
(1 කොටස)
‘වාරියපොළ සුමංගල’ නම අපට හොඳටම හුරුපුරුදු නමකි. කොතරම් ප්රබලව උන්වහන්සේගේ නම ප්‍රචලිතව ඇද්ද සඳහන් කළොත්, ඒ වටා කාලයත් සමඟ ගොනු වී ඇති කතා යම් ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම මොනතරම් දුරට නිවරැරදිදැයි මේ ලිපියෙන් විමර්ශනය කෙරේ. එයින් ප්‍රධාන වන්නේ,
(1) 1815 මාර්තු මස 2 වන දින, උඩරට ගිවිසුම අස්සන් තැබීමට පෙර ඉංග්‍රීසි කොඩිය එසවූ බැවින්, එය පහතට ඇද දමා පයින් පාගා දැමූ බව;
(2) එම නිසා, උන්වහන්සේ වෙඩි තබා ඝාතනය කළ බව;
(3) 1831 පෙබරවාරි 5 වන දින උන්වහන්සේ යාපනේ හිරගෙදරදී අපවත් වූ බව මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමි පැවසීම: සහ
(4) උන්වහන්සේ ගේ ජන්ම පළාත වන්නේ, සිලක්ඛන්ද හිමි අනුව, උන්වහන්සේ ද අයත් වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙවත් පැරණි හත්කෝරලේ වාරියපොළ ග්‍රාමයට යනුයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා ලියූ, සංස්කෘතික ත්‍රිකෝණය විසින් ප්‍රකාශිත ‘KANDY’ නම් පොතේ (මේ පොත දැඩි ලෙස විවේචනයට ලක් විය. කතිර කොඩිය බිම ඇද දැමීම නිසා වාරියපොළ හිමි ජීවිතයෙන් වන්දි ගෙවූ බව සඳහන් කරන අතර, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය, තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිපාණෝ, වාරියපොළ සුමංගල හිමි ගැන 1984 පළ කළ පොතේ, උන්වහන්සේ යාපනේ හිරගෙදර දීම 1831 පෙබරවාරි 5 වන දින “අවසන් වරට දෙනෙත් පියාගත්හ” යනුවෙන් සඳහන් කරති. මේ ආදි වශයෙන් උගත්තු වරින් වර ප්‍රකාශ කළ තොරතුරු, කලින් කී පරිදි පිළිගෙන, වරියපොළ සුමංගල හිමි සමරු මුද්දරයක් නිකුත් කිරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර අංශය කෙටි දැන්වීමකින් මගෙන් කළ ඉල්ලීම අනුව, රජය පවා පිළිගෙන තිබූ කොඩිය ඇද දැමීමේ යනාදි විස්තර, එම මුද්දරය ආවරණය වන අංක 171/1985 දරන, මුද්දර නිවේදනයට ඇතුළත් කළෙමි. පසුව කළ අධ්‍යයනයකදී, එහි ඇතැම් විස්තරවල ඓතිහාසික පදනමක් නොමැති බව වටහා ගත් මම, වහාම ඒවා නිවැරදි කොට, 1986.4.27; 1956.5.4; 1985.5.25 ‘සිළුමිණ’ සහ එම දින SUNDAY OBSERVER මෙන්ම , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ THE SRI LANKA JOURNAL OF THE HUMANITIES, Vol. xxi සහ, එහි පළ කෙරුණු, PROF. W.M. SIRISENA FELICITATION VOLUME, 2009 වැඩිමනත් වශයෙන් පළ කළෙමි.
ඉංග්‍රීසි භාරයේ තිබූ දළදා වහන්සේ රහසේ ඉවත් කර ගෙන යෑමේ චෝදනාවට වරදකරු වූ වාරියපොළ හිමි ඝාතනය කළේය, හිරගෙදර දී අපවත් වූහ යනාදි සාවද්‍ය තොරතුරු උගතුන් අතින් ම ප්‍රචාරය වුවත්, උන්වහන්සේ “තවමත් යාපනේ බන්ධනාගාර ගතව සිටින බව” 1819 අප්‍රේල් 4 දින දරන රාජ්‍ය ලේඛනාගාර වාර්තාවක සඳහන් වන අතර, හොඳ කල්ක්‍රියාවෙන් මෙන්ම යම් රෝගී තත්ත්වයක පසු වූ බැවින්, උන්වහන්සේට ක්ෂමාව දී, උන්වහන්සේ සමඟ සිරගත කරන ලද භික්ෂූන් වහන්සේලා 20 නම අතර, වාරියපොළ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 10 නමක්, 4 වන ජෝජ් රජ තුමාගේ උපන් දිනය වෙනුවෙන් 1821 අප්‍රේල් මස 24 වන දින යාපනේ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව, එම දින දරන රාජ්‍ය ලේඛන වාර්තාවේ දැක්වේ. මම මේ වාර්තාව කියවා බැලීමි. ඉන් ඉදිරියට උන්වහන්සේ අවුරුදු 10ක් අස්ගිරි විහාරයේ ජීවත් වූහ.
මවු බිමේ ස්වාධිපත්‍යය වෙනුවෙන්, උඩරට මහා කැරැල්ලට ජීව වායුව දී, එවකට ලොව ප්රබලතම බලවතා වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමඟ කෙළින් ම ගැටුණු මේ සුප්‍රසිද්ධ වීරෝදාර වාරියපොළ හිමි, ඇත්ත වශයෙන් කාගේ කවුරුද?;. උන් වහන්සේගේ පැවිදි නම කුමක්ද?, උන්වහන්සේගේ ගම රට කොයි පළාතේද?, සහ උන්වහන්සේ අපවත් වූයේ මොන වර්ෂයේද? යන ප්‍රශ්න අප ඉදිරියේ තිබේ. මේවාට ඍජු පිළිතුරු නිර්මාණය නොවූවත්, සමකාලීන වාර්තා නිරීක්ෂණය කිරීමේ දී, අනියම් ලෙස විද්‍යමාන වන කරුණු මඟින්, දෙමවුපිය ප්‍රශ්න හැර, අනෙක් කීපය පහසුවෙන් නිරාකරණය කරගත හැකිය.
උන්වහන්සේගේ නමෙහි ‘වාරියපොළ’ ලෙස සඳහන් වන්නේ සිය උපන් ගම වාරියපොළ වූ නිසාය. මේ යුගයේ සෑම හිමි නමක් ම සිය නම මෙන්ම අස්සන සටහන් කළේ ගමේ නමිනි. ‘කොබ්බෑකඩුව උන්නාන්සේ, මාවතගම උන්නාන්සේ, තුඹගොඩ උන්නාන්සේ වම්හ’ යනාදි වශයෙන් මිස පැවැදි නමෙන් නොවේ. පැවිදි නම සඳහන් කෙරුණේ ඉතා කලාතුරකිනි. මේ හිමිගේ ගිහි නම හේරත් මුදියන්සේලාගේ කිරිහාමි යයි ද, පියාගේ නම බමණුකොටුවේරාල යයි මහාචාර්ය සීලක්ඛන්ද හිමි පළ කළ ග්රන්ථයක් ආශ්රයෙන් රාජ්‍ය ලේඛනාගාර අධ්යක්ෂ ආචාර්ය කේ.සී.ජී. විමලරත්න මහතා පවා සඳහන් කළත්, එවැනි සඳහනක් කිසිම සමකාලීන පිළිගත හැකි මූලාශ්‍රයක නැත. මේ අතර, වාරියපොළ හිමිගේ පරම්පරාව ගැන කිසිම හෝඩුවාවක් නැතැයි ද පැවසේ. එසේ නම්, මේ නම් ගම් සොයගත්තේ කෙසේද,. මේවා හුදෙක් ම නිර්මාණය කළ ව්‍යාජ තොරතුරුය. මේ තොරතුරු සම්පූර්ණයෙන් බැහැර කරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, වටපුළුවේ පදිංචි එස්.බී. කරල්ලියද්දේ මහතා, 2005 මාර්තු 9 වන දින ‘දිවයින’ පත්‍රයට ලිපියක් සපයමින්, තවත් මනඃකල්පිත පැටිකිරියක් අරෝපණය කරවමින්, 15 වන ශත වර්ෂයේ තූනයම රාජ පරම්පරාවට මේ හිමි අයිති බවත්, උන්වහන්සේගේ පියා දේව මැද්ද බංඩාර බවත් පවසමින්, හෙතෙම තමා උපන්, මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බරට උන්වහන්සේව ඈඳා ගනී. වාරියපොළ හිමිගේ පැටිකිරිය සම්බන්ධයෙන් සීලක්ඛන්ද හිමි හෝ කරල්ලියද්දේ මහතා හෝ ඍජු, පිළිගත හැකි මූලාශ්‍රය කිසිවක් ඉදිරිපත් නොකරයි. 19 වන සියවසේ නිවැරදි තොරතුරු පවා සොයා ගැනීමට බැරි තැන, අවුරුදු 500ක් පැරණි විස්තර කරල්ලියද්දේ මහතාට ලැබුණේ කෙසේ ද යන්න විස්මය දනවන්නකි. මේ හැරත් ‘වාරියපොළ’ නමින් ගමක් උඩපාත දෙදුම්බරම නොවීය. මෙහි සිදු වී ඇත්තේ පාළු අම්බලමේ වළං බිඳීමකි.
වාරියපොළ හිමිගේ පැවිදි නාමය කිසිම සමකාලීන වාර්තාවක සඳහන් නොවෙතත්, ජනප්රවාදයේ, එය “සුමංගල” ලෙස පවත්වාගෙන එනු ලබයි. එය සැකයෙන් තොර පිළිගැනීමට, කරුණු තුනක් දැක්විය හැකිය. (1) නොනැසී පවතින ජනප්‍රවාදය; (2) වෙනත් පැවිදි නමකින් හැඳින් වී නැති වීම සහ උන්වහන්සේ අපවත් වූවායින් පසු, උන්වහන්සේ අයත්ව සිටී, දකුණු මාතලේ කටුදෙණිය පන්සලේ පසු කලකදී මහණ වූ හිමි නමක, එය වාරියපොළ ගමින් ම වූ බැවින්, කීර්තිමත් නමක්ව පැවති “වාරියපොළ සුමංගල” නමින් හැඳින්වුණු බැවිනි.
මේ ගැන විස්තරයක් කළ, උඩරට ඓතිහාසික තොරතුරු ගැන විශාරද දැනුමක් තිබූ, සගම රාජමහා විහාරයේ විහාරාධිපති වූ අස්ගිරි පාර්ශ්වයේ ඔළුවාවත්තේ ධම්මකිත්ති මහ නාහිමි, කලින් අපවත් වූ හිමි නමකගේ නම, එම පන්සලේම මහණ වන්නකුට ආදේශ කිරීමේ සිරිතක් තිබූ බව මට පවසා ඇත. මේ අනුව, ‘සුමංගල’ නම් පැවිදි නම උන්වහන්සේට තිබී ඇති බව පිළිගත හැකි යයි, උන්වහන්සේ වැඩි දුරටත් මට පැවසූහ.
ඊළඟට, උන්වහන්සේ උපන් ගම කුමක් දැයි විමසමු. එය වාරියපොළ බව සඳහන් වන නිසා, ඒ ගැන ගැටලුවක් නැත. එහෙත් ගැටලුව වන්නේ, වාරියපොළ නමින් මේ දෙකක්ම එකට යාව ඇති පළාත් දෙක පිහිටීමයි. එකක් වන්නේ, පැරණි මාතලේ මහා දිසාවේ හෙවත් දැනට මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, මැදසිය පත්තුවේ පිහිටි වාරියපොළයි. අනෙක වන්නේ, පැරණි හත්කෝරලේ හෙවත් දැනට වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි වාරියපොළයි.
මේ වකවානුවේ ‘වාරියපොළ’ හිමි වරු සිව් දෙනෙක් ඉතිහාසයේ දැක්වෙති. එයින් පළමුවැනියා වන්නේ, දළදා නඩුවට සම්බන්ධ, සුප්‍රසිද්ධ වාරියපොළ (සුමංගල) හිමි ව්. ඉන් අනතුරුව ඉන්නේ ඍජුවම ‘වාරියපොළ සුමංගල’ නමින් සිටින හිමිය. තුන්වැනිව සිටින්නේ, ‘වාරියපොළ දීපංකර’ හිමිය. මොවුන් තිදෙනාම අයත් වන්නේ, දැනට මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, මැදසිය පත්තුවේ, වාරියපොළ ගමේ, මාතලේ ගොඩපළ විසූ, විජේපාල රජ සමයේ ඉදිකරනු ලැබූ කටුදෙණිය පන්සලට බව වාර්තා වී තිබේ. එසේ නැතිව, කිසිසේත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළට නොවේ. සිව් වෙනියා වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ තුන්වන රාජ්‍ය වර්ෂයේ “අස්ගිරි උපත” නම් පොත ලියූ ‘වාරියපොළ අනෝමදස්සී’ හිමිය. වෙන තොරතුරක් නැත. පැවසීමට ඇත්තේ ‘වාරියපොළ’ නමින් සිව් නමක්ම අස්ගිරියට අනුබද්ධව සිටීම අහඹු සිද්ධියක් බවයි.
දළදා නඩුවට අයත් වාරියපොළ උන්නාන්සේ කටුදෙණියට අයත් වන බව ඔප්පුවන පළමු සාක්ෂිය වන්නේ, ඉතා කීර්තිමත් නාමයකට සහ වීර චරිතයක් ලෙස ගෞරවාදරයට පත් උන්වහන්සේ අපවත් වීමෙන් පසු, ඒ නමින් ම එම පන්සලේම පසු කලක මහණ වූ හිමි නමක් ද වාරියපොළ සුමංගල වීමයි. කටුදෙණිය පන්සලට පරිබාහිර කෙනෙක් කවදාවත් ඒ නමම ගන්නේ නැත. උන්වහන්සේ කටුදෙණිය පන්සලේ වැඩ සිටින කාලයේ, තමා මිලයට ගත් ඉඩම් වෙනුවෙන් මරක්කල මිනිසුන් දෙදෙනකුට විරුද්ධව, මාතලේ දිස්ත්‍රික් උසාවියේ නඩු අංක 67684 යටතේ නඩුවක් ද ගොනු කර තිබිණි.
පසු කලකදී, උන්වහන්සේ ඔප්පුවක් මත 1873 දී, කටුදෙණිය පන්සල සහ ඊට අයත් සියලු ඉඩකඩම් දේපොළ යනාදිය දොරකුඹුරේ පන්සලේ (මහනුවර) තලවින්න (ඒත් මහනුවර) ඉන්දජෝති හිමිට ලියා දී සිවුරු හැරියේය. මේ සෑම තැනම සඳහන් වන්නේ, මධ්‍යම පළාත මිස වයඹ පළාත නොවන බව අවධාරණයෙන් පෙන්වා දෙමි.
තුන්වන වාරියපොළ හිමි වන්නේ, අස්ගිරි තල්පතේ ම සඳහන් වන, අස්ගිරි මහා විහාරයේ අනුනායක ධුරය දැරූ “වාරියපොළ දීපංකර” උන්නාන්සේ ය. නමුත්, සියලු දෙනා උන්වහන්සේ වාරියපොළ සුමංගල යයි පටලවාගෙන ඇත.
මෙයට හේතුව වූයේ, අදාළ තල්පතේ සඳහන් වූ මේ හිමිගේ පැවිදි නම, එම පාඨය ඉදිරිපත් කිරීමේ දි තුඹුල්ලේ සීලක්ඛන්ද හිමි ය. කපාහැර පළ කිරීමයි. මල්වතු මහා විහාරයේ මෙන් නොව, අස්ගිරි මහාවිහාරයේ පැවතියේ එක් අනුනායක ධුරයකි.
අස්ගිරි පාර්ශ්වයට අයත්, මහනුවර පිහිටි සුප්‍රසිද්ධ සුදුහුම්පොළ රාජ මහා විහාරය, ඉදිකරනු ලැබුවේ 1777 දී එහි නිර්මාතෘ වූ, මාතලේ, කඩුවෙල හිමි වන අතර, උන්වහන්සේ එහි නායක හිමි ද වූහ. 1813 උන්වහන්සේ අපවත් වූ සේක. මේ පුරප්පාඩුව සඳහා එහි නායක ධුරයට ශ්‍රී වික්රමරාජසිංහ රජතුමා, අස්ගිරි මහා විහාරයේ මහා නායක හිමි වූ මාවතගම උන්නාන්සේ පත් කළේය. එහෙත් ඒ හිමි, කඩුවෙල ශිෂ්‍ය හෝ ඥාති ශිෂ්‍ය පරම්පරාවට අයත් නොවන බව පවසමින් එම පන්සලේ සිටි අනෙක් හිමිවරු මෙයට විරෝධය පෑහ. මේ හේතුවෙන්, කඩුවෙල පරම්පරාවට අයත් මයිලවැව හිමි ඒ පදවියට පත් විය.
පසු කලකදී, මයිලවැව හිමි, තමා මහණ වී සිටි සියම් නිකාය අත්හැර, ගාල්ලේ, දඩල්ලේ අමරපුර නිකායට සම්බන්ධ විය. මේ හේතුවෙන් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරු, මයිලවැව හිමි සියම් නිකායෙන් නෙරපා දැමූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු, ඒ තනතුරට සියම් නිකායේ රඹුක්වැල්ලේ හිමි පත් විය.
උන්වහන්සේ ද ටික කලකට පසු,සියම් නිකාය හැර දමා අමරපුර නිකායට ඇතුළු වූහ. මේ වන විට උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට නතුව පැවතිණ. මේ වකවානුවේ ඉංග්‍රිසි ආණ්ඩුව පිළිගෙන තිබුනේ සියම් නිකාය පමණි.
මේ නිකාය මාරුව රජය අනුමත නොකළා පමණක් නොව, 1836 සැප්තැම්බර් 16 වන දින රජය රඹුක්වැල්ලේ හිමි තනතුරෙන් නෙරපා දැමීය. එපමණක් නොව, උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මත, බුදු සසුනේ ආරක්ෂාව සහ වගකීම රජය සතු බැවින්, උන්වහන්සේ සුදුහුම්පොළ රාජ මහාවිහාරයෙන් පවා නෙරපා දැමීමට, 1837 මහනුවර දිසා අධිකරණයේ නඩුවක් ද ගොනු කළේය.
ඉන් පසු එහි නායක ධුරයට අස්ගිරි මහා විහාරයේ අනුනායක ධුරය හොබවමින් සිටි, වාරියපොළ දීපංකර හිමි, දරමින් සිටි එම තනතුරට අමතරව රජය විසින් සුදුහුම්පොළ නායක හිමි ලෙස ද පත් කරන ලදී. දීපංකර හිමි පත්වූවාට පසු, උන්වහන්සේ, ඒ වන විට පන්සලේ නේවාසිකව සිටි අනිත් හිමි වරුන්ට විහාර අටුවෙන් මාසිකව ලැබිය යුතු සහල් සලාකය දීම ප්‍රතික්ෂේප කළේය. මෙයට එරෙහිව, එම හිමිවරු දීපංකර හිමිට විරුද්ධව 1839 සහ 1840 මහනුවර දිසා අධිකරණයේ නඩු කීපයක් පැවරූහ. මේ නඩුවලින් පැමිණිලි පක්ෂය ජය ලැබූ නමුත්, එහි තීන්දු අභියෝගයට ලක් කරමින් රජය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. මේ ඇපෑලෙන් රජය ජය ලැබීය. සුදුහුම්පොළ නායක හිමි වශයෙන්, සිය බලතල අනුව දීපංකර හිමි, මේ විහාරයට අනුබද්ධ විහාරයක් වූ තුම්පනේ ගුණදහෙ කාසාගල් පිරිවෙන් විහාරයේ නායක හිමි වශයෙන්, 1846 මල්වතු මහා විහාරයට අයත්කෝන්වැව බුද්ධරක්ඛිත තෙරහු පත් කළේය.
1817 - 18 දළදා නඩුවට සම්බන්ධ වාරියපොළ සුමංගල හිමි, 1831 පෙබරවාරි 5 වන දින අපවත් වූ බව රාජය ලේඛන අනුව දැක්වෙන බව රාජ්‍ය ලේඛන අධ්යක්ෂ, ආචාර්ය කේ.ඩී. ජී. විමලරත්න මහතා සඳහන් කරයි. ඉහත සඳහන් පරිදි, වාරියපොළ දීපංකර හිමි 1846 දක්වා ජීවත් වූ බව තහවුරු වන අතර, දළදා නඩුවට අදාළ වාරියපොළ සුමංගල හිමි 1831 අපවත් වූ බැවින්, එම හිමි අපවත් වූවාට පසු, තව අවුරුදු 15 ඉදිරියටත් වාරියපොළ දීපංකර හිමි ජීවත්ව සිටින බව තහවුරු වේ. දීපංකර හිමි අපවත් වූයේ 1871 බව සැලකේ. එයින් තවත් දුරට පැහැදිලි වන්නේ, වාරියපොළ සුමංගල හිමි අපවත් වූවාට පසු වාරියපොල දීපංකර හිමි අවුරුදු 40ක් ඉදිරියට ජීවත් වූ බවයි. මෙය කෙසේ වෙතත්, වෙන වෙනම වාරියපොළ හිමිවරු දෙදෙනකු සිටිනු මිස, එක් අයකු නොවන බව ඕනෑම කෙනකුට සක් සුදක් සේ පැහැදිලි වනු ඇත.