![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/10/18/pun-2.jpg?itok=hgaf47GR)
වයස්ගත පුද්ගලයෙක් මිය යමින් සිටියේ ය. වෙන් වෙන්ව නිවාසවල විසූ ඔහුගේ පුත්‍රයෝ සිව්දෙන පොහොසත් පුද්ගලයෝ වූහ. තම පියා මියැදෙමින් සිටිනා බව අසා ඔවුහු ඔහු වෙත ඉක්මනින් ගියහ.
පියා අවසන් හුස්ම හෙළමින් මියැදෙමින් සිටියේ ය. මරණ මංචකය සමීපයෙහි වාඩි වී සිටි පුත්‍රයෝ ඔහුගේ මළසිරුර සොහොන කරා රැගෙන යන්නේ කෙලෙසකදැයි සාකච්ඡා කිරීමට පටන් ගත්තෝ ය. ඔහු මියගිය පසු ඔහුගේ සිරුර කෙසේ ප්‍රවාහනය කරමු ද? මේ පොදු ප්‍රශ්නය වීය.
බාලතම පුත්‍රයා මෙසේ යෝජනා කළේය. "තාත්තා සෑම විට ම රෝල්ස් රොයිස් රථයක් අයිතිව සිටීමට ආශා කළේය. ඔහුට මුදල් ඇත; අපට ද ඇති තරම් මුදල් ඇත. එහෙයින් ඔහුගේ සිරුර සොහොන් බිම කරා රැගෙන යෑමට අපි රෝල්ස් රෝයිස් රථයක් ගෙන ආ යුතු වෙමු. ඔහු ජීවත්ව සිටියදී එවැනි රථයක් ලබාගැනීමට නොහැකි විය. නමුත් අවසානයේ මරණයේදී හෝ ඔහුට රෝල්ස් රොයිස් රථයක් අයත් වෙයි.
දෙවන පුත්‍රයා මෙසේ කීය. ඔබ බාලය; ඔබට මුදල් ගැන කරුණු නොවැටහේ. ඔහු මියගොස් ය; එබැවින් එය නාස්තියකි. රෝල්ස් රොයිස් රථයක කෙසේ වුවත් ඔහු ට්‍රක් රථයක ගෙන ගියේ හෝ කම් නැත. කුමට මුදල් නාස්ති කරමු ද? මියගිය තැනැත්තාට වෙනසෙහි ඵලක් නැත.
තෙවැනි පුත්‍රයා ඒ සියල්ල අසා මෙසේ කීවේය. "ඔබ ද තවම අපරිණත ය. නගර සභාව කිසිම අයකිරීමකින් තොරව ඕනෑම මියගිය හිඟන්නෙක් බාරගන්නා නිසා අපි එයාව පාරට දමමු. නගර සභාවේ අපද්‍රව්‍ය ගෙන යන රථය ඔහු නොමිලේ රැගෙන යනු ඇත. මියගිය පුද්ගලයකුට රෝල්ස් රොයිස් රථයක් ද, ට්‍රක් එකක් ද, නගර සභා රථයක් ද යන්න අදාළ නොවේ.
ඒ මොහොතේ ඇස් ඇර බැලූ මහල්ලා කෝ මගේ සපත්තු යැයි විමසීය. විස්මයට පත් ඔවුහු "සපත්තු කුමකට ද? ඔබ මිය යමින් සිටින්නේ..." යැයි කීහ.
ඔහු මෙසේ කීවේය. "මම තවදුරටත් ජීවත් ව සිටිමි. සමහර විට මට තවදුරටත් හුස්ම තිබිය හැකිය. මට මගේ සපත්තු ගෙනැත් දෙන්න. මම සුසාන භූමියට පයින් යන්නම්. එය ඉතාමත් ම ලාබ සහ ඥානාන්විත මාර්ගයි. ඔබ සියලුදෙනා ම නාස්තිකාරයෝ."
කතාව පුරා දිවෙන්නේ එකිනෙකාගේ තත්ත්ව හා සිතිවිලි ජාලය ය. ඒවා තම තමන්ගේ සිතිවිලි හා අවැසි බව අනුව තීරණය වේ. කෙනකුට හොඳ ම දේ ලෙස පෙනෙන දෙය තවත් කෙනකුට පෙනෙන්නේ නරකට ය. ඒ හොඳ නරක තීරණය වන්නේ ද තම තමන්ගේ විඳීම් පරාසය අනුව ය. ඒවා ද එකිනෙකාට වෙනස් වන්නේ ඒ නිසාය. මේ සියලු විඳීම් හෝ අත්දැකීම් නිර්මාණකරණයට නැඟීමට නිර්මාණකරුවා විවිධ උපක්‍රම භාවිත කරයි. එකිනෙකාගේ මනස වැඩ කරන ආකාරය ගැන කරන අධ්‍යයනය ද ඊට ඇතුළත් ය. අප ලබන අත්දැකීම සිත්ගන්නා සුලු දෙයක් බවට පෙරළීම උදෙසා ගනු ලබන විධික්‍රමය නිර්මාණ ආකෘතිය වේ. අපට ලැබෙන සාමාන්‍ය අත්දැකීම කලබල සහිත ය. ඒ කලබල සහිත අත්දැකීම අප මනසේ ක්‍රමයෙන් වැඩෙන්නට වෙයි. ප්‍රායෝගික ජීවිතය යනු එවැන්නකි. අපේ අත්දැකීම් හා අරමුණුවලින් අප අපට අවශ්‍ය දෑ පමණත් තෝරා බේරා ගනිමු. අවසන ඒවා තෝරාගත් දෑ ක්‍රමයෙන් වැඩෙන්නට හරින්නෙමු.
නිර්මාණකරුවාගේ ප්‍රධානම කාර්යය වන්නේ අත්දැකීමට සජීව බවක් ලබා දී එය පාඨක ආකර්ෂණයට ලක්කිරීම ය. කවියකු වේවා, සිත්තරකු වේවා, මුර්ති ශිල්පියකු හෝ වේවා, නැතිනම් වාස්තු විද්‍යාඥයකු හෝ වේවා, මේ සියල්ලෝම සිය අත්දැකීමට යමක් කරයි. කවියා හෝ නවකතාකරුවා සිදුවීම්වලට යමක් කරයි. එමඟින් සිදුවන්නේ අපේ ඇස නවතින්නට පොලඹවා බැලීම නම් ක්‍රියාවෙහි අපූර්වත්වයක් ගොඩනැඟීම ය. සංගීතඥයා කරන්නේ මිහිරි යමකට අප සවන යොමුකිරීමයි. නාට්‍යකරුවා කරන්නේ නිර්ප්‍රායෝගික ප්‍රීතියක් මනසට විඳින්නට සැලැස්වීමයි. පුටුවක් යනු හිඳගන්නකුට සංඥාවක් පමණක් නොවී පවතින්නට චිත්‍ර කලාවේ ඉඩ ලැබේ. ඒ පුටුව යම් සංරචනයක කොටසක් සහ ලක්ෂණයක් බවට ද වර්ණ සහ ආකෘති සංකේන්ද්‍රණය වූ තැනක් බවට ද පත් වේ.
එහෙත් සැබෑ ජීවිතය යනු එවැනි කලා කෘති නොවේ. ජීවිත කලාව දාර්ශනිකයාගේ සැලැස්මක් සහ කවියාගේ සිහිනයක් මිස යථාර්ථයක් නොවන බවට හේතු ගණනාවක් තිබේ. අප සැරිසරන තැන්හි, වීදිවල ආනන්දයක් විය හැකි ජීවිතය වරෙක යථාර්ථයේ කඩා පැනීමක් වන්නේ ඒ නිසා ය. කලාවක යනු ජීවිතයෙන් පලා යෑමකි යැයි සමහරු කියන්නේ ඒ නිසාය. ප්‍රායෝගික ජීවිතයේ ගැටලු කලාකරුවාට, නිර්මාණකරුවාට නීරස ය; පැටලිලි සහිත ය. ඒ නිසා ප්‍රායෝගික ජීවිතයේ කටයුතුවලදී කලාකරුවා නහර පාහේ මෝඩකම් කරන්නේ යැයි ප්‍රායෝගික ලෝකයේ ජීවත්වන මිනිසුන් සිතීම සාධාරණ ය. එසේ ලෝකයෙහි ජීවත් වීම කලාකරුවාට දරාගත නොහැක්කකි.
ඉහළ ම පෙළේ කවියන් ඉරහඳ යට පවතින සියලු දේ දෙස අචල භාවනාවක නිරත වන්නට ද ඒ දේවල් සමරන්නට ද සූදානම් බව ආන්ද්‍රේ ජිද් වරක් කීවේය. රෙම්බ්‍රාන්ට් සහ බේගා වැනි එකිනෙකට වෙනස් සිත්තරුන් තමා අවට ඇති අවලස්සන හා ශෝකජනක දේ දෙස බලා වෙහෙස වූ කම්කරුවකු, මහලු ස්ත්‍රියක ආදී දේවල් රේඛා හා ආලෝකය සමඟ මුසුකොට සුන්දර සිතුවම් බවට පෙරළා ඇත. සහජ වාසනා ගුණ බලයෙන් යුතු වුව ද ජීවන වපසරිය හා ධෛර්යය අතින් කලාකරුවන් සීමා සහිත නිසා දරාගත නොහැකි යථාර්ථයෙන් පලා යෑම ඔවුන්ගේ කලාවයි. වර්ණ, ආලෝකය, ශබ්ද පරිකල්පනික සිතිවිලිවල ගැලීම ආදියෙන් සැදුණා වූ දරාගත හැකි සුන්දර අඩවියකට ඔවුහු මනසින් සහ නිර්මාණයෙන් පලා යන්නේ ඒ නිසා ය. නිර්මාණකරණයේ රන්සුනු සොයා අප මේ සෑම දෙයක් ගැන ම අවධානය යොමු කළ යුතු ම ය.