කතාවය. ඔවුන්ගේ රාජ්‍ය සේවය දැන් වඩාත් කාර්යක්ෂම වී ඇතිවාට කිසිම සැකයක් නැත. නැවේ අධික වේගයත් සුඛෝපභෝගී පහසුකම් නිසාත් මඟීන්ට දැනෙන මහන්සියේ තරමද අඩු වී ඇත.
විදුහල්පතිවරයා සොයාගන්නට බොහෝ උත්සාහ දැරුවත් ඔහුගේ දුරකතනය නිහඬ වී තිබිම නිසා අවසානයේදී සොයා ගැනීමට හැකි වූයේ එලුවතීව් දූපතේ සෞඛ්‍ය නිලධාරී එස්.රාධාක්‍රිෂ්ණන් මහතාය.
“ඉතාම සතුටුයි. සැපපහසුවට ගමනක් යන්න අපිට දැන් හොඳ නැවක් ලැබිලා තිබෙනවා. ගමන යනවද කියලා අපට සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. මේවා මීට බොහෝම ඉස්සර වෙන්න තිබ්බ දේවල්. ප්‍රමාද වෙලා හරි අපිට මේ අවස්ථාව දැන් ලැබිලා තියනවා. මේකේ වටිනාකම් දැනෙන්නේ අපේ දරුවන්ටයි.
සුඛෝපභෝගී නැවක්
අපි අපේ මුළු ජීවිත කාලේම මේ දූපත්වලට ආවා ගියා. යුද්ද කාලෙත් එහෙමයි. ඒ කාලේ අපි ආව බෝට්ටු ආපහු ගොඩට යයිද කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ තරමටම අබලන්. මුහුද මැද්දට ගියාම ඇඹරෙනවා. කූරියා ගහනවා. දෙවියන් සිහි කරගෙන තමයි ගමන ගියේ. වැඩ කරන මිනිසුන්ට සතුටෙන් වැඩ කරන්න නම් හොඳ පහසුකම් සලසලා දෙන්න ඕනේ. එතකොට කවුරුත් හරි ආසාවෙන් වැඩ කරනවා.
යාපනයේ සිට යාපනයේ දූපත්වල සේවයට යන එන රජයේ සේවකයන් මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා යන එන දූපත් වැසියන්ටද මේ නැව් සේවයෙන් ලැබෙන ප්‍රයෝජනය අති මහත්ය. යාපනයේ දුපත් වැසියන්ට සුඛෝපභෝගී නැවක් ලැබී තිබියදී කිලිනොච්චියේ පුනරීන් ඉරණතීව් දූපතේ වැසියන්ට එම දූපතට යෑම ඒම සඳහා නව බෝට්ටු සේවාවක් ද ඊට පසු දින ලැබී තිබේ.
ඩෙල්ෆ්ට් වැසියන් නැව ගැන සතුටු වෙද්දී ඉරණතීව් දූපතේ වැසියෝ ද නව බෝට්ටු සේවය ගැන සතුටෙන් කතා කරති.
'අපි මේ දූපත අතඇරලා ගියේ යුද්ද කාලේ. ඒ කාලේ පවුල් හාරසීයක් විතර හිටියා. දැන් ටික ටික ඇවිත් පදිංචි වෙලා පවුල් දෙසීයක් විතර ඉන්නවා.
ඉරණතීව් දූපතේ පහසුකම් මොනවත් නැහැ.මිරිස් කුඩු ටික හාල් පොල් ටික ගන්න එක්කෝ අපි පුනරීන් ටවුමට එන්න ඕනේ නැත්නම් කිලිනොච්චියට එන්න ඕනෑ. අපි මේ දක්වා ලෙඩට දුකට හෝ බඩු ටික ගන්න හෝ හැම වුවමනාවකටම කොහාට හරි ගියේ මාළු බෝට්ටුවලින්. දැන් හොඳ බෝට්ටු සේවයක් ලැබිලා තිබෙනවා. මේක නොමිලේ ක්‍රියාත්මක වෙන්නේ. අපේ ගමන් බිමන් සියල්ලම දැන් පහසු වෙලා තිබෙනවා.'
යාපනයේ වූවද කිලිනොච්චියේ වූවද රටේ කුමන තැනක වූවද දූපත් වැසියෙකු වේ නම් ඔහුට ඇති එකම සම්පත හොඳ යාත්‍රාවකි. දැන් ඒ පහසුකම ඔවුන්ට ලැබී ඇත.
රසුල දිල්හාර ගමගේ